මම මගේ පොත් සංස්කරණය කරන්න දෙන්නේ නෑ : ප්‍රවීණ ලේඛිකා තිරංජනි සුනේත්‍රා රාජකරුණානායක

 ඡායාරූපය:

මම මගේ පොත් සංස්කරණය කරන්න දෙන්නේ නෑ : ප්‍රවීණ ලේඛිකා තිරංජනි සුනේත්‍රා රාජකරුණානායක

සම්මානලාභී කෙටිකතා සහ නවකතා රචිකාවක, ජනමාධ්‍යවේදිනියක, විචාරිකාවක මෙන්ම පරිවර්තිකාවක ද වන ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායකගේ අලුත්ම නවකතාව වන ‘මියුරු හඬ’ විදර්ශන ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් විය. සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්වයෙන්ම නිර්මාණකරණයේ යෙදෙන ලේඛිකාවක වන ඇය සමඟ අප පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි මේ.

‘මියුරු හඬ’ නවකතාවේ නිර්මාණ පසුබිම කුමක්ද?

මට ඕන වුණේ බොහෝ අය මුළු ජීවිතේම සංකේතාත්මක පියෙක් හොය හොයා ඉන්නෙ නැති බව කියන්නයි. අද බොහෝ අයට එහෙම පියවරු නැහැ. අද වෙනකොට බොහෝ පවුල් අවුල් වෙලා. නොයෙකුත් හේතු නිසා දරුවන්ට පියවරු අහිමි වෙලා. මවුවරු මැදපෙරදිග ගිහිල්ලා. ඒ වගේ තත්ත්වයන් හමුවේ විවිධාකාර විදියට පවුල් අවුල් වෙලා. එතනදි කෙනෙක් පාදඩ ජීවිතයකට වැටෙන්නත් පුළුවන්, එතැනින් ගොඩඑන්නත් පුළුවන්. හුඟක් වෙලාවට පාදඩ ජීවිතයට වැටුණු චරිතයක් ගැන ලියන පොතක් වැඩි අවධානයකට ලක් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් ගොඩ යන අය ගැන ලියන්න මට ඕන වුණා. එහෙම අය මම දැකලාත් තියෙනවා, මුණගැහිලාත් තියෙනවා. එහෙම අය ගොඩක් ඉන්නවා. ඒත් මාධ්‍යවල වුණත් බොහෝ වෙලාවට වැඩි අවධානයට ලක් වෙන්නේ අපරාධයක් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. මේ කතාව ලියන්න මට මෑතකදී එක්තරා රූපවාහිනී නාළිකාවක විකාශය වුණු නාට්‍යයක රඟපාපු තරුණ නිළියක් ගැන මම දැනගෙන හිටපු සිද්ධියකුත් වක්‍රව බලපාන්න ඇති කියලා දැන් මට හිතෙනවා. ඒ ළමයාගේ තාත්තා අපට දුරින් නෑයො වෙනවා. ඒ ළමයගේ අම්මා බඳින්න කලින් පොලිස් පරීක්ෂකවරයෙක් එක්ක යාළු වෙලා ඉඳලා තියෙනවා. බැන්දට පස්සෙත් මොකක් හරි හේතුවකට ඇය ඒ පොලිස් පරීක්ෂකවරයාව මුණගැහෙන්න ගිහිල්ලා තියෙනවා. සමහර විට ඇය අවසාන වතාවට ඔහුව හම්බ වෙන්න යන්න ඇති. ඒ සිද්ධිය දැනගෙන අර නිළියගේ මාමා, ඒ කියන්නෙ අම්මගේ සහෝදරයා මේක දැනගෙන මේකිව මරන්න ඕන කියලා ඒ ළමයාගේ තාත්තාත් එක්ක එකතු වෙලා අර අම්මව මැරුවා. එයින් පස්සෙ ඒ මාමයි තාත්තායි දෙන්නාම හිරේ ගියා. හැබැයි ඒ තාත්තා එහෙම දරුණු චරිතයක් නෙවෙයි. ඔහු බොහොම නිහඬ, සාමාන්‍ය චරිතයක්. යමක්කමක් තියෙන සාම්ප්‍රදායික කිතුනු පවුලක හැදුණු කෙනෙක්. කොහොම වුණත් ඔය සිද්ධිය නිසා ඒ ළමයට පොඩි කාලෙ ඉඳලා තාත්තයි, අම්මයි දෙන්නම අහිමි වුණා. ඔය සිද්ධිය වක්‍රව මට බලාපන්න ඇති කියලා මට හිතෙනවා.

මේ නවකතාවේ නම ‘මියුරු හඬ’ යි. එය සරල නමක්?

සරලයි වගේ පෙනුණාට මේ නම බහුඅරුත් නඟනවා කියලා මම හිතනවා. මෙතැනදි මියුරු හඬ කියන්නෙ මේ කතාවේ එක ප්‍රධාන චරිතයක් වන මියුරුගේ හඬ විතරක් නෙවෙයි. මෙවැනි ව්‍යසනයන්ට මුහුණ දීපු කෙනෙකුට හඬ හරි වැදගත්. ඒ ළමයා හඬක් නැතුව ගිය කෙනෙක්. එයා විශාල ලැජ්ජාවකට, මදිපුංචිකමකට මුහුණ දීලා ඉන්න කෙනෙක්. එයාට ඉස්කෝලෙකට යන්න බැහැ, අනෙක් ළමයි පවුලේ විස්තර අහයි කියලා එයා බයයි. එයාට කතා කරගන්නත් බැරි වෙන්නෙ ඒවාත් එක්ක. ඒ වගේ අගාධයටම වැටුණු කෙනෙකුට නැවත හඬක් ලැබෙනවා නම් ඒක මියුරු හඬක්. පවුලේ අය එක්ක විතරක් නෙවෙයි, රටේ මිනිස්සුත් එක්ක, ලෝකයත් එක්ක කතා කරන්න පුළුවන් තරමේ හඬක් ලැබුණාම ඒ හඬ වඩාත් මියුරු වෙනවා. අදාළ චරිතයට මියුරු කියන නම දෙන අතරෙම, පොතේ නමටත් මියුරු හඬ කියල දැම්මෙ ඒ අර්ථයෙන්. මම මුලින්ම මේ නවකතාවට දැම්මෙ ‘නිහඬ හඬ’ කියන නම. එතකොට බොහෝ අය මුහුණුපොත ඔස්සේ අදහස් දක්වමින් කියලා තිබුණා ඔවුන් ඒ නමට කැමති නැහැ කියලා. ඔවුන් එහෙම කියලා තිබුණෙ පොත කියවන්නෙත් නැතුව. හැබැයි මේ කතාව ඇතුළෙ නිහඬ හඬ මියුරු හඬක් බවට පත් වෙන හැටි පොත කියෙව්වාම ඔවුන්ටත් දැනෙයි කියලා මම හිතනවා. ඇත්තටම මේ කතාවේ නිහඬ හඬයි, මියුරු හඬයි දෙකම තියෙනවා.

ඔබ විශ්වාස කරන ආකාරයට නවකතාවකට නම කොතරම් වැදගත්ද?

බොහෝ අය පොතක් තෝරගන්නෙත් නම අනුවයි. අද කාලයේ කවුරු හරි ‘මා ආලය කළ තරුණිය’ කියලා පොතක් ලිව්වොත් ඒ පොත ගන්න කවුරුත් උනන්දු වෙන එකක් නැහැ. ඒ නමින් පොතක් පළ වුණු කාලයේ එහෙම ආල කතා කියවන්න මිනිස්සු කැමති වෙන්න ඇති. අපි උපදින්නත් කලින් එහෙම නම් තියෙන පොත් පළ වෙලා තියෙනවා. අද වෙනකොට භාෂාව ගොඩක් වෙනස් වෙලා. දැන් බොහෝ අය කතා කරන්නේ ව්‍යංගය සහ හාස්‍යය මසු වුණු බසකින්. විශේෂයෙන්ම හාස්‍යයට වැඩි දෙනෙක් කැමතියි. අනෙක ලංකාවෙ මිනිස්සු ළඟ හරිම හාස්‍යයක් තියෙනවා. අපි ලොකු පීඩනයකදි වුණත් හැම දෙයක් දිහාම හාස්‍යයෙන් බලනවා. ඒ නිසා අපේ භාෂාව වේගයෙන් වෙනස් වෙනවා. එතකොට මිනිස්සු වචනයක තියෙන යටි අරුත් හොයන්න පෙලඹෙනවා. ඊළඟට භාෂාව බලකොටුවක් ඇතුළෙ තියන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලත් අපි දන්නවා. ඒ නිසා භාෂාව ඉවුරු කඩාගෙන යනවා. එහෙම වෙනකොට ලේඛකයො, කවියො, ගීත රචකයො වගේ අය ඒ ඉවුරු කඩාගෙන යන භාෂාවෙන් දෝතක් අරගෙන සමහර වෙලාවට අලුත් වචනයක් හදනවා. එහෙම නැත්නම් තියෙන වචනයකට වෙන අරුතක් දෙනවා. ඒ වගේ පසුබිමක් ඇතුළෙ නවකතාවකට නමත් වැදගත් වෙනවා කියලා මම හිතනවා.

මේ නවකතාවේ කතුවරියගේ නමට තිරංජනී නම් කොටසක් එකතු වෙනවා?

කාලයකට ඉහත ‘මෝපසාං කෙටිකතා’ නම් කෘතියේ මං පළ කරපු මුද්‍රණය සඳහාත් මේ නම යොදා ගත්තා. ඇත්තටම නෑදැයො, ගෙදර අය සහ හිතවත් අය මාව දන්නෙ තිරංජනී කියන නමෙන්. සමහර පාසල්වලදි මාව හැමෝම දැනගෙන හිටියෙත් ඒ නමෙන්. මුල් කාලයේ මම පත්තරවලට ලියනකොටත් තිරංජනී කියන නම පාවිච්චි කළා. ඒත් සමහර පත්තරවල මේ නම නිරංජනී කියලා හදලා දාපු අවස්ථාත් තිබුණා. ඒ නිසා මම ඒ නම අත හැරලා සුනේත්‍රා කියන නමින් ලියන්න පටන් ගත්තා. මේ පොතට නැවතත් ඒ නම යොදාගත්තෙ ප්‍රකාශකයාගේ අදහසක් අනුවයි. පොතට ඒ නම දාමුද කියලා ඔහු ඇහුවාම මම ඒකට එකඟ වුණා. මට ඒ ගැන ප්‍රශ්නයක් තියෙන්න හේතුවක් නැහැනෙ. ඒ මගේ නමනෙ.

නවකතාවක සත්‍යය සහ පරිකල්පනය අතර සීමාව නිර්ණය වන්නේ කුමනාකාරයටද?

මට නම් ඒ සඳහා භූගෝලීය ස්ථාන විශාල වශයෙන් බලපානවා. මම දන්න සැබෑ ස්ථානයක් ඔස්සේ පරිකල්පනය මෙහෙයවන්න මට ලේසියි. ඒ කියන්නේ මම දන්න පරිසරය ගැන ලියන එක මට වඩාත් ලේසියි. මගේ නවකතාවලට බොහෝ වෙලාවට රත්නපුරය පාදක වෙන්නෙත් ඒකයි. මට රත්නපුරයේ ගෙදරක් හිතින් හදාගන්න ලේසියි. සත්‍යය සහ පරිකල්පනය අතර වෙනස තීරණය වෙන්නෙ සැබෑ ලෙසම දැකපු තැනක්, කෙනෙක් හෝ සිද්ධියක් ඔස්සේ අප තුළ නිර්මාණය වන කතාව අනුවයි. අපි සමහර වෙලාවට ප්‍රවෘත්තියක් දකිනවා. ඒ ප්‍රවෘත්තියෙන් කතාවක් මැවෙනවා. සමහර වෙලාවට අපට කාගෙන් හරි අහන්න ලැබෙන කතාවක් නිසා අපේ ඇතුළෙ වෙන කතාවක් නිර්මාණය වෙනවා. බස් එකක යනකොට දැකපු කිසියම් සිද්ධියකින් කතාවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ සිද්ධිය ක්ෂණයකින් ඉවර වෙලා ගියා වුණත් ඒ දැකපු මූණක්, දැකපු කෙනෙක් හිතේ රැඳෙනවා. ගුවන් තොටුපොළවල, දුම්රිය පොළවල, බස් නැවතුම්පොළවල ඉන්නකොට මම ඒ වගේ සිද්ධි ගැන හොඳ නිරීක්ෂණයක යෙදෙනවා. ඒක පොඩි කාලෙ ඉඳලම එහෙමයි. එතකොට දන්නෙම නැතුව ඒ දැකපු කෙනෙක් හෝ සිද්ධියක් මගේ කතාවකට ඇවිල්ලා පරිකල්පනය ඔස්සේ වැඩිදියුණු වෙනවා ඇති. සමහර වෙලාවට මම දන්නෙත් නැහැ ඒ දැකපු මූණක්ද මේ කතාවට ආවෙ කියලා. කතාවකදි කෙනෙක්ව විස්තර කරනකොට ඒ රූපය මගෙ හිතේ මැවෙනවා. එයාගෙ මූණ මෙහෙමයි, රූපෙ මෙහෙමයි, ඇවිදින්නෙ මෙහෙමයි, පාට මෙහෙමයි, එයාගෙ රුචිකත්වය මෙහෙමයි, ඇඳුම් මෙහෙමයි කියලා මැවෙනවා.

මේ නවකතාවේ සංස්කරණය සිදු වුණේ කුමන ආකාරයටද?

මම හැර වෙනත් කවුරුවත් මේ පොතේ සංස්කරණ කටයුතු කළේ නැහැ. මගේ එක පොතක්වත් කාටවත් දීලා සංස්කරණය කරලා නැහැ. පිටරටවල වුණත් සංස්කරණ කටයුතුවලදි සමහරක් වෙලාවට ප්‍රකාශන සමාගම යෝජනා කරන සංශෝධනවලට අකමැති වුණාම කතුවරු මුරණ්ඩු විදියට ඒ සංශෝධන නොකර ඉන්නවා. සමහර වෙලාවට අවශ්‍යම යැයි කියලා කතුවරයාට හිතෙන කොටසක් අයින් කරන්න කියලා ප්‍රකාශන සමාගමේ සංස්කාරකවරයා කියන්න පුළුවන්. එහෙම නැත්නම් නැති කොටස් දාන්න කියන්න පුළුවන්. විකුණගන්න ඕන නිසා ලිංගික කරුණු එහෙම තව ටිකක් විස්තරාත්මකව දාන්න කියලා සමහර ප්‍රකාශන සමාගම් කියනවා. එතකොට කතුවරු එහෙම දෙයක් කරන්න කැමති වෙන්නෙ නැහැනෙ. ලංකාවේ බොහෝ ලේඛක ලේඛිකාවො ප්‍රසිද්ධියෙ නොකිව්වට කාට හරි කියලා ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාසය වගේ දේවල් හදා ගන්නවා. සමහර මහාචාර්යවරුන්ට කියලා ලොකු ගණන් ගෙවලා එහෙම කරගන්න අයත් ඉන්නවා. මට ඒක අදාළ නැහැ. මගේ පොතක් වෙන කෙනෙකුට දීලා සංස්කරණය කරගන්න මම කැමති නැහැ. මොකද මම අලුත් වචන හදනවා. ඒ වචනවල සමහර සියුම් තැන් තියෙනවා. ඒවා වෙන කෙනෙකුට නොවැටහෙන්න පුළුවන්.

එයින් අදහස් වන්නේ සංස්කරණය වැදගත් නැති බවද?

මම දන්නෙ නැහැ. මම නම් එහෙම සංස්කරණයකට කැමති නැහැ. අනෙක හොඳයි කියලා මට හිතන්න පුළුවන් සංස්කාරකයෙක් ලංකාවේ නැහැ. නමුත් මම පිටරටක සමාගමකින් පොතක් පළ කරවා ගන්න ගියොත් මට ඔවුන්ගේ නීතිය අනුව ඒ සමාගමේ ඉන්න සංස්කාරකයා එක්ක එකට වැඩ කරන්න වෙයි. ඒ වගේ වෘත්තීය සංස්කාරකවරු ලේඛක ලේඛිකාවො ලියන දේවල් වෙනස් කරන්නෙ නැහැ. මේක මෙහෙම වුණොත් හොඳද කියලා යෝජනා කරලා ඒ ලේඛකයාට හෝ ලේඛිකාවටම කියලා ලියලා දෙන්න කියලා ඔවුන් කියනවා. එතකොට ලේඛකයාට හෝ ලේඛිකාවට හානියක් වෙන්නෙ නැහැ. ඒ කොහොම වුණත් හොඳට ලියන්න පුළුවන් කෙනෙකුට වෙනම සංස්කාරකයෙක් අවශ්‍යයි කියලා මම හිතන්නෙ නැහැ. අපට අපේ බස ගැන විශ්වාසයක් නැත්නම් එහෙම කෙනෙක් අවශ්‍ය වෙන්න පුළුවන්. අපට කාගෙ හරි සේවය අවශ්‍ය වෙන්නෙ භාෂාවේ දණ්ඩ නීති සංග්‍රහයට බය වුණාමයි. අනෙක ලේඛකයෙක් හෝ ලේඛිකාවක් භාෂාවටයි, විචාරකයන්ටයි බය වුණොත් එයාගෙ අතින් හොඳ නිර්මාණ බිහි වෙන්නෙත් නැහැ.

 සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා