සිත හා කය

 ඡායාරූපය:

සිත හා කය

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

හැම සත්වයාට ම සිතක් හා කයක් ඇත. ගතක් හා සිතක් ඇත. බෞද්ධයා සිතන හැටියට සිත, කය හා වචන යනුවෙන් තුන් දොරක් ද ඇත. මේ අතුරින් 'කය' යන පදය ඇසුරින් සිංහලයට එක් වුණු පද සමහරක් මේ ලිපියෙන් විමසා බැලේ.

සිත හා කය යන දෙකින් අප කාටත් පෙනේනේ 'කය' යි. එ් පදය සිංහලයට ආවේ 'කාය' යන පාලි හා සංස්කෘත පද ඔස්සේ ය. 'කය' යන පදය සමග 'සිත' යන පදය එක් වීමෙන් 'සිත කය' යන සමාසය සැදිණ. එය දකාරාර්ථ සමාසයකි. "සිත ද කය ද සිත කය" යනුවෙන් වියරණ ඇදුරා එය විවරණය කරයි.

සිංහල වියරණ අනුව සිතටත් කයටත් ලැබෙන්නේ තැන් දෙකකි. 'සිත' යනු නාම පදයක් මෙන් ම ක්‍රිය‍ා පදයක් ද වේ. 'කය' යනු නාම පදයක් පමණකි. මේ නිසා 'සිත' යන නාම පදය ඇසුරින්

සිත සිතක් සිත්

සිතෙන් සිතකින් සිත්වලින්

සිතට සිතකට සිත්වලට

සිතේ සිතක සිත්වල

යනුවෙන් 'නාම පද' ගොනු කීපයක් ම සදා ගත හැකි ය.

එසේ ම 'කය' යන නාම පදය ඇසුරින්

කය කයක් කය

කයෙන් කයකින් කයවලින්

කයට කයකට කයවලට

කයේ කයක කයවල

යනුවෙන් 'නාම පද' ගොනු කීපයක් ම සදා ගත හැකි ය.

'සිත' යන ක්‍රියා ප්‍රකෘතිය ඇසුරින් ක්‍රියා පද ගොනු කීපයක් සදා ගත හැකි ය. 'සිතනවා' යන ක්‍රියා පදය මෙනි.

මෙයින් සමහරක් 'ශුද්ධ ක්‍රියා පද' යි.

සිතයි සිතති

සිතමි සිතමු

සිතීය සිතූහ

සිතීමි සිතීමු

සමහරක් 'සාධිත ක්‍රියා පද' යි.

සිතන්නෙමි සිතන්නෙමු

සිතන්නේය සිතන්නීය

සිතන්නෝය සිතුවෙමි සිතුවෙමු

සිතුවේය සිතුවාය

සිතුවෝය සිතුවාහ

'සිත' යන්නෙන් 'සිතනවා' යනාදී වශයෙන් ක්‍රියා පද සදා ගත්තත් 'කය' යන්නෙන් 'කයනවා' යනුවෙන් ක්‍රියා පද සදා ගත නොහේ. ඒ සිංහල අපට 'සිතෙන' හැටි යි. සිංහලයා සිතට දී ඇති බල ශක්තිය කයට දී ඇති බල ශක්තියට වඩා වැඩි හෙයිනි.

අප නිතර ම සිතන්නේ සිත හා කය එකට ම පවත්නා දෙකක් හැටියට යි. එහෙත් එය එසේ නොවන බව බුදු සමයෙහි ඉගැන්වෙයි. ඒ බව ලෝවැඩ සඟරාවෙහි මෙසේ කියා ඇත.

''සිත මිස කය නැති බඹ ලොව සතරෙ කි

සිත නැති වැ මැ කය ඇති බඹ තලයෙ කි" (14 කව)

මේ කියන ලෝක බ්‍රහ්ම ලෝක වෙයි. එයින් හතරක සිත ඇතත් කයක් නැත. ඉන් එකක කයක් ඇතත් සිතක් නැත.

'කය' ගැන දෙ කරුණක් බුදු දහමෙහි ඉස් මතු වෙයි.

පළමුවැන්න, 'කය' අසාර බව යි.

බුදුගුණාලංකාර ලියූ වීදාගම හිමියෝ මෙසේ කීහ.

''කය නම් අසා රය

බව නම් බයංකා රය

කියනුව දිවා රැය

කියම් බුදුගුණ අලංකා රය"

දෙවැන්න, 'කය' අනිත්‍ය බව යි.

උන් වහන්සේ ලෝවැඩ සඟරාවෙහි ම මෙසේ කියති.

''බණ නම් නිබොරු ය මුනිවරයන්නේ

කය නම් නොතිරය අදහා ගන්නේ" (46)

මෙවැනි අසාර වූ ද නොතිර වූ ද 'කුණු කයක්' අල්ලා ගෙන අප කරන්නේ කුමක් දැයි

උන් වහන්සේ අසති.

'සාර නූ කුණු කයක් ඇරැගෙන කරන බහුනාටක තදේ'' (54)

"කුමට ද කා බී නිති සැරසෙන්නේ

කොතැන ද මේ කය අරැගෙන යන්නේ " (29)

අප කළ යුත්තේ කය දෙස නොව සිත දෙස බැලීම යි.

''තැනුවා නම් තම සිත තැනුවා ම ය" (74)

මාතෘකා