THE ALCHEMIST මගේ හැම දෙයක්ම වෙනස් කළා : පාවුලෝ කොයියෝ

 ඡායාරූපය:

THE ALCHEMIST මගේ හැම දෙයක්ම වෙනස් කළා : පාවුලෝ කොයියෝ

පාවුලෝ කොයියෝගේ අලුත්ම නවකතාව

Hippie ය. එය ඔහුගේ 20 වෙනි නවකතාව වන අතර ඒ සැලකෙන්නේ ස්වයංචරිතාපදානමය ප්‍රබන්ධයක් ලෙසය. මේ, Hippie කෘතිය පිළිබඳව වෙබ් අඩවියක් හා සඟරාවක් ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා දෙකකි. පළමු සාකච්ඡාව පවත්වනු ලබන්නේ CLARIAN නම් වෙබ් අඩවිය වෙනුවෙනි. ඒ පවත්වන්නේ පැට්‍රීසියා සුවරේස් නම් මාධ්‍යවේදිනිය විසිනි. දෙවන සම්මුඛ සාකච්ඡාව පවත්වනු ලබන්නේ ‘ටයිම්’ සඟරාව වෙනුවෙන් ලුකස් විට්මන් විසිනි.

 

සම්මුඛ සාකච්ඡාව 1

Hippie සැලකෙනුයේ ආත්ම විවරණ ප්‍රබන්ධයක් (Self - Fiction) ලෙසයි. ඔබ පවසන්නේ එහි එන සිදුවීම් සැබැවින්ම සිදු වූ බවත්, ඔබ කළේ ඒවා පාඨකයා වෙනුවෙන් ප්‍රබන්ධ ෆිල්ටරය තුළින් යැවීම පමණක් බවත්. ඔබේම චරිතය එහි ඇතුළත් වීම ඔබට දැනෙන්නේ කෙසේද?

මගේ හැම පොතක්ම මගේ ආත්මයේ පිළිබිඹුවක්. එහිදී The Pilgrimage, The Valkyries වගේ සමහර නවකතා මාව වඩා හොඳින් පිළිබිඹු කරද්දි අනෙක් ඒවා ඊට වඩා අඩුවෙන් පිළිබිඹු කරනවා. මම මේ ප්‍රබන්ධය ලිව්වෙ ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන්. මොකද එවිට මාව බලාගන්නත්, ඒ ඒ සිදුවීම් සිදු වූ ඇසිල්ලේ දකිනවාට වඩා ඈත සිට දකින්නත් හැකි වෙනවා. පුදුමයකට මේ ප්‍රබන්ධය එකල අපට තිබූ නිදහස නැති කළ මුළුමනින් ගතානුගතික සමාජවල දැන් සිදු වන දේ නිරීක්ෂණය කරවනවා. ඇත්ත තමයි. මං නිර්මාණය කළ හැම චරිතයක්ම මමම තමයි. ඒත් Hippie නවකතාවේදී මාව වඩාත් පිටතට පේනවා. මම ඔහු (චරිතය) වෙනවා.

Hippie කියන්නෙ චාරිකා සිනමාපටයක් (Road Movie) වගේ. (කතානායකයාගේ චාරිකාවක් පදනම් වන සිනමාපටයක් වගේ.) එය වෙනස් වෙනස් භූවිෂමතා සහිත ප්‍රදේශ හරහා යන සාම්ප්‍රදායික චාරිකා සිනමාපටයක්. ඒවගේම එය ආධ්‍යාත්මික චාරිකා සිනමාපටයක්ද වෙනවා. එහිදී කතානායකයා තමාගේ පෞද්ගලිකත්වයේ සංවර්ධනයයි සොයා යන්නේ. එතැනදි ඔහු සම්ප්‍රදායික වීර චාරිකාකරුවන් සේම සිද්ධි දාමයක් අත්දකිනවා - එය කතුවරයාගේම ජීවන චාරිකාව වෙනවා. පැරණි ප්‍රේමය, අත්අඩංගුවට ගැනීම්, අත්අඩංගුවට පත් වූ පසු නීති විරෝධී හමුදා මගින් වන වධදීම්, ඇම්ස්ටර්ඩෑම් චාරිකාව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වීමට ලැබෙන ආරාධනා, අලුත් ප්‍රේමයක්, හරේ ක්‍රිෂ්ණා ව්‍යාපාරය, සුෆිදහම, නේපාලයට චාරිකාවක් - ඔහු තමාගේ අරමුණට ළඟා වෙනකන් මේ සිදුවීම්වලට මුහුණ දෙනවා.

