ඉතිහාස කතාව ප්‍රබන්ධයකට ගැනීමේදී එහි සාහිත්‍ය ගු ණය තබා ගත යුතුයි

 ඡායාරූපය:

ඉතිහාස කතාව ප්‍රබන්ධයකට ගැනීමේදී එහි සාහිත්‍ය ගු ණය තබා ගත යුතුයි

කේ. සුනිල් ශාන්ත

කේ. සුනිල් ශාන්තගේ ‘කුරුඳුවත්ත’ නවකතාව පසුගියදා නිකුත් විය. අගහස් ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇති මෙහි පසුබිම වන්නේ මීට සියවසකට පෙර ඉංග්‍රීසි පාලන සමයයි. ඉංග්‍රීසි පාලන සමය තුළ සිංහල වැඩවසම් සමාජයේ ස්වරූපය පෙන්වන මෙය කතුවරයා ඓතිහාසික තේමාවක් කරා යන ප්‍රථම අවස්ථාවයි. ඉදින් මේ, කේ. සුනිල් ශාන්ත සමඟ ‘කුරුඳුවත්ත’ නවකතාව පිළිබඳව අප පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ඉතිහාස කතාවක් ප්‍රබන්ධයකට ගැනීමේදී ලේඛකයාගේ කාර්යභාරය කුමක්ද?

පළමුව ඉතිහාසය ලිඛිත සාක්ෂි සහ සාධකවලින් යුක්ත නිසා අපි එහි සත්‍යතාව රැකිය යුතුයි. එමෙන්ම ඊට වෙනත් අර්ථයක් දෙන්නේ නම් ඒ සඳහා පිළිගත හැකි කරුණු ඉදිරිපත් කළ යුතුයි. ඇතැම් විට එසේ ඉදිරිපත් කරන කරුණු තහවුරු නොවූ කරුණු විය හැකියි. නමුත් ඒ මත තර්කානුකූල මෙන්ම විශ්වසනීයත්වයක් තිබිය යුතුයි. උදාහරණයක් ලෙස මෙම කතාවේ එන දස්කොන් අධිකාරමට මරණ දඬුවම දීමෙන් කෙළවර වන ප්‍රෙමිලා - දස්කොන් ආදර අන්දරය හුදෙක් ආදර අන්දරයක් ලෙස ගැනීමට නොහැකි බව පැවසෙනවා. ඒ සඳහා රජවාසල නිලමක්කාරයන්ගේ බල ලෝභය මෙන්ම යකඩ දෝලියන් හෙවත් අන්ත:පුර පරිවාර බිසවුන්ගේ ඊර්ෂ්‍යාවද බලපාන්නට ඇති බවට සාධාරණ අදහසක්ද කියවෙනවා. දෙවැන්න ඉතිහාස කතාව සාහිත්‍යමය ලෙස ඉදිරිපත් කිරීමේදී එහි සාහිත්‍ය ගුණය දුර්වල නොකොට පවත්වා ගත යුතු වෙනවා. ඒ සඳහා කලාත්මක වශයෙන් වන ප්‍රයෝග සහ උපක්‍රම යොදාගත යුතු වෙනවා. එම උපක්‍රම මගින් තමයි පාඨකයා රඳවා තබා ගැනීමට හැකි වන්නේ. ඇතැම් විට එය පරිසර වර්ණනාවක් විය හැකියි. නැත්නම් ශෘංගාරය උත්පාදනය වන සිදුවීමක් විය හැකියි.

එමෙන්ම මෙහිදී තව කරුණක් සිහි තබා ගැනීම අවශ්‍යයි. එනම් ඉතිහාස කතාවක් නිසාම ඒ යුගයට අයත් සියලු තත්වයන් සැලකිල්ලට ගැනීමයි. මේ අවශ්‍යතාව නිසා මේ කෘතියේ ඇතැම් තැන්හි වර්තමානයේ නොසුදුසු යයි සැලකෙන නැතිනම් භාවිතාවේ නැති වචනත් යොදාගත්තා. එම වචන එකල සැබෑ ලෙසම භාවිත වුණ ඒවා බව නිශ්චය කර ගැනීමෙන් පසුවයි යොදා තිබෙන්නේ. එමෙන්ම පරිසරය වුණත් එකල තිබෙන්නට ඇති යැයි උපකල්පනය කළ අන්දමටයි යොදාගෙන තියෙන්නේ. මේ ලක්ෂණ නැති වුණොත් එය ඓතිහාසික වන්නේද යන ප්‍රශ්නය මතුවිය හැකියි. මම හිතන්නේ සාහිත්‍ය කෘතියක තිබිය යුතු වෙනත් ලක්ෂණ වගේම මේ කරුණුත් සම්පූර්ණ කර තිබීම ලේඛකයාගේ වගකීමක්.

‘කුරුඳුවත්ත’ සංකේතමය වශයෙන් තීරණාත්මක රූපකයක්. ඔබ නවකතාව තුළ එහි හැඩරුව කෙතරම් දුරට සලකුණු කරනවාද?

අපේ රටේ අද පවා බහුලව තිබෙන මතවාදය තමයි විදේශ ආධිපත්‍යයන්ට ලංකාව ගොදුරු වුණේ නැතිනම් අපේ රට මීට වඩා දියුණුයි කියන පට්ටපල් බොරුව. එය ඓතිහාසික වශයෙන්ම මිථ්‍යාවක්. ඒ වගේම සංඝ සමාජය මෙන්ම ආගම හිස් මුදුනින් ගත් නමුත් විවිධාකාරයෙන් මුදල් ඉපයීමම සිය අරමුණ කරගත් සමාජ ස්තරයන් අද මෙන්ම එකලද රාජ්‍ය යන්ත්‍රයට බලපෑම් කළා. මේ දේවල් මම නවකතාවට ගන්න වෑයම් කළා. ඒවගේම තුන්වනුව ලංකාවේ අද පවා ඇති අර්ධ ධනපති ක්‍රමය බිහි වීමට පෙර ඒ සඳහා පාදක වුණ ඉඩම් හිමි, විශාල වගාවන් හිමි සහ රේන්ද ව්‍යාපාරය හිමි පන්තියේ නැඟීම සලකුණු කිරීමටත් මම උත්සාහයක් ගත්තා. තවදුරටත් අද මෙන්ම එදාද දේශපාලනය හරහා රාජ්‍ය යන්ත්‍රයට අරක්ගෙන සිටින පරිභෝජනවාදී පැලැන්තිය ගැන කීමටත් උත්සාහ කළා.

ලංකාවේ පසුකාලීන ධනපති පන්තිය බිහි වන්නේ විදේශික ආක්‍රමණිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ප්‍රභූන් හරහායි. ඔවුන් ප්‍රභූත්වයට පත්වන්නේත් විදේශිකයන්ට පක්ෂපාත වීමෙනුයි. නමුත් ඔවුන්ගෙන් සිදු වන සේවය තමයි ඓතිහාසික වශයෙන් අවශ්‍යව තිබූ වැඩවසම් ක්‍රමය පරයා ධනපති ක්‍රමය ඔසවා තැබීම. මේ පොතේ ධනපති ක්‍රමයේ නැඟීම ගැන වැඩි අවධානයක් නැහැ. සඳහන් වන්නේ වැඩවසම් ලක්ෂණයි. නමුත් ඒ අතර ධනපති ක්‍රමයේ මූලික ලක්ෂණත් දකින්න පුළුවන්. අරාබීන්ගේ සිට පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසීන්ද ලංකාවට එන්නේ මෙහි තිබූ කුරුඳු ප්‍රධාන සම්පත් නිසයි. පෘතුගීසි සමයේ සිටම කුරුඳු ප්‍රධාන ඉල්ලුමක් වුවත් ඒ හරහා ලංකාවේ කම්කරු පන්තියක් බිහි වන්නේ නැහැ. හේතුව එම වගාවන් ආශ්‍රිතව වැඩ කළේ අප්‍රිකානු වහලුන් වීම. නමුත් සවිස්තරාත්මකව නොවුණද කහටගහ පතල් කර්මාන්තය හරහා ලංකාවේ මුල් කම්කරු පන්ති බීජ පැළවෙන බවට යම් ඉඟි පළ කරනවා.

ඒවගේම මොහොට්ටාල වැනි චරිතයක් ගත්තොත් ඔවුනගේ දෙබිඩි බව පේනවා. දැඩි විදේශ විරෝධී බවක් දැක්වුවත් ඔහු වරක් ලන්දේසි ආණ්ඩුවේ උදහසට ලක් නොවන්නේ ලන්දේසීන්ට පක්ෂපාතී පණිවිඩයක් ගෙන ආ භික්ෂුවක ආරක්ෂා සහිතව තමා භාරයේ රඳවාගෙන සිටින බව පැවසීමෙන්. එමෙන්ම මේ මොහොට්ටාලලා කුලභේදය මෙන්ම පන්තිභේදයත් ඉහළින් සැලකූ අය. එනම් අද වගේම දෙබිඩි ජීවිත ගත කළ ඉහළ ලුම්පන් පන්තියේ ස්තරයක් බව කීමටත් මට අවශ්‍ය වුණා. මේ අතර සීයා මෙන්ම පියාද බැඳගෙන තිබූ කොණ්ඩය නොබැන්ද ජෝසප් ඉක්මනින්ම ලන්දේසීන්ට වඩා දියුණුව සිටි ඉංග්‍රීසි ජාතිකයින් සමග කටයුතු කිරීමට සූදානම් වෙනවා. ඒ සඳහා ඔහුගේ අධ්‍යාපන මට්ටමද බාහිර ලෝකයට ඇතුළු වීමට තිබූ ඇල්මද හේතු වුණා. ඒ ජෝසප්ලා තමයි එක්දහස් අටසිය ගණන්වලදී ලංකාවේ ධනපති ක්‍රමයේ මුල්ගල් වෙන්නේ.

මෙම නවකතාවේ භාෂාව ඒ යුගයට සමපාත වුවත් එහි ව්‍යාකරණ දෝෂ බොහොමයි. එය නොසැලකිලිමත්කමද? ඉක්මන්කමද?

ඔබ කියන පරිදි ව්‍යාකරණ දෝෂ තිබේ නම් එය මගේ නොසැලකිල්ල නොව ඉක්මන්කම නිසා වුණ වරදක්. කතාව ගැන මට ඇති වූ චිත්‍රය අමතක වීමට පෙර ඉක්මනින් ලිවීම ඊට හේතුවක් වෙන්න ඇති. ඉක්මන් වීම මගේ දිගුකාලීන චරිත ලක්ෂණයක් කියලයි මම හිතන්නෙ. මේ පොත ගැන විවරණයක් කළ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චින්තක රණසිංහ මහතා මේ පොත ලියා ඉවර කිරීමට ඉක්මන් වූ බව පවසා තිබුණා. ඒක ඇත්තක්. ඒ වරද නිවැරදි කරගත යුතු දෙයක් කියල මම හිතනවා.

දශක හතරක් පුරා ඔබ සාහිත්‍යකරණයේ නියැ‍ෙළමින් සිටිනවා. ඔබ ලියූ කෙටිකතා සංග්‍රහයක් ‘සුඩුමනල්’ නමින් දෙමළ බසට පරිවර්තනය වෙනවා. එහි ආමන්ත්‍රණය හා පසුබිම කුමක්ද?

මගේ දමිළ බසට පරිවර්තනය කරන ලද ‘සුඩුමනල්’ (‘උණු වැලි’) යන කෙටිකතා සංග්‍රහය මූලික වශයෙන් මෙරට මහජාතිය යයි කියන සිංහල වර්ගයා විසින් දිගු කාලයක් පීඩනයට පත් කළ දමිළ ජනතාවගේ අරගලය ප්‍රමුඛ කොටගත් කෘතියක්. ලංකාවට නිදහස ලබා ගැනීමේදී සිංහල නායකයන් සමඟ ද්‍රවිඩ නායකයන්ද කරට කර සිටි බව අද සිටින කුහක සිංහල නායකයන් කියන්නේ නැහැ. එමෙන්ම පළමුවෙන්ම ෆෙඩරල් ඉල්ලා මැතිවරණයට ඉදිරිපත් වුණ චෙල්වනායගම්ව ඒ දමිළ ජනතාව ගෙදර යැව්වේ ඇපත් නැතිව බව මේ නායකයන් කියන්නේ නැහැ. එමෙන්ම මේ යුගය ලෝකයේ ජනවර්ග වෙන්ව ගොස් තමන්ට අභිමත රාජ්‍යයන් යටතේ ජීවත් වන යුගයක්. ඇත්ත ඒකයි. ඔවුනගේ ඒ විමුක්ති අරගල යටපත් කළ හැක්කේ තාවකාලිකවයි. ලංකා‍වේ සිදු වූයේත් දමිළ විමුක්ති අරගලයක් බවට විවාදයක් තිබිය යුතු නැහැ. ව්‍යතිරේඛයක් ලෙස ඒ අරගලය තුළ කුලභේදයේ සටහන් තිබුණත් ඔවුන් සටන් කළේ ලෝකයම පිළිගෙන තියෙන ජාතීන්ගේ ස්වයංතීරණ අයිතිය උදෙසායි. එබැවින් මම ඒ අරගලයට පක්ෂපාතීයි. එහි සලකුණු ‘සුඩුමනල්’ හි ගැබ්ව තිබෙනවා.

