තවත් ජාවාරමක්

 ඡායාරූපය:

තවත් ජාවාරමක්

මීට දෙතුන් දිනකට පෙර පොත් ප්‍රකාශකයෙක් තමා ප්‍රකාශන අයිතිය ලබාගෙන පළ කරන පොත් කීපයක් පිළිබඳව ෆේස්බුක් සටහනක් දක්වා තිබුණි. ඒ, මෙසේය:

“ඔරාන් පමුක්ගේ පොත් ශ්‍රී ලංකාවේ පළ කිරීමේ අයිතිය

නොබෙල් ත්‍යාගලාභී, තුර්කි ජාතික ලේඛක ඔරාන් පමුක්ගේ කෘතීන් ත්‍රිත්වයක් සිංහල බසින් පළ කිරීමේ ප්‍රකාශන අයිතිය ඇත්තේ '……' ප්‍රකාශන ආයතනයටය.

ඒවා නම්,

1. The Red Haired Women.2. My Name is Red.3. A Strangeness in My Mind.

ඒ අනුව එම කෘතීන් පිළිවෙළින් පහත සඳහන් පරිවර්තකයන්ගේ පරිවර්තනයන් ලෙසින් ඉදිරියේදී '…..' ප්‍රකාශන ආයතනය මගින් පළ කරනු ඇත.

1. The Red Haired Women - පරිවර්තනය - නිලුක කදුරුගමුව

2. My Name is Red - පරිවර්තනය - නිලුක කදුරුගමුව

3. A Strangeness in My Mind - පරිවර්තනය - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද”

ඕනෑම ප්‍රකාශකයකුට තමන් කැමති පොතක් මුල් ප්‍රකාශන සමාගමෙන් අවසර ගෙන පළ කළ හැකිය. එහෙත් මේ ෆේස්බුක් සටහනේ වෙනසක් තිබේ. ඉන් ප්‍රකාශකයන් අතර හා පරිවර්තකයන් අතර පවතින තරගයද අනාවරණය වේ. මෙහිදී ඒ තරගය කෙතෙක්ද යත් ප්‍රකාශකයා ඔර්හාන් පාමුක්ගේ පොත්වල සින්නක්කර අයිතිය ගෙන එහි කේවළ ශ්‍රී ලාංකික ප්‍රකාශකයා බවට පත් වී ඇත. ඉන් නොකියා කියන්නේ තමා හැර වෙනත් කිසිදු ප්‍රකාශකයකුට මෙරට ඔර්හාන් පාමුක්ගේ පොත් පරිවර්තනය කර පළ කිරීමට නොහැකි බවත්, යම් හෙයකින් එසේ පළ කළහොත් ඔවුන් අධිකරණයට යෑමට සූදානම් විය යුතු බවත්ය. කලෙක සිට ඇසුණු පොත් ප්‍රකාශන මාෆියාව සක්සුදක් සේ පෙනෙන්නේ මෙබඳු ප්‍රකාශවලිනි.

විශ්ව සම්භාව්‍ය කෘති පරිවර්තන අයිතිය ගෙන පළ කිරීම සදාචාරාත්මක සහ බුද්ධිමය දේපළ අයිතියට ගරු කිරීමකි. අනෙක් පසින් ඉන් සිංහල බසටද තැනක් හිමි වේ. එම විශ්ව සාහිත්‍ය කෘති පරිවර්තනය වූ භාෂා ලැයිස්තුවට සිංහල බසද ඇතුළත් වන නිසාය. එහෙත් අවසර ගෙන පළ කිරීමෙන් වෙනත් ගැටලුවක් මතු වීමට ඉඩ තිබේ. ඉන් ඉතා බාල පරිවර්තන වෙළෙඳපොළට එක් වීමට පුළුවන. එම පොත් පරිවර්තනයට පරිවර්තකයන් තෝරන්නේද, ඔවුන්ට පරිවර්තන කාර්යය නිම කිරීමට ‘ඩෙඩ් ලයින්’ සපයන්නේද, අවසන පරිවර්තිත කෘතියේ පිටකවරය, එය පළ විය යුතු කඩදාසි වර්ගය, පොතේ ප්‍රමාණය (Size) ආදී දෑ තීරණය කරන්නේද ප්‍රකාශකයා නිසාය.

පරිවර්තන අයිතිය ගෙන පොත් පළ කිරීමේ ‘හොඳ’ පිළිවෙත අප වෙත පැමිණියේ

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතින් සිදු වූ විපර්යාසයක් නිසාය. එම විපර්යාසය නම් යම් කෘතියක් පළ වී වසර 70ක් හෝ කතුවරයාගේ ජීවිත කාලය අවසන් වන තුරු එය ප්‍රකාශන අයිතිය නොගෙන පළ කළ නොහැකි බවයි. මීට පෙර අපට බලපැවැත්වූ 1979 අංක 52 දරන බුද්ධිමය දේපළ පනතේ තිබූ ප්‍රතිපාදනය වූයේ මුල් කෘතියක් පළ වී වසර 10ක් ගත වූ පසු එය ප්‍රකාශන අවසරකින් තොරව පළ කළ හැකි බවය. සාමාන්‍යයෙන් අපේ සාහිත්‍ය කෘතියක් පරිවර්තනය වී පළ වන්නේ එය (මුල් කෘතිය) පළ වූ සැටියේම නොව වසර කිහිපයක් ගත වූ පසුය. එනිසා වසර දහයේ සීමාව එදා අපට ගැටලුවක් වූයේ නැත. එහෙත් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත නිසා එම අවසරය නොගෙන පළ කිරීමේ කාලය වසර 70ක් දක්වා දිගු විය. ගැටලුව පැනනැඟුණේ එතැන් සිටය. ඇත්ත වශයෙන් ප්‍රකාශන අයිතිය ගෙන පළ කිරීමේ පිළිවෙත අපට පැමිණියේද මින් පසුය.

එහෙත් ඒ පිළිවෙතද අපේ මුලදී ගැටලුවක් වූයේ නැත. එදා - මීට වසර දහයකට, පහළොවකට පෙර - ප්‍රකාශකයකු පරිවර්තන පොතකට අවසර ගත්තේ තමන් විශ්ව ප්‍රකාශන සම්මුතීන් පිළිගන්නා, වගකිව යුතු සහ පිළිගත් ප්‍රකාශන ආයතනයක් බව හැඟවීමට පමණය. එහි අනෙකා යටපත් කිරීමේ හා මුදල් හඹායෑමේ වුවමනාවක් තිබුණේ නැත. එනිසා එදා ප්‍රකාශන අයිතිය ගත්තේ සරසවි, විජිත යාපා, සමයවර්ධන වැනි ප්‍රධාන ප්‍රකාශන ආයතන අතළොස්සක් පමණි. ඒ, ද පොත් කිහිපයකටය. ඔර්හාන් පාමුක් අල්ලාගෙන සෙස්සනට තර්ජනාංගුලිය දිගු කරන මේ ප්‍රකාශන ආයතනයද ඇතුළු සෙසු ප්‍රකාශකයන් එදා අවසර නොගෙන පරිවර්තන පළ කළේ අවසර ගත්තා කියා ඔවුනට අමුතු යමක් නොලැබුණු නිසාය. අනෙක් අතට මුල් ප්‍රකාශකයනට ගෙවීමට තරම් ඔවුනට මුදල්ද, ජාත්‍යන්තර සබඳතාද නොමැති විය. එහෙත් පසු කාලයේ සිදු වූයේ අනෙකකි. එක් පසෙකින් දැරිය හැකි තරමේ මුදලක් ගෙවා ප්‍රකාශන අවසර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රකාශන ආයතනවල කලාපීය නියෝජිතයන් ඔවුනට හමු වූ අතර අනෙක් පසින් ඔවුන් ප්‍රකාශන අයිතිය වෙනුවෙන් ගෙවන මුදල ඉතා පහසුවෙන් උපයාගත හැකි ලෙස එම ප්‍රකාශන අවසරය ඔවුනට ‘විකිණිය’ හැකි විය. එනම් එම පරිවර්තන කෘතිවල එකම ශ්‍රී ලාංකීය නියෝජිතයන් තමන් බව හුවා දක්වා සෙස්සන්ට ඒ කෘති පළ කළ නොහැකි බවට ඔවුනට වරෙන්තුවක් ගත හැකි විය. ඉහත ප්‍රකාශකයා ඉදිරිපත් කරන්නේ ඒ වරෙන්තුවය.

මා කියන්නේ මුල් කෘති විකෘති නොවේ නම් මෙයද ගැටලුවක් නොවන බවය. එහෙත් එය එසේ වූයේ නැත. මීට පෙරද දැක්වූ නිදසුනක් මෙහිදී ඉදිරිපත් කරමු: 2007 වසරේ බුකර් සම්මානයෙන් පිදුම් ලද ඉන්දීය ලේඛිකා කිරාන් දේසායිගේ The Inheritance of Loss නවකතාව මෙරට ප්‍රධාන පෙළේ ප්‍රකාශන සමාගමක් පරිවර්තන අවසරය ගෙන පරිවර්තකයකු ලවා පරිවර්තනය කර පළ කළේ මීට දස වසරකට පමණ පෙරය. එහෙත් එම පරිවර්තකයා එය පරිවර්තනය කර තිබුණේ මුල් කෘතියේ කොටස් අත්හැරය. ඒ සම්බන්ධයෙන් පරිවර්තකයාම පුවත්පතක සාහිත්‍ය අතිරේකයකට පවසා තිබුණේ මුල් කෘතියේ වූ ඇතැම් තැන් බුද්ධාගමට හා සිංහල බෞද්ධ සංස්කෘතියට හානිකර නිසා එසේ කළ බවය. තවත් ප්‍රකාශන සමාගමක් පසුගිය වසර පනහ තුළ හොඳම බුකර් සම්මානලාභී නවකතාව ලෙස තේරුණු මයිකල් ඔන්ඩච්චිගේ ‘The English Patient’ පළ කර තිබුණේ මුල් කෘතියේ රස මරමිනි. තවමත් අනෙකෙකු අතින් පරිවර්තනය වී නැති - ඊට ඉඩ නැති - එය අදටත් සිංහල පාඨකයාට රස විඳිය නොහැකිය. මේ නම් ප්‍රකාශකයන් ප්‍රකාශන අයිතිය ගෙන පරිවර්තකයන් තේරීමේ අර්බුදයයි.

පසුගිය දිනවල සිනමා මුහුරත් උළෙලක් මෙන් දොරට වැඩුණු පරිවර්තන කෘතියකි, ‘සමුද්ද යාතිකාව’. එය ඇෆ්ගන් - ඇමෙරිකානු නවකතාකරු ඛලීඩ් හුසේනිගේ

‘Sea Prayer’ නම් ප්‍රබන්ධ නොවන කෘතියේ සිංහල පරිවර්තනයකි. මුලින්ම මේ කෘතියේ ග්‍රන්ථ නාමය පිළිබඳව මට නැඟුණේ සංශයකි. ‘Sea Prayer’ හි එන්නේ 2015 වසරේ මධ්‍යධරණී මුහුදේ ගිලී මියගිය තුන් හැවිරිදි ඇලාන් කුර්දි නම් සිරියානු සරණාගත ළමයා පිළිබඳ කතාවකි. එය ඛලීඩ් හුසේන්, පියා පුතාට පවසන කතාවක් මෙන් සංවේදීව ඉදිරිපත් කර ඇත. ඇත්ත වශයෙන් ඉන් ගෙනහැර පාන්නේ සිරියානු සරණාගත ගැටලුවේ ඛේදාන්තයය. ‘Sea Prayer’ යන ග්‍රන්ථ නාමයෙන් ඛලීඩ් හුසේන් අදහස් කරන්නේ මහසයුර මැද කරන ආත්මීය ප්‍රාර්ථනයකි. එය සමුද්‍රයද කරන ප්‍රාර්ථනයකි. එහෙත් එහි Prayer යන්න ‘යාතිකාව’ ලෙස පරිවර්තනය කළහොත් එය ශාන්තිකර්මයක ධ්වනිථාර්ථයක් නැඟීමට ඉඩ තිබේ. එසේම එය ‘යාඥා’ ලෙස යෙදුවහොත් ඉන් ක්‍රිස්තියානි ආගමේ එන යාඥා අරුත නැඟීමට ඉඩ තිබේ. එනිසා එය ඒ දෙයාකාරයටම සිංහලට නැඟිය නොහේ. මට හැඟෙන ලෙස නම් ඊට සුදුසු පදය ‘යාදිනිය’ ය. අනෙක් පසින් එහි එන Sea යන්න ‘සමුද්ද’ ලෙස හෙළ බසින් ඉදිරිපත් කිරීමේ කිසිදු වුවමනාවක් නැත. Sea සහ Prayer යන දෙපදය සැලකූ විට ඒ අතර ගුරු අක්ෂර මගින් පිහිටුණු දීර්ඝ ස්වර දෙකක් තිබේ. ඒ ඇදුණු ලය පරිවර්තිකාව සිංහල නමට ගෙන නැත. ඊට ‘සාගර යාදිනිය’ ලෙස ගතහොත් එහි පද දෙකේම ලය රැකිය හැකිය. එහෙත් සමස්ත ධ්වනිථාර්ථය ඉන් සුමට වේ. ඊට ‘සමුද්‍ර යාදිනිය’ යෙදීම මට හැඟෙන ලෙස වඩා උචිතය. ඉන් පද දෙකේ පොදු ලය රැකෙමින් මුල් ධ්වනිථාර්ථ ගෙනෙන බැවිනි. එහෙත් පරිවර්තිකාවට ඒ එසේ ගැනීමට නිර්මාණශීලී ගුණයක් නැති සෙයකි. මේ නම් කවරක්ද? ඇති හැකිකමට පරිවර්තන අයිතිය ගැනීමේ ආදීනවය.

මෙහි තවද අපූරු කරුණක් තිබේ. පරිවර්තිකාව මුල් ප්‍රකාශන සමාගමෙන් ප්‍රකාශන අවසරය ගත්තද ඇයට මුල් කතුවරයා වූ ඛලීඩ් හුසේනි සමඟ කිසිදු සබඳතාවක් තිබී නැත. පසුගිය අගෝස්තු 24 වෙනිදා ඇය ‘රැස’ පුවත්පතේ ‘භාව’ අතිරේකයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවෙන් කියනුයේ ඈ ඇසුරු කළේ මුල් ප්‍රකාශන සමාගමේ නියෝජිතයකු පමණක් බවයි. පවතින රටාව තුළ ඇතැම් විට පරිවර්තකයකුට මුල් කතුවරයා හා සම්බන්ධ වීමට ඉඩක් නොමැති විය හැකිය. එහෙත් ඒ ක්‍රමවේදය වැරදිය. ඉන් හානි වන්නේ පරිවර්තන කෘතියටය.

එසේ බලන විට කළ යුත්තේ පරිවර්තන අයිතිය නොගෙන කෘති පළ කිරීමද? මා සිතන්නේ එසේය. මතුපිටින් බලන කෙනෙකුට එය වංචාවක් ලෙස හැඟී යා හැකිය. එහෙත් මෙරට පොත් ප්‍රකාශනය ජාවාරමක් බව හඳුනා ගතහොත් එය එසේ වීම හොඳ බව පැහැදිලි වනු ඇත. පොත් ඇත්තේ පාඨකයාටය. මුල් ලේඛකයාගේ කෘතිය විකෘති කර ආප්ප බාන්නා සේ කරන පොත්වලින් රැවටීමට ලක් වන්නේ පාඨකයාය. හානි වන්නේ මුල් කතුවරුනටය. මේ තත්ත්වය වෙනස් වනු ඇත්තේ ප්‍රකාශකයන් පාඨකයාගේ පැත්තෙන් සිතා - ඔවුන්ට සරිලන මිලක්ද නියම කර - පොත මහාර්ඝ සම්පතක් බව වටහාගත් දිනෙකය. එවිට ඔවුන් සාහිත්‍ය කෘති පරිවර්තනයට පරිවර්තකයන් තෝරනු ඇත්තේද ඔවුන්ගේ ජීව දත්ත සටහන අනුව නොව ඔවුන්ගේ භාෂා සාහිත්යික උසස්භාවය අනුවය. ඔවුන් එවිට පරිවර්තකයනට ‘ඩෙඩ් ලයින්’ දී පරිවර්තන ඇණවුම් භාර දීමක්ද නොකරනු ඇත. එවැනි කලක් ඇති වූ දාට නැවත අපට පරිවර්තන අයිතිය ගෙන මුල් ලේඛකයන් සැබැවින්ම ඇගයිය හැකි වනු ඇත.

මාතෘකා