වාගාලාපවලින් උපදින වාග්ලාවණ්‍යය

 ඡායාරූපය:

වාගාලාපවලින් උපදින වාග්ලාවණ්‍යය

සිත හා කය ගැනත් ගත හා සිත ගැනත් අපි කතා කෙළෙමු. මේ දෙක හා සම්බන්ධ තෙවැන්න 'වචනය' යි. බුදු දහමෙහි මේ අංග තුන හැඳින්වෙන්නේ 'තුන් දොර' යනුවෙනි. කුසල් අකුසල් සිදු වන්නේ මේ දොරටු තුන නිසා ය. සිතින් කයින් හෝ වචනයෙන් කිසිවෙකු නොරිදවිය යුතු යැයි බුදු දහමෙහි ඉගැන්වෙයි.

'වචන' යනු සංස්කෘත හා පාලි තත්සම පදයකි. එය සිංහලයට බිඳෙන්නේ 'වදන්' යනුවෙනි. 'බහු වචන' යන පදය සිංහලයට නැඟෙන්නේ 'බුහු වදන්' යනුවෙනි. 'වචන කෝෂය' හෙවත් 'ශබ්ද කෝෂය' හැඳින්වීමට 'වදන් කොස්ස' යන පදය හෙළ හවුල යොදයි.

'වචන' යන වචනය 'වාක්', 'වාග්', 'වාච්' හා 'වාං' යනුවෙන් ද ඇතැම් තැනක යෙදේ. එය තීරණය වන්නේ ඊට පරව යෙදෙන ශබ්දය අනුව ය. පරව යෙදෙන ශබ්දය ස්වරයක් ද ව්‍යංජනයක් ද ව්‍යංජනයක් නම් ඝෝෂයක් ද අඝෝෂයක් ද නාසික්‍යයක් ද යන කරුණු මෙහි ලා බලපායි.

ඊට පරව යෙදෙන්නේ ස්වර ශබ්දයක් නම් එය යොදන්නේ 'වාග්' යනුවෙනි. එසේ වූ විට ඒ දෙපදය අනිවාර්යයෙන් ම සන්ධි වීම ද සිදු වෙයි.

වාග්-අධිපති: වාගාධිපති

වචනයට අධිපති වන්නේ 'වාගාධිපති' ය. හින්දු ඇදහිලි විශ්වාස අනුව වාගාධිපති වන්නේ බෘහස්පති නම් ග්‍රහයා ය.

වාග්-අර්ථය: වාගාර්ථය

වචනයක තේරුම එහි 'වාගාර්ථය' යි. ඊට ම 'වාච්‍යාර්ථය' යන පදය ද යෙදේ. වාගාර්ථය ඉක්මවා යන අර්ථයක් ඇති පදය 'රූඪියක්' සේ සැලකේ. ඊට අනුරූප ඉංගිරිසි පදය 'idiom' යන්න යි.

වාග්-ආඩම්බරය: වාගාඩම්බරය

වචනයෙන් ඇති වන ආඩම්බරය යන්නෙන් කරුණු කීපයක් ම අදහස් කෙරේ. "පුරසාරම, පාරට්ටුව, රැවටිලි වචනය, අහංකාර කියමන, වචනවල ඇති ආටෝපය" යනුවෙනි. (ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂය, හරිශ්චන්ද්‍ර විජයතුංග, 1516 පිට)

වාග්-ආලාපය: වාගාලාපය

'වාගාලාපය' යනු වාක්‍යවල සංයෝගයෙන් බිහි වන ප්‍රකාශනය යි. මෙය නූතන වාග්විද්‍යාවේ එන පාරිභාෂික පදයකි. ඊට අනුරූප ඉංගිරිසි වචනය 'utterance' යන්න යි. එය පරිසමාප්ත ව්‍යාකරණ එ්කකයකි. සංවාදයක් (discourse) ගොඩ නැගෙන්නේ එවැනි වාගාලාප සමූහයක් ඒකතු වීමෙනි.

වාග්-ඉන්ද්‍රිය: වාගින්ද්‍රිය

'වාගින්ද්‍රිය' යනු වචන පිට කරන ඉන්ද්‍රිය පද්ධතිය යි. එනම් මුව කුහරයෙහි පිහිටි දිව, තල්ල, රසදිව හා උගුර ආදි අවයව යි. මේ වාගින්ද්‍රිය හැඟවීමට 'උච්චාරණ ඉන්ද්‍රිය ' හා 'වාචිකාවයව' යන පද ද යෙදේ. ඒ්වා ඉංගිරිසියෙන් හැඳින්වෙන්නේ 'organs of speech' යනුවෙනි.

වාග්-ඊශ: වාගීශ

වචන භාවිතයෙහි මහත් කුසලතාවක් ඇත්තා 'වාගීශ' ය.

වාග්-ඊශ්වර: වාගීශ්වර

වචනයට අධිපති වන්නේ 'වාගීශ්වර' යි. 'ඊශ්වර' යන තත්සම පදයේ එක් අර්ථයක් 'දෙවියා' හෝ 'අධිපතියා' ය. ඔහු හැඳින්වීමට 'වදනිසුරු' (වදන්-ඉසුරු) යන පදය ද යෙදිය හැකි ය. දේව කථා අනුව 'වාගීශ්වර' වශයෙන් පිදුම් ලබන්නේ බෘහස්පති නම් ග්‍රහයා ය. ඔහුට ම 'වාක්පති' යන නම ද යෙදේ.

