මම මේ ජීවත් වෙන ලෝකයට කැමැති නෑ

 ඡායාරූපය:

මම මේ ජීවත් වෙන ලෝකයට කැමැති නෑ

පෘතුගාල නවකතාකරු හොසේ සරමාගෝ
José Saramago

හොසේ සරමාගෝ ප්‍රථම නවකතාව පළ කළේ 1947 වසරේදීය. එවිට ඔහුට අවුරුදු විසිහතරකි. ඒ, Land of Sin නවකතාවයි. පුදුමයකට මෙන් දෙවන කෘතිය ලීවේ මින් අවුරුදු දහනවයකට පසුය. ඒ, 1966 වසරේ පළ වූ The Possible Poems කාව්‍ය සංග්‍රහයයි. දෙවන නවකතාව පළ කරනුයේ පළමු නවකතාව පළ වී වසර තිහකට පසු 1977 දීය. ඒ, Manual of Painting and Calligraphy ය. 1980 දී එළිදුටු ඔහුගේ Raised Up from the Ground නවකතාව විශාල පාඨක ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වූ අතර එය විසල් පාඨක - විචාරක අවධානයක් දිනාගත්තේ “සිටි ඔෆ් ලිස්බන් ප්‍රයිස්” සම්මානයද හිමි කර ගනිමිනි. හේ ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් වනුයේ 1982 වසරේ පළ වූ Baltasar and Blimundain නවකතාවෙනි. 1987 වසරේ එය ඇමෙරිකාවේ පළ වන අතර ඔහුගේ නවකතාවක් එහි පළ වූ පළමු අවස්ථාව එය විය. පැරිස් රිවීව් සාහිත්‍ය සඟරාව සඳහා මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වනු ලබන්නේ ඩොන්සෙලිනා බැරෝසෝ නම් ලේඛකයා විසිනි. ඒ, 1997 වසරේ මාර්තු මස දිනක හිරු පායා ඇති සවස් කාලයක ලැන්සරොට්හි සරමාගෝ නිවසේදීය.

ලිස්බන් නුවර දමා ඒම ගැන ඔබට පාළුවක් දැනෙන්නෙ නැද්ද?

ඒක පාළුවක් දැනීම හෝ නොදැනීම නෙවෙයි. පාළුව කියන්නෙ අර කවියෙක් කියන විධියේ හැඟීමක් - තැතිගැන්මක් - නම්, ඇත්ත කාරණය මට එහෙම තැතිගැන්මක් දැනෙන්නෙ නෑ.

ඒත් මම ලිස්බන් ගැන හිතනවා. අපට එහි සෑහෙන හිතමිතුරො ඉන්නවා වගේම අපි එහි ඉඳහිට යනවා. ඒත් දැන් මට ලිස්බන් ගියාම දැනෙන්නෙ මං එහේ කොහේ යන්නද කියල - ලිස්බන්වල කොහොම ඉන්නද කියල මට හිතාගන්න බෑ. මම එහි දවස් කීපයක්, එහෙම නැත්නම් සතියක් දෙකක් ඉන්න කොට මං නිකන්ම මගේ පරණ පුරුදුවලට යනවා. ඒත් මම හැම වෙලේම කල්පනා කරන්නෙ ආපහු මෙහි (ලැන්සරොට්) එන්නෙ කොයි මොහොතෙද කියල. මම මෙහෙටත්, මෙහෙ මිනිසුන්ටත් කැමතියි. මම මෙහෙ හොඳින් ඉන්නවා. මං මේ රට හැරදාලා යාවි කියල මම කවදාවත් හිතන්නෙ නෑ. ම්ම්ම්... මට මේ රට දාලා යන්න වෙනවා තමයි. ඒත් අපි හැමෝටම කවදාහරි ඒක කරන්න වෙනවානෙ. ඒත් ඒක මං කරන්නෙ මගෙ කැමැත්තට නෙවෙයි.

ඔබ ලැන්සරොට්හි පදිංචියට ආවේ දීර්ඝ කාලයක් ඔබ හැදුණු වැඩුණු සහ ලිවීමට හුරු වුණු පරිසරයට සමු දීලායි. මෙහි ආ ගමන් ඔබ අලුත් පරිසරයට හුරු වුණාද? එහෙම නැත්නම් කලින් වැඩ කළ පරිසරය ගැන ඔබට පාළුවක් දැනුණාද?

මම මෙහෙට පහසුවෙන් හුරු වුණා. මම මං ගැන හිතන්නෙ ජීවිතය අමාරු කරගන්නෙ නැති විධියේ, ව්‍යාකූල කරගන්නෙ නැති විධියේ පුද්ගලයෙක් කියල. මම හැම විටම ජීවත් වුණේ දේවල් ලොකු කරගන්නෙ නැතුව. මට සිද්ධ වෙන හොඳ දේත්, මට සිද්ධ වෙන නරක දේත් මම මහ විශාලෙට ගත්තෙ නෑ. ඒ හැම මොහොතක්ම මම සරලව ගත්තා. සාමාන්‍ය ලෙස ගත්තා. ඇත්ත, මට දුකක් දැනුණොත් මං එයින් වේදනවාට පත් වෙනවා. ඒත් මං ඒකෙන් .... මං ඒ ගැන මෙහෙම කියන්නම්: මම හිත ඇදීයන ලොකු ලොකු දේ කරන්න යන්නෙ නෑ. (එහෙම කළොත් තමයි දුකට පත් වෙන්නෙ.)

මම දැන් කතාවක් ලියාගෙන යනවා. එය ලියන්න මං විඳපු වේදනාව, චරිත ගොඩනැඟීමේදී මං මුහුණ දුන් දුෂ්කරතාව, සංකීර්ණ ආඛ්‍යානයේ සියුම් වෙනස්කම් ආදිය මං ඔබට කියන්න වටිනවා. ඒක හරිම ආකර්ෂණීයයි. මං මෙහිදී අදහස් කරන්නෙ මට කරන්න වෙන දේවල් පුළුවන් තරම් සාමාන්‍ය විධියට මම කරනවා කියලයි. මට අනුව ලිවීම කියන්නෙ වැඩක්. මම වැඩත්, ලිවීමත් එකිනෙක අසම්බන්ධ දේවල් විධියට සලකන්නෙ නෑ. මං කතාවක් කියන්න, වැදගත් හෝ ප්‍රයෝජනවත් යැයි මං සිතන යමක් කියන්න, අඩු තරමින් මට වැදගත් හෝ මට ප්‍රයෝජනවත් යමක් කියන්න වචන එකක් පසුපස එකක් පිහිටුවනවා. නැත්නම් වචන එකක් ඉදිරියෙන් එකක් පිහිටුවනවා. ලිවීමේදී ඒ හැරෙන්න දෙයක් නැහැ. මම මෙය මගේ වැඩේ විධියටයි සලකන්නෙ.

ඔබේ Blindness නවකතාවේ එන වෛද්‍යවරියගේ බිරිඳ පාඨකයාට ඉතා පැහැදිලි චරිතයක් කියල මට හිතෙනවා. නවකතාවේ අනෙක් හැම චරිතයක්ම වගේ ඇගේත් නිශ්චිත දෘශ්‍ය රූපයක් මගේ මනසේ ඇඳෙනවා. එහෙත් ඒ චරිත ගැන ලොකු විස්තරයක් නවකතාවේ නෑ?

ඔබේ මනසේ ඇගේ නිශ්චිත දෘශ්‍ය රූපයක් ඇඳීම ගැන මට සතුටුයි. ඒත් එහෙම වෙන්නෙ ඇගේ බාහිර විස්තර කථනවලින් නෙවෙයි කියල මට හොඳටම විශ්වාසයි. මොකද බාහිර රූපය විස්තර කළ එකම චරිතයක් එහි නෑ. චරිතයක නාසය මෙන්න මෙහෙමයි, නිකට මෙන්න මෙහෙමයි කියල විස්තර කිරීම තේරුමක් ඇතියි කියල මම හිතන්නෙ නෑ. මගේ හැඟීම වෙන්නෙ පාඨකයින් චරිතයක් ඇසුරෙන් තමන්ගේම චරිතයක් ගොඩනඟාගන්න කැමැත්තක් දක්වනවා කියලයි - පාඨකයාට ඒ චරිත ගොඩනඟාගන්න කළ යුතු දේ හොඳින් කිරීමයි කතුවරුන් කළ යුත්තේ.

Blindness නවකතාවට අදහස ආවේ කොහොමද?

මගේ හැම නවකතාවකදිම වගේ එක්වරම සිතට ආපු අදහසකිනුයි Blindness ලියවුණේ. (කතාව දිගහැරුණු හැටි කියන හොඳම විධිය මේකද කියන්න මම දන්නෙ නෑ. ඒත් මීට වඩා හොඳ විධියක් මට හිතාගන්න බෑ.) මම එවෙලාවේ හිටියෙ රෙස්ටුරන්ට් එකක කෑම මේසෙට වෙලා දවල් කෑම එක ගේනකන් බලාගෙන. මෙවෙලාවේ එක පාරටම මගේ හිතට ආවා අපි ඔක්කොම අන්ධ වෙලා නම් මොනවා වේවිද කියල. ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න වගේ මම ඊළඟට හිතුවා අපි ඇත්තටම අන්ධ වෙලා නේද කියල. නවකතාවේ කළලය ඒකයි. ඉන් පස්සෙ මට කතාවේ මූලික අවස්ථා හිතෙන් ගොඩනඟාගෙන ඉතිරිය ලියද්දි බිහි වෙන්න ඉඩ දෙන්න සිදු වුණා. ඒත් ලියද්දී බිහි වූ දේවල් ඇඟ කිලිපොළායන දේවල් වුණා. ඒත් ඊට පැහැදිලි තර්කානුකූලභාවයක් තිබුණා. ඇත්ත වශයෙන් හේතු ඵල සබඳතාවට ක්‍රමිකව ඇමතීම මිස Blindness නවකතාවේ ලොකුවට පරිකල්පනයෙන් බිහි කළ දෙයක් නෑ.

Blindness නවකතාවට මම හරිම කැමතියි. ඒත් එය කියවීම එච්චර පහසු නැහැ. ඒක කියවන්න අමාරු පොතක්. එහි පරිවර්තනය ඉතා හොඳයි. ඔබ දන්නවාද මගේ දීර්ඝ කාලීන ඉංග්‍රීසි පරිවර්තකයා ජියෝවන්නි පෝටීරෝ මියගියා කියල? කවදාද ඒ?

පෙබරවාරියේදි. ඔහු මියගියේ ඒඩ්ස් රෝගයෙන්. මියයද්දි ඔහු Blindness ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් සිටියෙ. ඒත් මැරෙන්න කලින් ඔහු පොත පරිවර්තනය කරලා ඉවර කළා. වෛද්‍යවරුන් දුන් බෙහෙත් නිසා අන්තිම කාලය වෙද්දි (පොතේ එන පරිදිම) ඔහුගේත් ඇස් අන්ධ වෙන්න අරන් තිබුණා. ඔහුට බෙහෙත් ගන්නවාද, නොගෙන ඉන්නවාද යන දෙකෙන් එකක් තෝරාගන්න වෙලා තිබුණා. බෙහෙත් ගත්තොත් ටිකක් වැඩිපුර කල් අල්ලා හිටිතෑකි. බෙහෙත් නොගත්තොත් වෙන රෝගවලට ගොදුරු වීමේ අවදානමක් තියේවි. ඔහු තෝරා ගත්තේ, අපි මෙහෙම කිව්වොත්, තමන්ගේ ඇස් පෙනීම රැක ගැනීමයි. ඉතින් ඔහු (ඒ ඇස්වලින්) ඇස් අඳ වීම ගැන නවකතාව පරිවර්තනය කළා. ඒක හරිම භයානක තත්ත්වයක්.

මේ නවකතාව පුරාම රයිමුංඩෝත්, මාරියා සාරාත් නිරූපණය වෙන්නේ ආගන්තුකයින් හැටියට - තමන්ගේම නගරයේ පිටස්තරයින් හැටියට. ඔවුන් එකිනෙකා අමතන්නේත් මරක්කලයින් ලෙසයි? (මරක්කලයින් යනු අට වැනි සියවසේ ස්පාඤ්ඤයේ කොටසක් අල්ලාගත් වයඹදිග අප්‍රිකාවේ ජීවත් වූ මුස්ලිම් ජාතිකයින් පිරිසකි.)

