අද පරම්පරාව ගැන මම කනගාටු වෙනවා

 ඡායාරූපය:

අද පරම්පරාව ගැන මම කනගාටු වෙනවා

ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුනි

නාමෙල් වීරමුනි අප රටේ ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ නාට්‍යධරයෙකි. සාහිත්‍යකරුවෙකි. විචාරකයෙකි. නීතිවේදියෙකි. දිගු කාලයක් එංගලන්තයේ ජීවත් වූ ඔහු විදෙස් වාසය අත්හැර මෙරටට පැමිණියේ අගනුවර නාට්‍යකරුවන්ගේ දැවෙන ප්‍රශ්නයකට විසඳුම්ද රැගෙනය. එනම් නාමෙල් ‐ මාලිනී පුංචි තියටර් නමින් නාට්‍ය රඟහලක් කොළඹ අරඹමිනි. මෙරට නාට්‍ය හා සාහිත්‍ය කතිකාව පෝෂණයට සිය රංග ශාලාව නොමිලේම ලබාදුන් ඔහු නව නාට්‍ය නිෂ්පාදනයෙන්ද නාට්‍යවල රංගනයෙන්ද නාට්‍ය හා සාහිත්‍ය පොතපත සම්පාදනයෙන්ද මෙරට කලා ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් කරමින් සිටී. සිය 85 වැනි ජන්ම දිනයද නිමිති කොට දැන් ඔහු අලුත්ම කාර්යයකට සූදානම් වෙයි. එනම් සිය ස්වයංචරිතාපදානය එළි දැක්වීමටය. ඒ අනුව ඔහු ලියූ ඔහුගේ චරිත කතාව Sailed I on Life like a Lark in the Sky (‘ජීවිතයේ පාවීමි, අහසේ පියාඹන කුරුලකු සේ’) නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස හෙට (31 වෙනිදා) සවස 5.45 ට බොරැල්ල පුංචි තියටර්හිදී දොරට වැඩීමට නියමිතය. එහිදී හැඳින්වීමේ දෙසුම මහාචාර්ය රංජනී ඔබේසේකර විසින් පවත්වනු ලබන අතර ඩිල්ෂාන් බොවානගේ, තිලකරත්න කුරුවිට බණ්ඩාර, මහාචාර්ය ජේ.බී. දිසානායක හා‍ ආචාර්ය සරත් අමුණුගම දෙසුම් ඉදිරිපත් කිරීමට නියමිතය. ඉදින් මේ, ඔහුගේ අභිනව කෘතිය අරබයා අප ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

මේ ඔබේ ස්වයංචරිතාපදානයයි. මෙය බිහි වූ සැටි කියන්න.

ඇත්තටම ‍මගේ ජීවිතය ප්‍රබන්ධයක් වගේ හැලහැප්පීම් පිරුණු එකක් කියල මම හිතනවා. මම මෙය ආරම්භ කරලා දැන් අවුරුදු 4ක් 5ක් විතර වෙනවා. මම මේක ලිව්වෙ ටිකක් හෙමිහිට. ඒත් මූලිකවම මං මේක ලිව්වෙ මගේ මුනුබුරන් වෙනුවෙන්. මගේ මුනුබුරන් ඔක්කොම ජීවත් වෙන්නේ විදේශවල. මගේ පුතාලා දෙන්නායි දුවයි ඉන්නෙත් විදෙස්ගතව. ඔවුන් විවාහ වී සිටින්නෙත් විදෙස් ජාතික අය. ඉතින් දවසක් මගේ එක් මුනුබුරෙක් මගෙන් ඇහුවා “සීයා, අපි ඔයා ගැන දන්නේ අම්මා, තාත්තා කියන දේ විතරයි. සීයා සීයාගේ කතාව අපට ලිව්වොත් ඒක අපට හොඳ දායාදයක් වේවි” කියල. ඉතින් මම මේ කෘතිය ලිව්වෙ ඔවුන්ට මගේ ජීවිතය ගැන දැනගැනීමටයි.

ඔබේ ගම, ඔබේ මුල් කාලීන ජීවිතය අපට කීවොත්?

මගේ ගම අහුන්ගල්ල, මිද්දරමුල්ල. අපේ පවුලේ දරුවන් තුන් දෙනෙක් සිටියා. ඒ අක්කායි, මමයි, නංගියි. අක්කා මට මාස හතරක් විතර වෙද්දි නැති වුණා. ඒ, එක් වරම හැදුණු හෘදයාබාධයක් වගේ දෙයකින්. එතකොට ඇයට අවුරුදු පහක් විතර ඇති. ඇගේ වියෝව ගැන මතක් වෙන වාරයක් පාසා අපේ අම්මා කඳුළු සලනවා මට මතකයි. මගේ නංගී තවම ජීවත් වෙනවා. තාත්තා රැකියාව විධියට කළේ වෙළෙඳ ව්‍යාපාර කටයුතුයි. ඔහුට බලපිටිය නගරයේ කුරුඳු අලෙවිසැලක් තිබුණා. ඔහු උත්සාහවන්ත චරිතයක්. ඒත් මට අවුරුදු තුන විතර වෙනකොට තාත්තා මියගියා. අම්මාත් මට අවුරුදු දහසය වෙද්දි නැති වුණා. ඇත්තටම මම තනිවම ගොඩනැඟුණු කෙනෙක්. මගේ අම්මාගේ මල්ලී, ඒ කියන්නෙ මාමා තමයි මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සෙ මාව බලාගත්තේ. ඒ මාමා අමරපුර මහා නිකායේ හාමුදුරු නමක්. හරියටම කීවොත් රත්නපුරේ මල්වල පිරිවෙනේ නායක හාමුදුරුවෝ. උන් වහන්සේට අපි කිව්වෙ සාදු මාමා කියල. උන් වහන්සේ තමයි මට අධ්‍යාපනයෙන් මං අද ඉන්න තැනට එන්න උදව් කළේ. මට තව මාමා කෙනෙක් සිටියා. ඒ, දනියෙල් මාමා (දනියෙල් ද සිල්වා). ඔහු අම්මාගේ ඥාති සහෝදරයෙක්. ඔහු වැඩ කළේ ගාල්ලේ කච්චේරියේ. ඔහු තමයි මට අකුරු කියව්වේ. ඒවගේම මං මුලින් ගිය ගල්වෙහෙර ප්‍රාථමික විදුහලෙන් මාව එළියට දැම්මාට පස්සෙ මාව රත්නපුරේ ශාන්ත ලුක්ස් විද්‍යාලයට ඇතුළත් කළේ ඔහු. ඒකට සාදු මාමාත් උදව් කළා. ඇත්තටම මං පොඩි කාලෙ ටිකක් දරදඬුයි. දවසක් මම ගල්වෙහෙර ඉස්කෝලෙට ගිහින් එද්දි යාළුවෙක් කරපු කොලොප්පමකට මං අතේ තිබුණු තීන්ත බෝතලෙන් ඔහුගේ ඔළුවට ගැහුවා. යාළුවාගේ ඔළුව පැලිලා ලේ ගලන්න ගත්තා. මේ සිද්ධිය නිසා තමයි ඒ ඉස්කෝලෙ විදුහල්පති තුමා මාව ඉස්කෝලෙන් අයින් කළේ.

මෙහිදී සිදු වුණු තව දෙයක් කියන්න ඕන. ගල්වෙහෙර ප්‍රාථමික විදුහලෙන් මාව එළියට දැම්මාට පස්සෙ මම පාසලක් නැතිව අවුරුද්දක විතර කාලයක් ගෙදර සිටියා. ඒ කාලයේ මං පොත් කියවන්න පුරුදු වුණා. ඒ අනුව මං මුලින්ම කියවූ පොත ඩබ්ලිව්.ඒ. සිල්වාගේ ‘ශ්‍රියාලතා හෙවත් නොනැසෙන රැජින’ නවකතාව. ඒකත් හරි අපූරු සිද්ධියක්. එක පෝය දවසක අම්මායි මායි සිල් ගත්තා. ඇත්තටම මගේ ජීවිතයේ මං සිල් ගත්ත පළවෙනි සහ එකම අවස්ථාව එයයි. සිල් අරගෙන ගෙදර ආවාට පස්සෙ අම්මා කිව්වා “පුතේ, ඔය බණ පොතක් කියවපන්. තාත්තාගේ පොත් ගොන්නේ බණ පොත් ඇති” කියල. ඉතින් මං තාත්තාගේ පොත් ගොඩ පරීක්ෂා කරලා අතට අහුවුණු පොත අරන් කියවන්න ගත්තා. මට ඒක හරිම රසවත් වුණා. මම අම්මාට කිව්වා “අම්මේ, හරිම ලස්සන බණ කතාවක්නෙ ඒක” කියල. ඊට පස්සෙ අම්මාත් පොත අරගෙන බැලුවා. බැලුවාම ඒක ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතාව. ඇය ඒක දැකලා හිනා වුණා. ඇත්තටම මං පොත් කියවීමට නැඹුරු වුණේ ඔය සිද්ධියේ ඉඳලා කියන්න පුළුවන්.

ඔබේ ජීවිතයේ සන්ධිස්ථාන මොනවාද?

මම පාසලින් පාසලට මාරු වීමත් මගේ ජීවිතයේ සන්ධිස්ථාන වුණා. අහුන්ගල්ලේ ගල්වෙහෙර ප්‍රාථමික පාසලේ ඉඳලා මාව දනියෙල් මාමා, මුලින් ඇතුළත් කළේ පෙරාදෙණිය මහා විද්‍යාලයට. එහි මම මාස නවයක කාලයක් සිටියේ. එයින් අයින් වෙන්න හේතුව මම එහි උගන්වපු ගුරුවරුන්ට අකැමති වීම. විශේෂයෙන් අපේ පන්ති භාර ගුරුවරිය මට ඇමතුවේ “පහතරට ළමයා” කියල. මට හිතුණා ඔවුන් කුලභේදය අනුව මට සලකනවා කියල. ඇත්තටම ඒ ගුරුවරිය මට එහෙම කථා කරද්දි මං ඇයට කිව්වේ “මං පහතරට ළමයා නෙවෙයි, මම නාමෙල්” කියල. ඒත් ඉන් පස්සෙ මාමා මාව රත්නපුරේ ශාන්ත ලුක්ස් විද්‍යාලයට ඇතුළත් කළා. ඒ පාසලේදී මට අර නැති වුණු අවුරුද්දත් ආපස්සට අල්ලා ගන්න පුළුවන් වුණා. මොකද මගේ දක්ෂතාව නිසා මට පන්ති කීපයකදිම ඩබල් ප්‍රමෝෂන් ලැබුණා.

මං අන්තිමට ඇතුළත් වූ පාසල කොළඹ නාලන්දා විද්‍යාලය. එහිදී තමයි මම එච්.එස්.සී. විභාගයට මුහුණ දුන්නේ. ඒවගේම ඉන් සමත් වෙලා පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. නාලන්දාවේදී මම සම්පූර්ණයෙන් වෙනස් මනුස්සයෙක් වුණා කියන්න පුළුවන්. මං එහි ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේත් සිංහල සාහිත්‍ය සංගමයේත් සභාපති සහ ලේකම් බවට පත් වුණා. ඒවගේම එහි විවාද කණ්ඩායමටත් බැඳිලා එහි නායකයා වුණා. විද්‍යාලයේ කැඩේට් කණ්ඩායමටත් බැඳුණා. ක්‍රිකට් ඇරෙන්න අනෙක් හුඟක් ක්‍රීඩාවලට සහභාගි වුණා. එහිදී මං හිතන්නෙ මගේ පෞරුෂත්වය ගොඩනැඟුණා. ඒවගේම මං කියන්න ඕන නාලන්දාවේදී තමයි මම කොළඹ තිබුණු නාට්‍ය නරඹන්නත් සිනමාපට නරඹන්නත් පුරුදු වුණේ. මම 1956 නොවැම්බර් 3 වෙනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකාගත වූ ‘මනමේ’ මංගල දර්ශනයත් නැරඹුවා.

