ඉස කුඩිච්චිය, ඉස කෙයියා ඉස දිය මංගල්ලෙ හා ඔළුව

 ඡායාරූපය:

ඉස කුඩිච්චිය, ඉස කෙයියා ඉස දිය මංගල්ලෙ හා ඔළුව

'ඉස්' යන ප්‍රකෘතිය 'ඉස' යනුවෙන් ද යෙදී සැදුණු සමාස පද කීපයක් මෙහි ඉදිරිපත් කෙරේ.

ඉස කුඩිච්චිය

සිංහල වෙදකම් අනුව මොළය සිසිල් කිරීමට හිසේ ගල්වන ඖෂධීය ආලේප විශේෂය 'ඉස කුඩිච්චිය' යි. පිස්සු කතා කියන විට "මූට ඉස කුඩිච්චියක් දැම්මොත් නං හොඳා' යැයි ද කියනු ඇසේ. සංගෙට නැති ගෑනුන්ටද සරදම් වශයෙන් යෙදෙන්නේ 'ඉසකුඩිච්චිය' නම විරුදාවලියයි. "ඔය එන්නෙ අර ඉසකුඩිච්චිය" යන්න ජනවහරෙහි එන්නකි.

ඉසකෙයා

ඉසකෙස් හැඳින්වීමට 'ඉසකෙයා' හෝ 'ඉසකෙය්යා' යන පද ද යෙදේ.

ඉස කෙස්

හිස කෙස් 'ඉස් කෙස්' යනුවෙන් මෙන් ම 'ඉස කෙයා', 'ඉස කෙය්යා' හෝ 'ඉස කේ' යනුවෙන් ද හැඳින්වේ. සිදුහත් කුමරු තමන් ම "ඉස කේ" කපා ගත් පුවත අප අසා ඇත.

ඉස කේ දුන්න

ඔර්ලෝසුවක ඇති එක් දුන්නක් 'ඉස කේ දුන්න' නම් වේ. එය ඉස කෙයා ගහක් තරම් සීන් වූ හෙයින් මේ නම ලබන්නට ඇත.

ඉස තෙල් ගානවා

සිංහල අලුත් අවුරුද්ද උදා වූ පසු සුබ නැකතකට 'ඉස තෙල් ගෑම" සිංහල සිරිතක් ය.

ඉස දිය වක්කරනවා

වැඩිවිය පැමිණි දැරියක සුබ මොහොතින් නෑවීම ජන වහරෙහි හැඳිවෙන්නේ 'ඉස දිය වක්කරනවා' යන වහරිනි.

ඉස දිය මංගල්ලෙ

වැඩිවිය පැමිණි දැරියක සුබ මොහොතින් නෑවීමේ චාරිත්‍රය 'ඉස දිය මංගල්ලෙ' නමි.

ඉස නානු ගානවා

වැඩිවිය පැමිණි දැරියක සුබ මොහොතින් නෑවීම 'ඉස නානු ගානවා' යන වහරින් ද හැඳින්වේ.

ඉස පැන් වක්කරනවා

වැඩිවිය පැමිණි දැරියක සුබ මොහොතින් නෑවීම හැඳින්වීමට 'ඉස පැං වක්කරනවා' යන වහර ගම්බදව යෙදේ.

ඉසබූ ගානවා

ඉසකෙස් ඉවත් කිරීම 'ඉසබූගෑම' යි. ඉස්සර නම් ඉසබූ ගෑවේ මහණ බිමට පිවිසීමටය. දැන් නම් සමහරුන් ඉසබූ ගාන්නේ විලාසිතාවක් හැටියට ය. හිසබූ ගෑ විට ඇති වන්නේ 'මුඩු ඉසක්' ය.

ඉසරදේ

හිසේ ඇති වන රුදාව හෝ කැක්කුම 'ඉසරදේ' ය. 'ඉසරදේට කොට්ට මාරු කරලා හරියන්නේ නැති' බව ද කියනු ඇසේ. තමාට නිතර දෙවේලේ කරදර කරන්නා ඔහුට 'මහ ඉසරදයක්' ය. පහේ ශිෂ්‍යත්ව විභාගය ද බොහෝ ශිෂ්‍යශිෂ්‍යාවන්ට 'මහ ඉසරදයක්' වී තිබේ.

ඉස : ඉහ

'ඉස' යන්න උච්චාරණ පහසුව තකා 'ඉහ' බවට පත් වූ බවක් පෙනේ.

ඉහටිය

ඉහළින් ඇති කොටස 'ඉහටිය' යි. එය සැදෙන්නේ 'ඉස්' යන ප්‍රකෘතියට පරව 'අටි' යන තද්ධිත ප්‍රත්‍යය එක් වීමෙනි. 'අටි' යන තද්ධිත ප්‍රත්‍යය යෙදෙන්නේ 'ප්‍රදේශය' යන අරුතිනි. එයින් සැදෙන 'ඉසටිය' යන්න පසුව 'ඉහටිය' හා ' ඉහට්ටෙ' බවට පෙරළුණු සේයි. කේන්ති ගිය විට "ආච්චිගෙ ඉහට්ටෙ!" යනුවෙන් සමහරු කෑගසති.

ඉහත්තාව

'ඉහත්තාව' යනුත් ඉස්මත්ත යන අරුත් දෙයි. වැවේ ඉස්මත්ත' වැව් ඉහත්තාව' යි.

ඉහළ

'ඉහළ' යනු ඉස පැත්තේ ඇති කොටසයි. එය සැදෙන්නේ 'ඉස්' යන ප්‍රකෘතියට පරව 'අළ' යන තද්ධිත ප්‍රත්‍යය එක් කිරිමෙනි. 'අළ' යන තද්ධිත ප්‍රත්‍යය 'පැත්ත' යන අරුත් දෙයි. එහි විරුද්ධ පැත්ත 'පහළ' යි. එය සැදෙන්නේ 'පා' හා 'අළ' යන කොටස් එක් වීමෙනි.

ඉහ ලනවා

අව්වෙන් හෝ වැස්සෙන් ආවරණය ලැබීමට නම් කුඩයක් ඉහලන්ට සිදු වේ. 'ඉහලනවා' යනු 'ඉසලනවා' යන්නෙන් උපන්නක් බව පෙනේ.

'ඉස්' යන නාම ප්‍රකෘතියෙන් සැදෙන සම්බන්ධ විභක්තිගත නාම පදය හෝ ආධාර විභක්ති නාම පදය 'ඉසේ' යන්න යි.

[ජේ. බී. දිසානායක]

News Order: 
7
මාතෘකා