මා මතකයේ රැඳෙන පොත සෙලිග්මාන්ගේ ‘වැද්දෝ’ කෘතියයි

 ඡායාරූපය:

මා මතකයේ රැඳෙන පොත සෙලිග්මාන්ගේ ‘වැද්දෝ’ කෘතියයි

චන්ද්‍ර ශ්‍රී රණසිංහ

පවුල් පරිසරය සමඟ කියවීමට හුරු වූ මට විවිධ විෂය ක්ෂේත්‍ර ගැන ලියුණු පොතපත අධ්‍යයනය කරන්න ලැබෙනවා. ඒ අතර ආචාර්ය සී.ජී. සෙලිග්මාන් හා බ්‍රෙන්ඩා සාරා සෙලිග්මාන් විසින් ලාංකීය වැදි ජනතාව පිළිබඳව කළ පර්යේෂණ කෘතියක් හමු වෙනවා. ඒ තමයි The Veddas කෘතිය. ඇත්ත වශයෙන් මගේ සිත සසලම කළ කෘතිය එයයි.

මම කුඩා අවධියේ පටන් කියවීමට හුරු වූ අයෙක්. මගේ පියා මා කුඩා කාලයේ මියගියා. ඔහු විදුහල්පතිවරයෙක්. මව ගුරුවරියක්. ඇගේ පවුලේ සෙසු සාමාජිකයිනුත් ගුරුවරු වුණා. ඒ නිසා ගෙදර පරිසරය මාව ඉබේම පොතපතට නැඹුරු කළා. අනෙක් අතට මම කතන්දර කියවන්න ලොකු රුචිකත්වයක් දැක්වූවා. මේ නිසා මගේ පොත්පත් ඇල්ම වැඩි වුණා. ‘කාබෙරි කුමාරයා’, ‘පංචතන්ත්‍රය’ ආදිය මගේ මතකයේ තදින් රඳා පැවතියා.

මගේ මවගේ සේවා ස්ථාන වෙනස් වීමත් එක්ක මේ කාලයේ මට පාසල් කිහිපයක ඉගෙනගන්න සිදු වෙනවා. ඒ අතර බුලත්සිංහල යටගම්පිටිය රජයේ සිංහල පාසල, පිළියන්දල මාන්පේ රජයේ පාසල, පන්නිපිටිය ධර්මපාල විදුහල, පිළියන්දල මධ්‍ය මහා විදුහල ආදියත් වෙනවා. එකල ගුරුවරුන්ගේ භාෂා දැනුම හරිම පුළුල්. ඔවුන් අපට පොත්පත් පරිශීලනයේ වැදගත්කම පෙන්වා දුන්නා. ඒ නිසා අපට පොතපතින් තොර ලෝකයක් තිබුණේ නෑ. එකල පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සතුව ඉංග්‍රීසි පුස්තකාලයක් තිබුණා. මේ පුස්තකාලය මම හුඟක් පරිශීලනය කළා. එදා අපි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ, ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ සියලු පොත් එහිදී කියෙව්වා.

සෙලිග්මාන්ගේ The Veddas කෘතිය ගැන මම දැනගන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කෘතියක ඒ පිළිබඳව වූ සඳහනකින්. ඒ, මම 1961‐1962 වසරවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකුව සිටි කාලයේ. ලාංකීය සමාජයේ වැදිජනයා පිළිබඳව මෙතෙක් ලියවුණු කෘති අතර සාර්ථකම පර්යේෂණය එය වශයෙන් හඳුන්වන්න පුළුවන්.

සෙලිග්මාන් බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයෙක්. ඔහු ලංකාවට පැමිණෙන්නේ 1900 මුල් හරියේ. ඔහු සිය බිරිඳ වූ බ්‍රෙන්ඩා සාරා සෙලිග්මාන් සමඟ එක්වයි මේ පර්යේෂණය කරන්නෙ. ඔවුන් දෙදෙනා වැදි ජනයා එක්ක වසර දෙකක් එකට දිවි ගෙවනවා. ඔවුන් වෙනත් රටවල වැදි ජනයා ගැනත් පර්යේෂණ කරනවා. ඒත් මේ පර්යේෂණය විශේෂයි. 1908‐1910 දක්වා වසර දෙකක කාලයක් ඔහු අපේ වැදි ජනයා සමඟ වෙසෙනවා. මහාචාර්ය සෙලිග්මාන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සිට මෙරටට පැමිණෙන්නේම වැද්දන් පිළිබඳව අධ්‍යයනය කරන්නයි. ඇත්තටම ඔහු එන්නේ එවකට මෙරට පැවති යටත්විජිත පාලකයන්ගේ අවශ්‍යතාවක් වෙනුවෙන්. කොහොම වුණත් එයත් පර්යේෂණය සාර්ථක වෙන්න හේතුවක් වුණා.

මහාචාර්ය සෙලිග්මාන් නැගෙනහිර පළාතේ මුහුදු වැද්දන්, ඌව පළාතේ බිංතැන්න, රතුගල, නිල්ලබේ වැනි ප්‍රදේශවල වැදි ජනයා හා එකට දිවි ගෙවමින් තොරතුරු රැස් කරනවා. සමහර වැදි ජනයා ඥාතීන් නොවන අයට ඔවුන්ගේ වාසස්ථාන අසලටවත් එන්න දෙන්නේ නැහැ. නමුත් සෙලිග්මාන් සිය බිරිඳ වූ බ්‍රෙන්ඩා සමඟ ඔවුන්ගේ වාසස්ථානවලට යනවා. මොකද බ්‍රෙන්ඩා වැදි කාන්තාවන් හා මිතුරු වෙනවා. එහිදී ඔවුන් වාකරේ ප්‍රදේශයේ මුහුදු වැද්දන්, ගල් වැද්දන්, ගුහා වැද්දන් ආදී සියලු වැදි ජනයා අාවරණය වන පර්යේෂණයක් කරනවා.

මේ පර්යේෂණ කෘතියට තිබූ රුචිය නිසාම මම 2008 වසරේදී Veddas කෘතිය සිංහලට පරිවර්තනය කරනවා. 2009 වසරේ එය ‘වැද්දෝ’ නමින් ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයක් ලෙස පළ වෙනවා. 2010 වසරේ එයට හොඳම පරිවර්තනයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් හිමි වෙනවා. සැබැවින්ම ඉතා සාර්ථක පර්යේෂණයක් වශයෙන් හඳුනාගත හැකි මේ කෘතිය මගේ ප්‍රියතම සහ මගේ හැමදාමත් මතකයේ රැඳෙන පොත වෙනවා.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා