දැන් යාපනයේ පශ්චාත් යුද සාහිත්‍යයක් මතු වෙමින් තිබෙනවා

 ඡායාරූපය:

දැන් යාපනයේ පශ්චාත් යුද සාහිත්‍යයක් මතු වෙමින් තිබෙනවා

දමිළ ලේඛක සුදාරාජ්

දීර්ඝ කාලයක් පුරා නිර්මාණකරණයේ නියැලෙමින් මෙරට දමිළ සාහිත්‍යය පෝෂණය කළ සම්මානලාභී දමිළ ලේඛකයකු වන සුදාරාජ් දෙමළ සහ සිංහල ජන ප්‍රජා අතර සහෝදරත්වය ගොඩනැංවීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන්නෙකි. කෙටිකතා රචකයකු ලෙස වඩාත් ප්‍රකට ඔහුගේ නිර්මාණ කෘති රැසක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ටද පරිවර්තනය වී ඇති අතර රාජ්‍ය සම්මාන ඇතුළු විවිධ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. අඛණ්ඩව කෙටිකතාකරණයේ යෙදී සිටින ඔහුගේ නවතම දෙමළ කෙටිකතා සංග්‍රහය වන ‘කාත්ලිරුඩු වර්දවාන්’ පසුගියදා ප්‍රකාශයට පත් විය. මේ, අප පසුගියදා ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

සිංහල පාඨක ප්‍රජාවට ඔබ හඳුන්වාදිය හැක්කේ කෙසේද?

මම සාහිත්‍ය නිර්මාණ කටයුතු කරන්නෙ සුදාරාජ් කියන නමින්. ඒත් මගේ සැබෑ නම රාජසිංහම්. කාලයක් තිස්සේ සුදාරාජ් කියන නමින් ලියන නිසා ගොඩක් අය මාව දන්නෙත් ඒ නමින්. මට සුදාමනි කියලා නංගි කෙනෙක් හිටියා. ඒ මගේ එකම නංගි. එයාට මම ගොඩක් ආදරේ නිසා ලියන්න පටන් ගත් දවස්වලම මගේ නමේ කොටසකට නංගිගේ නමේ කොටසක් එකතු කරලා සුදාරාජ් කියන නම හදාගත්තා. ඒ නංගි දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. බොහෝ අය මාව දන්නෙ ලේඛකයෙක් හැටියට වුණාට ඇත්තටම මම වෘත්තියෙන් ඉන්ජිනේරුවෙක්. මම උපාධියට ඉගෙනගත්තෙ මොරටුව විශ්වවිද්‍යාලයේ. උපාධිය ලැබුවාට පස්සෙ කාලයක් මම පුත්තලම් සිමෙන්ති සමාගමේ සේවය කළා. එතැන අවුරුදු පහක හෝ හයක විතර කාලයක් වැඩ කළා. ඊට පස්සෙ මම පිටරට සිමෙන්ති සමාගමක සේවයට ගියා. ඒ සමාගම හරහා මම ලෝකයේ රටවල් දහයකට වැඩි සංඛ්‍යාවක සේවය කළා. මුලින්ම මම ඒ සමාගමට පත් වෙලා ගියේ විදුලි ඉන්ජිනේරුවෙක් විදියටයි. ඒ විදියට සේවයට බැඳිලා කාලයක් වැඩ කරනකොට මාව කර්මාන්තශාලා කළමනාකරු බවට පත් කළා. ඒ සමාගමේ පහළ සිට ඉහළ දක්වා විවිධ තනතුරුවලට ලංකාවෙන් විශාල පිරිසක් ඒ රටවලට ගෙන්වාගන්න මට හැකියාව ලැබුණා.

ලේඛකයකු ලෙස ඔබේ ගමන ආරම්භ වූයේ කෙසේද?

මම මුලින්ම ඉගෙනගත්තෙ යාපනයේ හින්දු විද්‍යාලයේ. ඒ කාලයේ මම පොඩි ළමයින්ට කියවන්න පළ කර තිබුණු ළමා කතා පොත් හරියට කියවනවා. හැබැයි ඒ දවස්වල වැඩියෙන්ම තිබුණෙ ඉන්දියාවෙන් ගෙන්නපු දෙමළ පොත්. ඒවා කියවනකොට අපි නිකං පින්තූර බලනවා වගේ තමයි කියවන්නෙ. ඔය අතරෙ මම එක දවසක් ලංකාවේ දෙමළ පුවත්පතක පළ වෙලා තිබුණු කෙටිකතාවක් කියෙව්වා. අපේ කෙනෙක් අතින් අපේ සමාජය ගැන ලියැවිලා තිබුණු ඒ කතාව මට හිතට ඇල්ලුවා. එතැනින් පස්සෙ මටත් හිතුණා ලියන්න ඕන කියලා. පස්සෙ මම ලංකාවේ දෙමළ භාෂාවෙන් ලියැවිලා තිබුණු නිර්මාණ හොයාගෙන කියෙව්වා. ඒත් මම ලියන්න බයෙන් හිටියේ. මම උපාධිය හදාරන කාලයේ මොරටුව විශ්වවිද්‍යාලයේ එක එක සාහිත්‍ය තරග තිබුණා. මම කෙටිකතා ලියලා ඒ තරගවලට ඉදිරිපත් කළා. ඒත් ඒ කාලයේත් ලියන්න හැකියාවක් තියෙන බව දැනුණෙ නැහැ. ඒ නිසාම ඒ කාලයේත් මට ලියන්න බය හිතුණා.

ඒත් තරගයකට ඉදිරිපත් කළාම ඒ නිර්මාණවල හොඳ - නරක ගැන අදහසක් ලබාගන්න පුළුවන් වෙයිනෙ කියලත් මට හිතුණු නිසා අර තරගවලට මම ලියපු කෙටිකතා ඉදිරිපත් කළා. කොහොම හරි මම ඉදිරිපත් කරපු කෙටිකතාවකට ප්‍රථම ත්‍යාගය ලැබුණා. ඒ, 1970 ගණන්වල. ඊට පස්සෙ මම මුලින්ම ලියපු කෙටිකතා පහක්, හයක් විතර ඒ තරගවලට ඉදිරිපත් කළා. ඇත්තටම එහෙම කළේ මම ලියන දේවල්වල මට්ටම ගැන අදහසක් ලබාගන්නයි. ඒ හැම කතාවක්ම ප්‍රථම හෝ දෙවැනි ස්ථානයට තේරුණා. එතකොට මට විශ්වාසයක් ඇති වුණා මටත් ලියන්න පුළුවන් කියලා. ඔය විදියට මුලින්ම මම ලියන්න පටන් ගත්තෙ කෙටිකතා.

එයින් පසුව ඔබ අඛණ්ඩව නිර්මාණකරණයේ යෙදුණාද?

නැහැ. අධ්‍යාපන කටයුතු නිසා ඒ කාලයේ වැඩිය ලියන්න වෙලාවක් තිබුණෙ නැහැ. සමහර වෙලාවට ලියන්න අදහස් හිතට ආවාට ඒවා ඒ කාලයේ ලියැවුණේත් නැහැ. ඒ අදහස් කාලයත් එක්ක මට අහන්න, දකින්න සහ අත්විඳින්න ලැබුණු අත්දැකීම් එක්ක පෝෂණය වුණා. ඒත් එක්කම මුලින් ආපු අදහස් යම් යම් ආකාරයෙන් වෙනස් වෙන්නත් පටන් ගත්තා. ඒ සමහර අදහස් පසු කාලයක කෙටිකතා විදියට මගේ අතින් ලියැවුණා. සමහර කෙටිකතා මගේ හිතට ඇවිල්ලා අවුරුදු දහයකට, පහළොවකට පස්සෙත් ඒවා ලියැවුණු අවස්ථා තියෙනවා. පසු කාලයකදී නම් මම දිගටම ලිව්වා. වැඩියෙන්ම ලිව්වේ කෙටිකතා. කාලයක් තිස්සේ කෙටිකතා විශාල සංඛ්‍යාවක් ලිව්වාට මම වැඩිය නවකතා ලියලා නැහැ. ඇත්තටම මම ලියලා තියෙන්නෙ නවකතා දෙකයි. ඒ දෙකෙනුත් ප්‍රකාශයට පත් වුණේ එක නවකතාවයි.

මම ලියපු අනිත් නවකතාව අනපේක්ෂිත විදියට අස්ථානගත වුණා. ඒ නවකතාවට නම දාලා තිබුණේ ‘මනම්’ කියලයි. ඒක මනසේ ස්වභාවය විස්තර කෙරෙන විදියට ලියැවුණු නවකතාවක්. ‘වීරකේසරී’ ප්‍රකාශකයෝ ඒ නවකතාව පළ කරන්න භාරගත්තා. කතාවේ යම් යම් තැන් ටිකක් සංස්කරණය කරලා දෙන්න කියලා ඔවුන් ඒ නවකතාව මට ආපහු දුන්නා. මම ඒ නවකතාව සංස්කරණය කරලා නැවතත් ඔවුන්ට භාර දෙන කාලය වෙනකොට ලංකාවේ සිංහල - දෙමළ කෝලාහල පටන් අරගෙන තිබුණා. මට මතක විදියට ඒ, 1977 අවුරුද්ද. මම නවකතාවේ අත්පිටපත භාරදීලා ගිහින් ටික කාලයකට පස්සෙ ආපහු ඇවිල්ලා බලනකොට ඔවුන් ළඟ ඒක තිබුණෙ නැහැ. ඉතින් මම ඒ නවකතාව ගැන අදහස හිතින් අයින් කරලා දැම්මා. මගේ අනෙක් නවකතාව නම් පළ වුණා. ඒ නවකතාවට නම දාලා තිබුණෙ ‘ඉලමෙයි කෝලංගල්’ කියලා. ඒක තරුණ අය හැසිරෙන විදිය ගැන ලියැවුණු නවකතාවක්. ඒ නවකතාව පළ කළේ වීරකේසරී ප්‍රකාශකයො. ඉන් පසුව ඒ නවකතාවේ නැවත මුද්‍රණ කිහිපයක් ඉන්දියාවේත් පළ වුණා. මේ වෙනකොට මම කෙටිකතා පොත් දහයකට වැඩි සංඛ්‍යාවක්, නවකතාවක් සහ ළමා කතා පොත් රාශියක් ලියලා තියෙනවා. දමිළ භාෂාවෙන් ලියපු මගේ කෙටිකතා සංග්‍රහ තුනක් සහ ළමා කතා සියල්ලම වගේ සිංහල භාෂාවටත් පරිවර්තනය වෙලා තියෙනවා.

සිංහල භාෂාවට පරිවර්තනය වූ ඔබේ කෙටිකතා සංග්‍රහ මොනවාද?

මුලින්ම සිංහල භාෂාවට පරිවර්තනය වුණේ ‘කාට දොස් පවරමුද?’ කියන කෙටිකතා පොතයි. ඒ පොතේ කෙටිකතා දහයක් තිබුණා. එයින් පසුව ‘නොපෙනෙන පැති’ කියල තවත් පොතක් නමින් පළ වුණා. තවත් කෙටිකතා එකතුවක් ‘උත්තමාවී’ නමින් පළ වුණා. ඒ කෙටිකතා සිංහලට පරිවර්තනය කළේ මොහොමඩ් රාසුක් සහ අබේවංස දේවප්‍රිය කියන අයයි. ඊට අමතරව මගේ කෙටිකතා කිහිපයක් ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය වෙලා තියෙනවා. මම දිගටම කෙටිකතා ලියනවා. ඒ කෙටිකතාවලින් සෑහෙන සංඛ්‍යාවක් මේ වෙනකොට සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. මගේ අලුත්ම දෙමළ කෙටිකතා එකතුවත් පහුගිය දෙසැම්බර් 15 වැනිදා පළ වුණා. ඒ පොතට ඇතුළත් වෙන කෙටිකතා වැඩි ගණනකට පාදක වෙලා තියෙන්නෙ පශ්චාත් යුද සමයේ සිදුවීම්. ඒ කෙටිකතාත් ඉදිරියේදී සිංහල භාෂාවට පරිවර්තනය වෙයි කියලා මම හිතනවා. මගේ කෙටිකතා පොත්වලට තුන් වතාවක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා. මගේ දෙමළ කෙටි කතා පොත්වලට වගේම සිංහල භාෂාවට පරිවර්තනය වුණු කෙටිකතාවලටත් සම්මාන ලැබිලා තියෙනවා.

ඔබේ ළමා කතා ගැනත් විශේෂයෙන් යමක් කියනවා නම්?

මම ඉස්සර ළමා කතා ලිව්වේ නැහැ. ළමා කතා ලියන්න ඕන කියලා හිතුණෙ මගේ පුතාලාට කතන්දර කියාදෙන්න පටන් ගත්තාට පස්සෙයි. මගේ පුතාලා පොඩි කාලෙ ඒගොල්ලන්ට කතන්දර කියලා දෙන්න කියලා මට කරදර කරනවා. ඉතින් මම අහලා තිබුණු සාම්ප්‍රදායික කතා මම කියලා දෙනවා. ඒවා ඔක්කොම එකම ජාතියේ කතා. නරියායි, හාවායි, කපුටායි, ඉබ්බායි ගැන අපි කාලයක් තිස්සෙ අහලා තිබුණු ඒ කතාවලට වැඩිය රසවත් කතා ළමයින්ට කියලා දෙන්න මට හිතුණා. අපේ රටේ එකිනෙකා අතරෙ භාෂා ප්‍රශ්නය වගේ විවිධ ප්‍රශ්න තියෙනවානෙ. ඒවා අපේ ළමයි පොඩි වයසෙ ඉඳලාම ඒ අයට තේරුම් කරලා දෙන්න ඕන කියලා මම හිතුවා. ඉතින් මම ඒ වගේ කතා ගොතලා කියන්න පටන් ගත්තා. එතකොට පුතාලා හරි ආසාවෙන් ඒ කතා අහගෙන හිටියා. පස්සෙ මම හිතුවා ලංකාවේ අනෙක් ළමයින්ටත් දැනගන්න ඒ කතා ලියන්න ඕන කියලා. මම ළමා කතා ලියන්න පටන් ගත්තෙ ඒ විදියටයි. ඒ පොත් ශ්‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයෙන් එහෙම පළ කළා. ඒවා සිංහල භාෂාවටත් පරිවර්තනය වුණා. ඒ පොත් සිංහල භාෂාවට පරිවර්තනය වෙන එක හොඳයි කියලාත් මට හිතුණා. ඒ කාලය වෙනකොට උතුරේ ඇත්තටම මොකද වෙන්නෙ කියලා දකුණෙ ජනතාව දැනගෙන හිටියෙ නැහැ. යුද්ධය තිබුණු කාලයේ උතුරේ සහ දකුණේ හරි විස්තර අපි එකිනෙකා දැනගෙන හිටියේ නැහැ. ඒ කාලයේ උතුරේ ඉන්න අය දකුණ ගැන දන්නෙ නැහැ, දකුණෙ ඉන්න අය උතුර ගැන දන්නෙත් නැහැ. මාධ්‍යවලිනුත් හරි විස්තර කියන්නෙ නැහැ. විවිධ හේතු නිසා මාධ්‍යවලින් ඇත්ත ඒ විදියටම කියන්නෙ නැහැ. ඒ නිසා ලේඛක ලේඛිකාවො හරි ඇත්ත කියන්න ඕන කියලා මම හිතුවා. මගේ කතාවල තියෙන්නේ බොරු නෙවෙයි. මම බොහෝ වෙලාවට කතා ලියන්නේ ඇත්තටම සිද්ධ වෙන දේවල් ඇසුරින්. ළමා කතා වුණත් එහෙමයි.

