මායා රංජන්ගේ ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ මා සසල කළ පොතයි

 ඡායාරූපය:

මායා රංජන්ගේ ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ මා සසල කළ පොතයි

මහාචාර්ය ජේ.බී. දිසානායක

මගේ උපත සිදු වන්නේ සබරගමු පළාතේ රඹුක්කන පුවක්මොටේ ගමේ වෙදගෙදරයි. මගේ අප්පච්චි ඒ ගමේ වෙදමහත්තයායි. අප්පච්චි ගමේ අය හැඳින්නුවේ පරණ ගෙදර වෙදමහත්තයා කියලයි. මගේ බාල විය ගෙවෙන්නේ පන්සලත්, ඥාති නිවසකුත් අතර සීමාවේයි. වෙදගෙදරක හැදී වැඩෙන දරුවෙකු විදිහට පොතපතට නිසගයෙන්ම මම යොමු වෙනවා. දැනුම් තේරුම් වයසට එන්නත් කලින් මම පාළි, සංස්කෘත පොතපත හඳුනාගත්තා. බෙහෙත් තෙල් බෝතල්, බෙහෙත් වර්ගවල අලවා ඇති නම් ආදිය කියවන්න මම පොඩි කාලේ ඉඳලාම උත්සාහ කළා. ගෙදර තිබුණු වීදුරු අල්මාරිවල වෙද පොත්, බෙහෙත් වර්ග පිරිලා තිබුණා. නේත්‍රකාන්ති තෛලය, සිද්ධාර්ථ තෛලය වගේ නම් කියවන්න මම පොඩි කාලේ ඉඳලාම උත්සාහ කළා.

මෙහෙම ලියන්න කියවන්න ඉගෙනගත්ත මම කාලයත් එක්ක ගොඩක් පොත්පත් කියවන්න හුරු වුණා. එහෙම කියවපු පොත් අතරින් මගේ සිත වඩාත් සසල කළ පොත වුණේ සමන් ප්‍රකාශකයන් විසින් ප්‍රකාශිත මායා රංජන් නැමැති කතුවරයා ලියූ ‘දිගාමඬුල්ලේ ආශ්චර්යය’ නම් කෘතියයි. එය ගැමිකම මනාව විශද කළ කෘතියක්. විදේශ ගමන් යන විට මම අනිවාර්යෙන්ම ගෙනියන පොතක් විදියට එය හඳුන්වන්න පුළුවන්. දුරු කතරක ඉන්නකොට මට නිවස ගැන, ගම ගැන හොඳින්ම දැනගන්න මේ කෘතිය උපකාරී වෙනවා. එය මගේ සිතට ළඟින්ම දැනෙන කෘතියක්.

මේ කෘතිය දිගාමඬුල්ලේ ග්‍රාමීය බව මනාව විශද කරනවා. එයින් පෙන්වා දෙන්නේ පැරණි ගමක්. මුස්ලිම්, සිංහල ජනතාව සාමූහිකව දිවි ගෙවන, ප්‍රවාහන මාධ්‍යය ලෙස කරත්ත යොදා ගන්නා, ගොවිතැන්බත් කරගෙන වෙසෙන ජනතාවක් මෙයින් සංකේතවත් වෙනවා. මෙහි සංකේත, සංකල්ප රූප මවන සැටි සිත්ගන්නාසුලුයි. මුස්ලිම් කතුන්ගේ ජීවන විලාසයන්ද, ගැමි කතුන්ගේ ජීවන විලාසයන්ද මෙහි මනාව විස්තර වෙනවා.

‘දිගාමඬුල්ලේ ආශ්චර්යයේ’ විශේෂත්වය එය අපේ රටේ විශේෂ භාෂා කලාපයකට අයත් කෘතියක් වීමයි. විවිධ උපසංස්කෘතිීන් තුළ භාවිත වන භාෂා විලාසයන් එකිනෙකට වෙනස්. එහිදී දිගාමඬුල්ලේ බස් වහර විශේෂයි. එය ලාංකික අනන්‍යතාවක් වශයෙන්ද දක්වන්න පුළුවන්.

මේ කෘතිය කියවන විට මට මගේ ගම, මගේ ගෙදර මතක් වෙනවා. මගේ අප්පච්චි වෙද මහත්තයෙක් නිසා ඔහුගේ ආභාසයෙන් භාෂාවන් ඉගෙනගන්න මම ආසා වුණා. මගේ අප්පච්චිට ගෙදර බුලත් කොටුවක් තිබුණා. අප්පච්චි බුලත් කොළ කඩලා රෑට ගොනු කරන්න ගන්නවා. ඒකට ඔහු වටපිටාවේ අයත් එකතු කරගන්නවා. මට අයියලා තුන්දෙනෙක් සහ මල්ලි කෙනෙක් සිටියා. මේ බුලත්

ගොනු කරන වෙලාවට අම්මා ගෙදර තියෙන නවකතාවක් කියවන්න කියලා අයියලාට කියනවා. එහිදී බොහෝ වෙලාවට කියෙව්වේ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවකතා. ඒවා කියවන කොට අම්මා කතාව මැදින් නතර කරලා එදා අපේ ගම්වල සිටි අය හා පූර්වාපර සන්ධි ගළපනවා. එතකොට එය වඩාත් රසවත් වුණා.

පාසල් වියට එන විට මම මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළත් වෙනවා. එ්ත් ටික කලකින් මගේ ලොකු අයියා කොළඹ පැමිණ නීතිය හදාරන්න පටන්ගත් නිසා මම කොළඹ ආනන්ද විදුහලයට ඇතුළත් වෙනවා. මේ නිසා වයස අවුරුදු අට නවය වන විටම මට පොතපත කියවන්න පුළුවන් වුණා. ආනන්ද විදුහලේදී තබ්බෝවේ ශාසනවංශ හිමි, මහාචාර්ය කොටගම වාචීස්සර හිමි ආදී ගුරුවරුන් වගේම ඒ කාලේ තිබූ සාහිත්‍ය ප්‍රබෝධයත් මගේ කියවීමේ රුචිය වැඩි කළා. කොහොම වුණත් ‘දිගාමඩුල්ලේ ආශ්චර්යයට’ මා ඇදීගියේ බිළිඳු වියේ සිටම මා වටා තිබුණු ගම ඒ කෘතියෙන් මට ප්‍රතිනිර්මාණය කර දුන් නිසයි.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා