ඒබ්‍රහම් ලින්කන් ගැන ලියැවුණු අලුත් චරිතාපදානයක් එයි

 ඡායාරූපය:

ඒබ්‍රහම් ලින්කන් ගැන ලියැවුණු අලුත් චරිතාපදානයක් එයි

ඇමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතය පිළිබඳ අප්‍රකට තොරතුරු ඇතුළත් කරමින් රචනා කරන ලද අලුත්ම චරිතාපදානයක් පසුගියදා පළ වුණා. ‘බිකමිං ලින්කන්’ (Becoming Lincoln) නමින් ප්‍රකාශයට පත්ව ඇති මේ කෘතිය රචනා කරනු ලැබ ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ලින්කන් චරිතය පිළිබඳ අධ්‍යයනයක යෙදී සිටි ඉතිහාසඥයෙකු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුද වන විලියම් ඩබ්ලිව්. ෆ්‍රීහ්ලිං නමැති ඇමෙරිකානු චරිතාපදාන රචකයෙක් විසින්. මෙයට වසර 153 කට පෙර ලින්කන් මියයෑමෙන් පසු ඔහු පිළිබඳ විවිධ කෘතීන් 15,000කට අධික සංඛ්‍යාවක් රචනා වී ඇති අතර, මෑත ඉතිහාසයේ වැඩිම කෘති සංඛ්‍යාවක් සඳහා පාදක වී ඇති චරිත කිහිපයෙන් එකක් ලෙසත් ලින්කන් සැලකෙනවා.

කොඑට්සි චිකාගෝ විශ්වවිද්‍යාලයේ විශේෂ සාහිත්‍ය දෙසුමකට

මෑත යුගයේ ජාත්‍යන්තර සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ඉහළම සම්භාවනාව හිමි කරගත් දකුණු අප්‍රිකානු ලේඛකයෙකු වන ජේ. එම්. කොඑට්සි පසුගියදා ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ පැවති විශේෂ සාහිත්‍ය දේශනයකට සහභාගි වුණා. කලක් චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කළ ඔහු, 2003 වසරේදී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි කරගැනීමෙන් පසුව නැවතත් ඒ විශ්වවිද්‍යාලයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. එහි පැවැති දේශනය සහ සාකච්ඡාව අතරතුරදී ඔහු මෙතෙක් පළ නොවූ සිය නිර්මාණ අතරින් තෝරාගත් කොටස් කිහිපයක් ඉදිරිපත් කළා. ප්‍රසිද්ධියට දැඩි අකමැත්තක් දක්වන ලේඛකයෙකු ලෙස ප්‍රකට කොඑට්සි ඇමෙරිකාවේ පැවති මේ ප්‍රසිද්ධ සාහිත්‍ය දේශනයට සහභාගි වීම ඇතැමුන්ගේ පුදුමයට පවා හේතු වී තිබෙනවා.

[මේනුක විතාන]

 

 

මාතෘකා