අවුරුද්ද සංක්‍රාන්තිය හා නොනගතය

 ඡායාරූපය:

අවුරුද්ද සංක්‍රාන්තිය හා නොනගතය

සාමාන්‍යයෙන් 'අවුරුද්දක්' යැයි කියන්නේ දොළොස් මහකට ය. එහෙත් එක් දවසකටත් 'අලුත් අවුරුද්ද' හා 'පරණ අවුරුද්ද' යන පදය සිංහලයෝ යොදති.

'අවුරුදු' යන පදයේ නිරුක්තිය මත භේදයට ලක් වූවකි. මෙය මෙරට ම උපන් නිෂ්පන්න පදයක් සේ සලකන්නෝ එය උපන්නේ 'රුදු' හා 'අවු' යන පද දෙකේ සංයෝගයෙනැයි කියති. බක් මහේ දී ලංකාවට හරි මුදුනින් ඉරු ගමන් කිරීම නිසා එදාට 'රුදු' වූ 'අවු' රැල්ලක් වැටෙන හෙයින් 'අවුරුදු' යන පදය උපන් බවක් ඔවුහු කියති.

'අවුරුදු' යන පදය තද්භව පදයක් සේ සලකන්නෝ එය උපන්නේ 'සංවත්සර' යන සංස්කෘත පදය හෝ 'සංවච්ඡර' යන පාලි පදය හෝ මූලාශ්‍රය කොට ගෙන යැයි කියති. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් විසින් සම්පාදිත 'An Etymological Glossary of the Sinhalese Language' නමැති නෛරුක්තික ශබ්දකෝෂයෙහි 13 පිටුවෙහි 'අවුරුද්ද' යන පදය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් වේ. මේ පදය 'හවුරුද්ද' යනුවෙන් ද යෙදෙන බව කියන ගයිගර් මහාචාර්යතුමා එය සැදී ඇත්තේ 'වර්ණ විපර්යාස' (වණ පෙරළි) නම් ශබ්ද රීතිය අනුව බව පෙන්වා දෙයි. 'සංවත්සර' යන සංස්කෘත පදයත් 'සංවච්ඡර' යන පාලි හා ප්‍රාකෘත පදත් ඊට මූලාශ්‍රය වුණු බව පෙන්වා දෙන ඔහු ඒ පදය මුලින් 'හවුදුරු' බවට පත් වී පසුව 'වණ ‍පෙරළියෙන්' 'හවුරුදු' බවට පත් වූ බව කියයි. හතරවෙනි සියවසෙහි ලියවුණු සෙල් ලිපිවල ද 'හවජර' යන පදය එන බව ඔහු පෙන්වා දෙයි.

වැලිවිටියේ පණ්ඩිත සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 'ශ්‍රී සුමඞ්ගල ශබ්ද කොෂයෙහි' ද (105 පිට) 'අවුරුදු' යන පදය දක්වා ඇත්තේ 'සංවච්ඡර' යන සංස්කෘත පදයෙන් බිඳුණක් වශයෙනි. එය ශිලා ලේඛනවල 'හවජර' යනුවෙන් යෙදී ඇති බව ද උන් වහන්සේ පෙන්වා දෙති. (1152 පිට) එය ම කාලයාගේ ඇවෑමෙන් 'හවුරුජු' බවටත් 'හවුරුදු' බවටත් පත් වූ බව උන් වහන්සේ පෙන්වා දෙති.

මහාචාර්ය ඩබ්ලිවු. එස්. කරුණාතිලක විසින් සම්පාදිත 'Etymological Lexicon of the Sinhalese Language' නමැති ශබ්ද කෝෂයෙහි ද මේ නිරුක්තිය ම දක්වා ඇත. (20 පිට)

'අවුරුද්දක්' යැයි කියන්නේ ‍දොළොස් මසකට වුවත් එක් දවසකටත් 'අවුරුද්ද' යැයි කීමේ සිරිතක් සිංහල ජන වහරෙහි ඇත. සූර්යයා මීන රාශියෙහි ගත කරන අවසාන දවස 'පරණ අවුරුද්ද' යනුවෙන් ද මේෂ රාශියෙහි ගත කරන පළමු දවස 'අලුත් අවුරුද්ද' යනුවෙන් ද හැඳින්වෙන බැවිනි.

