කවුළුව

 ඡායාරූපය:

කවුළුව

හිලරි ක්ලින්ටන් දියණිය සමඟ ලියූ අලුත්ම කෘතියක් මේ වසරේ එයි

 

ඇමෙරිකාවේ හිටපු ජනපති ආර්යාවක වන හිලරි ක්ලින්ටන් සිය දියණිය වන චෙල්සියා ක්ලින්ටන් සමඟ එක්ව රචනා කළ ‘ද බුක් ඔෆ් ගට්සි විමෙන්’ (The Book of Gutsy Women) නමැති අලුත්ම කෘතියක් මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පළ වීමට නියමිතයි. සිය ජීවිතයට කිසියම් ආකාරයකින් උත්තේජනාත්මක බලපෑමක් ඇති කළ කාන්තාවන් පිළිබඳ විස්තර ඇතුළත් කරමින් හිලරි ක්ලින්ටන් විසින් රචනා කරනු ලැබ ඇති මේ කෘතියට 17 වැනි සියවසේ ජීවත් වූ විප්ලවකාරී කන්‍යා සොයුරියකගේ සිට මෑත කාලයේ ලොව පුරා කතාබහට ලක් වූ ලේඛිකාවක වන චිමාමන්දා න්ගොසි අඩිචි දක්වා වූ සුවිශේෂ කාන්තා චරිත සියයකට අධික ප්‍රමාණයක් පාදක කරගෙන තිබෙනවා. මෙයට පෙර 2016 වසරේදී ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව ‘වට් හැපන්ඩ්’ (What Happened) යන නමින් මතක සටහන් කෘතියක් ලියා පළ කිරීමෙන් පසුව ඇය රචනා කළ මේ කෘතිය සඳහා සිය දියණියගේ දායකත්වය ලබාගැනීමට ඇය තීරණය කර ඇත්තේ චෙල්සියා කුඩා දැරියක ලෙස සිටි අවධියේදී ආරම්භ කළ කතාබහක දිගුවක් ලෙස මෙය රචනා වී ඇති නිසායි. ක්ලින්ටන් පවුලේ සාමාජිකයින් මෙයට පෙර වරින්වර කෘති කිහිපයක් රචනා කර තිබෙනවා. සිය මව සහ පියා මෙන්ම චෙල්සියාද මෙයට පෙර ‘ෂී පර්සිස්ටඩ්’ (She Persisted) නමින් කෘතියක් රචනා කළා. ලෝකය වෙනස් කළ ඇමෙරිකානු කාන්තාවන් ගැන රචනා කරන ලද කෘතියක් වූ එය පළ වූයේ පින්තූර පොතක ආකෘතිය සහිතවයි. හිලරි ක්ලින්ටන් මෙයට පෙර රචනා කළ කෘති සියල්ලම පාහේ ඉහළම අලෙවි වාර්තා තබමින් අලෙවි වී තිබෙනවා.

-----------------

ජෝන් ස්ටෙයින්බෙක්ගේ කෙටිකතාවක් මුල්වරට ඉංග්‍රීසි බසින් එයි

 

‘ඔෆ් මයිස් ඇන්ඩ් මෙන්’ (Of Mice and Men), ‘ද ග්‍රේප්ස් ඔෆ් ව්රැත්’ (Of Mice and Men) සහ ‘ඊස්ට් ඔෆ් ඊඩ්න්’ (East of Eden) වැනි නවකතා රැසක් ඔස්සේ ලොව පුරා පාඨක විචාරක ප්‍රසාදය දිනාගත් නොබෙල් හා පුලිට්සර් ත්‍යාගලාභී ඇමෙරිකානු ලේඛක ජෝන් ස්ටෙයින්බෙක් රචනා කළ අප්‍රකට කෙටිකතාවක් පසුගියදා ප්‍රථම වරට ඉංග්‍රීසි බසින් පළ වුණා. මේ කෙටිකතාව රචනා වී ඇත්තේ කතුවරයා 1950 දශකයේ මැදභාගයේ පැරිස් නුවර ජීවත්ව සිටි කාලය තුළදී ප්‍රංශ බසින් පළ වූ දිනපතා පුවත්පතකට සතියකට වරක් බැගින් ලියූ තීරුලිපි පෙළක් සඳහායි. මුල්වරට 1954 වසරේ ජුලි මාසයේ 31 වැනිදා ප්‍රංශ බසින් පළ වී ඇති මේ කෙටිකතාව ඔස්ටින් නුවර ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ රැන්සම් මධ්‍යස්ථානයේ තිබී සොයාගෙන ඇත්තේ ඇන්ඩෘ ගලී නමැති සඟරා සංස්කාරකවරයකු විසින් බවයි සඳහන් වන්නේ. ඔහු සංස්කරණය කරන ‘ස්ට්‍රෑන්ඩ්’ (Strand) නමැති සඟරාවේ අලුත්ම කලාපයේ මේ කෙටිකතාව ‘දි ඇමයබල් ෆ්ලීස්’ (The Amiable Fleas) යන නමින් ඉංග්‍රීසි බසින් පළ වුණා. ස්ටෙයින්බෙක් රචනා කළ වෙනස්ම ආකාරයේ කෙටි ප්‍රබන්ධයක් ලෙස සැලකිය හැකි මේ කෙටිකතාවෙන් කියැවෙන්නේ ප්‍රංශ සූපවේදියකු සහ ඔහුගේ සුරතලා වන පූසකු ගැනයි. මිනිසා සහ සුරතල් සතුන් අතර පවතින ඇතැම් සුවිශේෂ සබඳතා විදහා දැක්වෙන කතාවක් ලෙස ස්ටෙයින්බෙක් මෙය රචනා කර තිබෙනවා.

-------------------

නොබෙල් ත්‍යාගලාභී ඇමෙරිකානු ලේඛිකා ටෝනි මොරිසන් මියයයි

 

‘බිලව්ඩ්’ (Beloved), ‘සෝන්ග් ඔෆ් සොලමන්’ (Song of Solomon) සහ ’අ මර්සි’ (A Mercy) වැනි ප්‍රබන්ධ කෘති ඔස්සේ කළු ඇමෙරිකානු දිවියේ සංවේදනාවන් ස්පර්ශ කළ නොබෙල් හා පුලිට්සර් ත්‍යාගලාභී ඇමෙරිකානු ලේඛිකා ටෝනි මොරිසන් පසුගියදා මෙලොවින් සමු ගත්තා. මියයන විට 88 හැවිරිදි වියේ පසු වූ ඇය 1970 වසරේදී ’ද බ්ලූවස්ට් අයි’ (The Bluest Eye) නමැති සිය ප්‍රථම නවකතාව ලියා පළ කිරීමෙන් අනතුරුව, දශක හයක කාලයක් තුළ නවකතා 11ක්, ළමා සාහිත්‍ය කෘති පහක්, නාට්‍ය පිටපත් දෙකක්, ගීත රචනා එකතුවක් සහ ඔපෙරා පිටපතක් රචනා කර තිබෙනවා. ලේඛිකාවක ලෙස නිර්මාණකරණයේ යෙදෙන අතරම ඇය සංස්කාරිකාවක හා පරම්පරා කිහිපයකට අයත් තරුණ ලේඛක ලේඛිකාවන් රැසකට මඟ පෙන්වූ මහාචාර්යවරියක ලෙසද කටයුතු කළා. අප්‍රිකානු ඇමෙරිකානු වහල් කතක පිළිබඳ කතාවක් ලෙස ඇය විසින් රචනා කරන ලදුව, 1987 වසරේදී පළවූ ’බිලව්ඩ්’ කෘතියට 1988 වසරේදී පුලිට්සර් ත්‍යාගය හිමි වූ අතර පසුව එය සිනමා කෘතියක් ලෙසද නිර්මාණය වුණා. එහි ප්‍රධාන නිළිය ලෙස චරිත නිරූපණය කළේ ඔෆ්රා වින්ෆ්‍රි නමැති ජනප්‍රිය විද්‍යුත් මාධ්‍යවේදිනියයි. නිර්මාණ සාහිත්‍යය උදෙසා ඇය සැපයූ දායකත්වය අගයමින් 1993 වසරේදී ස්විඩිෂ් ඇකඩමිය විසින් ඇයට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනමනු ලැබුවා.

මාතෘකා