ජේන් ඔස්ටින්ගේ ‘එමා’ ශ්‍රව්‍ය කෘතියක් ලෙස

 ඡායාරූපය:

ජේන් ඔස්ටින්ගේ ‘එමා’ ශ්‍රව්‍ය කෘතියක් ලෙස

ප්‍රකට ඉංග්‍රීසි ලේඛිකා ජේන් ඔස්ටින් විසින් 1815 වසරේදී රචනා කරන ලද ‘එමා’ (Emma) නවකතාවේ ශ්‍රව්‍ය කෘතියක් (Audio Book) පසුගියදා නිකුත් වුණා. සුප්‍රකට නිළියක වන එමා තොම්ප්සන් ප්‍රමුඛ ප්‍රවීණ හඬ ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් දායක වී ඇති මේ හඬපටය නිපදවා ඇත්තේ ඔඩිබල් නමැති නිෂ්පාදන ආයතනයක් විසින්.

නවකතාවේ ප්‍රධාන චරිතයට හඬ සපයා ඇති එමා තොම්ප්සන් මෙයට පෙර ජේන් ඔස්ටින්ගේ ‘සෙන්ස් ඇන්ඩ් සෙන්සිබිලිටි’ (Sense and Sensibility) නවකතාව පාදක කරගනිමින් 1995 වසරේදී නිෂ්පාදනය වූ සිනමා කෘතියේ ප්‍රධාන චරිතය නිරූපණය කළා. ඒ චිත්‍රපටයේ තිරපිටපත රචනා කර තිබුණේත් ඇයමයි.

ඒ තිරපිටපත සඳහා 1996 වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයත් ඇයට හිමි වුණා. මේ හේතු නිසාම ‘එමා’ නවකතාවේ ප්‍රධාන චරිතයට හඬ මුසු කිරීම සඳහා වඩාත්ම සුදුසු ශිල්පිනිය ලෙස ඇය තෝරාගනු ලැබ තිබෙනවා.

ජෝන් ස්ටයින්බෙක් ගැන මතක සටහන් කෘතියක්

ප්‍රකට ඇමෙරිකානු ලේඛක ජෝන් ස්ටෙයින්බෙක් සමඟ ගත කළ විවාහ දිවිය පිළිබඳව ඔහුගේ දෙවැනි බිරිඳ වූ ග්වයින් කොන්ගර් විසින් පවසන ලද අදහස් ඇතුළත් කරමින් ඩග්ලස් බ්‍රවුන් නමැති බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියෙකු විසින් රචනා කරන ලද මතක සටහන් කෘතියක් තවත් දින කිහිපයකින් පළ වීමට නියමිතව තිබෙනවා.

‘මයි ලයිෆ් විත් ජෝන් ස්ටෙයින්බෙක්’ (My Life With John Steinbeck) නමින් පළ වන මෙය කාලයක් තිස්සේ අප්‍රකටව තිබී පසුගියදා වේල්ස් ප්‍රදේශයෙන් හමු වූ අත්පිටතක් ඇසුරින් සකසන ලද කෘතියක්. පසුගිය කාලය පුරාම කිසිවෙකුගේ අවධානයට ලක් නොවී පැවැති මේ අත්පිටපත ප්‍රකාශයට පත් වන්නේ ප්‍රථම වරටයි.

ස්ටෙයින්බෙක් 1968 වසරේදී මියයෑමෙන් පසුව ග්වයින් කොන්ගර් සමඟ 1970 දශකයේ මුල් භාගයේදී පවත්වන ලද සම්මුඛ සාකච්ඡා ගණනාවක් ඇසුරින් රචනා කර ඇති මේ කෘතියේ අත්පිටපත පළ කිරීමේ වුවමනාවක් ඩග්ලස් බ්‍රවුන්ට තිබී නැහැ. කොන්ගර් 1975 වසරේදී මියගිය බැවින් ඉන් පසුව ඒ ගැන සොයා බැලීමට කිසිවකු සිටියේත් නැහැ.

‘ද බුක් තීෆ්’ රචකයාගෙන් යොවුන් නවකතාවක්

විශාල පාඨක පිරිසක් අතර අතිශයින් ජනප්‍රිය වූ ‘ද බුක් තීෆ්’ (The Book Thief) කෘතිය රචනා කළ ඕස්ට්‍රේලියානු ලේඛක මාර්කස් සුසැක් රචනා කළ නවතම යොවුන් නවකතාව එළඹෙන ඔක්තෝබර් මාසයේදී පළ වීමට නියමිතයි. ‘ද බුක් තීෆ්’ කෘතිය ප්‍රකාශයට පත් වී වසර දහයකටත් වැඩි කාලයකට පසුව පළ වන ඔහුගේ මේ යොවුන් නවකතාව

‘බ්‍රිජ් ඔෆ් ක්ලේ’ (Bridge of Clay) යනුවෙන් නම් කර තිබෙනවා. රැන්ඩම් හවුස් ප්‍රකාශන සමාගම විසින් පළ කරනු ලබන මේ යොවුන් නවකතාව රචනා කිරීමට සුසැක් පටන් ගෙන ඇත්තේ 2005 වසරේදී වුවත් ඊට බොහෝ කාලයකට පෙර, දහනව හැවිරිදි වියේ සිටම මේ කතාව සිය මනස තුළ ගොඩනැගෙමින් තිබුණු බව ඔහු පවසනවා.

දැනට හතළිස් දෙහැවිරිදි වියේ පසු වන ඔහු මෙයට පෙර රචනා කළ ‘ද බුක් තීෆ්’ කෘතිය සිනමා කෘතියක් ලෙසත් ප්‍රතිනිර්මාණය වුණා. දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගනිමින් රචනා කරන ලද එය මෑත කාලයේ පළ වූ විශිෂ්ට සාහිත්‍ය කෘතියක් ලෙසත් බොහෝ අය සලකනවා.

රස්කින් බොන්ඩ්ගෙන් තවත් මතක සටහන් කෘතියක්

පසුගිය දශක හයකට අධික කාලය පුරා සිය සැබෑ ජීවන අත්දැකීම් අන්තර්ගත කරමින් ප්‍රබන්ධ මෙන්ම ප්‍රබන්ධ නොවන කෘති රචනයෙහි යෙදුණු බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉන්දියානු ලේඛක රස්කින් බොන්ඩ් රචනා කළ අලුත්ම මතක සටහන් කෘතිය පසුගියදා ප්‍රකාශයට පත් වුණා.

‘ද බියුටි ඔෆ් ඕල් මයි ඩේස්’ (The Beauty of All My Days) යන නමින් පළ වී ඇති මේ කෘතිය ඔහුගේ පුද්ගලික ජීවිතයට අදාළ විස්තර ඇතුළත් පරිච්ඡේද දහයකින් සහ ඡායාරූප රැසකින් සමන්විතයි. මෙයට පෙරත් ඔහු රචනා කළ මෙවැනි මතක සටහන් කෘති කිහිපයක් තිබෙනවා.

ඒ අතරින් ‘ලෝන් ෆොක්ස් ඩාන්සිං’ (Lone Fox Dancing) සහ ‘ලුකිං ෆෝර් ද රේන්බෝ’ (Looking For the Rainbow) වැනි කෘතීන් විශේෂයෙන් කැපී පෙනෙනවා. සිය ජීවිත කාලය තුළදී ලද විවිධ ආකාරයේ ජීවන අත්දැකීම් ගොනු කරමින් ඔහු රචනා කළ මේ මතක සටහන් කෘති පෙළ ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානයේ කොටස් කිහිපයක් ලෙසත් සැලකෙනවා.

මේ සියල්ලට පෙර ඔහු ලියූ මුල්ම මතක සටහන් කෘතිය ‘සීන්ස් ෆොම් අ රයිටර්ස් ලයිෆ්: අ මෙමුවාර්’ (Scenes from a Writer's Life: A Memoir) නමින් 2000 වසරේදී පළ වුණා.

[මේනුක විතාන]

මාතෘකා