නත්තල් කාලයේ කරළියට එන චාල්ස් ඩිකන්ස්

 ඡායාරූපය:

නත්තල් කාලයේ කරළියට එන චාල්ස් ඩිකන්ස්

නත්තල පාදක කරගනිමින් රචනා වී ඇති විශ්ව සාහිත්‍ය කෘතීන් අතර වඩාත්ම කැපී පෙනෙන කෘති කිහිපයෙන් එකක් ලෙස චාල්ස් ඩිකන්ස් නමැති විශිෂ්ට ඉංග්‍රීසි ලේඛකයා විසින් රචනා කරන ලද ‘අ ක්‍රිස්ට්මස් කැරොල්’ (A Christmas Carol) සැලකෙයි. නත්තල් සමය එළැඹෙන විට විදෙස් සාහිත්‍යය ක්ෂේත්‍රය තුළ වඩාත් කතාබහට ලක් වන ඉංග්‍රීසි ලේඛකයා වන්නේද ඔහුය. ඔහු රචනා කළ ‘අ ක්‍රිස්ට්මස් කැරොල්’ කෘතිය මේ වන විට ලොව පුරාම විවිධ භාෂාවන් ගණනාවකටද පරිවර්තනය වී ඇත. එසේම එම කෘතිය ඇසුරින් සිනමා කෘතීන් කිහිපයක්ද නිර්මාණය වී ඇත. එම කෘතියේ මෙන්ම ඔහුගේ සෙසු කෘතිවලද නත්තල හා බැඳුණු සිදුවීම් හමු වන අවස්ථා හමු වෙයි. මෙවර නත්තල් සමය ඉලක්ක කරගනිමින් පසුගියදා ඔහු වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන් රැසක්ද එංගලන්තයේ ඩවුටි වීදියේ පිහිටි චාල්ස් ඩිකන්ස් කෞතුකාගාරයේදී පැවැත්විණි. එසේම ‘අ ක්‍රිස්ට්මස් කැරොල්’ කෘතිය පාදක කරගනිමින් බී.බී.සී. ආයතනය විසින් නිර්මාණය කරන ලද නව රූපවාහිනී සිනමාපටයක්ද පසුගියදා මුදාහරිනු ලැබිණි.

චාල්ස් ඩිකන්ස් උපත ලැබුවේ 1812 වසරේ පෙබරවාරි 07 වැනිදාය. ඒ වන විට බ්‍රිතාන්‍යයේ නවකතා 66 ක් ප්‍රකාශයට පත් වී තිබිණි. ඒ වන විටත් ශතවර්ෂයක් පමණ කාලයක් තිස්සේ විවිධ ලේඛක ලේඛිකාවන් විසින් නවකතා රචනයේ නියැලී සිට ඇත. බොහෝ විචාරකයින් විසින් පෙන්වා දී ඇති පරිදි මේ නවකතාවල ආරම්භක යුගය නියෝජනය වන්නේ 1719 දී පළ වූ ‘රොබින්සන් කෘසෝ’ (Robinson Crusoe) කෘතියෙනි. එහෙත් මේ පිළිබඳ විධිමත්, වෘත්තීය මට්ටමේ අධ්‍යයනයක් මේ වන තුරු සිදු කෙරී නැත. මේ කාලය තුළදී බොහෝ ප්‍රබන්ධ පළ වූයේ නිර්නාමිකවය. “කාන්තාවක් විසිනි” (By a Lady) වැනි සටහනක් විනා කර්තෘ නාමයක් ඒ බොහෝ කෘතීන්වල නොතිබිණි. එකල පැවැති, වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරවන ලද මුද්‍රණ යන්ත්‍රද වූයේ ඉතා ප්‍රාථමික මට්ටමේය. එංගලන්තයේ ජනතාවගේ සාක්ෂරතා මට්ටම පැවැතියේද 50% කට අඩුවෙනි. බොහෝ අය විසින් නවකතා සලකනු ලැබුවේ විහිළු සහගත, සදාචාරාත්මක නොවන, විසකුරු හෝ නරක දේවල් ලෙසය.

වර්ෂ 1870 දී ඩිකන්ස් මියගිය විට ලොව පුරා විසිරී සිටි අතිවිශාල පාඨක ලෝකයක් ඔහු වෙනුවෙන් ශෝකාලාප පවසන්නට වූයේ ලොව පහළ වූ ප්‍රථම සාහිත්‍ය තරුව, වෘත්තීය ලේඛකයා මෙන්ම ප්‍රකාශකයා, ප්‍රසිද්ධිය සහ පිළිගැනීම හිමි කරගනිමින් නවකතා ප්‍රකාශනයේ මෙන්ම කියවීම සහ පාඨක පිරිස සම්බන්ධයෙන්ද අතිමහත් පෙරළියක් ඇති කළ ලේඛකයා ඔහු බව කියා සිටිමිනි. ඔහු නිර්මාණය කළ ‘ඔලිවර් ට්විස්ට්’ (Oliver Twist) සහ ‘ටයිනි ටිම්’ (Tiny Tim) ඇතුළු චරිත සදාචාරාත්මක බව සම්බ්න්ධයෙන් ආදර්ශයට ගත හැකි පරමාදර්ශී චරිත බවට පත් විය. අද වන විට ඔහුගේ විශිෂ්ටත්වය අභියෝගයට ලක් කළ නොහැකි මට්ටමක පවතියි.

ඩිකන්ස් නවකතාකරණයට යොමු වූයේ අහම්බයෙනි. තරුණ වියේදී නළුවකු වීමට දැඩි ආසාවකින් පසු වූ ඔහු පුවත්පත් වාර්තාකරුවකු වීම සඳහා පුහුණුව ලැබුවේය. ඒ අතරතුර ඔහු ඉඳහිට ප්‍රබන්ධ කතාද රචනා කළේය. වර්ෂ 1836 දී ක්‍රීඩා සම්බන්ධ චිත්‍ර සටහන් පෙළකට විකට කතා පෙළක් ලිවීමට එක්තරා සඟරාවකින් ඔහුට ලැබුණු අවස්ථාවක් ඔහු භාර ගත්තේය. ඒ සඳහා මාසයකට ස්ටර්ලින් පවුම් 14 ක ගෙවීමක්ද ඔහුට ලැබිණි. ඒ සඳහා ඔහු ලියූ ‘ද පෝස්ට්හියුමස් පේපර්ස් ඔෆ් ද පික්වික් ක්ලබ්’ (The Posthumous Papers of the Pickwick Club) නමැති කතා පෙළ ඉතා ජනප්‍රිය වූ අතර, ස්වාමියන් සහ සේවකයන් යන දෙපිරිසේම හඬ මුසු කර ගනිමින් තෙවැනි පාර්ශ්වකරුවකු ලෙස පෙනී සිටීමේ හැකියාව ඇති, අපූරු කතා මාලාවන් සිත් ගන්නා සුලු අයුරින් ඉදිරිපත් කළ හැකි සුවිශේෂී ලේඛකයකු ලෙස ඔහු පිළිගැනීමට ලක් වූයේය. පොත් ඉතා ඉහළ මිලකින් යුතු වූ ඒ කාලයේ මිල අඩු පුවත්පත් සහ වාරසඟරා ජනතාව අතර ඉතා ජනප්‍රියව පැවැතිණි. මේ ලිපි පෙළ පසු කලෙක ඔහුගේ සමස්ත නිර්මාණාවලිය අතර විශේෂයෙන් කැපී පෙනෙන කෘතියක් බවට පත් විය. ඉතා ඉහළ අලෙවියක් හිමි කරගත් මෙම කෘතිය ඔහු ආර්ථික වශයෙන් ද සාර්ථකත්වයක් පළ කළ ලේඛකයකු බවට පත් කළේය. සාහිත්‍යය සහ වාණිජ ලෝකය අතර එතෙක් පැවැති දුරස්ථ බව බිඳ දමමින්, ජනතාව සඳහා සාහිත්‍යකරණයේ යෙදෙමින් ජීවිකාව උපයාගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

ඩිකන්ස් වටා අතිවිශාල පාඨක පිරිසක් එක් රොක් වූයේ ඔහු ලේඛනයේදී යොදාගත් ළගන්නා සුළු පුද්ගල ආමන්ත්‍රණ ශෛලිය නිසාය. ඔහු සිය නිර්මාණ ඔස්සේ සෘජුවම තමන්ට කතා කරන බවක් පාඨකයින්ට දැනිණි. සැබැවින්ම ඔහු බොහෝ විට එසේ කළේය. නළුවකු වීමට සිත තුළ පැවැති ආසාව ඔහු මුදුන්පත් කරගත්තේ සිය කතා තුළට සහ ඒවායේ චරිතවලට සජීවී අයුරින් නාට්‍යමය බවක් එක් කරමිනි.

[අජිත් නිශාන්ත]

News Order: 
6
මාතෘකා