භාෂාවේ සීමාසහිත බව කෙටි කවි මගින් පෙනෙනවා : පූජ්‍ය අපරැක්කේ සිරිසුධම්ම හිමි

 ඡායාරූපය:

භාෂාවේ සීමාසහිත බව කෙටි කවි මගින් පෙනෙනවා : පූජ්‍ය අපරැක්කේ සිරිසුධම්ම හිමි

මේ වන විට රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවර‍යකු වශයෙන් සේවය කරන පූජ්‍ය අපරැක්කේ සිරිසුධම්ම හිමියන් මීට පෙර ‘මතු සම්බන්ධයි’, ‘කවිත් එක්ක ම’ යනුවෙන් කාව්‍ය සංග්‍රහ දෙකක් පළ කර තිබේ. ‘මොහොතින් මොහොත සිඹිමි’ උන් වහන්සේගේ තෙවැනි කාව්‍ය ප්‍රයාසයයි. මෙය කෙටි කාව්‍ය සංග්‍රහයකි. හයිකු කාව්‍ය ආත්මයද, සිංහල කාව්‍ය සම්ප්‍රදායේ කෙටි කාව්‍ය සංලක්ෂණද හැඳින කෙටි කවි රචනා කරන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණයක අධ්‍යයනයක නිරත වීමට කිවිවර හිමියන් මෙහිදී උත්සාහ දරා තිබේ. මේ, අපරැක්කේ සිරිසුධම්ම හිමියන් සමඟ අප පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

නව කාව්‍ය ප්‍රවණතා අතර ඔබ වහන්සේ ඉන්නේ කෙටි කවිය කියන තැනද?

මම විවිධ කාව්‍ය ආකෘතිවලින් කවි ලියල තියෙනවා. දෙපද, සිවුපද, නිසඳැස්, සංයුක්ත ආදී විවිධ කාව්‍ය ආකෘති මම අත්හදා බලලා තියෙනවා. ඒ අතර මා වඩාත් සිත්ගත්තේ කෙටි කාව්‍ය ආකෘතියයි. ඒ ගැන අවුරුදු හතරක් තිස්සේ කළ හැදෑරීමකට පස්සේයි කෙටි කාව්‍ය සංග්‍රහයක් එළි දක්වන්නේ. කවියෙක් කවදාවත් එක තැනක නතර වෙන්න හොඳ නෑ. තමන්ගේ හැඟීම් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් හොඳම ආකෘතිය තමයි ඔබ තෝරාගත යුත්තේ. එය විටින් විට කලින් කල වෙනස් විය හැකියි.

ඔබ වහන්සේ ආරියවංශ රණවීර හා නන්දන වීරසිංහ යන කවීන් අනුකරණය කරනවාද?

හයිකු සාම්‍ය සිංහල කෙටි කවියට ලාංකේය පාඨකයා සමීප වන්නේ මොවුන් දෙදෙනා නිසා බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒ පාඨක ජනයා අතර මමත් එක්කෙනෙක්. මට හිතෙන විදියට මේ ලෝකයේ ස්වාධීන තර්ක හෝ ප්‍රවාද කියල දෙයක් නෑ. ඒ හැම තර්කයක් හෝ ප්‍රවණතාවක්ම ස්වාධීන වෙලා තියෙන්නෙ වෙනත් විශිෂ්ට සම්ප්‍රදායන් හෝ වෙනත් දෙයක් හා අන්තර් පෝෂණය වෙලා. මමත් ඔවුන්ගේ කවිවලින් හා හයිකු කවිවලින් අන්තර් පෝෂණය වෙලා කවි ලියන කෙනෙක්. හැබැයි මම අනුකාරකයෙක් නෙමෙයි.

නූතන භික්ෂු කවියේ ඔබ වහන්සේගේ ආස්ථානය කුමක්ද?

ථේර ථේරී ගාථාවල කාව්‍යාත්මය ගත්තම ඉස්සෙල්ලාම කවි ලියල තියෙන්නේ භික්ෂූන් වහන්සේලා. රහතන් වහන්සේලා. උන් වහන්සේලාගේ ගාථා ධර්මවල ප්‍රඥා චමත්කාරය වගේම සෞන්දර්ය කියවීමේදී වර්තමානයේ මගේ ආස්ථානය ගැන කිව යුත්තක් නෑ. ඒක පාඨකයා තීරණය කළ යුතු දෙයක්. හැබැයි ඉතා හොඳට කවි ලියන තරුණ භික්ෂුන් වහන්සේලා ගොඩක් ඉන්නවා කියල නම් කිව යුතුයි.

සිංහල කවියේ නව ප්‍රවණතා ගැන ඔබ වහන්සේගේ අදහස මොන වගේද?

කවියට නව ප්‍රවණතා එන එක හොඳ දෙයක්. මම හිතන්නේ කවියට යහපතක් වෙන්න නම් හැම කවියෙක්ම තමන් අනුගමනය කරන කාව්‍ය ප්‍රවණතාව ඒකායන හා නිරවද්‍යම ප්‍රවණතාව යැයි නොසිතිය යුතුයි. හැම ප්‍රවණතාවකම වගේම හැම කාව්‍ය ආකෘතියකම හොඳ දේවල් තියෙනවා. ඒවා ඉවසීමට හැකියාව ඔවුන් සතුව තිබිය යුතුයි. ඒ වගේම නූතන පද්‍ය රචකයන් නව්‍ය පද්‍ය ආකෘති හා ප්‍රවණතා අනුගමනය කළ යුත්තේ හැදෑරීමක් සමගයි.

සිංහල විෂය උගන්වන කථිකාචාර්යවරයෙකු හැටියට ඔබ වහන්සේ සාහිත්‍යය හා කලාව දකින්නේ කොහොමද?

වර්තමානයේ මානව ශාස්ත්‍ර විෂයන් මුහුණ පා තියෙන ගැටලුව මාර්තා නස්බෝම් ඉතා අපූරුවට සාකච්ඡා කරල තියෙනවා. ඒ පොත සිංහල පාඨකයන්ට මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා

‘කලාව කුමකටද?’ කියල පරිවර්තනය කරල තියෙනවා. කලාව, සාහිත්‍යය ඉගැනීමෙන් වෙළඳපොළ ආර්ථිකය ඇස්පනාපිට පේන්න නැති වුණාට මේ ලෝකයේ පැවැත්ම, මානවවාදී හැඟීම, යහපැවැත්ම හා විචාරාත්මක චින්තනය පෝෂණය වන්නේ කලාව, සාහිත්‍යය ඉගෙනීමෙනුයි. ඉතිං රටක් විධියට ආර්ථිකය ගැන විතරක් හිතන බොහෝ අය සිටිද්දි කලාව, සාහිත්‍යය ඉගෙනීමේ වටිනාකම දැනවීම ලොකු අභියෝගයක්. එහෙත් සිංහල උගන්වන ගුරුවරුන්ටත් කලාව, සාහිත්‍යයට ළැදි අයටත් ඒ අභියෝගයට මුහුණ දීමේ ඉවසීමත්, හැකියාවත් තිබිය යුතුයි. ඒක අපි හැමට පැවරුණ වගකීමක්.

කවිය හා සමාජය අතර පවතින දූරස්ථ බව අවම කර ගැනීමට ඔබ වහන්සේගේ යෝජනා මොනවාද?

අපිට ඒ දේවල් විවිධාකාරයෙන් කළ හැකියි. පාසල් මට්ටමෙන්, විශ්වවිද්‍යාල මට්ටමෙන් මෙන්ම විවිධ සමාජ සංවිධාන ම්ට්ටමෙන් කුඩා කුඩා කතිකාවත් ඇති කරන එක හොඳ දෙයක්. මාසයකට, සතියකට වතාවක් සමීපයන් අතර සාහිත්‍යය හා කාලාව පිළිබඳ සාකච්ඡා ඇති වීම තවත් එක් විධියක්. මේ දූරස්ථභාවය අවම කිරීමට මාධ්‍ය ආයතනවලටද ලොකු වගකීමක් තියෙනවා.

‘මොහොතින් මොහොත සිඹිමි’ වගේ කාව්‍ය කෘතියකින් ඔබ වහන්සේ කරන්න උත්සාහ කළේ මොන වගේ දෙයක්ද?

මේ කවි පොත කෙටි කවි විතරක් තියෙන පොතක්. කවි 150කට වඩා මෙහි තියෙනවා. පාඨකයෙකුට කෙටි කවි ඉතා කෙටි වෙලාවකින් කියවලා ඉවර කරන්න පුළුවන්. ඒත් එහි තියෙන අර්ථමය ව්‍යූහ හා සෞන්දර්ය ලිහා බලන්න කෙටි වේලාවකින් බෑ. ඒක ඉතා සංයමයකින් කළ යුත්තක්. බොහෝ අය භාෂාවට අනුව කවි ලියන එක කරන්නෙ. ඒත් ඇත්තටම කවියා තමාගේ අනුභූතිය ප්‍රතිනිර්මාණය කිරීමට භාෂාව තමන්ට රිසි සේ භාවිත කිරීමට දක්ෂ විය යුතුයි. ඒ වගේම කවියක් භාෂාවට නැගීමේදී භාෂාවේ සීමා සහිත බව කොතරම්ද යන්නත් කෙටි කවි මගින් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මගේ ප්‍රයාසය වුණේ විශිෂ්ට කෙටි කවියක් කියන්නේ අර්ථමය සංක්ෂිප්තතාවෙන් පූර්ණ, සෞන්දර්යාත්මක අගයෙන් යුත්, ප්‍රඥා-චමත්කාරය දනවන, බහුවිධ අර්ථව්‍යූහ අන්තර්ගත, මහාර්ඝ වූ කාව්‍යමය ගුණාංගයන්ගෙන් සමන්විත වූවක් බව පාඨකයාට කියා දීමයි.

සාකච්ඡා කළේ [පූජ්‍ය තැන්නේ ඤාණානන්ද හිමි]

මාතෘකා