ඊළඟට මගේ විශේෂම සන්ධිස්ථානයක් විධියට මට මහාචාර්ය සරච්චන්ද්‍ර මුණගැසීම හඳුන්වන්න පුළුවන්. මං එතුමා මුලින්ම දැක්කේ කලින් කිව්වා වගේ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ ‘මනමේ’ මංගල දර්ශනය වෙලාවේ. සරච්චන්ද්‍ර අප හිතූ තරම් ශරීරයෙන් උස් මහත් කෙනෙක් නෙවෙයි. මට හොඳට මතක ඔහු ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ එහාට මෙහෙටා කඩිනමින් ඇවිදිනවා. එතුමා දැකපු වෙලාවේ කවදා හෝ ඔහු ඇසුරු කරන්න ලැබෙනවා නම් කියල මං හිතුවා.

ඒවගේම මාර්ටින් වික්‍රමසිංහ සහ ගුණදාස අමරසේකර හමු වීමත් මගේ සන්ධිස්ථානයක්. ඔවුන් දෙදෙනාගේ සාහිත්‍ය කෘති අපට විශාල බලපෑමක් කළා. මම මුලින්ම වික්‍රමසිංහයන් දැක්කේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේදී. ඒ වෙද්දි මමත් කෙටිකතා ලියලා තිබුණා. එදා මම වික්‍රමසිංහයන් හමු වෙලා මේ බව කිව්වා. “ංආ ඒක හරි හොඳයි” කියල කියාගෙන ඔහු කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියා. මට ගුණදාස අමරසේකරව හඳුනගන්න ලැබුණේ එදා ලංකාදීප පත්තරේ පළ වූ ඔහුගේ ‘සෝමා’ කෙටිකතාව කියවලායි. එය මාව හරියට ආකර්ෂණය කළා. ඔහුට මෙන් මටත් ලියන්න පුළුවන් නම් කියල මං හිතුවා.

ඔබ නාට්‍ය කලාවට යොමු වුණේ කොහොමද?

මම මුලින්ම නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘රත්තරන්’ නාට්‍යයට. එය 1959 අවුරුද්දේ වේදිකාගත වුණේ. මම එතකොට විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ. ‘මනමේ’ මංගල දර්ශනය නරඹලා සිටි මට පේරාදෙණියේදී සරච්චන්ද්‍රයන් හමු වීමත් ඔහුගේ නාට්‍යයකට සම්බන්ධ වීමත් සිහිනයක් වුණා. ඒ වන විට මම කිසිම ප්‍රසිද්ධ නාට්‍යයක රඟපාලා හෝ නාට්‍ය ගැන අවබෝධයක් හෝ තිබුණෙ නෑ. ඒත් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ බී ශාලාවේ ‘රත්තරන්’ නාට්‍යය සඳහා ඔඩිෂන් පැවැත්වෙද්දි මාත් එහි ගියා. ඒ දවස්වල මගේ මිතුරෙක් තමයි එඩ්මන්ඩ් විජේසිංහ. ඔහු ‘මනමේ’ වැදි නායකයා. ‘මනමේ’ හරහා ඔහු ඒ වන විට රටේ විශාල නමක් දිනාගෙන තිබුණා. අපි දෙදෙනා බී ශාලාවේ පිටිපස්ස පේළියේ වාඩි වෙලා සිටියේ. නළු නිළියන් බඳවාගෙන යද්දි මං එඩ්මන්ට කිව්වා මමත් යන්නද කියල. ඒ කිව්වා විතරයි “පලයන්!” කියල එඩ්මන්ඩ් මාව පිටිපස්සෙන් ඉස්සරහට තල්ලු කළා. ඒ එක්කම කට්ටිය විෂිල් ගහන්න, සූ ගාන්න ගත්තා. පස්සෙ සරච්චන්ද්‍රයන් එඩ්මන්ඩ්ගෙන් ඇහුවා “මෙකද එඩ්මන්ඩ් කලබලේ?” කියල. ඔහු කිව්වා “සර් මෙයාත් ඔඩිෂන්වලට යන්නද කියල ඇහුවා” කියල. ඊට පස්සේ සරච්චන්ද්‍රයන් ‘රත්තරන්’ නාට්‍ය පිටපත දීලා මට කිව්වා පුතාගේ චරිතයේ කොටස කියවන්න කියල. පස්සෙ මං ඒක ඉදිරිපත් කරපු විධිය අහලා සරච්චන්ද්‍රයන් කිව්වා “නරකම නෑ නේද?” කියල. ඔහොම තමයි මං ‘රත්තරන්’ වලට සම්බන්ධ වුණේ.

එහිදී සිදු වූ තව සිද්ධියක් කියන්න ඕන. ඇත්තටම සතියක් ඇතුළත ‘රත්තරන්’ නාට්‍යයට තුන්පාරක් ඔඩිෂන් තිබ්බා. තුන්පාරක් බලලායි සරච්චන්ද්‍රයන් අපිව තෝරාගත්තෙ. නාට්‍යය වේදිකාගත වෙන්න දවස් හතරක් තියෙද්දි දවසක් පුහුණුවීම් අතරතුර සරච්චන්ද්‍රයන් මට කිව්වා “ඔයා වචන කියන විධියට මම කැමැති නෑ. ඕක වෙන විධියකට කියන්න බලන්න” කියල. පස්සෙ මං ඇහුවා “සර්. මං බලපිටියේ මිනිස්සු කථා කරන භාෂාවෙන් ඉදිරිපත් කරන්නද?” කියල. ඇත්තටම මම හැම සිකුරාදාම අම්මා එක්ක බලපිටියේ පොළට එහෙම යනවා. ඉතින් ඔවුන් කථා කරන විධිය මං දන්නවා. පස්සෙ මම ඒ විධියට චරිතය ඉදිරිපත් කළා. ඒක බලලා සර් කිව්වා “ෂා! ඒක හොඳයිනෙ” කියල. ඉතින් ඔය විධියට තමයි මම ‘රත්තරන්’ නාට්‍යයට තේරුණේ. එදා එහි අම්මාගේ චරිතයට බඳවා ගත්තේ සෝමලතා සුබසිංහයි. මමයි සෝමලතායි ඇත්තටම එකටමයි නාට්‍යකරුවන් විධියට දොරට වැඩියේ.

ඔබට මේ චරිතාපදානය ලිවීමට සහයෝගිය දුන් අය කවුද?

මූලිකවම තුන් දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් නන්දසිරි ජසෙන්තුලියන නම් මගේ හිතමිතුරා. ඔහුත් නීතිඥයෙක්. ඒවගේම ඔහු කොෆි අන්නන්ගෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවැනියා. මම ඔහුට කිව්වා මං මගේ ජීවිත කතාව ලියනවා, ඔයාත් ඔයාගේ කතාව ලියන්න කියල. ඉතින් අපි දෙදෙනා එකටම අපේ කතා ලියන්න ගත්තා. ඒත් මට කලින් ඔහු ඔහුගේ පොත අවසන් කළා. දොරට වැඩුමකුත් කළා. මට මේක මගේ කතාව අවසන් කරන්න හුඟක් බලපෑවා. ඔහු පොත හරියට සකස් කරන්නත් මට හුඟක් උදව් කළා කියල කියන්න ඕන. ඊළඟට මට සහයෝගය දුන් කෙනා තමයි අත්පිටපත බොහොම ප්‍රවේශමෙන් සංස්කරණය කළ අජිතා දිසානායක. ඇය මෙහිදී කළ සේවය විස්තර කරන්න බැරි තරම්. ඊළඟට මගේ බිරිඳ මාලිනී වීරමුනි. ඇය මට මේ සියලු කටයුතු කරන්න පසුබිමින් සහයෝගය ලබා දුන්නා.

ඔබ මේ පොත ලියන්නේ ඉංග්‍රීසියෙන්. ඇයි එය සිංහලෙන් නොලියන්නේ?

මේක මම ඔබට මුලින් කිව්වා වගේ මගේ මුනුබුරාගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලියූ පොතක්. මුනුබුරාට සිංහල බැහැනෙ. ඒ නිසා මේක මුලින්ම ඔවුනට වුවමනා දෙයක් විධියටයි ලිව්වෙ. කොහොම වුණත් මම බලාපොරොත්තු වෙනවා මෙහි සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කරන්න.

ඔබ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට භාග්‍යය ලැබූවෙක්?

ඔව්. ඒ භාග්‍යය මට ලැබුණා. ඒ අතින් මම අද පරම්පරාවට වෙලා තියෙන දේ ගැන කනගාටු වෙනවා. මම මෙහිදී චෝදනා කරන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාටයි. එතෙක් පැවති ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන මාධ්‍යය සිංහල බවට පත් කළේ ඔහුයි. ඒක තනිකර ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ උප්පරවැට්ටියක්. එහි ප්‍රතිඵලය වුණේ පරම්පරා ගණනක්ම අන්ධභාවයට පත් වීමයි. මම හිතන්නේ අපේ භාෂා මධ්‍යය විධියට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තුනම තිබිය යුතුයි.

තව දෙයක් කියන්න ඕන. සිංහල පමණක් වීමේ ගැටලුවට විසඳුම් ලෙස අද ජාත්‍යන්තර පාසැල් යන විකල්පය ඇවිත් තියෙනවා. දෙමාපියන්ගේ බලාපොරොත්තුව මෙයින් සිංහල පමණක් දැන ගැනීමෙන් යෑමට බැරි තැනකට දරුවන් යැවීමයි. ඒත් ප්‍රශ්නය එය නෙවෙයි, එහිදී ඒ දරුවන්ට අපි සිංහල බව, අපට උරුම සංස්කෘතියක් තිබෙන බව, අපට කලාවක් තිබෙන බව තේරුම් කර නොදීමයි. මීට මම හොඳ උදාහරණයක් කියන්නම්. පසුගිය දවසක අපේ නාමෙල් ‐ මාලිනී පුංචි තියටර් එකේ ජාත්‍යන්තර පාසලකින් ඇවිත් ඉංග්‍රීසි නාට්‍යයක් ඉදිරිපත් කළා. එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ශිෂ්‍යයාව එහි ඉතා හොඳ රංගනයක් ඉදිරිපත් කළා. මේ වෙද්දි මගේ අලුත් නාට්‍යයේත් ප්‍රධාන නිළි භූමිකාවට මම කෙනෙක් සොයමින් සිටියා. ඉතින් මම අර නාට්‍යය ඉවර වුණාම ශිෂ්‍යයාව ළඟට ගිහින් ඇහුවා කැමතිද අපේ සිංහල නාට්‍යයේ චරිතයකට එන්න කියල. ඒ ළමයා දුන්නු උත්තරේ මොකක්ද දන්නවාද? “චී...! මම සිංහල නාට්‍යයවලට එන්නෙ නෑ!” කියල. දෙයියනේ! අපේ නාට්‍ය කලාව, අපේ සාහිත්‍ය කලාව, අපේ සංස්කෘතිය ගැන අවබෝධයක් නැතිව කරන මොන නාට්‍ය කලාවකින්වත් වැඩක් තියෙනවාද? ඉතින් මම කියන්නේ මේ ජාත්‍යන්තර පාසැල් කියන වසංගතය වහාම මේ රටින් අතුගා දාන්න ඕන කියල. එහෙම නොවුණොත් සිද්ධ වෙන්නෙ අර ගුණදාස අමරසේකර කියනවා වගේ හිස නැති කවන්දයක් ඇති පරපුරක් බිහි වීමයි.

සාකච්ඡා කළේ [රවීන්ද්‍ර විජේවර්ධන]

 

මාතෘකා