‘අපරාධය හා දඬුවම’ කියවන වාරයක් පාසා මා සසල කරනවා

 ඡායාරූපය:

‘අපරාධය හා දඬුවම’ කියවන වාරයක් පාසා මා සසල කරනවා

සාමිනාදන් විමල්

යාපනය විශ්වවිද්‍යාලයේ
වාග් විද්‍යා හා ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

පියෙදෝර් දොස්තයෙවුස්කිගේ ‘අපරාධය හා දඩුවම’ මෙතෙක් මා කියවා ඇති පොත්වලින් මගේ සිත ඇදබැඳගත් කෘතියයි. එය මගේ හදවතේ රැඳුණු පොතක් වුණේ එය මම කියවූ කාලයේ ලැබූ සමාජ ජීවන අත්දැකීම් නිසයි. ඇත්ත වශයෙන් මම මුලින්ම ‘අපරාධය හා දඬුවම’ කියවන්නේ 1987 වසරේයි. ඒ, මම උසස් පෙළ සිසුවෙක්ව අධ්‍යයනය කටයුතු කළ අවධියයි. මුලින්ම මේ පොත මම කියෙව්වේ සිංහලෙන්. පසුව නැවතත් මම එය සිංහලෙන් කියවනවා. අනතුරුව මම එය ඉංග්‍රීසි බසින් කියවනවා. ඒ සෑම අවස්ථාවකම මේ මහා නවකතාව මා සසල කළා.

මම අධ්‍යාපනය ලබන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර පාසල් දෙකක. ඒ තමයි ලේල්ලවල කනිෂ්ඨ විද්‍යාලයේ සහ මලිත්ත මහා විද්‍යාලයේ. දෙකම සිංහල මාධ්‍ය පාසැල්. ලේල්ලවල කනිෂ්ඨ විද්‍යාලයේ අපි ඇන්දේ කොට කලිසම්. ඒ පාසලේ වසර විසිපහකට පසුව මාත්, තවත් දෙදෙනෙකුත් 1986 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙනවා. ඒ කියන්නෙ එතෙක් එහි කිසිම ශිෂ්‍යයෙක් සාමාන්‍ය පෙළ සමත් වෙලා නෑ. ඇත්තටම මගේ නිවසේ පරිසරයෙනුත් මට කියවන්න හුරුවක් ලැබුණේ නැහැ. මම මුලින්ම ඉගෙනුම ලැබූ ප්‍රාථමික පාසැලේ පුස්තකාලයක් කියා දෙයක් තිබුණේත් නැහැ. තිබුණේ පරණ ලෑලි අල්මාරියක්. ඒ ලෑලි අල්මාරියේ පොත් දමා තිබුණා. කොහොම හරි මම ඒ පොත් සියල්ල කියෙව්වා.

මම උසස් පෙළට ඉගෙනගන්න යන්නෙ පෙර කී මලිත්ත මහා විද්‍යාලයටයි. එය ලේල්ලවල විද්‍යාලයට වඩා යම් ප්‍රගතියක් තිබූ පාසැලක්. එහි පුස්තකාලයක් තිබුණා. පාසලේ මුල්ම දවසේ මම ගියේ පුස්තකාලයට. මට එහිදී විවිධ විෂය ක්ෂේත්‍ර අළලා ලියූ පොත්පත් ඇති බව දකින්න ලැබුණා. එහි ශබ්දකෝෂ සඳහා වෙනමම කොටසක් තිබුණා. මම එදා

පියදෝර් දොස්තයෙවුස්කිගේ ‘අපරාදය හා දඬුවම’ මුලින්ම හඳුනාගත්තේ එහි තිබූ ශබ්දකෝෂ අතර තිබූ තවත් ලොකු පොතක් හැටියට. එය මට මතක හැටියට පරිවර්තනය කර තිබුණේ සිරිල් සී. පෙරේරා. කිසිම කෙනෙක් මේ වන විට මට ‘අපරාදය හා දඬුවම’ පොත ගැන කියලා තිබුණේ නැහැ. 1987 වසර කියන්නේ ලාංකීය දේශපාලනයේ ගැටුම් උග්‍රම කාලයක්. මේ යුගයේ රුසියානු සාහිත්‍යය මෙරට අතිශය ජනප්‍රිය වුණා. ඒ අතර ‘අම්මා’, ‘පෙරළූ නැවුම් පස’, ‘අපේ කාලයේ වීරයෙක්’ ආදී කෘති ඉතාම ජනප්‍රිය වුණා.

මට කියවීම හුරු කළ තවත් දෙයක් තමයි ප්‍රාදේශීයව තිබුණු මහජන පුස්තකාල. ඒ කියන්නෙ හාලිඇළ මහජන පුස්තකාලය, ඇටම්පිටිය මහජන පුස්තකාලය, වැලිමඩ ජාතික පුස්තකාලය, බණ්ඩාරවෙල මහජන පුස්තකාලය ආදිය. මේවාගෙන් මම කියවීමේ අගය මනාව වටහා ගත්තා. ඒ නිසා කියවීම මගේ ජීවිතයේ අංගයක් බවට පත් වුණා.

දොස්තොයෙවුස්කිගේ ‘අපරාදය හා දඬුවම’ කෘතියෙන් කියවෙන්නේ රැස්කොල්නිකොව් නම් විශ්වවිද්‍යාල සිසුවෙකු ගැනයි. ඒ වගේම මහලු උකස් බඩු ගන්නා කාන්තාව, සෝන්යා නම් ගණිකාව ආදී චරිත එහි ඉන්නවා. එහි එක් තැනක සෝන්යා ගණිකාව ඉදිරියේ රැස්කොල්නිකොව් දණින් වැටී “ මම මේ වඳින්නේ ඔබට නොවෙයි. ඔබේ වේශයෙන් පීඩා විඳින මනුෂ්‍ය ආත්මයටයි” යනුවෙන් පවසනවා. මෙයින් කතුවරයා මනුෂ්‍ය චිත්ත සන්තානය මනාව විමර්ශනය කිරීමට උත්සාහ දරනවා. එමෙන්ම මනසේ පවතින ගැඹුරු තැන් ස්පර්ශ කළ කෘතියක් ලෙසත්, මනුෂ්‍ය චින්තනය මැනවින් විග්‍රහ කළ කෘතියක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා