අන්වර්ථ, බහ්වර්ථ හා ස්වාර්ථ

 ඡායාරූපය:

අන්වර්ථ, බහ්වර්ථ හා ස්වාර්ථ

 

'අර්ථ' යනු නාම ප්‍රකෘතියට පූර්වයෙන් උපසර්ගයක් යෙදීමෙන් සැදුණු පද ද කීපයකි. එවැනි පද සමහරක් මෙහි දැක්වේ.

අන්වර්ථ (අනු-අර්ථ) නාම

'අන්වර්ථ' යන පදය සැදෙන්නේ 'අර්ථ' යන පදයට මුලින් 'අනු' යන උපසර්ගය යෙදීමෙනි. 'අනු-අර්ථ' යන්න පසුව 'අන්වර්ථ' බවට පත් වෙයි. සිංහල සංඥා නාම පද දෙ වර්ගයකි. 'අන්වර්ථ' හා 'ආරූඪ' යනුවෙනි. අන්වර්ථ සංඥා නාම පද යනු එහි අර්ථයට අනුකූල නාම පද යි. දයාවන්ත කාන්තාවකට 'දයාවතී' යන නාමය ද ලස්සන ඇස් ඇති කාන්තාවකට 'සුනේත්‍රා' යන නාමය ද ඉතා දැහැමි පුද්ගලයෙකුට 'ධම්මික' යන නාමය ද අන්වර්ථ නාම වෙයි.

නිරර්ථක (නිර්-අර්ථක)

'නිරර්ථක' යන පදය සැදෙන්නේ 'අර්ථක' යන ප්‍රකෘතියට මුලින් 'නිර්' යන උපසර්ගය යෙදීමෙනි. 'නිර්' යන උපසර්ගයෙහි අර්ථය 'එසේ නොවන' හෝ 'රහිත' යන්න යි. අර්ථ රහිත කටයුතු නිරර්ථක ය.

බහ්වර්ථ (බහු-අර්ථ)

'බහ්වර්ථ' යන පදය සැදෙන්නේ 'අර්ථ' යන ප්‍රකෘතියට මුලින් 'බහු' යන පදය යෙදීමෙනි. ඇතැම් පදයක ඇත්තේ එක් අර්ථයක් පමණක් නොව අර්ථ රාශියකි. බහු අර්ථවත් එවැනි පද හැඳින්විමට 'බහ්වර්ථ පද' යන නම යෙදේ.

'සඳ' යනු බහ්වර්ථවත් පදයකි. එහි අර්ථ 36ක් ගැබ් වන බව අධිනීතිඥ හරිශ්චන්ද්‍ර විජයතුංග මහතාගේ 'ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂයෙහි' මෙසේ සඳහන් වෙයි. (1683 පිට)

1. චන්ද්‍රයා, හඳ, හඳ පාන

2. කාලය, වෙලාව

3. ඡන්දය, කැමැත්ත

4. උත්තමයා, උත්තමාව 5. පියුම, නෙළුම් මල

6. කාන්තාව

7. අකුරු සන්ධි වීම, ශරීර සන්ධිය 8. ගැළපීම

9. ආශාව, කෘෂ්ණාව

10. පිනි 11. සන්ධ්‍යාව

12. ආලය, ස්නේහය

13. සඳුන් 14. හිත 15. සුවඳ

16. කපුරු 17. ගංගාව 18. සිහිය

19. සැකය, සන්දේහය 20. අදහස 21. ඇතා

22. වම් නාසා පුටයෙහි වැටෙන වාතය

23. සර්පයා

24. සන්ධි නමැති රාජ ගුණය 25. මාසය

26. ලකුණ, සංඥාව, සලකුණ

27. ඡන්දස, ඡන්දසක නම

28. අවියක් 29.උතුරු දෙස 30. දුක

31. එක්සත් වීම 32. හිඟුරු පියලි 33. කැලැල

34. මොනර පිල 35. කොකුම්

36. පද්‍ය බන්ධනයේ යෙදෙන ගණයක්

ව්‍යර්ථ (වි-අර්ථ)

'ව්‍යර්ථ' යන පදය සැදෙන්නේ 'අර්ථ' යන ප්‍රකෘතියට මුලින් 'වි' යන උපසර්ගය යෙදීමෙනි. 'වි' යන උපසර්ගයේ අර්ථය එක් අර්ථයක් 'නැති' හෝ 'විරුද්ධ' යන්න යි. උත්සාහය 'ව්‍යර්ථ' වීම යනු උත්සාහය සාර්ථක නොවීම යි.

සාර්ථක (ස-අර්ථක) ප්‍රතිඵල

'සාර්ථක' යන පදය සැදෙන්නේ 'අර්ථක' යන ප්‍රකෘතියට මුලින් 'ස' යන උපසර්ගය යෙදීමෙනි. 'ස' යන උපසර්ගයේ අර්ථය 'සහිත' යන්න යි.

ස්වාර්ථ (ස්ව-අර්ථ) තද්ධිත

'ස්වාර්ථය' යන පදය සැදෙන්නේ 'අර්ථ' යන පදයට මුලින් 'ස්ව' යන උපසර්ගය යෙදීමෙනි. එහි අර්ථය 'තම' හෝ 'සිය' යන්න යි. ව්‍යාකරණයෙහි එන එක්තරා තද්ධිත විශේෂයක් හැඳින්වෙන්නේ 'ස්වාර්ථ තද්ධිත' යන නමිනි. එයින් කියවෙන්නේ ඒ තද්ධිත ප්‍රත්‍යයට අමුතු අර්ථයක් නැති බවත් එහි ඇත්තේ ඒ අර්ථය ම හෙවත් 'ස්වාර්ථය' ම පමණක් බවත් ය. මෙය නිදසුන් කීපයකින් පැහැදිලි කළ හැකි ය.

සිංහලයෙහි එන ස්වාර්ථ ප්‍රත්‍යය අතුරින් දෙකක් වශයෙන් 'අත්' හා 'අස්' යන ප්‍රත්‍ය කුමාරතුංග මුනිදාස සූරීහු ඉදිරිපත් කරති. (ව්‍යාකරණ විවරණය, 316 පිට) ප්‍රකෘතියකට පරව මෙකී ප්‍රත්‍යයක් එක් කිරීමෙන් ප්‍රකෘතියෙහි අර්ථය වෙනස් නොවන බව කියවෙයි.

අත් : නෙත්-අත් : නෙතත්

කොපුල්-අත් : කොපුලත්

මුඳුන්-අත් : මුඳුනත්

අස් : සිසිල්-අස් : සිසිලස්

වරල්-අස් : වරලස්

මුහුළ-අස් : මුහුළස්

 

සමකාලීන සිංහලයෙහි 'ආ' යනුවෙන් ස්වාර්ථ තද්ධිත ප්‍රත්‍යයක් ද ඇති බව පෙනේ.

ආ : දේශන-ආ : දේශනා

ප්‍රාර්ථන-ආ : ප්‍රාර්ථනා

රචන-ආ : රචනා

භාවිත-ආ : භාවිතා

මාතෘකා