ගාන්ධිගේ ලංකාගමනය ඉතිහාසයෙන් වැසූ සංසිද්ධියක්

 ඡායාරූපය:

ගාන්ධිගේ ලංකාගමනය ඉතිහාසයෙන් වැසූ සංසිද්ධියක්

ප්‍රවීණ මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර

පුවත්පත් කලාවේදියකු, ග්‍රන්ථ කතුවරයකු, නිර්මාණශීලී ගීත රචකයකු, කලා විචාරකයකු ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ භූමිකා නියෝජනය කරන සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලද ‘මහත්මා ගාන්ධි ලංකාගමනය සහ ලාංකේය දේශපාලනය’ නමැති නවතම කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙස මේ වන විට ප්‍රකාශයට පත්ව ඇත. ඔහු සමඟ අප පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

මේ කෘතිය ඔබ හඳුන්වා දෙන්නේ කෙසේද?

මහත්මා ගාන්ධි 1927 වසරේදී ලංකාවට ආවා. ඒ වෙනකොටත් ඔහු ලෝ ප්‍රකට පුද්ගලයෙක්. ඔහු ලංකාවට ඇවිල්ලා දින දාහතක් ගත කළා. ඒ කෙටි කාලය ඇතුළත ඔහු ලංකාවේ ප්‍රදේශ රැසකට ගියා. බස්නාහිර පළාත, දකුණ, මධ්‍යම පළාත, කඳුකරය සහ උතුර යනාදී වශයෙන් විවිධ පළාත් ගණනාවක ඔහු සංචාරය කළා. ඔහු ගියේ නැත්තෙ නැගෙනහිර පළාතටයි, සබරගමුවටයි විතරයි. ඌව පළාතටත් ගියා. ගාන්ධිගේ ඒ සංචාරය පිළිබඳ පොඩි පර්යේෂණයක් විදියට මේ කෘතිය හඳුන්වාදිය හැකියි. සමානාත්මතාව පිළිබඳව ගාන්ධි දුන්න පණිවුඩයත් මේ කෘතිය තුළ තියෙනවා. ඇත්තටම ඒ පණිවුඩය එදාටත් වඩා අදට අවශ්‍යයි, ගැලපෙනවා සහ වටිනවා කියලා මට හිතෙනවා. ඒ පණිවුඩයත් එක්කම ඒ කාලයේ ලංකාවේ තිබුණු දේශපාලන ප්‍රවණතා ගැන මේ කෘතියෙන් සාකච්ඡා කරලා තියෙනවා.

මෙවැනි කෘතියක් රචනා කිරීමට ඔබ තීරණය කළේ ඇයි?

මහත්මා ගාන්ධිගේ ලංකාගමනයට පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට අවුරුදු අනූවක් සපිරුණා. මට අවශ්‍ය වුණේ ඒ නොවැම්බර් මාසයෙදි මේ පොත එළි දක්වන්නයි. එහෙත් නොවැළැක්විය හැකි කාරණා නිසා මේ කෘතිය මුද්‍රණය වීම පමා වුණා. මේ ඔක්තෝබර් දෙවැනිදාට ඔහුගේ එකසිය හතළිස් නව වැනි ජන්ම දිනය යෙදිලා තිබුණා. ඊළඟ වසරේ ඔහුගේ එකසිය පනස් වැනි ජන්ම දිනය සැමරීමට මේ වෙනකොට ඉන්දියාව සහ තවත් රටවල් ගණනාවක් සූදානම් වෙනවා. ඔහු විශ්වීය පුද්ගලයෙකු නිසා ඉන්දියාවත් එක්ක ලෝකයේ බොහෝ රටවල් මේ සැමරුමට එක් වෙයි.

ඒ සංවත්සරය ඉලක්ක කරගනිමින් බොහෝ කෘති පළ වෙයි. ඒ කියන්නෙ මේ ගත වෙමින් තියෙන්නෙ ගාන්ධි ගැන අලුත් කතාබහකට ලෝකය විවර වෙන අවස්ථාවක්. ප්‍රබන්ධ නොවන සාහිත්‍යය තුළ ගාන්ධි ගැන දැනටමත් බොහෝ කෘති රචනා වෙනවා. එහි පළවෙනි පියවර විදියට පසුගිය ඔක්තෝබර් දෙවැනිදා රාමචන්ද්‍ර ගුහා නමැති ප්‍රකට ලේඛකයා රචනා කළ ‘ගාන්ධි: ද ඉයර්ස් දැට් චේන්ජ්ඩ් ද වර්ල්ඩ්’ (Gandhi: The Years That Changed the World) කියන කෘතිය පළ වුණා. ඒක ගාන්ධි ගැන මෙතෙක් කෙරුණු විශිෂ්ටතම කෘතිය සහ හොඳම පර්යේෂණය කියලා විචාරකයො දැනටත් කියනවා. පිටු එක්දහස් එකසිය ගාණක් තියෙන කෘතියක් විදියට ලෝකය පුරා එකම දිනයකදි එය නිකුත් කෙරුණා. මගේ මේ පොඩි කෘතියත් අහම්බයකින් වුණත් හරියටම ඔක්තෝබර් දෙවැනිදාම නිකුත් වුණා. ගාන්ධිගේ ලංකාගමනය සහ ඒ හා සම්බන්ධ සිද්ධි පිළිබඳ පොඩි විවරණයක් විදියට රචනා කරලා තියෙන මේ කෘතිය අර වගේ දැවැන්ත එකක් නෙවෙයි. මේක බොහොම පොඩි වැඩක්. රාමචන්ද්‍ර ගුහාගේ පොතත් එක්ක මේක සන්සන්දනය කරන්න කොහොමටවත් බැහැ.

මේ කෘතියට ගාන්ධිගේ ලංකාගමනය සහ ලාංකේය දේශපාලනය නමින් වෙනම පරිච්ඡේදයක් ඇතුළත් වෙනවා?

මේ පරිච්ඡේදයෙන් මට කතා කරන්න ඕන වුණේ ඒ කාලය වන විට පැවති දේශපාලනයත් එක්ක ගාන්ධිගේ ගමන විකාශනය වූ ආකාරය ගැනයි. ගාන්ධි ලංකාවට පැමිණි දවසෙම ඩොනමෝර් කොමිසමත් ලංකාවට ආවා. ඒ නිසා ගාන්ධිගේ ගමනේ වැදගත්කම ඉතා බරපතළ විදියට පහළ වැටුණා. ගාන්ධි ලංකාවේ සිටියදීම ඩොනමෝර් කොමිසමේ විමර්ශන කටයුතු සහ සාක්ෂි විමසීම පටන් ගත්තා. එහිදී ප්‍රතිසංස්කරණ රාශියකුත් එක්ක ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණා. ඒ වෙනකොට ලංකාවේ තිබුණෙ බ්‍රිතාන්‍ය පාලනයයි. ඒ බ්‍රිතාන්‍ය පාලකයින්ටත්, ලංකාවේ හිටපු දේශපාලන නායකයින්ටත් ගාන්ධිට වැඩිය වැදගත් වුණේ ඩොනමෝර් කොමිසමයි. ගාන්ධිගේ සංචාරයට බොහෝ දුරට මුල් වුණේ යාපනයේ තරුණ කොංග්‍රසයයි. ගාන්ධිගේ ලංකාගමනය ඉතා වැදගත් සිද්ධියක් වුණත් ඉතිහාසයෙන් එය වැහුවා. රාමචන්ද්‍ර ගුහා කියන විදියට ගාන්ධි කියන්නෙ බුදුරජාණන් වහන්සේගෙන් පසුව භාරතයේ බිහි වූ මහා පුරුෂයෙක්. ගුහාට අනුව ලෝකයේ ගාන්ධිට සමාන කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සහ ජේසුස් වහන්සේ පමණයි. එවැනි දැවැන්ත චරිතයක් ලංකාවට පැමිණීම නොසලකා හරින්න බැහැ. ඔහු තමන්ගේ මුළු ජීවිතයම පුනරුදයක් වෙනුවෙන් කැප කළ කෙනෙක්.

ලෝකයේ එවැනි චරිත අඩුයි. ඔහු මැරෙනකොටත් ඔහුට කියලා ගෙයක් හෝ වාහනයක් තිබුණෙ නැහැ. ඔහු සතුව තිබුණේ බඩුභාණ්ඩ කිහිපයක් පමණයි. ඔහු මුළු ජීවිතයම ඔහු කැප කළේ අරගලය වෙනුවෙන්. මේ කෙසඟ මිනිසා ඉදිරියේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පවා සලිත වුණා. ගාන්ධි දිහා බැලුවාම එවැනි දැවැන්ත ප්‍රතිරූපයක් මතුපිටින් පේන්නෙ නැහැ. එහෙත් මේ චරිතය තුළ තිබුණු දැවැන්ත බව මතු වෙන්නෙ ඔහු කළ කැපකිරීම්වල විශාලත්වය ඔස්සේයි.

ගාන්ධි ගැන චරිතාපදාන රාශියක් ලියවිලා තියෙනවා. ඒ අතර තියෙන විශිෂ්ටතම කෘති රචනා කරලා තියෙන්නෙ රාමචන්ද්‍ර ගුහා කියන චරිතාපදාන රචකයායි. ඔහු මා තුළ කිසියම් වෙනසක් ඇති කළ ලේඛකයෙක්. ක්‍රීඩා සාහිත්‍යයේ කිසියම් වෙනසක් කරන්න හැකි වෙන ආකාරයට ලියන්න මම උත්සාහ කළේත් ඔහු රචනා කළ කෘති කියවීමෙන් පසුවයි. ඔහු රචනා කළ

‘ගාන්ධි බිෆෝ ඉන්දියා’ (Gandhi Before India) මම කියවපු ලස්සනම චරිතාපදාන කෘතියක්. ඒක පර්යේෂණාත්මක චරිතාපදානයක්. එවැනි කෘති ඇසුරු කිරීමෙන් ලැබූ ආභාෂය ඔස්සේ ගාන්ධිගේ ලංකාගමනය සහ ලාංකේය දේශපාලනය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු කරුණු කිහිපයක් මතු කිරීමේ අරමුණ ඇතිව විශේෂයෙන් රචනා කළ පරිච්ඡේදයක් හැටියට මෙය සැලකිය හැකියි.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා