කවුළුව

 ඡායාරූපය:

කවුළුව

සෙන් චෝ හියුගෝට ලොව ඉහළම විද්‍යා ප්‍රබන්ධ සම්මානය

විද්‍යා ප්‍රබන්ධ සඳහා පිරිනැමෙන ලොව ඉහළම පිළිගැනීම ලෙස සැලකෙන හියුගෝ සම්මානය හිමි කර ගැනීමට මැලේසියානු විද්‍යා ප්‍රබන්ධ රචිකාවක වන සෙන් චෝ පසුගියදා සමත් වුණා. මේ සම්මානය හිමි වී ඇත්තේ ඇය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී විද්‍යා ප්‍රබන්ධ හා අරුමැසි රචනා සඳහා වන බ්ලොග් අඩවියකට රචනා කළ ‘ඉෆ් ඇට් ෆර්ස්ට් යූ ඩෝන්ට් සක්සීඩ්, ට්‍රයි ට්‍රයි එගේන්’ (If at First You Don’t Succeed, Try, Try Again) නමැති කෙටි ප්‍රබන්ධයක් සඳහායි. පසුගිය අගෝස්තු 18 වැනිදා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැති 77 වැනි ලෝක විද්‍යා ප්‍රබන්ධ සමුළුවේදී ඇයට මේ සම්මානය පිරිනමනු ලැබුවා. මැලේසියාවේ සෙලැන්ගෝර් ප්‍රාන්තයේ උපත ලද, දැනට 33 හැවිරිදි වියේ පසු වන මේ ලේඛිකාව දැනට බ්‍රිතාන්‍යයේ නීතිඥවරියක ලෙස කටයුතු කරනවා.

මෙයට පෙර ඇය රචනා කළ ‘සෝසරර් ටු ද ක්‍රව්න්’ (Sorcerer To The Crown) නමැති නවකතාවක් 2015 දී පළ වූ අතර එහි දෙවැනි කොටස ලෙස රචනා කරන ලද තවත් නවකතාවක් ‘ද ටෲ ක්වීන්’ (The True Queen) නමින් මේ වසරේ (2019) පළ වුණා. එයට අමතරව නිර්මාණ සංග්‍රහයන් කිහිපයක් සංස්කරණයටද ඇය දායක වී තිබෙනවා. මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ඇගේ නිර්මාණ කිහිපයක් විවිධ ඇගයීම්වලට පාත්‍රව තිබෙනවා. ඒ ඇගයීම් සියල්ලට අමතර වශයෙන් පසුගියදා හිමි වූ හියුගෝ සම්මානය සිය ජීවිතයේ මෙතෙක් ලද සුවිශේෂී ඇගයීමක් ලෙස ඇය සලකනවා. ‘ඇමේසින් ස්ටෝරීස්’ (Amazing Stories) නමැති ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ සඟරාවේ නිර්මාතෘ හියුගෝ ගර්න්ස්බැග් නමින් ආරම්භ කරන ලද හියුගෝ සම්මානය මුල් වරට පිරිනමනු ලැබුවේ 1953 වසරේදීයි. එදාමෙදාතුර විද්‍යා ප්‍රබන්ධ රචනයේ විවිධ ඉසව් ඇගයීමට ලක් කරමින් ලේඛක ලේඛිකාවන් විශාල පිරිසකට හියුගෝ සම්මාන පිරිනමනු ලැබ තිබෙනවා.

----------------

සිය අසම්මත ප්‍රේමයක් ගැන වර්ජිනියා වුල්ෆ්ගේ නවකතාවක් සිනමාවට

වර්ජිනියා වුල්ෆ් 1920 ගණන්වලදී ලියූ නවකතාවක් තමයි ‘ඕර්ලැන්ඩෝ: අ බයෝග්‍රැෆි’ (Orlando: A Biography). කාන්තාවන් දෙදෙනෙකු අතර පැවැති අසම්මත පෙම් සබඳතාවක් පාදක කරගත් එය මෙතෙක් රචනා වී ඇති දීර්ඝතම සහ පෙම් ලිපියක ආකෘතියෙන් ලියූ වෙනස්ම ස්වරූපයක් ගත් නවකතාවක්. ඉතින් එය පසුගියදා සිනමාපටයක් ලෙස ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. වර්ජිනියා සහ ඇගේ පෙම්වතිය වූ විටා සැක්විල්-වෙස්ට් අතර පැවැති අසම්මත ඇසුර ආශ්‍රිත අතිශය පුද්ගලික අත්දැකීම් ගොනු කරමින් රචනා කරනු ලැබ ඇති මෙය නූතනවාදී සාහිත්‍යයේ විශිෂ්ට කෘතියක් මෙන්ම විද්‍යා ප්‍රබන්ධ රචනාවකට සමානකම් දක්වන ලියැවිල්ලක් ලෙසද ප්‍රකටයි. මේ කෘතිය ඇසුරින් මෙයට පෙර 1992 වසරේදීද සිනමාපටයක් නිර්මාණය කරනු ලැබුවා. ඒත් එය එතරම් සාර්ථක කෘතියක් ලෙස සැලකෙන්නේ නැහැ. ප්‍රේමය, ලාලසාව, ලිංගිකත්වය, බලය සහ පුරුෂාධිපත්‍යය වැනි කරුණු පිළිබඳව වර්ජිනියාගේ කෘතියේ ඇතුළත්ව තිබූ විවරණය මනාව ඉදිරිපත් කිරීමට ඒ සිනමා නිර්මාණය සමත් වී තිබුණේ නැහැ.

ඇතැමුන්ගේ අදහස වුණේ වර්ජිනියාගේ කෘතියේ ඇතුළත් කරුණු ඒ අයුරින්ම සිනමාවට නැඟිය නොහැකි බවයි. විශේෂයෙන්ම එයට ඇතුළත්ව ඇති හාස්‍යය, උත්ප්‍රාසය සහ ශෘංගාරය කිසිසේත්ම සිනමා මාධ්‍යය ඔස්සේ ඉදිරිපත් කළ නොහැකි බව බොහෝ අයගේ අදහස වුණා. එහෙත් ‘විටා ඇන්ඩ් වර්ජිනියා’ (Vita and Virginia) යන නමින් නිර්මාණය වී ඇති නව සිනමා කෘතිය බොහෝදුරට මුල් කෘතිය ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කිරීමට සමත්ව ඇති බවයි සඳහන් වන්නේ. මේ සිනමාපටය පසුගියදා බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ නගර කිහිපයක ප්‍රදර්ශනය ඇරඹුවා.

-------------------

මවුන්ට්බැට්න් ආර්යාව හා නේරු අතර ප්‍රේමය ගැන අලුත් පොතක්

යටත්විජිත පාලන සමයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නියෝජනය කරමින් ඉන්දියාවේ අධිරාජයා ලෙස කටයුතු කළ මවුන්ට්බැට්න් සාමිවරයාගේ බිරිඳ වූ එඩිවිනා මවුන්ට්බැට්න් සහ එවකට ඉන්දියාවේ අගමැතිවරයාව සිටි ජවහර්ලාල් නේරු අතර පැවැති පෙම් සම්බන්ධතාව ගැන ලියැවුණු කෘතියක් ළඟදීම පළ වීමට නියමිතයි. ‘ද මවුන්ට්බැට්න්ස්: දෙයාර් ලයිව්ස් ඇන්ඩ් ලව්ස්’ (The Mountbattens: Their Lives & Love) ඛදඩැ) යන නමින් පළ වන මේ කෘතිය රචනා කර ඇත්තේ ඇන්ඩෘා ලව්නී නමැති චරිතාපදාන රචකයකු විසින්. මේ කෘතියට අවශ්‍ය තොරතුරු සොයාගැනීම සඳහා කළ අධ්‍යයනයේදී මවුන්ට්බැට්න් පවුලේ මෙතෙක් අප්‍රකටව පැවැති වැදගත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට ලව්නී සමත්ව තිබෙනවා. ඔහු පවසන්නේ මවුන්ට්බැට්න් ආර්යාව සිය ජීවිත කාලය තුළදී පෙම්වතුන් 18 දෙනෙකු හා සබඳතා පවත්වා ඇති බවයි. ඒ සියලු පෙම්වතුන් අතරින් ජවහර්ලාල් නේරු ඇයට සුවිශේෂ පෙම්වතෙකුව සිටි බවට සාධක ඇති බවද ඔහු පවසනවා.

ඇය 1960 දී 58 හැවිරිදි වියැති කාන්තාවක ලෙස මියයන විට නේරු විසින් ඇයට ලියන ලද පෙම්පත් රැසක් ඇය සතුව තිබී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. සිය කෘතියෙන් මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මවුන්ට්බැට්න් ආර්යාව සහ නේරු අතර පැවති පෙම් සබඳතාව ගැන මවුන්ට්බැට්න් සාමිවරයාද දැනුවත්ව සිටි බවයි. ඒ බව මවුන්ට්බැට්න් සාමිවරයා සිය දියණිය වූ පැට්‍රීසියාට ලියා යැවූ ලිපියකද සඳහන්ව ඇතැයි ලව්නි පවසනවා. මේ පෙම් සබඳතාව පිළිබඳ තොරතුරුවලට අමතරව මවුන්ට්බැට්න් සාමිවරයාගේ අසම්මත සමලිංගික චර්යාවන් පිළිබඳ තොරතුරු රැසක්ද අනාවරණය කර ගැනීමට ඔහු සමත්ව තිබෙනවා. කුඩා පිරිමි ළමුන්ට දැඩි ආසක්ත බවක් දැක්වූ මවුන්ට්බැට්න් සාමිවරයාගේ එවැනි අසම්මත ලිංගික චර්යාවන්ද එඩිවිනාගේ අයථා පෙම් සබඳතාවලට හේතු වන්නට ඇති බවයි ඔහු අනුමාන කරන්නේ.

[මේනුක විතාන]

මාතෘකා