චා සුෂිල් මුණසිංහගේ ‘බෙදීම් සහ බැඳීම්’ නවකතාව 5 වෙනිදා එයි

 ඡායාරූපය:

චා සුෂිල් මුණසිංහගේ ‘බෙදීම් සහ බැඳීම්’ නවකතාව 5 වෙනිදා එයි

‘මායිම්’, ‘මෙහෙවර නිමා විය’, ‘රිදී රේණු’ ආදී කෘති රචනා කළ චා සුෂිල් මුණසිංහගේ අලුත්ම නවකතාව ‘බෙදීම් සහ බැඳීම්’ මෙම පෙබරවාරි 5 වෙනිදා කොළඹ මරදානේ පූජ්‍ය. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සමාගමේදී නිකුත් වේ. බිම්කඩක අයිතිය පතා නඩුහබවල පැටලී සරණ සොයන දහස් සංඛ්‍යාත මිනිසුන් මුහුණ පාන දුෂ්කරතා බිඳක් අලළා අදාළ ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති නීතිඥයකු විසින්ම නිර්මාණය කර ඇති නවකතාවකි, මෙය. දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක් වන මෙහි මිල 450කි.


රෝහිත මුණසිංහගේ ‘ආදරය, මරණය සහ නිදහස’ කෙටිකතා සංග්‍රහය ජනගත වේ

ප්‍රවීණ ලේඛක රෝහිත මුණසිංහගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය ‘ආදරය, මරණය සහ නිදහස’ එළිදකී. ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එළිදැක ඇති මේ කෘතියට කෙටිකතා 10ක් ඇතුළත් වේ. වර්තමාන ජීවන අතෝරය මැද අරගලයක නියුතු වන, ඉන් පරාජය වන පුද්ගල චරිත රැසක් ඉන් විවරණය වේ. කතාකරුවා සතු සියුම් භාෂා හැකියාවත්, අපූරු ප්‍රතිභාවත් පෙර කතාවල මෙන්ම මෙහිදීද මතු වී පෙනෙන අතර එනිසාම මෙය ඉතා වින්දනාත්මක සහ පාඨකයාගේ ජීවිත අවලෝකනය කරන කෘතියක් වේ. මෙහි මිල රු. 350කි.


රාජා කරුණාදාසගේ ‘අයස්කාන්ත ප්‍රේමය’ නවකතාව එළිදකී

ප්‍රවීණ ලේඛක රාජා කරුණාදාසගේ අලුත්ම නවකතාව ‘අයස්කාන්ත ප්‍රේමය’ පසුගියදා සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. මෙම නවකතාවට පාදක වන්නේ කැලණිතිස් කතා පුවතයි. කැලණිතිස් රජු සිය දියණිය වන විහාර මහාදේවී කුමරිය මුහුදෙන් ගොඩබට පසු කාවන්තිස්ස රජු ඈ මාලිගයට ගෙන ගොස් පෝෂණය කරන අතර ඈ යොවුන් බවට පත් වූ පසු විවාහ කරගනී. රාගයට නතු වීම නිසා කල්‍යාණි රාජ්‍යය විනාශ වන අතර ආදරය, ආරක්ෂාව පදනම් කරගත් මාගම රාජ්‍යය සුරක්ෂිත විය. ප්‍රබල විය. ලංකා ඉතිහාසයේ සැබෑම වීරයා පහළ වන්නේ මෙම මාගම රටිනි. මේ කතා පුවත මෙහි විවරණය වේ.

මාතෘකා