නවකතාව ගලා යන ආකාරය ඔබ මුළුමනින් සැලසුම් කළාද? නැත්නම් එය චාරිකා සිනමාපටයක් සේ සලකා ඔබ චරිතවල අත්දැකීම් හා ඔවුන්ගේ ඕනෑඑපාකම් අනුව කතාව ගොඩනැඟෙන්න සැලැස්වූවාද?

සංචාරය හිපි ව්‍යාපාරයේ ප්‍රධාන අංගයක්. කෙනෙක් තව කෙනෙක් හඳුනාගන්නේ සංචාරවලදීයි. මම මෙහිදී කිසිවක් සැලසුම් කළේ නෑ. මම කතාව දිගහැරෙන විධියට ලියාගෙන ගියා. මං මේ පොත ලිව්වෙ අද මිනිස්සු මොනවා කරන්නත් බයක් දක්වන බව පෙනී ගිය නිසයි. අද ඔබට කිසිවකුගෙන් පහර නොකා වමටවත්, දකුණුටවත් හැරෙන්න බෑ. සරලවම මං ලිව්වෙ මගේ අත්දැකීම්. අත්දැකීම් පාදක කරගත් කතා තමයි සාහිත්‍යයට හරියටම ගැළපෙන්නේ. හරියට දුම්රිය වගේ. මෙවර ඒ දුම්රිය ඇදෙන්නේ අතීතයටයි.

ලේඛකයකු හෝ කලාකරුවකු ලෙස හිපි ව්‍යාපාරය ඔබට කොපමණ බලපෑවාද?

මගේ ජීවන දෘෂ්ටිය හැඩගැසුවේ හිපි ව්‍යාපාරයයි. හිපි ප්‍රජාව ලෝකය පිළිබඳ වෙනම අදහසක් ඇතිව පැමිණි විට ඔවුන්ගේ අදහස් එක්ක මං මුළුමනින් එකඟ වුණා. එදා හිපි ව්‍යාපාරය පැවති කාලය ඉතා මර්දනකාරී සමයක් බව කෙනෙකුට සිහි කරන්න පුළුවන්. එදා කෙනෙක් අනෙකාගෙන් වෙනස් වුණොත් කොයි විධියකින් හරි ඔහු පහර කෑමට ලක් වුණා.

හිපි ව්‍යාපාරයට මේ ලොව සුභවාදී දෙසට වෙනස් කරන්න පුළුවන් වුණා යැයි ඔබ සිතනවාද? එය පැවති කාල පරිච්ඡේදය තුළ ඔබ ඉගෙනගත් දේ සමහරක් අපි නැවත භාවිතයට ගත යුතුද?

හිපි ව්‍යාපාරය ප්‍රායෝගික නොවන එකක් හෝ න්‍යායාත්මක එකක් හෝ ධනවාදී විරෝධී හෝ වුණේ නෑ. එය අපේ සමාජයෙන්ම පැනනැඟුණු දෙයක්. සමාජය එක්ක ඝට්ටනය වෙනුවෙන්ම එදා අපට ගැටුම්වලට යන්න ඕන වුණේ නෑ. අපට ඕන වුණේ මහා සමාජයෙන් විතැන් වූ වෙනම සමාජයක් ගොඩනඟන්නයි. සමහර විට අපි එසේ සිතීම අපේ බොළඳකම වෙන්න පුළුවන්. කාන්තාවන් පිළිබඳව, ආහාර, ගමන් බිමන් හා මෝස්තර පිළිබඳව වෙනස්ම ඇගයීම් පද්ධතියක් සහිත සමාජයකුයි අපි ප්‍රාර්ථනා කළේ….. හිපිවරුන්ට ලෝකය හොඳ අතට වෙනස් කරන්න පුළුවන් වුණේ නෑ. මොකද ලෝකය අද මොන තරම් විනාශකාරී තැනකට පත් වෙලාද කියල අපට පේනවා. ඒත් එදා හිපිවරුන් ලෝකය වෙනස් විධියට දකිමින් ඔවුන්ගේ හොඳ අතට ඔවුන්ට වෙනස් වෙන්න පුළුවන් වුණා. ඔවුන් තවමත් ලෝකය දකින්නෙ ඒ විධියේ වගකීමකින්. සහයෝගයකින්. ඒක තමයි හිපිවරුන්ගේ ආවේණික ලක්ෂණය.

 

ඔබේ කෘතියේ තැනක ගීත ඇසිය හැකි වෙබ් අඩවියක් (Spotfy) සඳහන් කරලා තියෙනවා. ඔබ පාඨකයාට ඒ සිංදු අසමින් නවකතාව කියවන්න කියල යෝජනා කරනවාද?

නෑ. එහෙම කරන්න බෑ. මොකද පොත කියවන්න විශේෂ අවධානයක් ඕන වෙනවා - මේ නිසයි මම මගේ පොත් සිනමාවට නඟන අදහසට එකහෙළාම විරුද්ධ. ඊට මම මගේ කර්තෘ අයිතිය විකුණන්නෙ නෑ. (එහෙත් කොයියෝගේ පොත්වලින් නිපදවන ලද සිනමාපට ස්වල්පයක් ඇත.)

සම්මුඛ සාකච්ඡාව 2

ඔබේ අලුත්ම නවකතාව වන Hippie සඳහා පදනම් වන්නේ ඔබ 1970 ගණන්වල දකුණු ඇමෙරිකාව හා යුරෝපය ගවේෂණය කරද්දී ලැබූ අත්දැකීම්. ඇයි ඔබ මේ කතාව ලියන්නේ?

අද අපට අපේ අසල්වාසීන්ට කීමට ඇති දේ අහන්න තියෙන හැකියාව නැති වෙලා තියෙනවා. අපි අතර විනීත සාකච්ඡා - සංවාද සිදු වෙනවා. ඒත් වැදගත්ම දේ, අපි ඔවුන්ට ඇහුන්කම් දෙන්නෙ නෑ. අපි හොඳ හැටියට බලාපොරොත්තු තියාගත් කාලයක් තිබුණා. එදා අපි හිතුවා අපි ලෝකය වෙනස් කරන්න යනවා කියල.

හිපි ජීවිතයේ අඳුරු පැත්තක් තිබුණා කියල ඔබ හිතනවාද?

මත්ද්‍රව්‍ය, ලිංගික සම්භෝගයන් එහි තිබුණා. අඳුරු පැත්ත ඒවාය කියල මං කියන්නෙ නෑ. මත්ද්‍රව්‍ය ලෝකයට ‍අන්තරායකාරී වන්නේ කොහොමද යන්න ප්‍රවර්ධනය කරන්න හුඟක් සල්ලි වියදම් කරලා තියෙනවා. ඇත්තටම මත්ද්‍රව්‍ය ලෝකයට අන්තරායජනකයි. ඒත් එදාට වඩා අද මත්ද්‍රව්‍ය අනතුරුදායී කියල මම හිතනවා.

ඔබේ පරම්පරාවට සමාජය ගැන අවබෝධ කරගන්න බැරි වුණේ මොනවාද?

වරක් හිපියෙක් නම් හැම විටම හිපියෙක් කියල මගේ පරම්පරාව අවබෝධ කරගත්තේ. ඒත් අද (ස්විට්සර්ලන්තයේ) ජීනීවාවල සුවපහසු ලෙස වාඩිගෙන ඉන්න මට හිපියෙක් වෙන්න බෑ. ඒත් මං එහෙම වෙනස් වුණත් මගේ ඇගයීම් එදා වගේමයි: ජීවිතය සරලව ගෙවීම, සෞඛ්‍යමත් ලෙස කෑම, කාන්තාවන්ට ගෞරව කිරීම එහෙමමයි. මගේ පරම්පරාව සංචාරය කිරීමට ඇති මනසත්, ආසාවනුත් අවබෝධ කරගත්තා - ඒත් අපි (හිපිවරුන් සහ සෙස්සන් වශයෙන් නොබෙදී) අප එකිනෙකාට සහයෝගය දක්වා ගන්න වෙලාව ආවා. ඒත් මේ දෙපිරිස අතර සමගි සන්ධානයක් ඇති කරගැනීම දුෂ්කර වුණා.

ඩොනල්ඩ් ට්‍රම්ප් හිපි සංස්කෘතියේ නරක පැත්ත නිරූපණය කරනවාද?

මම ට්‍රම්ප් ගැන අදහස් දක්වන්නෙ නෑ. ට්‍රම්ප් කියන්නෙ ඇමෙරිකාවේ ප්‍රශ්නයක්. මිනිස්සු මගේ රට ගැන කථා කරනවා. කථා කරලා කොහොමද මගේ රට ගැටගැහිලා තියෙන්නෙ කියල අදහස් ප්‍රකාශ කරනවා. ඒක මම පිළිකුල් කරනවා. ඇමෙරිකාව හැම දේකටම වගකිව යුතු යැයි කියමින් ඉන්නවාට වඩා තමන් දිවි ගැට ගසාගන්නෙ කොහොමද කියල මිනිස්සු ඉගෙනගත යුතුයි.

Hippie නවකතාවේ කතානායක චරිතය වන පාවුලෝගේ හා ඔහු සමඟ චාරිකාවේ යෙදෙන කාර්ලාගේ කතාවේ නැතිවම බැරි දේවල් මොනවාද?

අපි දෙදෙනා ජීවිතය ගැන සහ එහි වෙන්න පුළුවන් දේවල් ගැන ඉතා කුතුහලයෙන් ඉන්න දෙදෙනෙක්. කාර්ලා කියන්නෙ මට නේපාලයට යන්න කථා කළ කාන්තාවයි. මං ඈ එක්ක ගියේ ජීවිතයේ වැදගත්ම දේ අත්දැකීම් වූ නිසයි - තවමත් මට අත්දැකීම් තමයි ජීවිතයේ වැදගත්ම දේ. කාර්ලාටත්, මටත් එම චාරිකාවේ නියැලෙන්න හැකි වුණා. එහිදී අපි දෙදෙනාම ඒ වෙනුවෙන් අපේ ජීවිත අවදානමේ හෙළන්න කැමති වුණා. නවකතාව මාව බන්ධනාගාරගත කිරීමත්, වදහිංසාවට ලක් කිරීමත් කථා කරනවා. මොකද හමුදා ඒකාධිපතිත්වය අපිව තේරුම් ගත්තෙ නෑ.

මේ චරිත දෙකේ එකිනෙකා අතර පවතින්නේ සංකීර්ණ ප්‍රේමයක්. ඈ සමඟ සැබෑ ජීවිතයේදී ඔබේ ප්‍රේම සම්බන්ධයක් තිබුණාද?

ප්‍රේම සම්බන්ධයක් නොතිබුණා කියල මට මතක නෑ. හුඟක් වෙනස් විධියේ ප්‍රේම සබඳතා තියෙනවා. ‘ඊරෝස්’, ඒ කිව්වෙ කෙනෙක් තවත් කෙනෙකුට දක්වන ප්‍රේමයන් තියෙනවා. ‘ෆිලියා’, එනම් ප්‍රඥාවට දක්වන ප්‍රේමයන් තියෙනවා. ‘ප්‍රැග්මා’, සියල්ලට එහා යන ප්‍රේමයන් තියෙනවා. ඒ අතින් මම විවාහ වෙලා අවුරුදු 38ක් වෙනවා. මට මගේ බිරිඳ නැතිව මගේ ජීවිතය දකින්න බෑ. මං නිදාගන්න යන හැම විටම මං ඇය දකිනවා. ඇය එතකොටත් නින්දෙ. එතකොට මං හිතනවා “දෙවියනේ, මේක තමයි මං ජීවිතයේ ලැබූ ලොකුම ආශීර්වාදය. මාව තේරුම් ගත් කෙනා සොයාගැනීම තමයි ලොකුම ආශීර්වාදය” කියල.