සංක්‍රාන්තිය

සූර්යයා මීන රාශියෙන් පිටත් වී මේෂ රාශියට මුළුමනින් ම එළඹෙන අවස්ථාව දක්වා වූ කාල පරිච්ඡෙදය 'සංක්‍රාන්තිය' යන පදයෙන් හැඳින්වේ. මේ අවුරුදු සිරිත් ම පිළිපදින සියම් වැසියන් මේ උත්සවය හඳුන්වන්නේ 'සංක්‍රාන්ති' යන අර්ථවත් 'සොංක්‍රන්' යන පදයෙනි.

නොනගතය

සංක්‍රාන්තිය සිදු වන වේලාවෙහි දී සූර්යයා සිටින්නේ පරණ අවුරුද්දටත් නැති, අලුත් අවුරුද්දටත් නැති කාල පරිච්ඡෙදයක ය. මේ වන විට පරණ අවුරුද්ද ගෙවී අවසාන ය. අලුත් අවුරුද්ද තවමත් ලබා නැත. එබැවින් සූර්යයා මේ වෙලාවෙහි දී සිටින්නේ කාලයෙන් පිටත ය.

කාලයෙන් පිටත 'නකතක්' හෝ 'නැකතක්' තිබිය නොහැකි ය. එබැවින් 'නකතක්' හෝ 'නැකතක්' නැති මේ කාල පරිච්ඡේදය 'නො-නකත' යනුවෙන් හැදින්වේ. එය සිංහල කට වහරට එන්නේ 'නොනගතේ' යනුවෙනි.

පුණ්‍ය කාලය

කාලයෙන් පිටත පවතින 'නොනගතය' ඉතා අවදානම් සහිත කාල පරිච්‍ඡෙදයක් සේ සැලකේ. එබැවින් ඒ අනාරක්ෂිත කාලය තුළ දී සිය ආරක්ෂාව සලසා ගනු පිණිස පින් බිමකට යෑම සිංහලයාගේ සිරිත යි. එබැවින් පවුලේ සියලු දෙනා ම එක් වී ගමේ පින් බිම වන පන්සලට යෑම නොනගතයෙහි දී අනිවාර්යෙන් ම සිදු වන්නකි. එබැවින් මේ කාල පරිච්ඡෙදය 'පුණ්‍ය කාලය' යනුවෙන් වෙසෙසා හැඳින්වේ.

කෝම්පිට්ටු

සිංහල අවුරුදු කාලය එළඹෙන විට පොල් කටුවල වැලි පුරවා අනික් පැත්ත හරවා තවත් පොල් කටුවකින් ඊට ගසමින් 'කෝම්පිට්ටු' සැදීම සිංහල ගැමි දරුවන්ගේ සිරිතකි. එසේ ගසන විට

''අවුරුද්දට ගමට යන්ට කෝම්පිට්ටු ඉදීයෝ ඉදීයෝ"

යනුවෙන් ශබ්ද නඟා කීම දරුවන්ගේ සිරිත යි. 'කෝම්පිට්ටු' යන පදය සැදුණේ 'කෝන්' යන පදයට පරව 'පිට්ටු' යන පදය යෙදීමෙනි. 'කෝන' හෝ 'කෝණ' යන පදය ද අවුරුද්ද හා බැඳුණු පදයකි. 'අවුරුදු කෝණ' 'කෝණ මාස' වැනි යෙදුම් ජන වහරෙහි එයි.

ශක වර්ෂය

බක් මහේ දී උදා වන මේ අලුත් අවුරුද්ද හඳුන්වන නාමය 'ශක වර්ෂය' යනු යි. ක්‍රිස්තු වර්ෂයෙන් 78 දී ඉන්දියාවෙහි රජ පැමිණි 'ශක' නම් රාජ වංශිකයන් විසින් නිර්මිත මේ දින දර්ශනය 'ශක වර්ෂය' යන නමින් හැඳින්වේ. මෙවර උදා වන්නේ 1941 වැනි ශක වර්ෂය යි. මේ දින දර්ශනය නක්ෂත්‍රය හා සම්බන්ධ වූවක් හෙයින් එය අනුගමනය කරන්නේ මෙරට වෙසෙන සිංහල බෞද්ධයන් හා දෙමළ හින්දු භක්තිකයන් පමණකි.

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

මාතෘකා