ඔව්. ඒක එහෙම තමයි. එහෙම තමයි. අවසානයේ අපි හැමෝම ඒ විධියයි කියල මං විශ්වාස කරන්නෙ.

ඔබ “අපි” යැයි අදහස් කළේ පෘතුගාල ජාතිකයින්ද?

ඔව්. ඒත් පෘතුගාල වැසියන්ට විතරක් නෙවෙයි, අපි හැමෝටම නගරයේ ජීවත් වෙන්න වෙලා තියෙනවා - මං කියන්නෙ නගරය යන්න තේරුම් ගත යුත්තේ සාමූහික ජීවන ආකාරයක් විධියටයි - ඒත් ඒ අතරම අපි නගරයේ පිටස්තරයිනුත් වෙනවා. මරක්කලයිනුත් වෙනවා - මරක්කලයින් කිව්වෙ ඔවුන් නගරයේ භෞතිකව ඉන්නවා වගේම නගරයට පිටස්තර ජීවීනුත් වෙනවා. ඔවුන් පිටස්තර නිසා තමයි ඔවුන්ට නගරය වෙනස් කළ හැකි බලපෑමක් කරන්න පුළුවන්. මරක්කලයා, අනෙකා, අමුත්තා, අමුතු එකා. නගර සීමාව තුළ සිටියත් නගරෙන් පිට ඉන්න කෙනා කියල ඔහු ගැන කියන්න පුළුවන්. නගරය වෙනස් කරන්න පුළුවන් ඔහුටයි - ඉතින් අපි සුභවාදී විධියට හිතමු.

පෘතුගාලයේ සිදු වන ඔබට දැනෙන දේවල් ගැන ඔබ අතීතයේ දැඩි ස්වරයෙන් කථා කළා. පෘතුගාලයේ දැන් තත්ත්වය හා එය යුරෝපා සංගමයට එකතු වෙන්න යන සැලසුම ගැන ඔබ මොනවාද හිතන්නෙ?

මම ඔබට එක උදාහරණයක් කියන්නම්. යුරෝපා සංගමයට පත් කළ අපේ කොමසාරිස්වරයා වන ජොආවෝ ඩුවෙස් ඩි පින්හීරෝගෙන් පෘතුගීසි මාධ්‍යවේදියෙක් ඇහුවා “මේ එකතු වීම නිසා පෘතුගාලයේ ජාතික ස්වෛරීභාවය අනතුරේ වැටෙනවා කියල ඔබ හිතන්නෙ නැද්ද?” කියල. ඔහුගේ පිළිතුර වුණේ “ඔබ ජාතික ස්වෛරීභාවය කියල අදහස් කරන්නෙ මොකක්ද?” යන්නයි. මාධ්‍යවේදියා එහිදී කිව්වෙ “දහනව වන සියවසේදි පෘතුගාල රජයට රාජ්‍ය බලය පිහිටුවන්න බැරි වුණා. හේතුව ටාගූස් ගඟේ නැංගුරම් ලාගෙන සිටි බ්‍රිතාන්‍ය නාවික හමුදා බළකායේ අද්මිරාල්වරයා එයට අවසර නොදීමයි” කියල. ඒක අහලා කොමසාරිස්වරයා හිනා වුණා. හිතන්න, මේ ඓතිහාසික කතාන්තරය විහිළුවක් විධියට සලකන යුරෝපා සංගම් කොමසාරිස්වරයෙක් රටකට ඕනද? ඒවගේම අපට කවදාවත් ස්වෛරීභාවයක් තිබුණෙ නැහැ, ඒ නිසා පෘතුගාලය ස්වෛරීභාවය ගැන හිතන්න ඕන නැහැ කියල හිතන කොමසාරිස්වරයෙක් රටක ඉන්න ඕනද?

යුරෝපා සංගමය ඉදිරියට ගියොත් අනෙක් රටවල දේශපාලනඥයින්ගේ වගේ අපේ දේශපාලනඥයින්ගේත් වගකීම නැති වෙලා යාවි. එතැන ඉඳලා ඔවුන්, දැනටමත් ඔවුන් පත් වෙලා ඉන්න අය බවට - නිකන් නියෝජිතයො බවට - පත් වේවි. මොකද අපේ යුගයේ මහා මිථ්‍යාවක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව කියන එක. මේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්නෙ නෑ. වැඩ කරන එකම දේ ජාත්‍යන්තර මුදලේ බලයයි. ජාත්‍යන්තර මූල්‍යය හා කාර්යක්ෂමව ගනුදෙනු කරන අයයි මේ ලෝකය අද පාලනය කරන්නෙ. එහිදී දේශපාලනඥයින් නිකන් අතකොලු විතරයි - ඊනියා දේශපාලන බලයයි, මූල්‍ය බලයයි අතර අනියම් භාර්යාවක් ඉන්නවා. ඒ, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපක්ෂයයි.

මෙතනදි මිනිස්සු මගෙන් විමසාවි “හොඳයි, කෝ ඔබ මේකට දෙන විසඳුම?” කියල. මම කිසි විසඳුමක් දෙන්නෙ නෑ. මං නිකන් නවකතාකාරයෙක් විතරයි. මම ලෝකය මට පේන විධියට ලියනවා. සමාජය පෙරළීම මගේ කාර්යය නෙවෙයි. මේ තනි මට සමාජය වෙනස් කරන්න බැහැ. එහෙම වෙනස් කරන හැටි මං දන්නෙත් නෑ. මං බලාපොරොත්තු වන ලෝකය මොකක්ද කියල කියන්න විතරක් මම සීමා වෙලා ඉන්නවා.

ඒත් මට මේකට විසඳුමක් දෙන්න වුණොත් මම යෝජනා කරන්නෙ මොකක්ද? එතකොට මම යෝජනා කරන්නෙ මං සමහර වෙලාවට කියන “ප්‍රතිලෝම සංවර්ධනය” (Developing backwards) යි. ඒත් ඒක අද සංවර්ධනයට පරස්පර ලෙසයි පේන්නෙ. මොකද යමකට සංවර්ධනය වෙන්න පුළුවන් ඉස්සරහට විතරයි. ප්‍රතිලෝම සංවර්ධනය කියන්නෙ සරලවම කියනවා නම් මෙහෙම දෙයක්: අද අපි ඇවිත් තියෙන තැන - ධනවත් පංතිය නෙවෙයි, ඉහළ මධ්‍යම පංතියේ අය ඇවිත් ඇති තැන - අපට ඉඩ දීලා තියෙන්නෙ සැපපහසුවට ජීවත් වෙන්නයි. ප්‍රතිලෝම සංවර්ධනයෙන් කියන්නෙ අපි මෙතනින් නැවතිලා අපි අත්හැරදාලා ආපු බිලියන ගණන් ජනතාව සිටි පැත්තට ආපසු යමු කියලයි. ඇත්ත, මේ මම කියන දේ එකම මනෝරාජ්‍යයක් වෙන්න පුළුවන්. මම ජීවත් වෙන්නෙ ලැන්සරෝට්වල. පනස් දහසක ජනගහනයක් වෙසෙන දූපතක. ඒත් ලෝකයේ අනෙක් හැම තැනම සිද්ධ වෙන්නෙ මේ හැම තැනම සිද්ධ වෙන දේ තමයි. මට ලෝකයේ ගැලවුම්කාරයෙක් වෙන්න ඕන නෑ. ඒත් ලෝකය හොඳ තැනක් වේවි යන සරල විශ්වාසයත් එක්ක මං ජීවත් වෙනවා. ඇත්තටම ලෝකය ඉතා පහසුවෙන් හොඳ තැනක් බවට පත් කළ හැකියි.

මේ විශ්වාසය නිසා මට කියන්න සිදු වෙනවා මම මේ ජීවත් වෙන ලෝකයට කැමැති නෑ කියල. මං කල්පනා කරන ලෝක ව්‍යාප්ත විප්ලවය

සිදු වෙන්න ඕන ලෝකය යහපත් තැනක් කිරීම සඳහායි - සමාවෙන්න මගේ මනෝරාජ්‍ය දර්ශනයට! අපි දෙදෙනා අද උදේ නැඟිටලා කිව්වොත් “මම අද කාටවත් හිංසා කරන්නෙ නෑ” කියල, ඒවගේම අපි දෙදෙනා හෙටත් නැඟිටලා එහෙම කිව්වොත් සහ ඒ කිව්ව විධියට පිළිපැද්දොත් මේ ලෝකය ඉක්මනින්ම වෙනස් තැනක් වේවි. ඇත්තටම මේවා විකාර නේද? - ඒක කවදාවත් වෙන්නෙ නෑනෙ!

මේ සියලු දේ තුළ අද ලොව බුද්ධිය පාවිච්චි කරන ආකාරය ප්‍රශ්න කරන්න මාව පොළඹවා තියෙනවා. ඒ නිසයි මම Blindness නවකතාව ලිව්වෙත්. මෙවැනි දේ ගැන සාකච්ඡා කරන සාහිත්‍ය කෘති කරන්න මාව පෙළඹවූයේත් මේ දෙයයි.

ඔබ ලියූ දුෂ්කරම නවකතාව Blindness කියල ඔබ කියා තියෙනවා. එහෙම වුණේ සුද අන්ධතා (White blindness) වසංගතයට නතු වී මිනිසා තම සහෝදර ජනතාව ක්‍රෑර ලෙස හිංසනයට නතු කරද්දීත්, ඒ හැසිරීම ලිවීමේදී ඇති වූ අපහසුතා තුළත් ඔබට අවසානයේ කතාවේ සුභවාදී වෙන්න සිදු වූ නිසාද?

මම සුභවාදියෙක් නෙවෙයි. මම අසුභවාදියෙක්. ඒත් මගෙ ඔළුවට වෙඩි තියාගන්න තරම් මම අසුභවාදී නැහැ. ඔබ සඳහන් කළ ක්‍රෑරත්වය නවකතාවේ විතරක් නෙවෙයි, ලෝකයේ හැම තැනම හැමදාම සිදු වෙනවා. මේ මොහොත වෙද්දි අපි හැමෝම සුද අන්ධතා වසංගතයෙන් වැසී ගිහින්. මෙහි (නවකතාවේ) Blindness කියන්නෙ මිනිසාගේ තර්ක ඥානය අන්ධ වීමට යෙදූ රූපකයක්. මේ ග්‍රහලෝකයේ මිලියන ගණන් ජනතාව කුසගින්නේ මියයද්දී කිසි ආරෝවකින් තොරව අඟහරු ග්‍රහයාගේ පස් සාම්පල පරීක්ෂා කරන්න අපට එයට රොකට් යවන්න පුළුවන් වෙලා තියෙන්නෙ මේ අඳකම නිසයි. මේකට එක්කො අපි ඇස් අන්ධ වෙන්න ඕන. නැත්නම් අපට පිස්සු හැදිලා තියෙන්න ඕන.

Lanzarote Diaries දින සටහන් කෘතියේදි ඔබ අවසන් වරට නිව්යෝක් නගරයට ගිය ගමන ගැන සඳහන් කරනවා. ඔබ එහිදී කියනවා ඒ නගරයේ දකුණ පිහිටා තිබෙන්නේ උතුරු මෑන්හැටන්වල කියල?

ඔව්. එහි දකුණ පිහිටා තියෙන්නේ උතුරේ.

ඔබට යුරෝපයේත්, ලතින් ඇමෙරිකාවේත් විශාල පාඨක පිරිසක් ඉන්නවා. ඒත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්නෙ කුඩා පාඨක පිරිසක්?

ඕනවාට වඩා බැරෑරුම් විග්‍රහයන්ට ඇමෙරිකානු පාඨකයින් කැමති නැහැ. ඒත් ඇමෙරිකාවේදි මං ලැබූ විචාර ඉතා හොඳ වුණා. ඒක මට හරිම කුතුහලයක්.

විචාරකයින්ගේ අදහස් ඔබට වැදගත් වෙනවාද?

මට වැදගත් වෙන්නෙ හොඳ පොතක් ගැන මගේ නිර්ණායක අනුව පොත හොඳට ලිවීමයි - මට ඕන විධියට පොත ලියවුණාද කියන එකයි. පොත මගෙන් එළියට ගියාට පස්සෙ එය අපේ ජීවිතයේ අනෙක් හැම දේම වගේ තමයි. අම්මා කෙනෙක් දරුවකු වදලා ඔහුගෙන් හොඳම දේවල් බලාපොරොත්තු වෙනවා. ඒත් දරුවාගේ ජීවිතය අයිති දරුවාටයි, අම්මාට නෙවෙයි. දරුවාම තමන්ගේ ජීවිතය ගොඩනඟාගන්න පුළුවන්. නැත්නම් වෙන අය දරුවාගේ ජීවිතය ගොඩනඟන්න පුළුවන්. ඒත් හොඳටම විශ්වාසයි, ඒක අම්මා හීන මැවූ දරුවාගේ ජීවිතය නෙවෙයි. මගේ පොත් අතිවිශාල පාඨක පිරිසක් සාදරයෙන් පිළිගනිත්වා කියල හීන මැවීම තේරුමක් නැති දෙයක්. මොකද හීන මොනවා වුණත් පාඨකයායි එය පිළිගැනීම හෝ නොපිළිගැනීම කරන්නෙ.

මගේ පොත් විශාල පාඨක පිරිසකට රස විඳින්න සුදුසුයි කියල මම කියන්නෙ නෑ. මොකද පොතක වටිනාකම තක්සේරු වෙන්නෙ හිස් ගෙඩි ගණනින් කියල අදහසක් එතකොට ඒවි. ඒක වැරදියි කියල අපි දන්නවා.

■ ඇමෙරිකා එක්සත් ජනපදයට කළ සංචාරයේදී ඔබ විශාල පෘතුගීසි ජන ප්‍රජාවක් සිටින මැසචුසෙට්ස්හි ෆෝල් රිවර් පැත්තටත් ගියා.

ඔව්. කුමන හෝ හේතුවකට මගේ පොත්වලට කැමති සංක්‍රමණිකයන් එක්ක මගේ යම් යම් සබඳතා තියෙනවා. මේ දවස්වල මං සාහිත්‍යය ගැන කථා කරන්න හරිම අකමැතියි. ඒ වුණත් පුදුමයකට වගේ මං යන හැම තැනම මං වටේ විශාල පිරිසක් රොක් වෙනවා. මේ වෙලාවේ සාහිත්‍යය ගැන කථා කිරීම මං කරන දේට පරස්පරයි කියල මම හිතන්නෙ. මොකද මම දැන් ලියනවා. මං පොත් ලියනවා නම් මං වෙන මොනවාද කථා කරන්නෙ? මම ලියනවා තමයි. ඒත් ලේඛකයකු වෙන්න කලින් මං ජීවත් වෙන කෙනෙක්. මේ ලෝකයේ ජීවත් වෙන හැම කෙනෙකුටම වගේ මටත් ඕනෑඑපාකම් තියෙනවා.

මම මෑතකදි මගේ සාහිත්‍ය කෘති ගැන සංවිධානය කර තිබුණු සංවාදයකට පෘතුගාලයේ බ්‍රාගා ප්‍රදේශයට ගියා. ඒත් අපි එහිදී සාහිත්‍යයට අමතර නොයෙක් දේවල් ගැන කථා කළා - පෘතුගාලයේ වර්තමාන තත්ත්වය ගැන, ඊට කළ හැකි දේ ගැන කථා කළා. මම ඔවුන්ට කිව්වා මානව වර්ගයාගේ ඉතිහාසය ඉතාම සංකීර්ණ ලෙස පෙනෙනවා කියල. ඒත් එය ඇත්තටම අතිශය සරලත් වෙනවා. අපි දන්නවා අද අපි ජීවත් වෙන්නෙ ප්‍රචණ්ඩකාරී ලෝකයක කියල. අපේ විශේෂයේ පැවැත්මට ප්‍රචණ්ඩත්වය නැතිවම බැරි දෙයක් වෙලා - අපට කෑමට සත්තු මරන්න වෙලා තියෙනවා. නැත්නම් වෙන අය ලවා මරවන්න වෙලා තියෙනවා. අපි ගස්වල පලතුරු කඩනවා. අපේ ගෙවල් ආදිය සරසන්න අපි මල් ගස්වල මල් කඩනවා. මේ හැම දේම අනෙක් ජීවීන්ගේ පැවැත්මට එරෙහිව කරන ප්‍රචණ්ඩ ක්‍රියා. සත්තුත් මේ විධියටම හැසිරෙනවා. මකු`එවා මැස්සන් ආහාරයට ගන්නවා. මැස්සා ඌ කන මොනවා හෝ ආහාරයට ගන්නවා. ඒත් සත්තු සහ මිනිස්සු අතර එක් පැහැදිලි වෙනසක් තියෙනවා: සත්තු ක්‍රෑර නෑ. මකුළුවෙක් මැස්සෙකු තමන්ගේ දැලේ පටලවා ගන්නවා නම් ඒක කරන්නෙ හෙට දවසේ ආහාරයට ඌ ආරක්ෂා කරලා තියන්න. ක්‍රෑරත්වය සොයාගත්තෙ මිනිසායි. සත්තු උන් එකිනෙකා වද බන්ධනයට ලක් කරන්නෙ නෑ. ඒත් අපි එකිනෙකා වද හිංසාවට ලක් කරනවා. මේ ග්‍රහ ලෝකයේ එකම කුරිරු සත්ත්වයා අපියි.

මේ නිරීක්ෂණ, ඉතාම සාධාරණ යැයි මට හිතෙන මේ පැනය අසන්න මාව පොළඹවනවා: අපි ක්‍රෑර නම් ඇයි අපි බුද්ධිමත්ම සත්ත්ව විශේෂය කියල හැම විටම කියන්නෙ? ඒ, අපි කථා කරන නිසාද? අපි හිතන මතන නිසාද? අපට අලුත් අලුත් දේ තැනිය හැකි නිසාද? මේ හැම දේම කරන්න හැකියාව තිබුණත් අපි කරන ක්‍රෑර, වැරදි ක්‍රියා නවත්වන්න අපට පු`එවන් වෙලා නැහැ. ඉතින් මේක අපි සාකච්ඡා කළ යුතු යැයි මට හැඟෙන සදාචාර ප්‍රශ්නයක්. ඒ හේතුව නිසාම තමයි මම සාහිත්‍යය ගැන කථා කරන්න වඩ වඩා අකමැති.

සමහර වෙලාවට මට හිතෙනවා අපට කවම කවදාවත් මේ ග්‍රහ ලෝකය හැරයන්න නොලැබෙනවා නම් හොඳයි කියල. මොකද අපි විශ්වයට ගියා කියල මේ ඉන්න විධියට වෙනස් විධියකින් අපි හැසිරෙන එකක් නෑ. අපට යම් හෙයකින් පිටසක්වළ ජීවත් වෙන්න ලැබුණොත් - අපට එහෙම පුළුවන් වෙයි කියල මං හිතන්නෙ නෑ - අපි ඒ යන ග්‍රහ ලෝකයත් ආසාදනය කරාවි. අපි වාසනාවට මේ ග්‍රහ වස්තුවට පමණක් සීමා වූ එක්තරා ආකාරයක වෛරසයක් වගේ. කොහොම වුණත් මෑතකදි සුපර්නෝවා තාරකාවක් පුපුරා ඇති බව පුවත්පතකින් කියෙව්වාම මට මේ හැම චකිතයක්ම දුරු වුණා. තාරකාව පිපිරීමෙන් නිකුත් වූ ආලෝකය පොළොවට වැටී තියෙන්නෙ මීට අවුරුදු තුන හතරකට කලින් - ඒ ආලෝකය පෘථිවියට ළඟා වෙන්න අවුරුදු එක් ලක්ෂ හැටහය දහසක් (166,000) ගිහිල්ලා. මට එවෙලාවෙ හිතුණා, අපොයි! කිසිම භය වෙන්න කාරණයක් නෑ, අපට එච්චර දුර යන්න කවදාවත් පුළුවන් වෙන්නෙ නෑ කියල.

පරිවර්තනය කළේ එස්. පල්ලියගුරුගේ

මාතෘකා