පරිවර්තනයකට වඩා ස්වතන්ත්‍ර කෘතියක් ලිවීම අමාරුයි

 ඡායාරූපය:

පරිවර්තනයකට වඩා ස්වතන්ත්‍ර කෘතියක් ලිවීම අමාරුයි

දිලීප ජයකොඩි

පරිවර්තන 35ක් සහ ස්වතන්ත්‍ර කෘතීන් 5ක් සිංහල පාඨකයන්ට දායාද කළ ප්‍රවීණ පරිවර්තක දිලීප ජයකොඩි විසින් රචිත නවතම ස්වතන්ත්‍ර නවකතාව වන ‘ආර්යා’ අගෝස්තු 17 වැනි සෙනසුරාදා සවස 2.30ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී දොරට වඩී. ලොව පවතින සදාතනික බල අරගලය ඔස්සේ කාන්තාවකට යා හැකි දුර විදහාලන මේ කෘතිය දේශපාලන ත්‍රාසක ශානරයේ කෘතියකැයි කතුවරයා සඳහන් කරයි. මියුසස් පබ්ලිෂින් හවුස් ප්‍රකාශනයක් ලෙස පළ වන ‘ආර්යා’ කෘතිය පාදක කරගනිමින් අප පසුගියදා දිලීප ජයකොඩි සමඟ කළ සංලාපයකි, මේ.

 මේ නවකතාව ඔබ හඳුන්වාදෙන්නේ කුමන ආකාරයටද?

මෙය ‘පොලිටිකල් ත්‍රිලර්’ එකක් හැටියට හැඳින්වීමට මම කැමතියි. මිනිසා කියන්නෙ දේශපාලන සත්වයෙක්. කැමති වුණත්, අකමැති වුණත් අපි හැමෝටම එය බලපානවා. දේශපාලන ක්ෂේත්‍රයේ සිදු වන විපර්යාසයන් අපේ ජීවිතවලටත් බලපානවා. දේශපාලන බල පෙරළිත් ඒ වගේමයි. සමහර විට රටක රජයක් පෙරළෙන්නේ අතිශය පෞද්ගලික කාරණාවන් නිසා වෙන්න පුළුවන්. මේ කියන පෞද්ගලිකත්වය ඔස්සේ නිර්මාණශීලීව සිතීමෙනුයි මේ කතාව මගේ සිතේ පිළිසිඳගන්නේ.

 මෙය දේශපාලන ත්‍රාස කතාවක් ලෙස වර්ග කිරීමට හේතුව කුමක්ද?

‘පොලිටිකල් ත්‍රිලර්’ යන්නට දිය හැකි ආසන්නම අරුත ‘දේශපාලන ත්‍රාසකයක්’ යන්න විය හැකියි. එහෙත් මෙය බිහිසුණු, ත්‍රාසජනක ගණයේ පොතක් නෙවෙයි. මෙහිදී ‘ත්‍රාසක’ යන්නෙන් මා අදහස් කළේ උද්දාමයට ආසන්න දෙයක් යන්නයි. සුගතපාල ද සිල්වා මහතාගේ ‘බල්ලෝ බත් කති’ කෘතියත් එවැන්නක් කියලා මට හිතෙනවා. ඒ කෘතිය මා අවිඥානිකව මේ සඳහා මෙහෙයවූ බවකුත් මට හැඟෙනවා.

 පොතට ‘ආර්යා’ වැනි නමක් යෙදීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

මෑතකදී ප්‍රභූ කාන්තාවක් පැවසූ වදන් පෙළක් නිසා ‘ආර්යා’ යන නම දැඩි කතාබහට ලක් වුණා. ඒ සිද්ධිය සහ ‘ආර්යා’ කියන වචනය මුහුණුපොත ඔස්සේ විශාල ආකර්ෂණයක් දිනාගත්තා. හැබැයි මේ පොතට නම යෙදුවේ ඊට බොහෝ කලින්. පවතින ආන්දෝලනය ඔස්සේ මාකටිං කිරීමට අවශ්‍යතාවක් මට හෝ ප්‍රකාශකයාට නැහැ. පොත කියවන්නෙකුට එයට ‘ආර්යා’ යන නම තැබූ හේතුව මනාව පැහැදිලි වෙයි කියලා මම හිතනවා. එය කතාව හා බද්ධ වූවක්. ඒ වගේම අතිශයින්ම අර්ථාන්විත වූවක්.

 ඔබ විශ්වාස කරන ආකාරයට නම සහ කවරය පොතකට වැදගත් වන්නේ කෙසේද?

පොතකට නම සහ කවරය අතිශය වැදගත් බවයි මගේ අදහස. පාඨකයා මුලින්ම දකින්නේ මේ දෙකයි. පොතක් මිලදී ගන්නට පාඨකයා පොළඹවන්නේ පොතේ නම සහ කවරය වෙන්නත් පුළුවන්. පොත් ප්‍රකාශනය ව්‍යාපාරයක් බව කිසි විටෙක අමතක නොකළ යුතුයි. ඒ නිසා අපි සැමවිටම ප්‍රකාශකයා ගැනත් සිතිය යුතුයි. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් පොතක අන්තර්ගතයයි වැදගත්, නම සහ පිටකවරය වැදගත් නැහැ කියලා. මම හිතන්නෙ ඒ දෙකම වැදගත්. ප්‍රකාශකයා රැකුණොත් තමයි පාඨකයා රැකෙන්නෙත්. පොතේ නම මුළු පොතම මූර්තිමත් කරන්නක් විය යුතුයි. ඒ නිසා එය වැදගත් තැනක් ගන්නවා. එයින් තමයි පාඨකයා පොත ගැන මූලිකම හැඟීම ඇති කර ගන්නේ.

 පරිවර්තකයකු ලෙස වඩාත් ප්‍රකට ඔබ ස්වතන්ත්‍ර නවකතාවක් රචනා කිරීමට තීරණය කළේ ඇයි?

එය මා මටම කරගත් අභියෝගයක් මෙන්ම පාඨක ඉල්ලීමක් ඉටු කිරීමක්. ඔබේම කතාවක් ලියන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නය පාඨකයින් දිගින් දිගටම මගෙන් අසන්නට ගත්තා. විශේෂයෙන්ම මගේ අනෙක් ස්වතන්ත්‍ර කෘති කියැවූ පාඨකයින්ගෙන් ඒ ඉල්ලීම දැඩිව නැඟුණා. ස්වතන්ත්‍ර කිරීමට වඩා පරිවර්තන කිරීම පහසුයි. අන්න ඒ පහසුවට අභියෝග කිරීමට මට ඕන වුණා. එය මා මටම කරගත් අභියෝගයක් කියලා මම කිව්වෙ ඒකයි.

 මෙහි තේමාව ඔබ හඳුන්වා දෙන්නේ කෙසේද?

මේ කතාවේ මූලික තේමාවක් තමයි නොනිමි බල අරගලය. එය එක් තැනකින් නවතින්නේ නැහැ. මේ නිසා එයට අවසානයන් දෙකක් යෙදීමේ සාධාරණ අවශ්‍යතාවක් මට පෙනුණා. උදාහරණයක් හැටියට අතිශය ජනප්‍රිය රූපවාහිනී දාම නාට්‍යයක් වූ ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ ඔබ නරඹා ඇත්නම් මම මේ කියන දේ වඩාත් පැහැදිලි වේවි. එහිදී කිසියම් අවස්ථාවක මේ තමයි අවසානය යැයි අපට සිතුණත් එය එසේ නොවී, තවත් බල පෙරළියකට මුල පුරනවා. ඒ ආකාරයෙන්ම මේ නවකතාවේත් එකිනෙකට හාත්පසින් වෙනස් අවසානයන් දෙකක් තිබෙනවා.

 පරිවර්තනය සහ ස්වතන්ත්‍ර නවකතා රචනය අතර වෙනස කුමක්ද?

මම කලිනුත් කිව්වා වගේ ස්වතන්ත්‍ර කෘතියක් ලිවීම පරිවර්තනයක් කරනවාට වඩා අසීරුයි. පරිවර්තනයක් කරද්දී ඔබට කිසියම් මඟපෙන්වීමක් තියෙනවා. ඔබ අදාළ භාෂා දෙක මැනවින් හසුරුවන්න දන්නවා නම් ඔබට කරන්නට තියෙන්නේ ලියාගෙන යෑම විතරයි. ඒත් ස්වතන්ත්‍ර කෘතියක් රචනා කිරීම ඊට වඩා අසීරුයි. ඔබ ඉතා හොඳින් එහි ප්‍රස්තුතයට අදාළ කරුණු හැදෑරිය යුතුයි. කාලවකවානු, සිද්ධීන් සහ චරිත එකිනෙක ගැළපිය යුතුයි. ඉතා සුළු දේ ගැන පවා සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා ස්වතන්ත්‍ර කෘතියක් රචනා කිරීම අසීරු කාර්යයක්.

 නවකතා රචනයේදී ඔබට පරිවර්තන කාර්යයෙන් ආභාසයක් ලැබුණාද?

ඔව්. මම එයින් ලබාගත් ප්‍රධානම ආදර්ශය තමයි අදාළ ප්‍රස්තුතය පිළිබඳ මැනවින් හැදෑරීම සහ ඉතා සුළු දෑට පවා අවධානය යොමු කිරීම. අපි කිසියම් ප්‍රස්තුතයක් ඔස්සේ ස්වතන්ත්‍ර කෘතියක් රචනා කරනවා නම් ඒ ප්‍රස්තූතය පිළිබඳ නිසි පරිදි පර්යේෂණ කිරීම අත්‍යවශ්‍යයි. මැනවින් හැදෑරීම යනුවෙන් මම අදහස් කරන්නේත් එයමයි.

 ප්‍රබන්ධයේදී සත්‍යය, අත්දැකීම් සහ පරිකල්පනය අතර සමබරතාව පවත්වා ගත යුතු ආකාරය ගැන ඔබේ අදහස කුමක්ද?

නිර්මාණයක් යනු එයම නේද? නිර්මාණයක් බිහි වන්නේ පරිකල්පනය සහ සත්‍යය නිසි පදමට මුසු කර ගැනීමෙන්මයි. සත්‍යය එලෙසින්ම ලිව්වොත් එය වඩාත් සමීප වන්නේ වාර්තාවකටයි. පරිකල්පනය එලෙසින්ම ලිව්වොත් ඒ ලියැවෙන දේ විකාරරූපී බවක් ඉසිලිය හැකියි. එහෙත් එය ඔබ තෝරාගන්නා ශානරය අනුව වෙනස් වෙනවා. එවිට කල්පිතයක් මඟින් වුවත් විශිෂ්ට නිර්මාණයක් බිහි විය හැකියි. ජෝර්ජ් ඕවල්ගේ ‘ඇනිමල් ෆාම්’ වැනි නවකතාවක් ඒ සඳහා උදාහරණ හැටියට ගත හැකියි.

 කෘතියකට සුපාඨනීය බව වැදගත් යැයි ඔබ සිතනවාද?

ඔව්. ඒ ගැන නම් මම හරිම සැලකිලිමත්. මොකද කොයි තරම් සරුසාර පොතක් ලිව්වත්, එය පාඨකයාට කියවාගෙන යෑමට බැරි නම් එය ඛේදවාචකයක්. එය ලේඛකයාගේ අසාර්ථකත්වය පෙන්වන්නක්. මේ කාලයේ පාඨකයෙක් රුපියල් හය, හත්සීයක් වැය කරලා ගන්න පොතක් ඔහුට කියවාගෙන යෑමට බැරි නම් එය අප ඔහුට කරන අසාධාරණයක්. ඒ නිසා මම නිතරම සරල බසකින් ලියන්නට කැමතියි. අපේ ජනවහර, උපමා සහ යෙදුම් ආදිය උපයෝගී කරගන්නට මම කැමතියි. කිසිවෙකුට නොතේරෙන වැල්වටාරම් මගේ ලියැවිල්ලේ නැහැ.

 මුහුණුපොත ඔස්සේ කෙරෙන සාහිත්‍ය මැදිහත් වීම ඔබ දකින්නේ කෙසේද?

සාහිත්‍යය සඳහා මුහුණුපොතෙහි මැදිහත්වීම මා දකින්නේ ඉතා සුබවාදීවයි. ඒ හරහා සිංහල පාඨකයන් ඒකරාශී කරගන්නට ඒ ඒ පේජ් ඇඩ්මින්ලාට හැකි වෙලා තියෙනවා. මුහුණුපොතෙහි සැරිසරන්නෙ බහුතරයක් තරුණ තරුණියෝ. එවැන්නන් මුහුණුපොත හරහා සිංහල සාහිත්‍යය ගැන කිසියම් උනන්දුවක් දැක්වීම හොඳ දෙයක්. ඔවුන් කවි ලියනවා. කෙටිකතා ලියනවා. පොත් ගැන විවේචන ලියනවා. අලුත් පොත් ගැන කතා කරනවා, ඒවා ගැන අදහස් දක්වනවා, බණිනවා, හොඳ කියනවා. මේ හැමදෙයක්ම වැදගත් හැටියටයි මම නම් දකින්නේ. ඒ ඇරෙන්න ප්‍රකාශකයන්ට මේ හරහා ගොඩනැගෙන වෙළෙඳපොළත් වැදගත්. අද මේ පොත හොඳ පොතක් කියලා මුහුණුපොතේ සඳහන් වූ විට කරදරයක් නැතිව පොත් තුන්හාරසීයක් හෝ සමහර විට ඊට වැඩි ප්‍රමාණයක් පවා අලෙවි කරගන්නට හැකි වීම කොච්චර දෙයක්ද?

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා