ගංවතුර බැස ගියාවේ!

 ඡායාරූපය:

ගංවතුර බැස ගියාවේ!

මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේදී කිසිදු ශාස්ත්‍රීය කෘතියකට සම්මාන පිරිනැමුණේ නැත. ඒ පිළිබඳව දක්වා තිබුණේ සම්මාන දීමට තරම් සුදුසු කෘතියක් නොවූ බවය. එය එසේ විය හැකිය. එහෙත් මවිතයට කරුණ රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී ශාස්ත්‍රීය අංශයෙන් කෘති තුනකට සම්මාන දීමය. ඒ, 1. හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය ඉරෝමි ආරියරත්නගේ ‘බෞද්ධ සුඛ සංකල්පය හා ආචාර ධර්ම’, 2. හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (මානව ශාස්ත්‍ර) වික්ටර් පෙරේරාගේ ‘කළුතර දිසාව’, 3. හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (සමාජ ශාස්ත්‍ර) ඒ.ඩී. සෝමපාලගේ ‘ශ්‍රී ලංකාවේ වී ගොවිතැන’ වශයෙනි. ඊට අමතරව එහිදී ශාස්ත්‍රීය පරිවර්තන ග්‍රන්ථ දෙකකටද සම්මාන පිරිනැමිණි.

රාජ්‍ය සාහිත්‍ය මහෝත්සවයට පෙර සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා පුවත්පත්වලට (අගෝස්තු 31, ‘රැස’ භාව අතිරේකය) පවසා තිබුණේ මෙවර

අන් වසරවලට වඩා වෙනසක් කරන බවය. වෙනස කුමක්ද? එකක් සමීක්ෂණ මණ්ඩලයට 170කට ආසන්න පිරිසක් පත් කිරීමය. දෙවැන්න සෑම සාහිත්‍ය අංශයකටම නිර්ණායක සකස් කිරීමය. සාහිත්‍ය නිර්ණායක වැදගත්ය. එහෙත් නිර්ණායකවලට භූමිකාවක් හිමි වන්නේ ඒවා සුදුසු සමීක්ෂකයින් විසින් භාවිතයට ගැනෙන විටය.රසවින්දන ශක්තිය නැත්තන් කවර නිර්ණායකයක් උපයෝගී කළද අර්ථයක් නැත. මට හැඟෙන ලෙස නම් මෙවර විනිශ්චය මණ්ඩලයත් ගැටලුසහගතය.

රාජ්‍ය සාහිත්‍ය විනිශ්චයේ තවද හාස්‍යජනක කරුණක් වේ. මෙවර ‘හොඳම සිනමා හා රූපවාහිනී නිර්මාණ සාහිත්‍ය කෘතිය’ ලෙස අලුත් සාහිත්යික අංශයක් විනිශ්චය කරන කෘති වර්ග අතරට එක් කර තිබිණ. (එහිලා සම්මාන පිදුවේ තිස්ස අබේසේකරගේ ‘වැලිකතර තිර රචනය’ ටය.) මෙය එක් කරන්නට ඇත්තේ උපදේශක මණ්ඩල සභාපතිවරයා සිනමාවට හා සිංදුවලට ලොල් නිසා බවට සැකයක් නැත. එහෙත් කෙනෙකුගේ පෞද්ගලික රුචි අරුචිකම් මත රාජ්‍ය සාහිත්‍ය කෘති විනිශ්චයට අදාළ නොවන දෑ එක් කළ හැකිද? යම් සාහිත්‍ය අංශයක් විනිශ්චයට එක් කළ යුත්තේ අඩු තරමින් එහි ඇගයිය හැකි තරම් කෘති බිහි වේ නම්ය. එහෙත් සිනමා, රූපවාහිනී තිරනාටක පොත් වසරකට කොපමණ බිහි වේද? නාට්‍ය කෘති සම්බන්ධයෙන්ද ගැටලුව මෙයය. නාට්‍ය කෘතිය ඇගයිය යුතු සාහිත්‍යාංගයකි. එහෙත් වසරකට එහි පොත් දහයක්වත් බිහි වන්නේ නැත. ඇතැම් වසරවල ඊට පොත් පහක්වත් නැත. (ඒ සියලු පොත් අවසන් නිර්දේශිත කෘති පහට ඇතුළත් වේ.)

සාහිත්‍ය සම්මාන උලෙළක් විශිෂ්ටත්වයට පත් වන්නේ එහිදී සාහිත්‍යයටම හරසර පිදෙන විටය. සාහිත්‍ය කෘතිම - කල්පනා ලෝකයම - ඇගයෙන විටය. සාහිත්‍යයට අදාළ නොවන ගීත රචනා පොත්, සිනමා පොත් සාහිත්‍යයේලා ඇගයීමෙන් වන්නේ එහි තත්ත්වය පිරිහීමය. ඊට සම්මාන දිය යුතුම නම් දිය යුත්තේ රාජ්‍ය සංගීත උලෙළ, රාජ්‍ය සිනමා හා රූපවාහිනී සම්මාන උලෙළ වැන්නකදීය.

මෙවර තවද උභතෝකෝටිකයක් විය. මෙවර හොඳම ළමා කෘති දෙකකි. එහි පළමුවැනි කාණ්ඩය යටතේ එක් පොතක්ද, දෙවැනි කාණ්ඩය යටතේ තවත් පොතක්ද ඇගයීමට ලක් විය. (පළවෙනි කාණ්ඩයෙන් සුනිල් සරත් පෙරේරාගේ ‘දේදුන්නක් පායලා’ කෘතියත්, දෙවැනි කාණ්ඩයෙන් චන්ද්‍රසේන කොඩිතුවක්කුගේ ‘වෙසක් කූඩුව’ කෘතියත්). මෙසේ බැලූ විට නම් විනිශ්චය මණ්ඩලය 170ක් වීම අරුමයක් නැත. මෙවර සියලු සමීක්ෂකයන්ගේ සුදුසුකම්ද හෙළිදරව් කරන බව උපදේශක මණ්ඩල සභාපතිවරයා පවසා තිබුණි. එය හොඳය. එහෙත් ඒ ඒ සමීක්ෂකයන්ට ගෙවූ මුදල් ප්‍රමාණයද, සාහිත්‍ය සම්මාන උළෙලට වැය වූ මුදලද හෙළිදරව් කළේ නම් වඩාත් හොඳය.

අද සාහිත්‍ය සම්මාන වැටී ඇති තැන අපි දනිමු. එය වැටි වැටී යන හැඩය. ඒ වැටීමේ හොඳ ප්‍රකාශනයක් නම් සම්මානෝත්සව කිහිපයක් පැවතීම තුළ ඒ ඒ සම්මානෝත්සවයේදී එකිනෙකට වෙනස් කෘති ඇගයීමය. පසුගිය වසර කිහිපය බැලුවහොත් රාජ්‍ය සාහිත්‍ය සම්මානෝත්සවයේදී එක් නවකතාවකුත්, ගොඩගේ සම්මාන උලෙළේදී තවත් නවකතාවකුත්, ස්වර්ණ පුස්තකයේදී හා ෆෙයාර් වේ සම්මාන උලෙළේදී තවත් නවකතාවනුත් ඇගයී ඇති බව පෙනෙනු ඇත. මේ ඇගයෙන නවකතා බොහොමයක් ඇතැම් සම්මාන උලෙළවල අවසන් කෘති 12ටවත් නිර්දේශ නොවීම පුදුමය එළවනසුලුය. කෙටිකතා හා කාව්‍ය කෘති සම්බන්ධයෙන්ද තත්ත්වය මෙබඳුය. මෙසේ වීමට හේතුව පැහැදිලිය. බොහෝ සමීක්ෂකයන් එක් සම්මාන උලෙළක සමීක්ෂණ කටයුතු කරන අතර අනෙක් සම්මාන උලෙළේත් සමීක්ෂණ කිරීමත්, තමනට අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට කියා ඒ ඒ උලෙළේදී ඔවුනොවුන් වෙනස්ම කෘති ඇගයීමත්ය. මේ තත්ත්වය තවද පහළට ඇද වැටෙන්නේ තරගයට මෙන් සම්මානෝත්සව බිහිවීම හා ඊට ප්‍රදානය කරන මුදල් ත්‍යාගද වැඩි වීම තුළය. මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ මුදල් ත්‍යාගය රුපියල් හත්ලක්ෂ පනස්දාහක් වී ඇත. සියල්ල වෙළඳ ආධිපත්‍යයට නතු වී ඇත.

