‘අන් හිමි මොට ද මගෙ රන්කඳ ගෙදර කොට’

 ඡායාරූපය:

‘අන් හිමි මොට ද මගෙ රන්කඳ ගෙදර කොට’

සිත හා කය යන දෙකින් කය හැඳින්වීම පිණිස පද රාශියක් ම සිංහලයෙහි ඇත. ඉන් සමහරක් කට වහරට සීමා වන අතර සමහරක් ගත් වහරට සීමා වෙයි. ඒ පද සමහරක් අකාරාදි පිළිවෙළින් මෙහි දැක්වෙයි.

ඇඟ

'ඇඟ' යන පදය සිංහලයට ආවේ 'අංග' යන තත්සම පදයෙනි. එය මුල දී 'අඟ' බවට පත් ව පසුව 'ඇඟ' බවට වෙනස් විණ. ශරීරයක් නැති කාම දෙවියා හැඳින්වීමට යෙදුණු 'අනංග' (අන්-අංග) යන පදය සිංහලයට ආවේ 'අනඟ' යනුවෙනි.

මුළු මහත් ශරීරය ම හැඳින්වීමට 'සියලඟ' යන පදය යෙදේ. එය සැදෙන්නේ 'සියල්' හා 'අඟ' යන දෙ පදය සන්ධි වීමෙනි.

"දත් කැකුලු පෑ ලා

සුරතල් සිනා සී ලා

බොළඳ බස් දී ලා

කෙළී සියලඟ දූලි ගා ලා"

යනුවෙන් තොටගමුවේ රාහුල හිමියන් කාව්‍යශේඛරයෙහි සේනක කුමරුන් වණන විට ඒ කුමරුන් මුළු

'ඇඟ පතේම ' දූවිලි ගා ගෙන සිටි බව කියවේ.

'ඇඟ කිලි පොළා යනවා' යනුත් ඇඟ හා සම්බන්ධ කතාවකි. විස්මයට හෝ භීතියට පත් වූ විට ශරීරයේ රෝම කෙළින් වෙයි. මෙය වියත් වහරෙහි හැඳින්වෙන්නේ 'රෝමෝද්ගමනය' යනුවෙනි. එය කට වහරට එන්නේ 'මයිල් කෙළින් වෙනවා' යනුවෙනි.

'ඇඟ කිලි පොළනවා' හෝ 'ඇඟ කිලි පොළා යනවා' යැයි කියන්නේ එය යි. 'රෝම' හැඳින්වීමට 'ලෝම' යනුත් යෙදේ. ඒ අනුව 'ලෝමහංස' යනුත් 'රෝමෝද්ගමනය' ම යි. 'ඇඟ ලොමු ඩැහැ ගන්නවා' යනුත් ඒ අරුත ම දෙයි.

කඳ

කය හැඳින්විමට 'කඳ' යන පදය ද යෙදේ. මරණය සමඟ ඒ කඳ 'මළ කඳක්' බවට පත් වෙයි. එහෙත් ජීවත් ව

සිටින විට එය 'රන් කඳක්' සේ කෙනෙකුට පෙනී යන්ට පුළුවන. බොහෝ විට පෙම්වතුන් හා පෙම්වතියන් එකිනෙකා හඳුන්වා ගන්නේ "මගෙ රන්කඳ" යන පදයෙනි. වරක් තමා සමඟ එන්ට යැයි තරුණයෙකු තරුණියකට කී විට ඈ උත්තර දුන්නේ "අන් හිමි මොට ද මගෙ රන් කඳ ගෙදර කොට" යනුවෙන් මතක් කොට දීමෙනි.

වෙද මහත්වරුන් බේත් කරන විට "අපි කඳට බේතක් දීලා බලමු නේදැ?" යි අසන්නේ ශරීරය ගැන මෙනෙහි කිරීමෙනි.

කලේබරය

කයට 'කලේබරය' යන පදය ද ඇතැම් අවස්ථාවල යෙදේ. ඒ මෘත දේහ හෝ මෘත ශරීර ගැන සඳහන් කරන විට ය. එබැවින් එය නිතර ම යෙදෙන්නේ 'මෘත' යන පදයට පරව ය. මිනී පෙට්ටිය වැසීමට පෙර 'මෘත කලේබරයට කතා කිරීමට' කාටත් ආරාධනා කෙරේ.

ගත

'සිත කය' යන සමාසය මෙන්ම 'ගත සිත' යන සමාසය ද බෙහෙවින් ව්‍යවහාර වෙයි. 'ගත' යන පදය සිංහලයට ආවේ 'ගාත්‍ර' යන තත්සම පදය අනුසාරයෙනි.

භාෂාවේ එන ශබ්ද දෙවර්ගයකි. එක් වර්ගයක් ජීවියෙකුගේ 'ප්‍රාණය' හෝ 'පණ' මෙනි. ඒ අකුරුවලට 'ප්‍රාණාක්ෂර' හෝ 'පණකුරු' යන නම යෙදේ. අනික් වර්ගය ජීවියෙකුගේ 'ගාත්‍ර' හෝ 'ගත' මෙනි. ඒ අකුරුවලට 'ගාත්‍රාක්ෂර' හෝ 'ගතකුරු' යන නම යෙදේ.

දේහය

කයට 'දේහය' යන නම ද යෙදේ. හැඩ රුව ඇති දේහයක් ඇත්තා 'දේහධාරියා' ය. ඔහු 'ආරෝහ පරිණාහ දේහධාරියෙක්' ය. වටිනා දේහය 'ශ්‍රී දේහය' යි. එහෙත් මරණයෙන් පසු එයත් 'මෘත දේහයක්' බවට පත් වේ. ජන සංස්කෘතියෙහි එක් ශාස්ත්‍රයක්

'දේහ ලක්ෂණ විද්‍යාව' යි. කෙනෙකුගේ ශරීරයේ අංගෝපාංග දෙස බලා ඔහු හෝ ඇය ගැන අනාවැකි කීමට මේ දේහ ලක්ෂණ විද්‍යාඥයන්ට පුළුවන.

බඳ

'ශරීරය' යන අර්ථවත් 'බන්ධ' යන තත්සමය අනුසාරයෙන් සිංහලයට ආ 'බඳ' යන්නෙන් මුළු ශරීරය මෙන් ම එහි මැද කොටස ද අදහස් කෙරේ. 'බඳ නටවමින්' රඟ පාන නිළියෝ කාගේත් ඇස් ඇද ගැනිමට සමත් වෙති.

සිරුර

'සිරුර' යන සිංහල පදය උපන්නේ 'ශරීර ' යන සංස්කෘත පදය හෝ 'සරීර' යන පාලි පදය හෝ මුල් කොට ගෙන ය. එය ද මරණයෙන් පසු 'මළ සිරුරක්' බවට පත් වෙයි. කෙනෙකුගේ කීර්ති කදම්බය ඔහුගේ හෝ ඇයගේ 'කිත් සිරුර' යි.

මාතෘකා