හැම කවියක්ම හද බස නොවේ - මහාචාර්ය අෑෂ්ලි හල්පේ

 ඡායාරූපය:

හැම කවියක්ම හද බස නොවේ - මහාචාර්ය අෑෂ්ලි හල්පේ

කවියක් වෙන්නෙ හද බසින් එන අදහස් තමයි. නමුත් කවියක් ලියද්දි කෙනෙක් විනෝදයටත් ලියන්න පුළුවන්. ඒ අනුව බැලුවාම කවිය හද බසමය කියල නිශ්චිතව කියන්න බෑ. ඇත්ත වශයෙන් කවි වර්ග විශාල සංඛ්‍යාවක් තියෙනවා. ප්‍රශස්ති කවි, සරදම් කවි, හාස්‍ය කවි, අධ්‍යාත්මික කවි, විරෝධාකල්ප කවි ආදිය තියෙනවා. ඒ ඒ කවිවලින් ඇති කරන්නෙ එකිනෙකට වෙනස් භාවයන්. ඒවා හද බසින් පමණක් ප්‍රකාශ කරන්නෙ නෑ.

අමරසේකර මහතා කියනවා කවියෙන් දේශපාලනය ප්‍රකාශ කරන්න බෑ, කවිය දේශපාලන සටන් පාඨ කීම සඳහා අවියක් කර ගත්තාම කවිය අවසන් වෙනවා කියල. ඒත් කවියෙන් දේශපාලන සටන් පාඨ කියන්න බැරිද? පුළුවන්. කවියක් ලියන්නෙ කෙනෙකුට ඇති වන විශාල අභ්‍යන්තර පෙළඹවීමකින්. ඒ පෙළඹවීම දේශපාලනයෙන් එන්න පුළුවන්. ප්‍රේමය වැනි වෙනත් හැඟීමකින් එන්න පුළුවන්. ඒ එන පෙළඹවීම වැදගත් නෑ.

වැදගත් වෙන්නෙ ලියුවුණු දේයි. සටන් පාඨ වුණත් කවියක් නම් කවියක්. අද භාවනාවට කවි හදනවා. විපස්සනා භාවනාව සඳහා කවි හදා තියෙනවා. ක්‍රිස්තියානි ආගමේ යම් යම් ධර්ම කොටස් පැහැදිලි කරන්න ඕන තරම් කවි තියෙනවා. දැන් විප්ලවකාරී කවි කියල කොටසක් තියෙනවා. එය ලෝකයේ ඉතා ප්‍රචලිත කවි විශේෂයක්. ඒවා කවි නෙවෙයි කියන්න කාටවත් බැහැ. කවිය කියන්නෙ රිද්මයක් තියෙන, ඇතැම් විට එළිසමයක් තියෙන පද විශේෂයක්. කවිය කිව්වාම නිශ්චිත වදන් පෙළක් කියන්නත් පුළුවන්.

දැන් ක්‍රිස්තියානි ආගමේ සහ ඉස්ලාම් ආගමේ ආගමික වතාවත්වල යෙදෙද්දි ඇතැමුන් ඇට මාලයක් අතේ තියාගෙන යම් යම් දේ මුමුණනවා. ඒ මිමිණීමේදී ඔවුන් යම් මතකයේ තබාගත් දෙයකුයි කියවන්නෙ. ඒ කියවන දේත් කවියක් කියල කියන්න පුළුවන්. ඇත්ත වශයෙන් ගාථා කියන්නෙ කවි විශේෂයක්. මොකද ගාථා කියන්නෙ යම්කිසි තාලයකට.

කවියේ සහ ගාථාවේ වෙනසක් නෑ. දෙකම කියන්නෙ රිද්මයකට. තාලයකට. වෙලා තියෙන්නෙ අපි මේ දේවල් එකිනෙකට වෙනස් වචනවලින් හැඳින්වීම පමණයි. දැන් ගුණදාස අමරසේකර කවිය කියන්නෙ හද බස කියල කරන අර්ථ නිරූපණය අපි පිළිගන්නවා. ඒත් හැම කවියක්ම හද බස නෙවෙයි. හද බස යනු කවියේ එක් අර්ථකථනයක් පමණයි.

(ලේඛකයා දිවමන් සමයේ කළ සම්මුඛ සාකච්ඡාවකිනි.)

 

 [එස්. පල්ලියගුරුගේ]

මාතෘකා