ඇලිස් වෝකර්ගේ කාව්‍ය කෘතියක් එළිදකී

 ඡායාරූපය:

ඇලිස් වෝකර්ගේ කාව්‍ය කෘතියක් එළිදකී

ලොව පුරා විශාල පිරිසකගේ ඉහළම අවධානය දිනාගත් ‘ද කලර් පර්පල්’ (The Color Purple) සහ ‘ද ටෙම්පල් ඔෆ් මයි ෆැමිලියර්’ (The Temple of my Familiar) වැනි කෘතීන් රචනා කළ අප්‍රිකානු ඇමෙරිකානු ලේඛිකා ඇලිස් වෝකර් රචනා කළ නවතම කාව්‍ය සංග්‍රහයක් පසුගියදා නිකුත් වුණා. ‘ටේකිං දි ඇරෝ අවුට් ඔෆ් ද හාර්ට්’ Taking the Arrow Out of the Heart) යන නමින් ප්‍රකාශයට පත්ව ඇති මේ කෘතියට ඇය රචනා කළ කාව්‍ය නිර්මාණ 69ක් ඇතුළත්ව තිබෙනවා. මේ සියලු කාව්‍ය නිර්මාණ මැනුවෙල් ගාර්සියා වර්ඩෙසියා නමැති පරිවර්තිකාවක විසින් ස්පාඤ්ඤ බසටද පරිවර්තනය කර ඇති අතර, ඒවාද මේ කෘතියට ඇතුළත් කර තිබීම විශේෂ කරුණක්. පුලිට්සර් සාහිත්‍ය ත්‍යාගය සහ ඇමෙරිකාවේ ජාතික ග්‍රන්ථ සම්මානය හිමි කරගත් ප්‍රථම අප්‍රිකානු ඇමෙරිකානු ලේඛිකාව වන ඇලිස් වෝකර් නවකතා සහ කෙටිකතා රචිකාවක, කිවිඳියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක ලෙසද ප්‍රකටයි.

ස්ටීවන් හෝකින්ගේ පළමු බිරිඳගේ මතක සටහන් කෘතියට අසාධාරණයක්

මේ වසරේ මාර්තු මාසයේදී මිය ගිය ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු මෙන්ම ලේඛකයෙකුද වූ ස්ටීවන් හෝකින්ගේ ප්‍රථම බිරිඳ වූ ජේන් හෝකින් රචනා කළ ‘ට්‍රැවලිං ටු ඉන්ෆිනිටි: මයි ලයිෆ් විත් ස්ටීවන්’ (Travelling to Infinity: My Life with Stephen) නමැති මතක සටහන් කෘතිය පාදක කරගනිමින් 2014 වසරේදී නිර්මාණය කරන ලද ‘ද තියරි ඔෆ් එව්රිතින්ග්’ (The Theory of Everything) චිත්‍රපටය මඟින් ඒ කෘතියේ අඩංගු නොවන වැරදි සහගත තොරතුරු රැසක් ඉදිරිපත් කර ඇති බව ඇය පසුගියදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්ෂයර් නුවර පැවති හෙන්ලේ සාහිත්‍ය උත්සවයේදී අනාවරණය කළා. සිය මතක සටහන් කෘතියේ කරුණු විකෘති කරමින් නිර්මාණය කර ඇති එම චිත්‍රපටය මඟින් හෝකින් සමඟ තමන් ගත කළ විවාහ දිවිය පිළිබඳ බොහෝ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි ඇය එහිදී කියා සිටියේ. වගකීමකින් තොරව කරුණු ඉදිරිපත් කරමින් නිර්මාණය කර ඇති එම චිත්‍රපටය මඟින් තමන්ට මෙන්ම සිය මතක සටහන් කෘතියටද බරපතළ අසාධාරණයක් සිදු කර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා. ඇය මේ කරුණු හෙළිදරව් කළේ ‘ක්‍රයි ටු ඩ්රීම් එගේන්’ (Cry to Dream Again) නමැති සිය නවතම කෘතිය හඳුන්වාදීමේ වැඩසටහනකට සහභාගි වෙමින් සිටින අතරතුරදීයි.

මාතෘකා