‘හිතුවක්කාරී’ ජනතාවාදයේ ප්‍රකාශනයක්ද?

 ඡායාරූපය:

‘හිතුවක්කාරී’ ජනතාවාදයේ ප්‍රකාශනයක්ද?

හිතුවක්කාරී
කර්තෘ ‐ එච්.බී. ගුණරත්න
ප්‍රකාශනය ‐ අගහස් ප්‍රකාශකයෝ

2016 වසරේ ගොඩගේ සම්මාන උලෙළේ හොඳම නවකතාව ලෙස සම්මාන දිනූයේ එච්.බී. ගුණරත්නගේ ‘හිතුවක්කාරී’ නවකතාවය. එය ඒ වසරේ ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතාවද විය. සම්මානයක් යනු කෘතියක් පිළිබඳ විනිශ්චයක් නම් මෙය ඒ අනුව සමීක්ෂකයින් අතින් ඉහළින් ඇගයුණු ප්‍රබන්ධ කතාවකි.

මෙහි කතානායිකාව ශාන්ති නම් පාසැල් ගුරුවරියකි - ඇත්ත වශයෙන් ඒ, කතුවරයා ඉදිරිපත් කරන කතානායිකාවය. මට හැඟෙන ලෙස මෙහි පැහැදිලි කතානායිකාවක නැත. කෙසේ හෝ කතාන්දරයට අනුව ශාන්ති හිතුවක්කාරියකි. ජීවිතයේ කඩාවැටීම් තිබුණද ඒවා නොසලකන ඇය සිය නිවසින් දුර බැහැර මහවැලි ජනපදයක මහා විද්‍යාලයක උපගුරුවරියක ලෙස සේවයට බැඳෙයි. අනතුරුව විදුහලේ ගුරු නිවාසයේම පදිංචි වෙයි.

වැරදි ග්‍රන්ථ නාමය

මෙම නවකතාවේ ග්‍රන්ථ නාමය අනුව කතාකරුවාට ඇවැසි වන්නේ හිතුවක්කාර යුවතියක පිළිබඳ කතාවක් ගෙනහැරපෑමට යැයි සිතේ. එහෙත් අවසානයේ ඉදිරිපත් වන්නේ හිතුවක්කාරියකගේ කතාවකට වඩා ජීවිත ඛේදයකට ගොදුරු වී සියදිවි නසාගත් යැයි සිතිය හැකි කතකගේ කතාවකි. කතාවේ හිතුවක්කාරිය කරනුයේ ඛේදයට ගොදුරු වූ කතගේ ජීවිතය ඉදිරිපත් කිරීමය. එනිසා මෙය ග්‍රන්ථ නාමය වරදවාගත් කෘතියක් බව කිව යුතුය.

දෘෂ්ටිකෝණ රැසක්

මෙහි දෘෂ්ටිකෝණ රැසක් තිබේ. කෘතියේ ප්‍රධාන කථකයා උත්තම පුරුෂ වුව එහි පළමු පරිච්ඡේදය වන පිටු 58ක් දිගු ‘රුවැත්තියෝ’ හිදී කතාව ඉදිරිපත් වන්නේ කථකයා අඥාතව සිටය. එවිට එම දෘෂ්ටිකොණය ප්‍රථම පුරුෂ සර්වවේදී බවට පත් වේ. නැතහොත් උත්තම පුරුෂ කථකයා සිය අත ඇති ‘යෂ්ටිය’ - කතාව කීමේ බලය - ප්‍රථම පුරුෂ සර්වවේදී බාහිර කථකයකුට භාර දෙයි. ඒ තුළ කතානායිකාව ශාන්ති ගුරුතුමිය වන අතර මුළු ‘රුවැත්තියෝ’ පරිච්ඡේදයම ඉදිරිපත් වන්නේ ඇගේ කතාවක් ලෙසය. නොහොත් ඇයට මුහුණපෑමට සිදු වන අත්දැකීම් සම්භාරයක් ලෙසය.

ශාන්තිගේ කතාව අවසන් වන්නේ පොඩිත්තියගේ මව වූ කුමාරිට දියණිය මුහුණ පා ඇති අවදානම් තත්ත්වය විස්තර කිරීමෙනි. අනතුරුව කුමාරිට සහ දියණියට සිදු වන දේ ඉදිරිපත් වන්නේ ඒ ඒ චරිත හරහාය. නොහොත් කථකයා පෙරට විත් කතාව විස්තර කිරීම චරිතවලට භාරදීම හරහාය.

‘බර’ නැති කතාවක්

නවකතාවේ කථකයා පිටු 58කින් යුත් ‘රුවැත්තියෝ’ පරිච්ඡේදය අවසන් කරන්නේ තමා කතාවක් ලියූ බවත්, ඒ කතාව දැන් තමා පළ කිරීමට යන බවත් කියමිනි. ඒ අනුව ඔහු එම කතාව පළ කිරීමට මත්තෙන් එහි එන චරිතවලට පසුබිම් වූ සැබෑ පුද්ගලයන්ට කතාවෙන් හානියක් වී ඇද්දැයි විමසීමට ඔවුන්ට අත්පිටපත කියවීමට බාර දෙයි. එහෙත් මෙහිදී ගැටලුව එසේ කියවීමට දීමට තරම් එය - ‘රුවැත්තියෝ’ - සම්පූර්ණ කතාවක් නොවීමයි. එහි කතාවක ‘බර’ නැත. එනිසා එය පොතක් ලෙස සිතා ඒ ඒ පුද්ගලයන්ට කියවීමට දීමත්, ඔවුන්ද එය කතාවක් ලෙස ගෙන අදහස් ප්‍රකාශ කිරීමත් විසිළුසහගත වේ. එය ‘හිතුවක්කාරී’ කෘතියට බරපතල හානියක් වන්නේ අනතුරුව කතාව ගොඩනැඟෙන්නේ එම ‘බරක්’ නැති කතාව පදනමේ තබාගෙන නිසාය.

මෙවැනි වරදක් කතාකරුවා අතින් වීමට හේතුවක් තිබේ. ඒ, ඔහු කතාවට තනිවම විකාශය වීමට ඉඩ නොදී තෙමේ මැදිහත් වී එය ඉදිරියට ගෙන යෑමට තැත් කිරීමය. නැතහොත් කතා සැකිල්ල මුලින් සැලසුම් කර ඊට අනුව කතාව ගොඩනැඟීමට යෑම නිසාය. පුදුමයකට මෙන් මෙය කතාකරුවාමත් පිළිගන්නා වැකියක් ‘හිතුවක්කාරී’ තුළ එයි:

“........ ඔවුන් (චරිත) මා කොතරම් දුරට හසුරුවන්නේ වුවද පෑන හසුරුවන්නේ මා බව මම දනිමි.”

(කථකයාගේ පසු සටහන: 61 පිටුව)

සැබැවින්ම ප්‍රබන්ධ කතාවක සන්දර්භය මෙන්ම ආකෘතියද තීරණය වන්නේ කතාව නොහොත් චරිත, කතාව ගෙන යන ආකාරය තුළිනි. නොඑසේව කතාකරුවාට එහි භූමිකාවක් නැත. ඔහුට බලයක් ඇත්තේ එහි පළමු චරිතය හෝ සිද්ධිය ගෙනහැරපාමින් කතාවේ ‘එංජිම’ ක්‍රියාත්මක කිරීමට පමණි. අනතුරුව ‘එංජිම’ පණ ගන්වනු ලබන්නේ චරිත විසිනි. සිද්ධි විසිනි.

මට හැඟෙන ලෙස ‘හිතුවක්කාරී’ කතාන්දරයේ ආකෘතිය එන්නේ එහි පළමු පරිච්ඡේදය වන ‘රුවැත්තියෝ’ තුළිනි. ඊට අනුව නවකතාවට ඇවැසි වන්නේ චරිත විසින් කතාව ඉදිරිපත් කරන ආකෘතියක් නොව එහි පළමු පරිච්ඡේදය ඉදිරිපත් වූ ප්‍රථම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණයේ සරල කතා රීතියකි.

බොල් ආකෘතික හරඹ

‘රුවැත්තියෝ’ පරිච්ඡේදයේදී නවකතාවට එක් කරන්නේ කතාන්දර විභවයකි. නොහොත් පාඨකයාට කතාවක් දැනගැනීමේ ආවේගයකි. එහෙත් කතාකරුවා ඒ කතාන්දර විභවය පසු පරිච්ඡේදවලදී පාගා දමන්නේ ඔහු ආකෘතික හරඹයක් කරන බව පාඨකයාට පෙන්වමිනි. එහිදී ඔහු විටෙක - ‘පසු සටහන’, ‘යළි ලියමි’, ‘හමාර කීම’ ආදිය මගින් - අනවැසි ලෙස කතාවට මැදිහත් වන අතර විටෙක චරිතවල ස්වයංකථන මැදටද කඩා පනී. ප්‍රබන්ධයකට උත්තම පුරුෂ කථකයකු ඇතුළත් විය යුත්තේ ඔහුගෙන් කතාවට කුමන හෝ සේවයක් ගන්නේ නම්ය. එහෙත් මෙහිදී ඔහුගෙන් කතාවට බාධාවක් මිස අනෙකක් සිදු නොවේ. ලියුම් හරහා කතාව කීමද බොල් ආකෘතික හරඹයකි. අසීරුවෙන් ලියුම් හරහා කතාව කියන කුමාරිට හා ශාන්ති ගුරුතුමියට කෙළින්ම ස්වයංකථන ඔස්සේ ඔවුන්ගේ කතා ඉදිරිපත් කිරීමට තිබුණි. කතාකරුවා තමාගේ ‘වැඩ පෙන්වීමට’ ඒ සරල මාර්ගය මඟහැර පරංගියා කෝට්ටේ ගියා මඟක් තෝරාගෙන ඇත.

එකම නමින් එකිනෙකට වෙනස් චරිත හැඳින්වීමද නිරර්ථකය. මෙහි කුමාරිලා දෙදෙනෙක් සිටිති. නිමල්ලා දෙදෙනෙක් සිටිති. වෙනස් චරිත එකම නම්වලින් හැඳින්වීමේ බරපතල ගැටලුවක් පැනනඟින්නේ එම චරිත කතාවේ ප්‍රධාන චරිත වීම නිසාය. වෙසෙසින් කතාන්දරය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන පොඩිත්තියගේ මව වූ කුමාරි තවත් චරිතයක් හා පැටලෙන ලෙස නම් කිරීම පාඨකයාට විශාල ව්‍යාකූලතාවක් ඇති කරයි. නිමල් සම්බන්ධයෙන්ද ගැටලුව ඒමය. චරිත දෙකක් එකම නමින් හැඳින්වීම නිසැකවම ආකෘතික උපක්‍රමයකි. එහෙත් මෙහිදී ඒ උපක්‍රමය පාවිච්චි කර ඇත්තේ කිසිදු අරමුණකින් තොරවය. මීයන් නැති තැනක මී උගුල් තැබුවා මෙනි. අනෙක එවැනි උපක්‍රමයක අරුතක් ඇත්තේ නම් ඒ අරුතද වෑයමෙන් බුද්ධිය මෙහෙයවා පාදාගත යුතු නැත. කලාවේ ඇත්තේ හැඟීම්වලට දැනෙන ධ්වනිතාර්ථ මිස බුද්ධියෙන් පාදාගන්නා අර්ථ නොවේ.

ප්‍රධාන කතාව මඟහැරීම

නවකතාකරුවාට ‘හිතුවක්කාරී’ මගින් වුවමනා වූයේ ශාන්ති ගුරුතුමියගේ කතාව ගෙනහැරපෑමටද, නැත්නම් ගණිකාවක බවට පත් වූ කුමාරිගේ කතාව ගෙනහැර පෑමටද යන්න තවමත් මට විසඳාගත නොහැකි ගැටලුවකි. ඔහුගේ අධ්‍යාශය ගුරුතුමියගේ කතාව කීම බව සිතීමට තුඩු දෙන එකම සාධකය ප්‍රබන්ධයේ නමය. වඩාත් හිතුවක්කාරකම් කරන්නේ ශාන්ති ගුරුතුමිය නිසාය. එහෙත් ඔහුගේ අධ්‍යාශය එය නම් අභාග්‍යයට මෙහි නොමැත්තේ ගුරුතුමියගේ කතාවය. අනෙක මෙහි එන කුමාරිලා දෙදෙනාගේමත්, එක් කුමාරියකගේ මව හා පියාගේත්, ශර්මිලාගේත්, නිමල්ගේත්, විදුහල්පතිවරයාගේත්, ඔහුගේ බිරිඳගේත් යන කිසිවකුගේ කතාවක් ශාන්ති ගුරුතුමියගේ කතාව හා සම්බන්ධ නැත. ඇත්ත වශයෙන් ‘හිතුවක්කාරී’ ආරම්භයේ ශාන්ති චරිතය පිහිටුවා ඇති ස්වභාවය තුළ පාඨකයා ඉල්ලන්නේ ඇගේ කතාව මිස අනෙකුන්ගේ කතා නොවේ.