මේ කෘති සිංහල භාෂාවට පරිවර්තනය වීම වැදගත් වන්නේ කෙසේද?

සිංහල සහ දමිළ අපි සියලු දෙනාටම එකිනෙකාගේ භාෂාව හරියට තේරුම් ගන්න බැරි වීම නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. උතුරේ සිද්ධ වෙන දේවල් ගැන දකුණේ ජනතාවට හරි අවබෝධයක් නැති වුණාම මාධ්‍යවලින් ඉදිරිපත් කරන ප්‍රවෘත්ති ඔවුන් විශ්වාස කරනවා. අපේ දේශපාලනඥයො කියන ඒවාත් මේ ජනතාව විශ්වාස කරනවා. ඕනම සමාජයක, ඕනම ජනතාවකට දේශපාලනයක් තියෙනවා. ඇත්තටම දේශපාලනය නැතිව ජීවිතයක් නැහැ. ඒ නිසා දේශපාලනය තියෙන්න ඕන. හැබැයි ලංකාවේ තියෙන දේශපාලනය තුළ මොන පක්ෂ නියෝජනය කරන අය වුණත් සමහරු වැඩ කරන්නෙ ජනතාව නරකාදියට ඇදගෙන යන විදියටයි. යහපත් විදියට වැඩ කරන්න උත්සාහ කරන බොහෝ දේශපාලනඥයන්ට තැනක් නැහැ. බොහෝ වෙලාවට අපේ දේශපාලනඥයො පටු අරමුණු ඇතිව ජනතාවගේ තරහකාරයො වගේ වැඩ කරනවා. අපි ලේඛකයන් සහ කලාකරුවන් වශයෙන් මේ තත්ත්වය විසඳගන්න පුළුවන් විදියට දායක වෙන්න ඕන කියලා මම හිතුවා. එහෙම හිතලා මගේ කෙටිකතා කිහිපයක් තෝරගෙන සිංහල භාෂාවට පරිවර්තනය කළා. ඒ කෙටිකතා එකතුව ‘කාට දොස් පවරමුද?’ කියන නමින් සිංහලෙන් පළ වුණා.

ලංකාවේ කලබල තිබුණු කාලයේ තමයි ඒ පොත පළ වුණේ. මම එතකොට ඒ පොතට මගේ දුරකථන අංකය හෝ වෙන කිසිම විස්තරයක් දාන්න දුන්නෙත් නැහැ. එහෙම කළේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙයි කියලා හිතලයි. හැබැයි පස්සෙ කොහොම හරි මගේ අංකය හොයාගෙන ගාල්ල වගේ පැතිවල සිංහල පාඨකයොත් මට හරිම හිතවත්ව කතා කරලා මම මේ ලියලා තියෙන දේවල් ඇත්තද කියලා ඇහුවා. අහිංසක දමිළ මිනිස්සු බෝම්බවලට අහුවෙලා මැරුණු සිද්ධි ගැන දැනගත්තාම ඒ අය පුදුම වෙලා තිබුණා. ඔවුන් හිතාගෙන ඉඳලා තිබුණේ මාධ්‍යවලින් කියැවුණු විදියට ඒ බෝම්බ පිපිරෙව්වේ කොටි කියලයි. උතුරේ වගේම දකුණෙත් සිද්ධ වුණේ ඒ වගේ දේවල්. ඒ කාලයේ හිටපු ගමන් බස්වල බෝම්බ පුපුරනවා. අහිංසක මිනිස්සු බස්වලට නගින්න බයයි. ඒ වගේ තත්ත්වයක්නෙ ඒ කාලයේ මේ රටේ තිබුණෙ. දේශපාලනඥයො සහ අවස්ථාවාදී පිරිස් ඒ තත්ත්වයෙන් වාසි ලැබුවා.

සිදු නොවිය යුතු ඒ දේවල් නැවත සිදු නොවෙන්න නම් සිංහල - දෙමළ භේදයකින් තොරව අපි කවුරුත් එකට එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරන්න ඕන. අපි එකිනෙකාගේ භාෂාවන් අපි ඉගෙනගන්න ඕන. අපි එකිනෙකා ජීවත් වෙන්නෙ කොහොමද කියලා අපි දැනගන්න ඕන. එකිනෙකාගේ ප්‍රශ්න මොනවද කියලා අපි දැනගන්න ඕන. ඒ විදියට එකිනෙකා තේරුම් අරගෙන සාමයෙන්, සහයෝගයෙන් ජීවත් වෙන්න ඕන. මේ කිසි දෙයක් ගැන හිතන්නෙ නැතිව සමහරු කටයුතු කරපු නිසා අපි එකිනෙකා අතර අනවශ්‍ය ප්‍රශ්න ඇති වුණා. මම මේවා ගැන මගේ කෙටිකතාවල ලිව්වා. ඒවා කියවලා බොහෝ අය මට කතා කරලා ප්‍රශංසා කළා. මගේ කෙටිකතා හැම එකක්ම වගේ සැබෑ අත්දැකීම් පාදක කරගෙන ලියපු නිසා ඒවා බොහෝ සාර්ථක වුණා කියලා මම හිතනවා. ඒ වගේ නිර්මාණ පරිවර්තනය වීම හරි වැදගත් කියලයි මම හිතන්නෙ. යාපනයේ හෝ වෙනත් පළාත්වල ඉන්න දෙමළ ජනතාව ගැන අපි ලියන දේවල් සිංහල භාෂාවට පරිවර්තනය වෙලා මේ රටේ සියලු පළාත්වල ඉන්න සිංහල ජනතාව අතරට යන්න ඕන. ඒ වගේම සියලු පළාත්වල ඉන්න සිංහල ජනතාව ගැන සිංහලෙන් ලියැවෙන දේවල් දෙමළ භාෂාවට පරිවර්තනය වෙලා දෙමළ ජනතාව අතරටත් යන්න ඕන.

යාපනය ආශ්‍රිත පශ්චාත් යුද සාහිත්‍යය ගැන ඔබේ අදහස කුමක්ද?

පශ්චාත් යුද සාහිත්‍යය එහි තවම හරියට වර්ධනය වෙලා නැහැ. ඒත් දැන් ක්‍රම ක්‍රමයෙන් එවැනි සාහිත්‍යයක් යාපනය ආශ්‍රිතව මතු වෙමින් තියෙනවා. විශේෂයෙන්ම කොටි සංවිධානයට සම්බන්ධ වෙලා හිටපු සමහර අය ඒ සංවිධානය සම්බන්ධ අප්‍රකට තොරතුරු පාදක කරගෙන දමිළ භාෂාවෙන් ලියන පොත් පළ වෙන ප්‍රවණතාවක් තියෙනවා. මෑතකදී තමිලිනී ලියපු පොත් කිහිපයකුත් පළ වුණා. ඒවා සිංහල භාෂාවටත් පරිවර්තනය වුණා. යුද්ධය තිබුණු කාලයේ ලියපු නැති අය දැන් අලුතින් ලියන්න පටන් අරගෙන තියෙනවා. ඒ ඔස්සේ පශ්චාත් යුද සාහිත්‍යය ඉදිරියේදී දියුණු වෙයි කියලා හිතන්න පුළුවන්.

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා සාහිත්‍යය වැදගත් යැයි ඔබ විශ්වාසද කරනවාද?

සාහිත්‍යයෙන් සංහිදියාව ඇති කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන කියන්න අපි හරියටම දන්නෙ නැහැ. ඒත් අපි ඒ සඳහා කිසියම් උත්සාහයක් දරන්න ඕන. දේශපාලනඥයො සහ මාධ්‍ය ඇත්ත කතා කරන්නෙ නැති නම් අපි සාහිත්‍යයෙන් හෝ ඒ කටයුත්ත කරන්න ඕන. ඇත්තටම සාහිත්‍යයෙන් ඒක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා