දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්...

 ඡායාරූපය:

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්...

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප වෙත යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

“…. නොම්බරේ හොයා ගත්තෙ අලුත ලිව්ව පොතකින්. කතා කරන්ඩ කැමතියි. මම ඉන්නෙ දුවත් එක්කලා. ටිකක් අසනීපෙන්. දැන් ජීවිතේ කෙටියි. කැමති දවසක ඇවිත් යන්ඩ.”

යන්ට සිතුණේ ජීවිතේ එහෙම පිටුවක් දෙකක් තියෙන්නත් ඕනැයි සිතුව නිසා. ඩ්‍රැයිවර කඩුගන්නාව නඟින්නෙ බොහොම වයසක විදිහට. වීදුරුවෙන් මූණට වැටෙනවා උදේ කහපාට ඉරඑළිය රැලි රැලි. ඩ්‍රැයිවරට පාරත් වැරදුණා.

තානායම නෙවෙයි අයිසෙ. ආරාමය ළඟින්. දකුණට හරවන්ඩ. දෙවෙනි ගෙදර. කොළපාට ගේට්ටුව. ආරාමය! මිනිහා පොඩි හිනාවක් දැම්මා.

ස්වීචය එබූවත් හඬක් ඇසුණෙ නෑ. ඇතුළට ඇහෙන්න ඇති. දොර ඇරියෙ ඈමයි.

අඳුරන්ඩ පුළුවන්ද?

අප්පේ…. අවුරුදු 50කට විතර පස්සෙනෙ.

හිඳගත් විගස ඇය කීවේ තේ ටිකක් බොමු කියලයි. නැඟිට යන විටයි මම දුටුවේ හෙමිහිට ඇවිද යන රුවක්. බිත්තිය දිගටම අතක් ඇදගෙන ගියේ.

ඔන්න සීනි නැතුව කෝපි…. එදා බිව්ව විදිහට…. හරිද?

ගැහැනුන්ගේ මතක සිත පුදුම සහගත දෙයක්.

කොහොමද ජීවිතේ….? වැඩි කුතුහලයකින් නොවෙයි මම ඇසුවෙ.

දුව සැලෝන් එකක් කරනව. බඳින්නෙ නැහැ වගේ. අපි දෙන්නා හොඳින් ඉන්නව.

ඈ දිගටම කියාගෙන ගියා.

දේශප්‍රිය නැති වුණේ අවුරුද්දකට ඉස්සෙල්ලා.

අහන්නට අමුතු දෙයක් මට සිතුණෙ නැහැ. කතා කරන්නත් අවශ්‍යයි.

….. මම පත්තරෙන් දැක්කා. මේ ගෙදර පෙනුම හරි ගාම්භීරයිනෙ. මං කැමතියි. ඒ වුණත් අර ගේට්ටුව උඩින් යන සිමෙන්ති තොරණ. ඒක අහංකාර පෙනුමයි.

ඇය අසා සිටියේ සිනාවකින්.

ඒක දේශප්‍රියගේ කැමැත්තක්. ඇමතිවරු එහෙමනෙ.

නිහඬකමක් ඇති වුණා. දැන් අසාවියි සිතන විටම ඇය කවිය ගැන කථා කළා.

මතකද ‘70 දි ලියූ කවිය? දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්.

මම මුකුත් කීවේ නැහැ.

…. මතකද?

ඇය වචන කටපාඩමෙන් කියන්නට වුණා.

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්

ඔබ නැතත් මම එතැන පාට හත ගණින්නම්

සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල්

මල් නඟන වසන්තය ඔබට ගෙන යා හැකිද?

මේ වචනවල හොඳ ලස්සනක් තිබුණා. හුඟක් ඈයො ඒකට වශී වුණා.

මොකද ඒ ගැන අද ඔයා හිතන්නෙ?

මට මුකුත් ඒ ගැන හිතෙන්නෙ නැහැ. මං හිතන්නෙ ඔයාටත් එහෙම වෙන්ඩැති.

යන්තම් සිනාවකින් ඇය සිටියෙත් ඒක එහෙම තමයි කියන්නාක් වගේ.

ඩ්‍රැයිවර උන්නැහේ බූතයෙක් වගේ මිදුලේ එහා මෙහා ඇවිදිනවා. ගෙයි ලොකු කන්නාඩි තලයකට හිරු රැස් වැටී දිස්නයක් නැඟෙනවා. ඒ කැඩපතේ පින්තූර මුකුත් වැටිලා නැහැ. “මිරර් ඉස් නොට් මිරරින්.” මට යම් ඉංග්‍රීසි කවි පදයක් සිහි වුණා.

මේ…. සූරලා අරන් ගිය මල් නම් සේරම මැරිලා!

ඇය කීවේ ඔලොක්කුවට මෙන්.

හැබැයි ඉඳහිට මලක් දෙකක් පිපී පරවී යනවා.

කතා කරන්ඩ දෙයක් නැතුව ගියා.

…. ගිහිල්ලා එන්නම්. ගෙවෙන කාලයේ අරුතක් නැතැයි සිතුණා. ඇය හිස සලන්නේ ආයෙමත් නොඑන බව හොඳින් දැනගෙනයි. දොර ළඟදි ඇය නැවතී කතා කළේ කියන්නට සූදානමින් සිටි දෙයක් කියන්නාක් විදිහටයි.

…. ඔයා වගේ කල්පනා ලෝකයක් එක්ක මට බැරි බව එදා මට තේරුණා. ඒ ගෑනු ඉව. මං වගේ විසේසයක් නැති ගෑනියක් එක්ක ඔයාටත් බැරි බව ඔයා හොඳට තේරුම් ගන්ඩ ඇති. ඉතින් මේවා එහෙම වුණ එක කොච්චර හොඳද නේද?

…. මට තේරෙනවා. කියවුණේ මට ඒ වචන දෙක විතරයි. කාරයේදී කවිය වෙනස් වෙනවා.

අදත් ඔබ ඇත

පාලමත් එතැන ඇත

මාත් ඇවිත් ඇත

දේදුන්න පායාවි

එහෙත් එහි අමුතුවෙන් ගණින්නට

පාට නැත…..

රාක්‍රම කොඩිතුවක්කු

***********

විමසුම

මේ, වසර 50කට පසු තමාගේ පැරණි පෙම්වතිය හමු වීමට යන කවියකු මුහුණ දෙන අත්දැකීමකි. ඉතා සංවේදී අත්දැකීමක් වන මෙහිදී ඒ සංවේදීභාවය ප්‍රකාශ වන්නේ කවියා හැඟීම් මුදාහැරීමට වඩා හැඟීම් ඔහුටම අන්තරාවර්තනය කර ගැනීමෙනි.

කවියා පසු වන්නේ ලෝ දහමින් වැද ගත් සැර පහරින් සසල වූවකු ලෙසිනි. එනිසා ඔහු තමා අවට වන දේ නිරීක්ෂණය කරන්නකු විනා ඊට මැදිහත් වන්නෙක් නොවේ. ඔහුට මැදිහත් වී කිසිවක් නිවැරදි කළ නොහැකි බැවිනි. ඒ අනුව සිය අතීත ප්‍රේමය සොයා යෑමේදීද ඔහු සිදු වන දේ බලා සිටින්නෙකි - අසරණයෙකි. කෙටිකතාව කථකයකුගේ හෝ කතානායකයකුගේ දෘෂ්ටිකෝණයකට වඩා නිරීක්ෂකයකුගේ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් වීම එනයින් ඉතා උචිතය.

කතාවේ මා දැඩිව ඇදගත් යමක් නම් ඉතා අවම වචන හා වැකි ගණනකින් ඉතා දිගු කතාන්දරයක් කියාපෑමය. එය යතුරු සිදුරකින් මුළුමහත් දර්ශන තලයක් නරඹනවා වැනිය. ‘යතුරු සිදුරකින්’ පුළුල් පදාසයක් පෙන්වීමට කතාකරුවා සමත් වී ඇත්තේ ඔහුගේ දුලබ අනුභූතියත් ඒ අනුභූතිය ප්‍රකාශනයට ඔහු යොදාගන්නා ආකෘතියත් නිසාය. මෙහි ආකෘතිය තුළ කතානායකයා ඇස් දෙකක් හා කන් දෙකකි - ඔහුගේ ක්‍රියාකාරීත්වයක් නැත. එහෙත් ඒ ඇස් දෙකට පේන දේ හා කන් දෙකට ඇසෙන දේ තුළ පාඨකයාට චරිතයේ විශාල ක්‍රියාකාරීත්වයක් ග්‍රහණය වේ.

මෙහි අනුභූතියද ජීවිතය ගැන විසල් යමක් කියාපායි. කවියකු සමඟ ප්‍රේමයකට එළඹි රසිකාවියක් කෙබඳු නම් සංවේදී තැනැත්තියක්ද? එහෙත් ඒ රසිකාවිය අවසානයේ විවාහ වන්නේ ගොරහැඩි දේශපාලනඥයෙකු සමඟය. ඇය (දේශපාලක සැමියා) ගොඩනැඟූ මන්දිරයද කවි රසිකත්වයට ගැළපුණක් නොවේ. කෙනෙකුට ජීවිතය විසින් දෙනු ලබන දේ පිළිගැනීම මිස අනෙකක් උරුම නැති බව මින් ගම්‍ය වේ. කෙසේ වුව වසර පනහකට පසු කවියා නැවත හමු වූ විට රසිකාවියට අතීතය සිහි නැඟේ. ඇගේ වියෝවෙන් කවියා ලියූ කවිය සිහි නැඟේ. ඉන් හැඟවෙන්නේ ඇය දේශපාලනඥයකු සමඟ ජීවිතය ගෙවූවත් තවමත් කිවියර පෙම්වතා ගැන සිතමින් සිටි බවයි. එහෙත් අභාග්‍යය කුමක්ද? අඩ සියවස් කාලයකට පසු කවියා නැවත හමු වූ විට ඔහුගේවත් ඇගේවත් හැඟීම් උත්කර්ෂයක් නොවීමයි. එය එසේ වී ඇත්තේ ඔවුන් ඔවුනොවුන් කෙරෙහි රොස් වීම නිසාද? නැත. ඒ, කාලය විසින් ඔවුන්ගේ හැඟීම් ඔවුන් තුළම ගොළු කර ඇති නිසාය. එයද කෙටිකතාවේ ආකෘතියට මැනවින් ගැළපේ - ආකෘතිය තුළ කථකයා නිරීක්ෂකයකු වෙද්දී උත්කර්ෂයෙන් සැමරිය යුතු ඒ දුලබ අවස්ථාවේදීද ඔවුන් හැඟීම් තෙරපුණු නිරීක්ෂකයන්ය.

සමස්තයක් වශයෙන් මින් විදාහැරෙන්නේ ප්‍රේමයේ විප්‍රලම්බ ශෘංගාරයය. එය කවියකු ජීවත් වන රළු පරළු ජීවිතය මත තබා ඉදිරිපත් කිරීම මෙහි සුවිශේෂත්වයයි.

මෙම කෙටිකතාවේ එකම අඩුව ලෙස මට හැඟෙන්නේ කතාව අවසන් වන වැකියයි. එය කවියා කාරය තුළ සිට ලියූ අලුත් කවි කොටසකි.

“…. එහෙත් එහි අමුතුවෙන් ගණින්නට - පාට නැත”

සැබැවින්ම ඔවුන්ගේ ජීවිතයේ පාට ඇත. වෙනස ඒ පාට පිටතට නොපෙනීමයි. එහෙත් අනෙක් අතට එය කතානායකයාගේ බාහිර ඇසට නිරීක්ෂණය වන යමක් ලෙසද මෙහිදී සිතිය හැකිය.

කාලයේ භූමිකාවක්ද මෙහි තිබෙන බව කිව යුතුය. කවියා තමා හැරගිය පෙම්වතියට කිසි විටෙක චෝදනා නඟා නැත. පනස් වසකින් අනතුරුව ඔහු ඈ නැවත හමු වෙද්දී ඈ වියපත් මවකි. ඒ මවට දෙපා වාරුවෙන් ඇවිද යෑමට අපහසුය. ඈ යන්නේ සෙමෙනි. ඒ, ද බිත්තියට අත තබා වාරු ගනිමිනි. ඒ අනුව රුදුරු වී ඇත්තේ කාලයය. ඒ තුළ කතාව යටි තලයේ ඇත්තේ කිසිවකුට නොව කාලයට නඟන දොසකි.

අවසාන වශයෙන් මෙය කවියක් ඇසුරෙන් ලියූ කෙටිකතාවකි. එහෙත් එය කවියටම නෑකම් කියන ගද්‍ය කාව්‍යයක් වීම සන්දර්භයට උචිත සේම පාඨකයාගේ හෘදය ආමන්ත්‍රණය තීව්‍ර කරන්නක් වේ.

- සංස්කාරක

News Order: 
5
මාතෘකා