මං වචනවලට කැමතියි : ​බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉන්දීය ලේඛක රස්කින් බොන්ඩ්

 ඡායාරූපය:

මං වචනවලට කැමතියි : ​බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉන්දීය ලේඛක රස්කින් බොන්ඩ්

පරිසරයයි මට උත්තේජනය දෙන්නෙ. ගස්, පැළ, සුළඟ, කාලගුණය, කුරුල්ලො, කඳු, ඒවගේම මිනිස්සුත් මට උත්තේජන සපයනවා. ඒවා නැතිව මට කතාවක් එන්නෙ නෑ. ජීවිතයේ වෙනස් වෙනස් තැන්වල ඉන්න මිනිසුන්ට මං කැමතියි. සමහර වෙලාවට හීනත් මට ලියන්න උත්තේජන සපයනවා. හරියට මාව අවුරුදු විසි ගණන්වලට ගෙනිහින් සමහර කල්පනාවලට ගෙන යන රොමෑන්ටික හීන වගේ.

The Night Train at Deoli කෙටිකතාව එවැනි හීනයක්.

මං මැරෙනකන් ලියනවා. ඒ උද්යෝගය මට තියෙන්නෙ මං භාෂාව එක්ක ගනුදෙනු කරන්න කැමති නිසයි. මං වචනවලට කැමතියි. වචන එක්කාසු කරලා ලස්සන වාක්‍ය හදන්න කැමතියි. ඒවගේම මං ලියන දේවල් වෙනම හඳුනාගන්න පුළුවන් විධියට වෙනස් වහරක් ගන්නත් මට ඕන කරනවා. හරියට ප්‍රාදේශීය වහරක් තියෙන එමිලි බ්‍රොන්ටේගේ ‘වදරින් හයිට්ස්’ නවකතාව වගේ. දැන් ලෝරන්ස් ස්ටර්න්ගේ The Life and Opinion of Tristam Shandy, Gentleman කෘතිය කියවන්න අමාරුයි. ඒත් කවුරුවත් ඒ විධියට ලියලා නෑ.

ඉන්දියාවට මගේ ඇති බැඳීම බොහෝ විට ඉතිහාසය පිළිබඳ කාරණයක්. කෙනෙක් අතීතයට, වර්තමානයට සහ අනාගතයට අයත් වීමේ හැඟීම එකිනෙකට ආබද්ධ දෙයක්. මං නිතරම ඇසුරු කළේ මාවයි. තවමත් මම මං ඉන්න භූමිය, පස, පොළොව ඇසුරු කරනවා. මොකද එහි තමයි මං ඉපදිලා ඇතිදැඩි වුණේ. මං දන්නෙ නෑ ඒක ජාතිකවාදය වේවිද, දේශප්‍රේමය වේවිද කියල. ඒත් ඒක පැහැදිලිවම ආදරයයි. තමන්ගේ රටට, බිමට ආදරයයි. පැළෑටිවල ඉඳලා වෘක්ෂලතා දක්වා එහි වැඩෙන දේටත්, මිනිසාගේ සිට කුරුල්ලන්, සතාසතුන් දක්වා එහි වෙසෙන සතුන්ටත් ඇති ආදරයයි.

කෙනෙක් මැරුණාට පස්සෙ මොනවා වේවිද කියල මං දන්නෙ නෑ. ඒත් මං මැරුණාට පස්සෙ ආයෙත් ඉන්දියාවේ උපදින්න කැමතියි. වෙන කොහේවත් උපදින්නෙ නැතිව මෙහෙම ඉපදිලා ලේඛකයකු වෙන්න කැමතියි.

මාතෘකා