කවියටද දැන් වෙළෙඳ ප්‍රජාවේ අවධානය යොමු වී ඇත. එහිදී පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඊට රජත පුස්තකයක් පිරිනමද්දී තවත් පිරිසක් කාව්‍ය විචාර සම්මානයක් පිරිනමති. මෙවර එම කාව්‍ය විචාර සම්මානය පිරිනමා තිබූ විචාරයේ තරම එහි මාතෘකාවෙන්ම අනාවරණය විය. එහි මාතෘකාව ‘කවුළු පියන් විවර කළ කවුළු ඇස පාමුල’ ය. විචාරය ලියා ඇත්තේ ළහිරු කිතලගමගේ ‘කවුළු ඇස පාමුල’ කාව්‍ය කෘතිය සඳහාය. එය ප්‍රකාශයට පත් කළ ප්‍රකාශකයාම ඒ තමන් ඔසොවන විචාරයට සම්මාන දී ඇත.

තවද හාස්‍යජනක පුවතක් මෙවර අසන්නට ලැබිණි. පසුගියදා වාරණයට ලක් වූ ප්‍රබන්ධයක කතුවරයකු සහ ඔහුගේ ෆේස්බුක් කල්ලිය මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල සහ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ වර්ජනය කරන බව ඔවුන්ගේ ෆේස්බුක් පිටුවලින් නිවේදනය කර තිබිණි. වර්ජනයෙන් නොනැවතී ඔවුන්, එම සම්මාන උලෙළවලට සහභාගි වන සාහිත්‍යකරුවන්ටද එහි නොයන්නැයි අවවාද කර තිබිණි. තවද තමන් ස්වර්ණ පුස්තක සම්මාන උලෙළට සහභාගි වන්නේ එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණීමට නියමිත විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරිපිට තමන්ට මිනිත්තු පහක කතාවක් පැවැත්වීමට ඉඩ ලබාදෙන්නේ නම් පමණකැයි දක්වා තිබුණි. මොවුන් කවුරුන්ද? මොවුන් සාහිත්‍යකරුවන්ද? කාගේවත් සාහිත්‍ය උලෙළකට කාටවත් බාධා කළ හැකිද? කාටවත් එහි නොයන්නැයි අනතුරු හැඟවිය හැකිද?

ඕනෑම කාලයක සාහිත්‍යයේ උස් - පහත් කෘති බිහි වේ. එහි ගැටලුවක් නැත. පොත් බිහි විය යුත්තේ රසික සමාජයටම පමණක් නොවේ. එහෙත් දැන් ගැටලුව උසස් යැයි කියන සාහිත්‍යයටද, අවර සාහිත්‍යයටද වියවුල්, නස්තික පිරිසක් පොරකෑමය. ඒ පොරකෑම තර්ජන, ගර්ජන පිරුණු කලහයක් වැනි වී ඇත. එහි ප්‍රකාශකයන් ස්ථාපිත වී ඇති තැනද සොයාගැනීම අපහසුය. හරි නම් ප්‍රකාශකයා සිටිය යුත්තේ පොත් ප්‍රකාශ කිරීමටය. දැන් ඇතැම් විට පොත් ලියන්නන්ද, ප්‍රකාශකයන්ද එකම පිරිසක් වී ඇත. ප්‍රකාශකයාගේ අරමුණ වෙළෙඳ ලාභයය. ප්‍රකාශකයා ලේඛකයකු වූ විට ඔහුගේද අරමුණ වෙළෙඳ ලාභය වේ. මෙහිදී ෆේස්බුක් මාධ්‍යය ඔවුනට ඒ අරමුණු මුදුන්පත් කරගැනීමට තෝතැන්නක් වී ඇත. නව බුද්ධිමය දේපළ පනත පැමිණ ගත වූ වසර පහළොව පුරා කිසි විට අවසර ගෙන පරිවර්තන කෘතියක් පළ නොකළ ප්‍රකාශකයා මෙවර පොත් තුනක අයිතිය - එයද එක් වසරකට - ගත් පලියට දැන් තමාට හැර අනෙකෙකුට මේ පොත් පළ කළ නොහැකි යැයි කියන්නේ මේ තුළය.

මීට තිස්, හතළිස් වසරකට පෙරාතුව මෙරට පැවතියේ එක් සාහිත්‍ය සම්මාන උලෙළකි. ඒ, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සාහිත්‍ය මණ්ඩලයෙන් සංවිධානය කළ සාහිත්‍ය සම්මාන උලෙළයි. එය එකල ලේඛකයන් විසල් කොට ගත්තේ නැත. එදා සැප්තැම්බරය විශේෂ මාසයක් වූයේද නැත. කෙනෙකුට පොත් ගැනීමට වුවමනා වී නම් ඔහු පොත් කඩයකට ගොස් පොත් ගත්තේය. එකල ප්‍රධාන පොත් සාප්පු කීපයක් තිබුණි. පිටකොටුවේ ගුණසේන පොත්හල, කොම්පඤ්ඤ වීදියේ මහජන පොත්හල, කාර්ගිල්ස්හි පොත් සාප්පුව, හැව්ලොක් ටවුන්හි හංස ප්‍රකාශකයන්ගේ පොත්හල, මහරගම සමන් මුද්‍රණාලයේ පොත්හල, මොරටුවේ දොඩන්ගොඩ පොත්හල ආදියය. පුදුමයකට එදා අදට වඩා ලෝකයේ පළ වන අලුත්ම පොත් - සඟරා අපට ආවේය. මාර්ටින් වික්‍රමසිංහ මහතා සතිපතා හේතුවාදී සඟරා ගෙන්වා ගෙන කියවූ බව ඔහුගේ ‘උපන්දා සිට’ කෘතියේ විස්තර කරයි.

අද තත්ත්වය වෙනස්ය. වෙනස් වී ඇත්තේ සාහිත්‍යයේ ගුණාත්මය පිරිහෙන තැනටය. එය එසේ වීමට මූලික හේතුව ප්‍රකාශකයන් මුදලේ බලය අතට ගෙන සාහිත්‍යය - සාහිත්‍යකරුවන් නැටවීමට යෑමය. වෙනදා වසර කිහිපයකට වරක් නවකතා ලියූ ලේඛකයන් දැන් වාර්ෂිකව නවකතා ලියන්නේ, වෙනදා කවි, කෙටිකතා පොත් ලියූ ලේඛකයන් දැන් නවකතා ලියන්නේ ප්‍රකාශකයන්ගේ මුදලේ සූත්‍රයට ඔවුන් හසු වීම නිසාය. මේ තත්ත්වය ඉදිරියක් නොව පසුබැස්මකි. මට හැඟෙන ලෙස නම් කළ යුත්තේ මේ යන ගඟට යන්න දීමය. ගඟ ගලා ගංවතුර බැස ගිය පසු ලේඛකයනට සාහිත්‍යය දෙස පියවි ඇසින් බලා පොත් කියවිය හැකිය. අනතුරුව පොත් ගැන තීන්දුවලට එළඹිය හැකිය. සාහිත්‍යකරණයේද නියැලිය හැකිය.

මාතෘකා