වාග්-උක්ති: වාගුක්ති

වචනයෙන් කෙරෙන ප්‍රකාශනය 'වාගුක්තිය' යි. 'උක්ති' යන සංස්කෘත තත්සම පදයේ තේරුම 'ප්‍රකාශනය' යනු යි. කවීන්ගේ ප්‍රකාශන 'කාව්‍යෝක්ති' ද අතිශයින් වර්ණනා කෙරෙන ප්‍රකාශන 'අතිශයෝක්ති' ද වන්නා සේ ය. මූනිච්චාවට කියන බොරු කියමන් 'ව්‍යාජෝක්ති' යි.

වාග්-උපාසන: වාගුපාසන

වචනයට සමීපව හිඳීම 'වාගුපාසනය' යි. එනම් නිතර ලියමින් කියවමින් පොත්පත් ඇසුරු කිරිම යි.

ඝෝෂ ව්‍යංජන ශබ්දයකට පූර්වයෙන් යෙදෙන්නේ ද 'වාග්' යන්න ය. ග-ජ-ඩ-ද-බ වැනි අල්පප්‍රාණ ශබ්දත් ඝ-ඪ-ධ-භ වැනි මහාප්‍රාණ ශබ්දත් ඝෝෂ ශබ්ද අතුරෙහි වෙයි.

වාග්-ගුණ: වාග්ගුණ

වචන භාවිතයෙන් මතු වන ගුණය යි. මීට ම 'වාක්වාතුර්යය' කියාත් යෙදේ.

වාග්-ජාල: වාග්ජාල

වචන නිසා ඇති වන අවුල 'වාග්ජාලය' යි.

වාග්-දණ්ඩ: වාග්දණ්ඩ

වාග්දණ්ඩ යනු වචනයෙන් කෙරෙන දඬුවම යි. ගුරුළුගෝමීන් ලියූ 'අමාවතුර' නම් කෘතියෙහි 'ගහපතිදමන නම් පරිච්ඡෙදයෙහි' බුදුන් වහන්සේ දීර්ඝතපස්වී නම් නුවටෙකු සමඟ කළ සංවාදයෙහි දී වාග්දණ්ඩ පිළිබඳව නිගණ්ඨනාථපුත්‍රයා දැක්වූ අදහස් ඉදිරිපත් කොට ඇත. ඒ අනුව පව්කම් කිරීමට සම්බන්ධ දඬුවම් තුනකි. 'කාය දණ්ඩ', 'වාග්දණ්ඩ' හා 'මනෝදණ්ඩ' යනුවෙනි.

දීර්ඝතපස්වී 'වාග්දණ්ඩ' පහදා දෙන්නේ මෙසේ ය.

"යම් සෙ සුළඟ හමන කලැ තල්පත් ආදීහු හඬත් මැ යැ, දිය හඬා මැ යැ, එහි සිත් නැති, එ සෙයින් මැ වාග්දණ්ඩදු අචිත්තක වෙයි." (අමාවතුර, කෝදාගොඩ ඤාණාලෝක සංස්කරණය, 51 පිට)

වාග්-දුශ්චරිත: වාග්දුශ්චරිත

වචනයෙන් කෙරෙන දුශ්චරිතය වාග්දුශ්චරිතය යි. එනම් මුසාවාද ආදී වචනයෙන් කෙරෙන අයහපත් කටයුතුයි.

වාග්-දේවි: වාග්දේවි

හින්දු ඇදහිලි විශ්වාස අනුව 'වාග්දේවිය' යනු වචනයට අධිපති දෙවඟන යි. එනම් සරස්වතිය හෙවත් සරසවිය යි.

වාග්-ද්වාර: වාග්ද්වාර

'ද්වාරය' යනු දොරටුව යි. වචනය නමැති දොරටුව 'වාග්ද්වාරය' යි. මෙය සිත, කය හා වචනය යන තුන් දොරටුවෙන් තෙවැන්න යි.

වාග්-විද්‍යාව: වාග්විද්‍යාව

භාෂාව පිළිබඳ විද්‍යාත්මක විමර්ශනය 'වාග්විද්‍යාව' යි. එය හැඳින්වීමට

'නූතන වාග්විද්‍යාව' යන නම ද යෙදේ. එය ඉංගිරිසියෙන් හැඳින්වෙන්නේ 'Modern Linguistics' යන නමිනි. එසේ 'නූතන' යන්නෙන් වෙසෙසා දැක්වීම අවශ්‍ය වන්නේ ඊට පෙරාතුව පැවති භාෂා විමර්ශනය හැඳින්වීමට 'Philology'යන ඉංගිරිසි පදය යෙදුණු බැවිනි.

වාග්-ලාවණ්‍යය: වාග්ලාවණ්‍යය

'ලාවණ්‍යය' යනු සුන්දරත්වය යි. කිසිවෙකුගේ කායික හැඩ රුව නිසා ඇති වන සුන්දරත්වය 'රූප ලාවණ්‍යය' යි. කිසිවෙකුගේ රචනා විලාසය නිසා ඇති වන සුන්දරත්වය 'වාග්ලාවණ්‍යය' යි. වාග්ලාවණ්‍යයෙන් යුක්තව ලිවීමට කුසලතාවක් ඇත්තා විශිෂ්ට ගණයේ ලේඛකයෙකි.

මාතෘකා