ඔබේ නම් දැරූ කෘතිය වන Alchemist පළ වී ගත වූ වසර 30 දිහා ආපසු හැරී බලද්දි ඔබේ ජීවිතය වෙනස් වී ඇතැයි ඔබ කියන්නේ කෙසේද?

Alchemist මගේ ජීවිතයේ හැම දෙයක්ම වෙනස් කළා. මට අවුරුදු 40දි මා ලිවීම ආරම්භ කළ ක්‍රියාවලිය හරිම මන්දගාමී එකක්. ඉතින් මට ඊට හැඩගැහෙන්න වෙලාව තිබුණා. මට එහිදී පිස්සු හැදුණේ නෑ. මොකද මං ගියේ බිංදුවේ ඉඳලා ලොකු මුදලක් ඇති තැනට. (ලේඛකයකු ලෙස) ඔබ කළ යුත්තේ ඔබේ ආත්මය ප්‍රකාශ කරන සැටි ඉගෙනීමයි. මම තවමත් කරමින් ඉන්නේ ඒක. මං මැරෙන දවස වෙනකන් මට ලියන්න පුළුවන් වෙයි කියල මං බලාපොරොත්තු වෙනවා.

ඔබේ කෘති අතරින් එකක් නොපමාව සිනමාපටයක් විධියට එනවා දකින්න අපට පුළුවන්ද?

බෑ. මගේ පොත් සිනමාපට විධියට මම කවදාවත් දකින්නෙ නෑ. The Alchemist නවකතාව ඇමෙරිකාවේ නිකුත් වූ වෙලාවේ එය ක්ෂණයකින් හොලිවුඩයට අලෙවි වීම මාව පිස්සු වැට්ටුවා. නැත්නම් මාව ආඩම්බරයට පත් කළා. පොතක් සිනමාපටයක් වූ පසු පොත වැඩිදියුණු වෙන්නෙ නෑ. පොතක් කියන්නෙ පාඨකයාගේ නිර්මාණශීලීත්වය උත්තේජනය කරන දෙයක්. සිනමාපටයක - සියල්ල ඔබට දකින්න ලැබෙනවා. (එහි නිර්මාණශීලීත්වය මතු කරන්න දෙයක් නෑ.)


පාවුලෝ කොයියෝගේ කතා කලාව

1. අදහස් සොයා නොයන්න. පළමුව ජීවත්වෙන්න

ලේඛකයකු ලිවීමට අදහස් සොයාගන්නේ කෙසේද? එනම් ඔහු අත්දැකීමක් ලැබූ සැටියේ එය ලිවීමට කොතැන හෝ සටහන් කරගන්නේද? නැත්නම් ලිවීමට කියා අත්දැකීම්, අදහස් සොයා යන්නේද? මේ ප්‍රශ්නයට කොයියෝ දෙන පිළිතුර නම් ඔහු අදහස් සොයා නොයන බවත්, ඔහු කරන්නේ සුපරුදු ලෙස ජීවිතය ගෙවීම පමණක් බවත්ය. ඔහු පවසන්නේ වේලාව ආ විට තමාගේම අත්දැකීම් වුව ඔහු ලියන බවය. අපේ මතකයේ රඳා පවතින්නේ අපට වැදගත්. අත්දැකීම් පමණක් බවත්, අපට අමතක වී යන්නේ නොවැදගත් අත්දැකීම් බවත් ඔහු සඳහන් කරයි. එනිසා ලිවීමට සුදුසු අදහස් සොයා කරදර නොවන්නැයි ඔහු සඳහන් කරයි.

එසේම යමක් ලිවිය යුත්තේ කුමන කාලයකදැයි තීරණය කරනු ලබන්නේද කතුවරයා විසින් නොව බොහෝ විට ලිවීමට යන පොත විසින් බවද කොයියෝ අවධාරණය කරයි. ඒ අනුව පොතක් ලිවීමට ලකලෑස්ති නම් කතුවරයා යනු (පොත ලියන්නා නොව) පොත ටයිප් කරන මාධ්‍යය (උපකරණය) පමණකි. ඉදින් අත්දැකීම් - අදහස් සොයා නොයන්නැයි, ජීවිතය විඳීමටම විවෘත වන්නැයි පාවුලෝ කොයියෝ කියා සිටී. ලියන අත්දැකීම් සොයා සොයා ගියහොත් එතැන ජීවිතයක් නැති බැවිනි.

2. තමාගේ කතාව අවතක්සේරු නොකරන්න

කෙනෙකුට ඔහු ලියන පොත ගැන, එහි කතාව ගැන ආත්ම විශ්වාසයක් තිබිය යුතුය. “ඔබට ඔබ අවතක්සේරු කරගත නොහැකියි. ඔබට ඔබ ලියන කතාව හරි යන්නේ නැතැයි අනාරක්ෂිත හැඟීමක් ඇති විය නොහැකියි. දැන් පළ වූ පොත බැහැර කර ඔබට ඔබේ ඊළඟ පොත අලෙවි කළ නොහැකියි” යැයි කොයියෝ සඳහන් කරයි. ඇතැම් ලේඛකයන් නිතර කියන “මගේ ඊළඟ පොත එනකන් පොඩ්ඩක් ඉන්න. ඒක මීට වඩා හුඟක් හොඳයි” යන ප්‍රතිචාරය හෙළා දකින ඔහු පවසන්නේ කෙනෙකුට තමා ලියන පොත ගැන ආත්ම විශ්වාසයක් තිබිය යුතු බවත්, එය පාඨකයා සමඟ හොඳ ගනුදෙනුවක් කරනු ඇතැයි විශ්වාස විය යුතු බවත්ය.

3. විචාරකයන් කියන දේවල් වුවමනාවට වඩා නොතකන්න

ඔබ ලේඛකයකු නම් ඔබේ රාජකාරිය වන්නේ ලියමින් නව අදහස්වලට විවෘත වීමය. ලියද්දී විවේචනය කරන අය ඕනෑ තරම් සිටිය හැකිය. ඒ ගැන අසුභවාදී නොවිය යුතු යැයි කොයියෝ සඳහන් කරයි. කෙනෙකු විවේචනය කරන්නේ ඔහු ඔබ ලියූ දේ කියවා ඇති නිසාය. ඒ අනුව වඩ වඩා විවේචනය වැඩි පිරිසක් ඔබේ කෘතිය කියවීමට සාක්ෂියකි. එනයින් එය ආඩම්බරයට කරුණක් විය යුතු බව ඔහු සඳහන් කරයි.

4. ලියන දේට ඔබේ ආත්මය ඇතුල් කරන්න

කෙනෙකු ලියන්නේ ඔහුගේ පෞද්ගලික, ආත්මික දේවල්ය. ලිවීමේ ක්‍රියාවලිය දුෂ්කර විය හැකිය. එහෙත් ප්‍රබන්ධයට ආ යුත්තේ ඔබේ ආත්මික දේය. ලියන දේ ඔබේ ආත්මයේ කොටස් වන අතර ලියන දෙයින් ආත්මය පිළිබිඹු කළ යුතුය. ඉදින් ලිවීමේදී අවධානය යොමු කළ යුත්තේ ලියන දේට ඔබේ අත්දැකීම්, හැඟීම් සහ ආත්මය ඇතුල් කිරීමට හා ඒවා පාඨකයා සමඟ බෙදා ගැනීමට යැයි පාවුලෝ කොයියෝ සඳහන් කරයි.

 පරිවර්තනය [එස්. පල්ලියගුරුගේ]

මාතෘකා