දෙවැන්න තමයි සිංහල සමාජය දමිළ බස කතා කරන පොතක්පතක් කියවන අයට හඳුන්වා දීම. එහි කතා කීපයකම සෑම අතින්ම අර්බුදයන්ට ලක්ව ඇති සිංහල සමාජයේ විසූක දස්සන පිළිබිඹු වෙනවා. මෙමගින් අප මේ ජන දෙවර්ගයම ගැන අවබෝධයක් ලබා ගැනීමට දායක වීමත් මගේ අරමුණක් වුණා. මේ පොත දොරට වැඩුණු දින ප්‍රධාන ආරාධිතයා ලෙස යාපනයේ සිට විශාල දුරක් ගෙවා ආවේ දමිළ ජනතාවගේ ඉමහත් ආදරයට පත්ව සිටින ඩොමිනික් ජීවා ලේඛකයායි. එය මගේ ලේඛන කලාවේ වැදගත් සිදුවීමක්.

වත්මන් පාඨකයා සාහිත්‍යය පරිශීලනයෙන් ඈත්ව සිටිනවා. එවැනි තත්වයක් තුළ ඔබ ලියන්නේ කවරකු වෙනුවෙන්ද?

ලංකාවේ පමණක් නොව බොහෝ රටවල්වල මෙවැනි තත්වයක් දකින්න ලැබෙනවා. විශාල වශයෙන් පොත් කියවූ සෝවියට් දේශය බිඳ වැටුණු පසු පොතකින් පිටපත් පන්සීයක් අලෙවි කරගන්නත් අපහසු බව මීට වසර 12කට පමණ පෙර ලංකාවට පැමිණි රුසියන් මහාචාර්යවරයෙක් සභාවකදී කිව්වා. නමුත් සෝවියට් දේශය තිබූ කාලයේදී පොතක් මුද්‍රණය කරන විට එක් ප්‍රාන්තයකට පිටපත් දහඅටදහසක් යවනවා. මිලත් ඉතාම අඩුයි. එකල එහි සොයා ගැනීමට අපහසු එක් දෙයක් වුණෙත් පොත්පත් තමයි. වසර හයක් ශිෂ්‍යයකු ලෙස මා එහි සිටි නිසා ඒ බව මම හොඳින්ම දන්නවා. මම හිතන්නෙ සාක්ෂරතාව මෙන්ම කියවීමත් පවතින සමාජය සහ සමාජ ක්‍රමය අනුව වෙනස් වෙනවා කියලයි.

දෙවන කරුණ වන්නේ මෙරට රූපවාහිනී නාලිකා සහ එෆ්.එම්. නාලිකා කරන විනාශයයි. අද පුදුමාකාර විදියට මිනිස් ජීවියාගේ කාලය නිකරුණේ කා දමනවා. ඇත්ත තත්වය ඕකයි. නමුත් මේ තත්වය සම්බන්ධව සමාජයේම අවධානය යොමු විය යුතුයි. විශේෂයෙන් අපි පාසල් යන කාලයේ ගුරුවරුන් තම වැටුපෙන් යම් මුදලක් පොත් ගැනීම සඳහා වැය කළා. ඒත් දැන් පත්තරයක් බලන ගුරුවරුත් අල්පයි. ඒ ගුරුවරුම අපිව කියවීම සඳහා යොමු කිරීමට ගත් උත්සාහය ප්‍රශංසනීයයි. මම මැතකදි බදුල්ල පුස්තකාලයට ගියා. විශාල පුස්තකාලයක්. නමුත් එහි පුටු බොහෝමයක් හිස්වයි තිබුණෙ. හැම තැනම තත්වය මේක තමයි. ඒ නිසා කියවීම පිළිබඳව සමස්ත සමාජයම උනන්දු විය යුතුයි. කෙසේ වෙතත් කියවන පාඨක සමාජය තුළ තවමත් කෙටිකතාවට වඩා නවකතාවට ඉල්ලුමක් තියෙනවා. ඒවගේම මෑතක සිට කාව්‍ය ග්‍රන්ථ රාශියක්ම පිට වුණා. ඒ නිසා තවමත් කියවීමට පිරිසක් ඉන්නවා. ඒ පිරිස රැක ගනිමින් පාඨක සමාජය පුළුල් කර ගැනීමයි කළ යුත්තේ. කෙසේ වෙතත් මේ පිළිබඳව ආණ්ඩුවල අවධානය යොමු වීම අත්‍යවශ්‍ය බවයි මගේ හැඟීම.

මාතෘකා