ජේම්ස් බෝල්ඩ්වින්ගේ එකම ළමා කෘතිය නැවත පළ වෙයි

 ඡායාරූපය:

ජේම්ස් බෝල්ඩ්වින්ගේ එකම ළමා කෘතිය නැවත පළ වෙයි

ප්‍රකට ඇමෙරිකානු ලේඛක ජේම්ස් බෝල්ඩ්වින් රචනා කළ ‘ලිට්ල් මෑන්, ලිට්ල් මෑන්’ (Little Man, Little Man) නමැති එකම ළමා කෘතිය දශක හතරකට පසු නව මුහුණුවරකින් නැවත පළ කිරීමට යනවා. සෙසු ළමා කතාවලට වඩා වෙනස්, කිසියම් ආකාරයක පර්යේෂණාත්මක ළමා කෘතියක් ලෙස ප්‍රථම වරට 1976 දී ප්‍රකාශයට පත් වූ එය ප්‍රමාණවත් අයුරින් පාඨක විචාරක අවධානයට ලක් වුණේ නැහැ. ඒ නිසාම එය පසුගිය දශක හතරක කාලය පුරාම නැවත මුද්‍රණය වුණේත් නැහැ. එහෙත් අද වන විට ඒ කෘතිය සඳහා වඩා යහපත් ප්‍රතිචාර හිමි විය හැකි ලේඛක පාඨක සමාජයක් නිර්මාණය වී ඇතැයි සැලකෙන බැවින් මේ කෘතිය නව මුහුණුවරකින් යුතුව නැවත මුද්‍රණය කිරීමට බෝල්ඩ්වින් පවුලේ සාමාජිකයින් පිරිසක් තීරණය කර තිබෙනවා.

නීල් ආම්ස්ට්‍රෝන් පිළිබඳ කෘතිය සිනමාවට

සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා ලෙස සැලකෙන නීල් ආම්ස්ට්‍රෝන් සමඟ දශක දෙකකට පමණ පෙර සමීප ඇසුරක් පැවති ඇලබාමාවේ ලේඛකයකු විසින් රචනා කරන ලද කෘතියක් පාදක කරගනිමින් චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන ජේම්ස් හැන්සන් නමැති මේ ලේඛකයා මෙයට වසර කිහිපයකට ඉහතදී රචනා කළ ‘ෆර්ස්ට් මෑන්: ද ලයිෆ් ඔෆ් නීල් ඒ. ආම්ස්ට්‍රෝන්’ (First Man: The Life of Neil A. Armstrong) නමැති කෘතිය ඇසුරින් ‘ෆර්ස්ට් මෑන්’ (First Man) නමින් නිර්මාණය කරනු ලැබ ඇති මේ චිත්‍රපටය පසුගියදා වැනිස් සිනමා උළෙලේදී මුල් වරට ප්‍රදර්ශනය කෙරුණා. එය එළඹෙන ඔක්තෝබර් 12 වැනිදා සිට ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

 

චේතන් භගත්ගේ අලුත්ම නවකතාව එළිදකී

මෑත කාලයේ ඉන්දියාවේ ජනප්‍රිය සාහිත්‍ය ධාරාව තුළ කැපීපෙනෙන ලේඛකයකු බවට පත් වූ චේතන් භගත් රචනා කළ අලුත්ම නවකතාව එළඹෙන ඔක්තෝබර් 09 වැනිදා ප්‍රකාශයට පත් වීමට නියමිතයි. ‘ද ගර්ල් ඉන් රූම් 105: ඇන් අන් ලව් ස්ටෝරි’ (The Girl in Room 105: An Unlove story) නමින් පළ වන මේ නවකතාව ඔහු මෙයට පෙර රචනා කළ කෘතිවලට වඩා වෙනස් ස්වරූපයේ අන්තර්ගතයකින් යුතු වන බවයි සඳහන් වන්නේ. මේ වන විට පළ වී ඇති ඔහුගේ සුපුරුදු පෙම් කතා ශෛලියෙන් බැහැර වෙමින් රචනා කර ඇති මෙය ඔහුගේ පාඨක පිරිස් වෙත වෙනස් ආකාරයක කියවීම් අත්දැකීමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. මේ අලුත් නවකතාව සඳහා නිර්මාණය කරන ලද පූර්ව ප්‍රචාරක පටයක්ද පසුගියදා සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හරිනු ලැබුවා. ඉදිරියේදී පළ වන අලුත් නවකතාව ගැන අදහස් දක්වමින් චේතන් භගත් පවසන්නේ මෙය ලේඛකයකු ලෙස තමන් පැමිණි ගමන වෙනස් දෙසකට හැරවීමක් විය හැකි බවයි.

කිරාන් දේසායි මෙවර ප්‍රාග් ලේඛක උළෙලට

බුකර් ත්‍යාගලාභී ඉන්දියානු ලේඛිකා කිරාන් දේසායි මෙවර ප්‍රාග් නුවර පැවැත්වෙන ලේඛක උළෙලට සහභාගි වීම සඳහා ආරාධනා ලබා තිබෙනවා.

‘දි ඉන්හෙරිටන්ස් ඔෆ් ලොස්’ (The Inheritance of Loss) නමින් පළ වූ සිය නවකතාවට 2006 වසරේදී බුකර් ත්‍යාගයත්, 2007 වසරේදී ජාතික ග්‍රන්ථ විචාරක එකමුතුවේ ප්‍රබන්ධ සම්මානයත් හිමිකරගත් ඇය සමඟ ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරමින් තවත් ලේඛක ලේඛිකාවන් දස දෙනෙක් මේ උළෙලට සහභාගි වීමට නියමිතයි. ඔක්තෝබර් 03 වැනිදා ඇරැඹෙන ප්‍රාග් ලේඛක උළෙල දින හයක් පුරා පැවැත්වෙනවා. වාර්ෂිකව පැවැත්වෙන මේ උළෙලට මෙයට පෙර අවස්ථාවලදී ඉන්දියාව නියෝජනය කරමින් සල්මන් රුෂ්ඩි සහ අරුන්දතී රෝයි වැනි ඉන්දියානු සම්භවයක් සහිත ලේඛක ලේඛිකාවන්ද සහභාගි වී තිබෙනවා.

මාතෘකා