යෞවනයා කියන්නෙම මෙරට තුළ වින්දිතයෙක්

 ඡායාරූපය:

යෞවනයා කියන්නෙම මෙරට තුළ වින්දිතයෙක්

අනුරාධා සංකල්පනී තිඹිරියාගම

අනුරාධා සංකල්පනී තිඹිරියාගම පරිවර්තනය කළ යෞවන සාහිත්‍ය කෘති දෙකක් අගෝස්තු 14 වැනිදා සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදකිනවා. මෙහිදී කෘති පිළිබඳ අදහස් දක්වන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ චින්තන ධර්මදාසයි. ඇමෙරිකානු ලේඛිකාවක වන නැන්සි ෆෝක්නර්ගේ "මිස්ට්‍රි ඔෆ් ද ලිම්පිං ස්ට්‍රේන්ජර්" නමැති කෘතිය "සුළඟේ ආ නළා හඬ" නමිනුත් එංගලන්තයේ ජනප්‍රිය කතුවරියක වන කැතී කැසිඩිගේ "ජින්ජර් සනැප්ස්" කෘතිය "සරත් සමයේ හැලුණු පත්" නමිනුත් අනුරාධා සිංහල පාඨකයන්ට තිළිණ කරනවා. කෘති රැසක්ම පළ කර ඇති, මෙම ප්‍රකට ලේඛිකාවන් දෙදෙනාම සිංහල පාඨකයන් අතරට එන්නේ පළමු වරටයි. අනුරාධා තිඹිරියාගම පරිවර්තිකාවක ලෙස පාඨකයන් අතරට පැමිණෙන්නේද මේ කෘති දෙක සමඟයි. මෙම පිළිසඳර, එම කෘති පිළිබඳව මෙන්ම පරිවර්තිකාවගේ ආකල්පද හෙළි කරනවා.

ඔබ එක්වරම පොත් දෙකක් අරගෙන කරළියට එනවා?

මේ පොත් දෙකට මම අවුරුදු ගානක් මහන්සි වුණා. මම පොත කියවලා අනිත් පැත්තට පරිවර්තනය කරලා දැම්මෙ නෑ. මම ඒ පොත්වල තිබුණ හැම වචනෙකටම, හැම කොමාවක්, තිතකටම, වැරැද්දක්, අසාධාරණයක් නොකරන්න මහන්සි වුණා. ඒ වගේ කරුණු හොය හොයා කියවලා පැහැදිලි කරගන තමයි එක වාක්‍යයක් හරි පරිවර්තනය කළේ. ඒක ඉංග්‍රීසියෙන් කියල තියෙන දේ සිංහලෙන් කිය‍නවා වගේ සරල වැඩක් නොවේ. පසුබිම් වුණ කාලවකවානු, පරිසරය, සිද්ධි, පුද්ගලයින් සහ විෂයන් සිය ගානක් තිබුණා. මේ පොත් දෙක කියවන්න, රස විඳින්න, ඒ මොනවත් දැනගන්න අවශ්‍ය නෑ. ඒත් පරිවර්තනය කියන්නෙ ඊට වඩා ලොකු වගකීමක්. ඉතින් ඇත්ත. මේක එක රැයින් සිද්ධ වුණේ නැහැ. ලේසියෙන් සිද්ධ වුණෙත් නැහැ. හැබැයි මම ගොඩාක් දේවල් ඉගනගත්තා.

මේ දෙකම යෞවන පාඨකයන් අරමුණු කරගත් කෘති?

ලාංකික යෞවනයා ගැන මට විශාල දුකක් තියෙනවා. මමත් ඒකෙ වින්දිතයෙක්. යෞවනයා කියන්නෙම මේ රට ඇතුළෙ වින්දිතයෙක්. කිසිම තැනකින් යෞවනයාට සාධාරණයක් ඉෂ්ට වෙලා නෑ. යෞවනයා ගැවසීමට නියමිත කිසිම තැනක යෞවනයාට සාධාරණ ඉඩක්, පිළිගැනීමක්, තේරුම්ගැනීමක් ලැබිලා නෑ. අඩුම තරමේ සාහිත්‍ය කෘතියකින්වත් එහෙම සාධාරණයක් ඉෂ්ට වෙලා නෑ. මම එතනින් පටන්ගන්නෙ ඒකයි.

නැන්සි ෆෝක්නර් සහ කැතී කැසිඩි. මේ දෙන්නාම සිංහල පාඨකයන් දන්නා හඳුනන අය නෙවෙයි. ඔබට කොහොමද ඔවුන් මුණගැහෙන්නෙ?

අහම්බෙන්. මමත් ඒගොල්ලන්ව දැනගෙන හිටියෙ නෑ. මේගොල්ලො ලංකාවේ ජනප්‍රිය වෙලා නැත්තෙ හේතු දෙකක් නිසා. නැන්සි පරණ ලේඛිකාවක්. පොත් ගොඩාක් ලියලා නෑ. ලියලා තියෙන ටික පුදුම සාරවත්. ඒත් ලංකාව වගේ රටක ප්‍රචලිත වෙන්න තරම් ප්‍රමාණයක් ලියලත් නෑ, ඒ යුගයත් වෙනස්. කැතී කියන්නෙ ලෝකයේ ඉතාම ජනප්‍රිය ලේඛිකාවක්. ඒත් ඇගේ පොත්වල තියෙන දේවල් ලාංකික පාඨකයාට ටිකක් දුරස්ථයි. එකක් ඒවාට පසුබිම් වන පරිසරය, ගැටලු අපේ සමාජයේ ඒ තරම් සුලබ නෑ. අනිත් එක අපේ කුහක සදාචාරයට අවනත නෑ. මේ පොත ඇත්තටම කැතීගේ අනිත් පොත්වලට වඩා දේශ සීමා වෙනසක් නැතුව අපි කාටත් සෘජුවම අදාළයි, හදවතට සමීපයි. මෙහි අපට දුරස්ථයි කියන්න කිසිම දෙයක් නෑ.

මේ ලේඛිකාවන් දෙදෙනා සමකාලීනයන් නෙවෙයි. ඒ වගේම රටවල් දෙකක. ඔබ ඔවුන් අතර දකින සමානකම් හා වෙනස්කම් මොනවාද?

නැන්සිගේ ලේඛන ශෛලිය classic. සාහිත්‍යමය ගුණය ප්‍රමුඛයි. මුළු පොතම කවියක් වගේ. කැතීගේ ශෛලිය modern. ඒක කවියක් නොවේ, nu metal සංගීතයක් වගේ. ඔක්කොම අටපට්ටම් කුඩු වෙලා යනවා. සමානකම් ගොඩාක් තියනවා. ඒ දෙන්නාම වැඩිහිටි ලේඛිකාවො වුණත් හදවතින් ඉතාම තරුණයි. මේ ගොඩනඟන චරිත හරිම යථාර්ථවාදීයි. ඉන් දෙන පණිවිඩය tally වෙනවා. දෙන්නාම රැඩිකල්. දෙන්නාම අව්‍යාජත්වය, පරිත්‍යාගශීලීත්වය අගය කරනවා. දෙන්නාගෙම පණිවිඩය නව යෞවනයාට ඉඩක් දෙන්න කියන එක. ඒ දෙන්නාම නව යෞවනයාගේ වටිනකම පෙන්වනවා.

ඔබ මේ පොත් දෙකට දී තිබෙන නම් හරිම සෞන්දර්යාත්මකයි. ඒ වගේම ගීතවත්. ඒවා මුල් කෘතිවල නම්වලට හාත්පසින්ම වෙනස්?

ඔව්. මම Mystery of the Limping Stranger කියන පොත පරිවර්තනය කළේ ‘සුළඟේ ආ නළා හඬ’ කියලා. ඒකට සාධාරණ හේතුවක් තිබුණා. ලංකාවේ අභිරහස් කතා රැල්ලක් තියෙනවා. මං ඒකට ගරහන්නෙ නෑ ගොඩක් අය වගේ. ඒක වෙන category එකක්. ඒවායේ රසය වෙනස්. මේකේ ඇත්තටම ඒ රසය නෙවෙයි ප්‍රමුඛ. ඒකත් තියෙනවා, ඒත් අර ජාතියේ පොතක් බලාපොරොත්තුවෙන් මේ පොත ගත්තොත් ඒක පාඨකයා නොමඟයැවීමක්. මේ පොත ඒ ගොඩට අයත් නෑ. මේක ඊට වැඩිය විවිධ රස කැටි කරපු වෙනස් පොතක්. ඒකයි ඒ නම වෙනස් කළේ. මට ඒක කියවද්දි දැනුණ භාවය ‘සුළඟේ ආ නළා හඬ’ කියන නමේ තියෙනවා.

අනික් පොත Ginger Snaps. ඒක සිංහලෙන් කිව්වොත් ‘ඉඟුරු කෑලි’ වගේ. ජින්ජර් ස්නැප්ස් කියන නම ඉංග්‍රීසියෙන් පොතට ලොකු අදාළකමක් තියනවා. මේ ගෑනු ළමයාගේ නම ජින්ජර්. ඒ වගේම එයා ginger head කෙනෙක්. ඒ කියන්නෙ රතු තැඹිලි, ගිනි දල්ලක් වගේ කොණ්ඩයක් තියෙන කෙනෙක්. ඒ වගේම ඉඟුරු කෑලිත්, ජින්ජර්ස්නැප්ස් කියන නමත් මේ කතාවට සම්බන්ධ වෙනවා. ඒත් ඕක සිංහලෙන් කියන්න ගියාම ඒ කිසිම දෙයක් නමෙන් පිළිබිඹු වෙන්නෙ නෑ. එහෙම නම් නමටත් තරුවක් දාලා පැහැදිලි කරන්න ඕනෙ ඇයි මේ නම කියලා. ඒ නිසා මම ගොඩාක් හිතුවා, කොහොමද අර original නමේ තියෙන අදාළකම් ටික පිළිබිඹු වෙන, පාඨකයාට තේරෙන සිංහල නමක් දාන්නෙ කියල. ඕක ආවේ මාස ගානක් කල්පනා කළාට පස්සෙ හීනෙන් වගේ. මට ක්ෂණිකව හිතුණා ඒක තමයි perfect නම කියල. මේ පොතේ සරත් කාලෙ හැලෙන කොළ ගැන විවිධ විදියට සඳහන් වෙනවා. කොණ්ඩෙ සමානකමත් තියනවා. ඒ වගේම ඔය වයසෙදි අපි ඇහි පිහාටුවලින් ප්‍රාර්ථනා කරනවා වගේ මේගොල්ලො මේ හැලෙන කොළවලින් ප්‍රාර්ථනා කරනවා. අල්ලගන්න බැරි වෙලා හැලිලා යන ප්‍රාර්ථනා මේ ගෑනු ළමයට තියෙනවා. ඒවගේම season එක ඉවර වෙනකොට එයාට ලොකු අහිමි වීමකුත් සිද්ධ වෙනවා. ඒ හැම අරුතින්ම මේ නම තමයි සුදුසු කියල මට හිතුණා.

සංගීතය මේ කෘති දෙකේම පසුබිමෙහි ප්‍රබල භූමිකාවක් ඉටු කරනවා?

ඒක අපූරු අහම්බයක්. මම මුලින් කළේ ‘සුළඟේ ආ නළා හඬ’ කියන පොත. එහි සංගීතය බැඳිල තියෙනවා. අතීතයේ තිබුණ සංගීත භාණ්ඩ, මෙහි ඉන්න පිරිමි ළමයාගේ ආධ්‍යාත්මයට බැඳිච්ච සංගීතය ඒ පොතේ පැටලි පැටලි යනවා, හරිම ආදරණීය විදියට. අනික් පොත හම්බවුණේ ඊට පස්සෙ. මම ඇත්තටම පුදුම වුණා ඒකෙත් සංගීතය මුසු වෙලා තිබ්බ හැටියට. හැබැයි අරිට වැඩිය සම්පූර්ණෙන්ම වෙනස් සංගීත කතිකාවක් මේකෙ තියෙන්නෙ. ඒත් ඒ ආධ්‍යාත්මික බැඳීම මාර විදියට සමානයි. මං හිතන්නෙ මට මොකක් හරි ආශ්චර්යකින් ඒ පොත් දෙක හම්බවෙන්න ඇත්තෙ.

‘සරත් සමයේ හැලුණු පත්’ කෘතියේදී ඔබ හුඟක් පාදක සටහන් යොදනවා. ඉතිහාසය, සංගීතය ආදී විවිධ විෂයන් ගැන?

මුල් කෘතිවල තිබුණෙ කතාව විතරයි. පාදක සටහන්වල තියෙන්නෙ කතාවේ සඳහන් වන, ශ්‍රී ලාංකික පාඨකයාට අලුත්/ නොදන්න කරුණු. ඒ මොනවත් නැතුව පොත කියවගෙන යන්න පුළුවන්. ඒත් ඒවා දැනගෙන කියෙව්වාම මාරයි. පොඩි උදාහරණයක් ගන්නම්. හිතන්න පොතක තියෙනවා කියල, "එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නෙ අමරදේව මාස්ටර් සින්දු කියනවා වගේ" කියල වාක්‍යයක්. මේක පිටරටක කෙනෙක් කියෙව්වොත් එයාට මේක හරියට තේරෙනවාද? අමරදේව කියන්නෙ කවුද, ඔහුගේ සින්දු මොන වගේද කියල හොයල බැලුවොත් තමයි හරියට තේරෙන්නෙ. මට මේ පොත්වල තිබුණු ගොඩක් දේවල් හරියට තේරුම්ගන්න ඒ වගේ ලොකු research එකක් කරන්න වුණා. සංගීත ශෛලීන්, සංගීත කණ්ඩායම්, සංගීතඥයින්, විලාසිතාවල ඉතිහාසය ඉන් කිහිපයක් විතරයි. ඒවා හොයලා කියවලා, හොයාගෙන සවන්දීලා තමයි, මේ මොකක්ද කියන්නෙ කියල හරියට දැනගත්තෙ. ඒ මොනවත් ඕන නෑ පොත කියවගෙන යන්න එක හුස්මට. ඒත් මේ සම්බන්ධතා හරිම රසවත්, හරිම වැදගත්. මම හොයාගත්ත දේවලින් දාහෙන් එකක්වත් පාඨකයා එක්ක බෙදාගන්න ඕනෙ කියල මට හිතුණා. ඒකයි ඒ තරම් footnotes ගොඩක් තියෙන්නෙ.

යෞවන සාහිත්‍ය ක්ෂේත්‍රය වෙත ඔබේ ප්‍රවේශය කැරලිකාරී එකක්. මේ කැරැල්ල යෞවන පාඨකයා සහ ඔවුන්ගේ වැඩිහිටියන් මොන විදියට බාරගනීවි කියලද ඔබ හිතන්නෙ?

මම හිතනවා මේ කෘති දෙක යෞවන පාඨකයාට පොඩි හරි සහනයක් දැනෙයි කියලා. තමන් පිළිබිඹු වෙන, නියෝජනය වෙන එක තැනක් හරි දකින එක සැනසීමක්. තමන්ගේ ඇත්ත ප්‍රශ්න, කියන්න කෙනෙක් නැති ප්‍රශ්න පොතක හරි කතා කරල තියෙන එක ගොඩක් වටිනවා. වැඩිහිටියො මේක කොහොම බාරගනියිද කියන්න මම දන්නෙ නෑ. හැබැයි වැඩිහිටියො මෙය කියවන්න ඕන, මතක් කරගන්න ඕන, තේරුම් ගන්න ඕන.

සංවාදය [නිලූකා හිලරි]

මාතෘකා