පරිච්ඡේද ප්‍රශ්නය

 ඡායාරූපය:

පරිච්ඡේද ප්‍රශ්නය

නවකතාවක පරිච්ඡේද වෙන් කරන්නේ කෙසේදැයි මිතුරු ලේඛකයෙක් පසුගියදා මගෙන් විමසීය. ඔහුට ගැටලුව වී තිබුණේ ඔහු ලියාගෙන යන නවකතාවේ ඇතැම් පරිච්ඡේද කෙටි වීමත්, ඇතැම් පරිච්ඡේද දිගු වීමත්ය. එක් පරිච්ඡේදයක පිටු දහයක් ඇතුළත් වී අනෙක් පරිච්ඡේදයේ පිටු හතළිහක් ඇතුළත් වීම ඔහුට ගැටලුවක් විය. ඔහු හුරු වී තිබුණේ සාමාන්‍ය සිංහල නවකතාවේ එන සමාන පිටු ගණනේ පරිච්ඡේදවලට නිසාය.

කෙනෙකුට මේ ආකාර ප්‍රශ්නයක් නැඟෙන්නේ ඇයි? ඒ ගැන සිතූ විට මට හැඟුණේ ඒ, ඔහුට ප්‍රබන්ධය යනු කවරේදැයි අවබෝධ නොවන නිසා බවය. ප්‍රබන්ධය යනු ලේඛකයකු සිතමතා ලියන දෙයක් නොවේ. එය එහි චරිත හෝ ආඛ්‍යානය විසින් ලියවෙන්නක්ය. එය ලියවෙන්නේ නම් එහි ඇත්තේ කතුවරයාගෙන් ස්වාධීන වූ ජීවිතයකි. එවිට ප්‍රබන්ධයේ ඡේද වෙන් කිරීම, පරිච්ඡේද වෙන් කිරීම, කතාවේ විකාශය හා අවසානය තීරණය කිරීම කතාකරුවාට අභිමත පරිදි කළ නොහැකිය. දෙවන කාරණය පරිච්ඡේද යනු ප්‍රබන්ධයේ ආකෘතියේ අංගයක්ය. ඒ අනුව පරිච්ඡේද ගණන, එහි වචන ගණන යනාදිය තීරණය වන්නේ කතා සන්දර්භය අනුවය.

කතාවක් ලිවීම ඇරඹූ පසු ලේඛකයකු වද වන්නේ ඡේද, පරිච්ඡේද, වචන ගැන නොවේ, ප්‍රබන්ධය තුළ ජීවත් වීම ගැනය. නිසැකවම ප්‍රබන්ධයක් සාර්ථක වන්නේ ඔහු එහි කල්පනා ලෝකයට සම වැදෙන තරමටය. කල්පනා ලෝකයට සමවැදීම යනු කතාකරුවා අනෙකාට ‐ චරිතවලට, කතා ප්‍රවාහයට ‐ ඉඩ දී තෙමේ පසුබැසීමය. ලිවීමේදී කතාකරුවාගේ සවිඥානය නොවේ, කරළියට එන්නේ. ඒ එන්නේ අවිඥානයය. කතාකරුවා කළ යුත්තේ ඒ අවිඥානයට ඉඩ දීමය. හූලියෝ කොර්තාසා පවසන ලෙස කතාකරුවකුට ‘කියවන විට ලිවීම’ ‐ අවිඥානය කියන දේ ලිවීම ‐ හැර වෙන වැඩක් නැත. මේ පසුබැසීමට අකමැති කතුවරයකුගෙන් ප්‍රබන්ධයක් බිහි වන්නේ නැත.

ප්‍රබන්ධකරුවකුට ඉතා හානිකර දෙයක් නම් පූර්ව නිගමනය. පූර්ව නිගමනත්, අනුකරණයත් අතර වෙනසක් නැත. ප්‍රබන්ධයක් නම් එහි පරිච්ඡේද ඇතුළත් විය යුතුය, පරිච්ඡේදයක වචන මෙපමණ තිබිය යුතුය යනාදිය තවෙකෙකුගේ කතා කලාවක් අනුකරණය කිරීමකි. අනුකරණය පිළිබඳව ප්‍රංශ නවකතාකරු ප්‍රංශුවා මොරියැක් පැරිස් රිවීව් සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කරන කරුණකි, මේ:

“ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙක් තමා හැරුණාම වෙන කවුරුවත් මත යැපෙන්නෙ නෑ. (මිෂෙල්) පෘස්ට්ගේ කතා කලාව ඊට පෙර සිටි කිසිවෙකුගේ කතා කලාවකට සමාන නෑ. සමාන අය සිටියෙත් නෑ. ඒවගේම ඔහුට සමාන කතාකරුවන් පසුව බිහි වෙන්නෙත් නෑ. ශ්‍රේෂ්ඨ නවකතාකරුවා ඔහුට ඇති අච්චුව කඩනවා. කඩලා ඔහුම අච්චුවක් නිපදවනවා. බල්සාක් බිහි කළේ ‘බල්සාකියානු’ නවකතාවක්. එහි ශෛලිය (Style) ගැළපෙන්නේ බල්සාක්ට විතරයි.”

ප්‍රබන්ධයේ තිබිය යුත්තේ අපූර්වත්වයය. අපූර්වත්වය කතාන්දරයේ පමණක් නොව කතා සැකිල්ලේ ‐ ඡේදවල, පරිච්ඡේදවල, වචනවල ‐ යන සැම තැනම තිබිය යුතුය. නූතනවාදී හා පශ්චාත් නූතන ප්‍රබන්ධ බිහි වන්නේ ඒ අපූර්වත්වයේ ප්‍රතිඵල වශයෙනි. දොස්තොයෙව්ස්කිගේ ‘බිම්ගෙයි සිරකරුවා’ (Notes From the Underground) කෙටිනවකතාවේ ඇතැම් ඡේද පිටු හතර, පහ දිගු වේ. එහි පරිච්ඡේද වෙන් වන්නේ පිටුවකින් නොව ඡේද ලෙසිනි. සැමුවෙල් බෙකට්ගේ The Love and Other Stories කෙටිකතා සංග්‍රහයේ The Love නම් කෙටිකතාවේ පිටු දහය පහළොව තනි ඡේදයකි. කර්ට් වොනෙගට්ගේ ප්‍රබන්ධයේ ඡේද වෙන් වන්නේ රූප සටහන් මගිනි. එහි වියමනේද රූප සටහන්ය. තනි පරිච්ඡේදයේ නවකතාද ඇත. වෙසෙසින් විඥානධාරා රීතියේ නවකතාවකට පරිච්ඡේද ඇවැසි නැත. එහෙත් ප්‍රබන්ධයක් සාර්ථක වන්නේ නවමු අංග ඇතුළත් වීමෙන් නොවේ. ප්‍රබන්ධය ඉල්ලද්දී ඒ අංග ඊට ඇතුළත් කළ විටය. කතාවෙන් නොඉල්ලද්දී කෙබඳු බාහිර සැරසිල්ලක් ඇතුළත් කළද එය කතාවට හානිකරය. සිංහල නවකතා ආකෘතියෙන් පමණක් ලකුණු දමාගත් කාලයක්ද තිබිණි. ආකෘතිය වැදගත් වන්නේ කතාන්දරයට එය වුවමනා නම්ය. ඇත්ත වශයෙන් සන්දර්භයත්, ආකෘතියත් දෙකක් නොව එකකි.

අද ඇතැම් සාහිත්‍ය සම්මාන සඳහා වචන සංඛ්‍යාව පූර්ව නිර්ණායකයකි. වචන විසිපන්දහසකට වඩා අත්පිටපත දිගු නොවිය යුතු යැයි නොයෙක් විට පුවත්පත් දැන්වීම් පෙනේ. මේ කොන්දේසිය ඉදිරිපත් වනුයේ ප්‍රකාශකයන් සංවිධානය කරන අත්පිටපත් සම්මාන උලෙළවලදීය. ප්‍රකාශකයන්ගේ බලාපොරොත්තුව සම්මාන දිනූ අත්පිටපත පොතක් ලෙස ප්‍රකාශ කිරීමය. එහිදී අත්පිටපත දිගු වුවහොත් ඔවුනට පොත ප්‍රකාශ කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වේ. ඒ කොන්දේසිය එන්නේ එනිසාය. එහෙත් වචන ගණන අනුව ප්‍රබන්ධයක් ලිවිය හැකිද? කතාවේ මෙපමණ පරිච්ඡේද ඇතුළත් විය යුතු යැයි සිතා, එක් පරිච්ඡේදයකට වචන මෙපමණ තිබිය යුතු යැයි සිතා කතාවක් ලිවිය හැකිද? පුවත්පත් කෙටිකතාවේ ගැටලුවද මෙයයි. පුවත්පතේ ඇත්තේ සීමිත ඉඩ ප්‍රමාණයකි. ඒ අනුව එහි කෙටිකතාවට නිශ්චිත වචන සංඛ්‍යාවක් ඇත. එහෙත් වචන ගණන මැන කෙටිකතා ලිවිය නොහැකිය. අනෙක් අතට වචන වැඩි ගණනක් තිබීම කෙටිකතාවේ සාර්ථකත්වයේ ලකුණක්ද නොවේ. කතාවක පරිසමාප්තිය සටහන් වන්නේ කතාව තුළින්මය.

ප්‍රබන්ධයක් පූර්ව සැලසුම් කර ලියන ලේඛකයෝ සිටිති. පෘතුගාල ලේඛක හොසේ සරමාගෝ ප්‍රබන්ධ ලීවේ එහි ආරම්භය හා අවසානය සනිටුහන් කරගෙනය. එහෙත් ඔහු අවධාරණය කළේ කතාවේ අවසානය මෙතැන බව තමා දැන සිටියත් ඒ අවසානයට යන පාර ‐ අතරමඟදී අඛ්‍යානය යන අතුරුපාරවල් ‐ තමා නොදැන සිටි බවයි. ඔර්හාන් පාමුක් ඔහුගේ අග්‍රනවකතාව වන පිටු පන්සියයකට වඩා දිගු My Name is Red ලියා ඇත්තේ මුල සිට අග දක්වා පිළිවෙළින් නොවේ. එහි අවසන් පරිච්ඡේද මුලින් ලියවී, මුල් පරිච්ඡේද දෙවනුව ලියැවී ඇත. මේ ආකාරයට ලියන්නේ කෙසේද? මා සිතන්නේ ඒ, ප්‍රබන්ධකරුවාගේ අභ්‍යන්තර පෙළඹවීම අනුවය. ප්‍රබන්ධයට නීති පැනවිය නොහැකිය. සියල්ල තීරණය වන්නේ කතාකරුවා අනුවය. පාමුක් පෙර කී පරිදි ලියන්නේ එය ඔහුගේ කල්පනා ලෝකය දිගහැරෙන ආකාරය නිසාය. කතාකරුවකු ලියන්නේ ඔහුගේ අවිඥානයට පෙනෙන දේය. පෙනෙන දේ අතාර්කික නම් ඒ තාර්කික කිරීමට ඔහුට හැකියාවක් නැත. කැල්විනෝ A Passenger, in a Winter's Night (‘සිසිරයේ රැයක මගියකු නම්’) නවකතාව ලියනුයේ කුඩා කුඩා වියමන් ලෙසිනි. ඔහු නවකතාව නිර්මාණයේදී කර ඇත්තේ වරින් වර තැනින් තැන ලියූ වියමන් එකට එකතු කිරීමය.

මට අනුව නම් ප්‍රබන්ධයේ වැදගත් වන්නේ අත්හදාබැලීම් නොව ප්‍රබන්ධය පාඨකයා කෙතරම් සසල කරන්නේද යන්නය. ඔහු කවර වින්දන පරාසයකට නතු කර ජීවිතාවලෝකනය කරන්නේද යන්නය. මීට සියවස් දෙකකට පෙර ලියැවුණු ගොගොල්ගේ ප්‍රබන්ධ, මෝපසාන්ගේ ප්‍රබන්ධ, චාල්ස් ඩිකන්ස්ගේ ප්‍රබන්ධ තවමත් ඉතිරිව ඇත්තේ එනිසාය. ප්‍රබන්ධයක් උසස් නම් එය හැම විටම පවතින තත්ත්වයට එරෙහිව ගැසූ කැරැල්ලකි. එදා රුසියානු යථාර්ථවාදී නවකතාව එදා එහි පැවති ස්වභාවිකවාදී ප්‍රබන්ධයට එරෙහි කැරැල්ලකි. ස්වභාවිකවාදී නවකතාව ඊට පෙර තත්ත්වයට එරෙහිව කළ විප්ලවයකි. පියදාස සිරිසේනගේ ‘ජයතිස්ස සහ රොස්ලින්’ පැවති නවකතාවට එරෙහිව එසවූ ධජයකි. එය අලුත් අත්හදාබැලීමකි. එදා එය පිටපත් විසිපන් දහසක් අලෙවි වන්නේ එනිසාය. අද යථාර්ථවාදී නවකතාව අවප්‍රමාණ වී ඇත්තේ යථාර්ථවාදී රීතියේ ප්‍රශ්නයක් නිසා නොව පාඨකයාට එය අලුත් දෙයක් ඉදිරිපත් නොකිරීම නිසාය. ඔහු සසල නොකිරීම නිසාය. අනෙක් අතට අලුත් දෙයක් ගෙනහැරපෑමටත් සමාජය නූතන විය යුතු නැත. ගොගොල්ගේ ‘හිම කබාය’ ප්‍රකාශයට පත් වන විට රුසියානු සමාජය පැවතියේ වැඩවසම් සාර් පාලනයයි. ශේක්ස්පියර් ‘ඇන්ටනි ඇන්ඩ් ක්ලියෝපැට්‍රා’ ලියනුයේ 17 වෙනි සියවසේය. එහෙත් එය මිනිස් ශිෂ්ටාචාරය පවතින තාක් රසික ලෝකයා සසල කරනු ඇත.

ලේඛකයකුට වැදගත්ම දේ අභාසයය. අනුකරණය නොවේ. අනුගමනය නොවේ. අනුකරණය, අනුගමනය සිතාමතා කරන දේය. ආභාසය අප තුළට කාන්දු වන්නකි. උසස් ප්‍රබන්ධ කියවන විට, උසස් බසින් හෙබි සාහිත්යික රචනා කියවන විට ඒ අපූර්වත්වය, ඒ බසේ මිහිර අප තුළටද කාන්දු වේ. සැලළිහිණිය, ගුත්තිලය කියවන විට ඒ බසේ මිහිර අප තුළද ලියවේ. අත්හදාබැලීම් විය යුත්තේ මේ ආභාසය තුළිනි. අත්හදාබැලීමක් සාර්ථක වන්නේ ආභාසයෙන් විනා අනුකරණයෙන්, අනුගමනයෙන් නොවේ. පරිච්ඡේද ගැන විමසූ අප ලේඛක මිතුරාට විපිළිසර වීමට කරුණක් නැත. කළ යුත්තේ ඔහුට හැඟෙන දේ ලිවීමය. ඔහුගේ ඇතුළත කියන දේ ලිවීමය. එහි මුල් පරිච්ඡේදයේ පිටු ගණන අඩුය, ඊළඟ පරිච්ඡේදවල පිටු වැඩිය යනාදිය ගැන ඔහු වද විය යුතු නැත. මුලින් ලියා අවසන සංස්කරණය කරන ක්‍රියාවලියේදී ඔහුට පරිච්ඡේදවල අඩු වැඩිකම් හැදිය හැකිය.

මාතෘකා