එනිසා මුල සිටම කතාකරුවා කතාව වරද්දාගෙන ඇත ‐ එසේ තිබියදීත් ‘හිතුවක්කාරී’ පාඨකයා සසල කරන්නේ කතාවේ මූලික අනුභූතියේ ඇති ප්‍රබල බව නිසාය, කතාකරුවා මුළුමනින් අයාලේ ගොස් ඇති අවස්ථා දෙකක් මට පෙනේ. එකක් විදුහල්පති බිරිඳගේ කතාව කියන අවස්ථාවය. අනෙක ගණිකා කුමාරි නොව අනෙක් කුමාරිගේ මවගේ සහ පියාගේ කතාව කියන අවස්ථාවය. ඒ එකදු කතාවක් මූලික කතාව හා සම්බන්ධ නැත. ඒවා වෙන වෙනම කතා රැසක් පමණි.

අවියත් බස

‘හිතුවක්කාරී’ පුරාම මා දුටු යමක් නම් අවියත් ලෙස බස වැහැරීමයි. න, ණ, ල, ළ සහ වියරණ වැරදි පසෙක තබමු. එහි පාඨකයාට දුරවබෝධ කරවන උක්තය, කර්මය, ක්‍රියාව අපැහැදිලි දිගු වාක්‍ය රටා සහ වැරදි වැකි යෝජන බොහෝය.

“.... තවමත් නො ගියේ යාමේ අවශ්‍යතාව තදින් ම සිත තුළ කැකෑරෙන, සිය රූප සෝබාව හා විෂය ගැන තරමක් උජාරුවෙන් සිතන, තරුණ ම ගුරුවරියද විදුහල්පති බිරිය බැවින් ‘මිස්’ ලා අතර ‘මැඩම්’ යැයි සිතන, නම අගට කොහොම දෝ වැටුණු මැණිකේ කෑල්ලක් ද උදව් කර ගෙන ඔසරියකට හා ඇට මාලයකට ද මුවා වී වලව් රංගනයක යෙදෙන, වියපත් ගුරුවරිය ද පමණි.” (1 පිටුව)

මේ වැකිය කෙටි වැකි දෙකකින් හෝ තුනකින් ඉතා සරලව කිව හැකිව තිබුණද කතුවරයා එය තනි වැකියකට ‐ එයද දුරවබෝධ වන ලෙස ‐ ගොනු කර ඇත. පුවත්පත් කලාවේ එක් සම්මතයක් නම් කෙටි, සරල වැකි ලියන්න යන්නය. කෙටි, සරල වැකි ප්‍රබන්ධයට සම්මත නොවන්නේ ප්‍රබන්ධයේදී වැදගත් වන්නේ රස නිසාය. එහිදී කෙටි වැකියකින් ගෙන එන්නේ එක් රසයක්ද දිගු වැකියකින් ගෙන එන්නේ තවත් රසයකි. එහෙත් ඉහත වැකියේ ගැටලුව එය පාඨකයාට අවබෝධ කර ගැනීම අපහසු ලෙස තනි වැකියකට කීමෙන් කෙටි වැකිවලින් ඉදිරිපත් කරනවාට වඩා කවර අමුතු රසයක් ඇති කරයිද යන්නය. ඇත්තටම සිදු වී ඇත්තේ එහිදී රස භංග වීමය. මෙහිදී ඇවැසි නම් එම වැකිය තනිව කියවා අවබෝධ කරගැනීමට අපහසුදැයි කතුවරයාට ඇසිය හැකිය. ඉහත උපුටනය තුළ එය (වෑයමෙන්) කියවා අවබෝධ කළ හැකිය. එහෙත් නවකතාව තුළ එය ව්‍යකූලය. වැකියක අර්ථ පැහැදිලිතාව ඇති වන්නේ ඒ වැකිය අනෙක් වැකි හා බැඳෙන රිද්මය තුළ බැවිනි. ‘හිතුවක්කාරී’ හි ඇත්තේ මෙවැනි වැකි කිහිපයක් නොවේ. වැකි විශාල ගණනකි. මට හැඟුණේ ව්‍යාකූල වැකි යෝජනය කතාකරුවාගේ ආසාවේ පුරුද්දක්ද කියාය - එය කිසියම් පරපීඩා කාමුකත්වයක් වන්නේ පාඨකයා ඉන් පීඩාවට පත් වන බැවිනි.

“තමා කසිප්පු විල්සන් බව, මූණට නම් ගමේ ඕනෑ ම වැඩිහිටියෙකුට පවා විල්සයියා බව, නැති තැන නම් කසිප්පු විල්සා ‐ ගෑනු මරුවා ‐ කට ඇදයා ‐ බව, පිටගම්කාරයන්ට, පොලිසියට, දේශපාලකයන්ට නම් විල්සන් මුදලාලි හෝ විල්සන් මුදලාලි මහත්තයා බව, අහල ගම් හත අටක කසිප්පු රජා බව, කුඹුරු කැපෙන කාලයට හැර වසරින් වැඩි කාලයක ගමේ සැලකිය යුතු පිරිසකගේ රන් අබරණවල බාරකරු බව, යායේ කුඹුරු ඉඩම් රැසක උගස් හිමිකරු බව, තමා ඇහැ කොනකින්වත් නො බැලුව ද උන් උන් විසින් ම සරි කර ගනු ලබන අවසර කල් රහස් තැන රෙදි උනා පාන විවාපත්, නොපත්, වැන්දඹු, ස්වේච්ඡා සේවිකාවන් කිහිප පොළකගේ ප්‍රමුඛ අනුග්‍රාහකයා බව ඔහුට අමතක විය.” (පිටු 32 ‐ 33)

මේ වැකියේ ගැටලුව කතාවෙන් කල්පනා ලෝකය දිගහැරීමේ රිද්මය මෙහිදී බිඳී යෑමය. වැකිය අවබෝධ කරගැනීමට පාඨකයාට එය දෙතුන් වරක් කියවීමට සිදු වන බැවිනි. අනෙක මෙහිදී විල්සන් චරිතය ගැන තීරණාත්මක කරුණු රැසක් ඉදිරිපත් කරන්නේ ‘එකම ගෝනිය තුළ’ කරවටක් දේ හිර කරමිනි. එවිට විල්සන්ගේ රූපය කෙබඳුදැයි පාඨකයාට පැහැදිලිව පෙනී නොයයි.

මෙහිදී මට පෙනෙන ලෙස තවත් කරුණක් පෙනේ. ඒ, කතා කලාව පිළිබඳ කතාකරුවාගේ මන්ද අවබෝධයයි. සැබැවින්ම චරිතයක් කෙබඳුදැයි පාඨකයාට දැන්වීමට ඔහු පිළිබඳ සියලු වග විස්තර කිව යුතු නොවේ. ජී.බී. සේනානායක සිය චරිත හැඳින්වීමට නිතර යෙදූ වදන් පෙළක් නම් “ඔහු නූස්ය, නොමිටිය” යන්නය. චරිතයක හැඩරුව විස්තර පාඨකයාට අවශ්‍ය නොවන්නේ කතාව තුළ නිසගයෙන් එය දැනවෙන නිසාය. නොහොත් ‘උස්’, ‘මිටි’ වචනවලින් තොරව පාඨකයාට ඒ අවබෝධ කරගත හැකි නිසාය. පෘතුගාල නවකතාකරු හොසේ සරමාගෝ නිතර කීවේ ඔහුගේ ‘බල්තසාර් සහ බ්ලිමුන්ඩා’ නවකතාව ප්‍රේම කතාවක් වුවත් එහි එකදු පෙම් වදනක් නැති බවය. මට හැඟෙන ලෙස ‘හිතුවක්කාරී’ කතාකරුවා චරිත පිළිබඳ චරිත සහතික දෙන්නේ ඔහු කතාවට තනිවම ගොඩනැඟීමට ඉඩ නොදෙන නිසාය.

ප්‍රබන්ධකරුවා වාග්විද්‍යාඥයාගෙන් වෙනස් වන්නේ ඔහුට බස සහ වියරණ අලුතින් ගොඩනැඟීමට හැකි නිසය. එහෙත් බස ගොඩනැඟීමේ ව්‍යාජයෙන් ඔහුට පාඨකයාට කතාව දුරවබෝධ කළ නොහැකිය. ‘හිතුවක්කාරී’ පුරා කතාකරුවා කර ඇති බරපතල වරදක් නම් ඔහු චරිතයක දෙබස් චරිතය හඳුන්වා දීමට පෙර ඉදිරිපත් කිරීමය:

“මොකීද ඔය කුමාරි. ඔයිට වැඩිය කුමාරිල මං දැකල තියෙනව, මයෙ ඉහේ කෙසේ ගාණට. මගේ කුමාරිට ඉස්කෝලෙට එන්ඩ කියල පයිංඩ අරින්ඩල ඕකි රාජකුමාරිකාවක් ද බොල. ගහගන්ඩ කියාපිය මේ තුණ්ඩු කෑල්ල ඕකිගෙ පස්ස පැත්තෙ. එන්ඩ කියාපිය ඒකිටත් ඕනැ නං අපේ ගෙදෙට්ට. එහෙ යහමිං ඉඩකඩ තියෙනව කියාපිය ඒකිටත් ලගින්ඩ. මේ විල්සයියට තාම හයිහත්තිය තියෙනව, කුමාරිකාවො දෙතුන් දෙනෙකුට වුණත් දන්නන්ඩ. පරට්ටි.” ‍(16 පිටුව)

මෙම ප්‍රකාශය කරන්නේ විල්සන් බව අවබෝධ කරගැනීමට පාඨකයාට දෙබස සෑහෙන දුරට කියවීමට සිදු වේ. ප්‍රකාශය කරන්නා ප්‍රකාශයට පෙර හඳුන්වා නොදෙන බැවිනි.

“උන් කියල අහවල් දෙයක් කරන්ඩද? නැතිබැරිකමටයි, බයපස්සපාතකමටයි, උගෙ පස්සෙන් ම යනව මිසක්. පළාතට ම සල්ලිකාරය ඌ වෙච්චි. පොලිසියයි, මංතිරිතුමයි, උගෙ වෙච්චි. ඇරත් වෙච්චි නවනිංගිරහවෙන් පස්සෙ දැරිවි ආයෙ මොකාට කියල කර ගස්සවන්ඩ ද? එක එකා අතට පාස් වෙනව මිසක්ක.” විදුහල්පති බිරිය මුසුප්පු වියත (19 පිටුව)

මෙම ප්‍රකාශයද විදුහල්පති බිරිය විසින් කරනු ලබන්නක් බව පාඨකයාට අවබෝධ වන්නේ මුළු දෙබසම කියවූ පසුය. මේ වරදද කතාකරුවා අතින් සිදු වන්නේ ඔහු ප්‍රබන්ධයට තනිවම ගොඩනැඟීමට ඉඩ නොදෙන නිසාය. ප්‍රබන්ධයම කතාව කීවේ නම් දෙබස්වලට පෙර පාඨකයා හමුවට එන්නේ චරිතය. එවිට ඔවුන්ගේ දෙබස් පාඨකයාට ව්‍යාකූල නොවේ.

බස නොදැනීම

නවකතාව පුරාම පද බෙදීමේ ගැටලු, කොමාව සහ තිත යෙදීමේ ගැටලු, විරාම ලකුණු තැබීමේ ගැටලු සුවිසල් ගණනක් තිබේ. කතාකරුවා බස වරදන තාක් සිදු වන්නේ පාඨකයාට නවකතාව ව්‍යාකූල වීමය. කතාකරුවාට කටවහරේ බස ලිඛිත වහරට එසේම ගත නොහැකි බවද අවබෝධ නොවේ. ඉහත දෙබස්වල ‘තියෙනව’, ‘මිසක්ක’, ‘යනව’, ‘සල්ලිකාරය’, ‘පාස් වෙනව’ ආදී වචන නිදසුනකට ගතහොත් ඒවා කෘතිය තුළ යොදා ඇත්තේ අමු කටවහරේ එන පරිදිය. ලේඛන බසේදී ඒ එසේ වැහැරිය නොහැකිය. ඒවා ඇලපිල්ල සමඟ ‘තියෙනවා’, ‘මිසක්කා’, ‘ලියනවා’, ‘සල්ලිකාරයා’, ‘පාස් වෙනවා’ යනුවෙන් වෙනස් විය යුතුය. නැතහොත් ඒවා වෙනස් අරුත් එන ලෙස කියවීමට හැකි බැවිනි. මෙය හොඳින්ම පෙනෙන්නේ නවකතාවේ ‘කුමාරිගේ පියා’ යන පරිච්ඡේදයේ 94 පිටුවේ පළමු ඡේදයේ යෙදූ ‘ලලිත’ නම් වචනයේදීය: “ඒවා ඇහිල, ලලිත අමුත්තෙක් දිහා බලනව වගෙ මං දිහා බලල කතා නැතිව ඉන්න වෙලාවට.” මෙහිදී ‘ලලිත’ නම් වචනය පාඨකයාට කියවෙන්නේ පිරිමි නමක් ලෙස මිස ගැහැනු නමක් ලෙස නොවේ.

හිතුවක්කාර කතාවක්

‘හිතුවක්කාරී’ සිංහල නවකතාවට නව මානයක් එක් කළ කතාවක් බව එය සම්මානයෙන් ඇගයුණු විට ඇතැම් විචාරකයන්ගෙන් කියවිණි. සබරගමුව විශ්වවිද්‍යාලයේ සුනිල් සෙනෙවි නම් කථිකාචාර්යවරයකු කෘතියේ පසුකවරයේ පවසා තිබුණේ, “.... ගිහිතුවක්කාරී’ කියවූ සැණ ම මා සිත උපන් සිතිවිල්ලකි. එනම් සියවසක් දෙකක් පැරණි නවකතා ශානරයේ සරු ලෙස වගා කළ හැකි ලියැදි දෙණිපෙත් මෙපමණට ම තිබිය හැකි දැයි යන්නය. යථාර්ථවාදී ආඛ්‍යාන රීතියේ ආයුෂ තවත් වටයකින් දියුණු වී ඇති බවය.” මට හැඟෙන්නේ නම් ‘හිතුවක්කාරී’ බරපතල නවකතාවක් පත්වීමට තිබියදී හිතුවක්කාර ලෙස දුර්වල කරගත් නවකතාවක් ලෙසය.

ජනතාවාදී නැඹුරුව

කතාව තුළ මූලික වශයෙන් කුළුගැන්වෙන්නේ සමාජ කරුණකි. එනම් සමාජ අසාධාරණයට පත් වන, ඒ තුළ ජීවිකාව සඳහා ගණිකා වෘත්තිය තෝරාගැනීමට සිදු වන, පසුව ඒ කුරිරු සමාජය විසින්ම ජීවිතයද වනසා දමන ගැහැනියකගේ කතාවය. සමාජ කතාවෙන් එහා ගිය පුළුල් ජීවිත විවරණයකට යෑමට කතාකරුවා අපොහොසත් වන්නේ ඔහුගේ දෘෂ්ටි ඌනතාව නිසාය. තවද සමාජ කතාවට ගැළපෙන ලෙස සිද්ධි තෝරාගැනීමත්, ඒවා ප්‍රවේශමෙන් යථාර්ථයට අනුගතව ඉදිරිපත් කිරීමත් තුළ මෙය පුවත්පත් විශේෂාංගයකින් එහා නොයෑමද විශාල අඩුවවකි. මේ ‘වළට’ ඔහු වැටෙන්නේ ඔහුගේ ජනාතාවාදී සාහිත්යික ආස්ථානය නිසා බවය, මට සිතෙන්නේ. ‘හිතුවක්කාරි’ කියවූ අවසන මට හැඟුණේ අර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා කී ආකාරයේ නවකතා ශානරයේ සරු ලියැදි, දෙණිපෙත් මෙපමණටම තිබිය හැකිද කියා නොව දුෂ්ටයන් හා වීරයන්/ වීරවරියන් සිටින තැනින් සිංහල නවකතාව නොපමාව ගොඩ ආ යුතු බවය.

[එස්. පල්ලියගුරුගේ]

මාතෘකා