මා සසල කළේ දොස්තොයෙව්ස්කිගේ ‘අපරාදය හා දඬුවම’ නවකතාවයි : රංජිත් ධර්මකීර්ති

 ඡායාරූපය:

මා සසල කළේ දොස්තොයෙව්ස්කිගේ ‘අපරාදය හා දඬුවම’ නවකතාවයි : රංජිත් ධර්මකීර්ති

රුසියානු මහා ලේඛක පියෙදෝර් දොස්තොයෙවුස්කිගේ ‘අපරාධය හා දඬුවම’ මා මෙතෙක් කියවා ඇති පොත් අතරින් මගේ සිත වඩාත්ම සසල කළ කෘතියයි. එය මා කියවූයේ මීට වසර හතළිහකට පමණ පෙරයි. එය මම මුලින්ම කියෙව්වේ ඉංග්‍රිසි බසින්. රුසියානු සාහිත්‍යයට මම කොහොමත් රුචියි. මක්සිම් ගෝර්කි, ලියෝ ටෝල්ස්ටෝයි වැනි ලේඛකයන්ගේ පොත් කියවන්න මගේ විශේෂ කැමත්තක් තිබුණා. රුසියානු සාහිත්‍යයට තිබූ කැමැත්ත නිසාම මම දොස්තොයෙවුස්කි ගැනත් දැනගෙන හිටියා. ඒත් ‘අපරාධය හා දඬුවම’ කෘතිය ගැන මට කිව්වේ මගේ මිතුරෙකු වූ නිමල් පෙරේරයි. අපි ඒ කාලේ එකිනෙකා අතර පොත් හුවමාරු කරගෙන පොත් කියෙව්වා.

මම පොඩිකාලේ ඉඳලම කියවන්න හුරු වුණ කෙනෙක්. මගේ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙක් හිටියා. මම පවුලේ වැඩිමලා. අම්මයි අප්පච්ච්යි අපට කතන්දර කියලා දුන්නා. අප්පච්චි යුද්ධය ගැන ඉංග්‍රීසියෙන් ලියවුණු කතන්දර කියලා දෙනවා. එ් නිසා සාහිත්‍ය රසය මම ඉගෙනගත්තේ ගෙදරින්මයි. ඒවගේම අපේ කාලේ පංති පුස්තකාලත් පාසල් පංති කාමරයේ තිබුණා. එහි ග්‍රීක මිථ්‍යා කතා, ශේක්ස්පියර් ගැන ඉතා සරලව ලියවුණු පොත් තිබුණා. අපි ඒවා කියෙව්වා. ඒ වගේම එච්.බී. සුගතපාලගේ නවමඟ පොත් පෙළත්, ගුණසේන සමාගමෙන් කළ ළිහිණි පොත් පෙළත් අපි ආසාවෙන් කියෙව්වා.

මම පාසල් ගියේ නාත්තන්ඩිය සිංහල බෞද්ධ මිශ්‍ර පාසලට හා ශාන්ත සේවියර් විදුහලට. පසුව මම මහරගම රජයේ අභ්‍යාස විද්‍යාලයීය ද්විතීය පාසලට ඇතුළත් වූණා. එය අද මහරගම මධ්‍ය මහා විදුහලයි. නාත්තන්ඩිය විදුහලේදී සුභාෂිතය, ගුත්තිලය වගේ පොත් ඉගෙනගත්තේ ගස් යට ඉඳගෙනයි. එහි තිබුණේ ගැමි පරිසරයක්. ඒ කාලේ නාත්තන්ඩිය කජුගස්, ගංගා, ඇළ, දොළ පිරුණු ගමක්.

‘අපරාධය හා දඬුවම’ කෘතියෙන් කියවෙන්නේ රැස්කොල්නිකොව් කියන දුප්පත් විශ්වවිද්‍යාල සිසුවෙකු ගැනයි. ඔහු ඉතා දුක සේ සිය අධ්‍යාපන කටයුතු කරගෙන යන්නෙක්. එදිනෙදා වියදමටවත් මුදල් නැති ඔහු තමා සන්තකයේ තිබෙන සියලු දේ වරින්වර මහලු කාන්තාවකට උකස් කොට මුදල් ලබා ගන්නවා. එසේ ලබා ගන්නා මුදල් ඔහු එදිනෙදා වියදම් සඳහා යොදා ගන්නවා. මුදල් තිබිය යුතු අයට මුදල් නැහැ. ඒවා අනවශ්‍ය අය අතර තිබෙනවා නේද කියා රැස්කොල්නිකොව්ට වරක් සිතෙනවා. ඒ සිතුවිල්ල පාදකව ඔහුගේ සිත විග්‍රහ වීමක් කෘතිය තුළ සිදු වෙනවා.

දොස්තොයෙවුස්කි සිය කෘතිය තුළදී මහලු කාන්තාවගේ වාසභූමිය පවා වචනයට නඟා ඇත්තේ සිත්තමක් පරිදිදෙන්. වචන තුළින් අවට පරිසරය මනාව ප්‍රතිනිර්මාණය කරන්න ඔහු සමත් වෙනවා. ඇය වාසය කරන්නේ තට්ටු නිවාසයක උඩ තට්ටුවේ. එහි යන රැස්කොල්නිකොව්ගේ මනස කතුවරයා මනාව ප්‍රතිනිර්මාණය කරනවා. විශ්වවිද්‍යාල සිසුවා සිය මනසේ ඇති වන ධනය බෙදී නොයාම කියන ගැටලුව පාදකව මහලු කත මරණයට පත් කරනවා.

එසේ වුණත් දොස්තොවුයෙස්කි සිය කෘතියේ පළමු අත්පිටපත පුලුස්සා දමා තිබෙන බව කියවෙනවා. ඔහු පවසන පරිදි රැස්කොල්නිකොව්ට මහලු කත මරා දැමීමට හේතු සාධක මදිකම ඊට හේතු වෙනවා. පසුව රචිත පිටපතට අනුව එන රැස්කොල්නිකොව් විශ්වවිද්‍යාල සඟරාවලට ලිපි ලියන, නැපෝලියන් වැනි මහා පුරුෂයන් අවශ්‍ය යැයි කියන තරුණයෙක්. එමෙන්ම ඔහු ධනය බෙදී යායුතු බවත් කියනවා. එසේම ධනය බෙදීයාමේ විශමතාව ගැනත් ඔහු ලිපි ලියනවා. මෙනිසා තරුණයාට මහලු කාන්තාව මරණයට පත් කරන්න සිතෙන බව කතුවරයා සඳහන් කරනවා. ඉතින් ඔහු දවසක් ඇයට පිහියෙන් ඇන මරා දමනවා. මහලු කත මරා දමා නිවසින් පිටතට පැමිණෙන විට ඔහු ඇගේ නැගණිය පඩිපෙළ නඟිමින් නිවසට පැමිණෙන ආකාරය දකිනවා. අපරාධකරුවෙකු ලෙස කිසිදු සාක්ෂියක් ඉතුරු නොකරන මානසිකත්වයෙන් ඔහු ඇයවත් මරා දමනවා. මෙය මානසික චෛතසිකයන් මනාව විග්‍රහ කළ නවකතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. අපරාධකරුවෙකුගේ මනස ක්‍රියා කරන ආකාරය මැනවින් මින් විශද වෙනවා. රැස්කොල්නිකොව් සෑම තත්පරයකදීම සිතින් විඳින වේදනාව මින් මනාව පෙන්වා දෙනවා. මෙය අද වන විට අපරාධ විද්‍යාව ඉගෙන ගන්නන් හටත් අත්පොතක් බඳුයි.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා