පැසුණු බසක ඡායා අරුත

 ඡායාරූපය:

පැසුණු බසක ඡායා අරුත

හැඟීම් සමඟ පෙඟුණ පද බසක් සහිත තීරු වියමන් විටින් විට නෙත ගැටිණි. නෙත ගැටී හද වැදුණ ඒ පද බස වෙනස් බවත් අමුතු බවත් හඟවන්ට විය. ඒ හැඟීම නිසා පත්තර පිටු අතරින් විමල් කැටිපෙආරච්චි හමු වේ. ඔහුගේ පද නිර්ණාමිකව ලියවී තිබුණද නාමිකව ලියවී තිබුණද ඒ ඔහුම බව හඳුනා ගැනීමට තරම් අනන්‍ය මායිමක් මගේ කියවීම් ඇතුළට කිඳා බැස තිබුණි. පදයක් වදනක් ඇතුළු හදට කිඳා බැස යන විට ඔහු කවරෙකු වුවද ඔහුගේ පසුපසම වැටී කියවීම මගේ ලෝල ආශාවකි.

එබැවින් විමල් කැටිපෙආරච්චි කොහින් ආවාදැයි විමසන්නට විය. හැඟීම් තවරා පද පොඟවා ඔහු ලියන බසක වදන් තවත් සමීප වූයේය. ඒ ඔහුගේ රචනා විටෙක උපහාසය තවරා ගත් චෝදනාමුඛ අභිලාෂයන් කැටි කරගත් නිසාය. අන් අතකින් විචාරක දෑසක් සහිතව නිත්‍ය අරමුණකට රචනා පෙළගැස්වීමෙහිලා ඔහු දක්වන බුහුටි බව සියුම්ය. ගද්‍ය සාහිත්‍යය සහ පද්‍ය සාහිත්‍යය අතර මැද දෝලනය වන ඔහුගේ ආඛ්‍යානය වෙනස්ය. කලාත්මක වින්දනයෙහි චිරාගත මායිම රකිමින් නව්‍ය භාව විසුලත්වයක්ම මතු කරයි. එමෙන්ම දිරිවඩා රැකිය යුතු ලකුණු විශද කරවන නව තුරුණු ගොමුවේ ඉදිරිගාමී සාහිත්‍යයික ශානරයක දිගහැර වීමකි. සමාජමානී ඉවක් පහළ කර ඇති බවද දැකගත වූයේය. ඒ, විමල් හෙවත් “කැටිපෙ” ගද්‍ය සාහිත්‍යයට “දූවිලි සේල” “නවයේ කතාව”ද පද්‍ය සාහිත්‍යයට “හමුවෙන්න තවම හැකි කොම්රේඩ්”ද ලියා අහවරව ඇත. කවි පොත කියවා කෙළවර “නවයේ කතාව”ද එය විඳ ගැනීමෙන් ලද භාව ඉසඹුවෙන් “දූවිලි සේල” කියවූ පසු හිතුණ දේ ලියා තබන්න සිතුණි. පරපුරක ගෝත්‍රවාදය මිසක පරපුරක ගෝත්‍ර ප්‍රේමය අවසන්ව ඇත. තමන්ට පසු පායන තරුද හමන සුළංද පිපෙන මල්ද නොදකින නොදැනෙන “සංවේදී ලොකු අයියලා” මැද පුරන් කුඹුරු අස්වද්දන නව ළපලු කාටවත් නොපෙනේ. පෙනුණද නොපෙනුණ සේම ඉවත බලයි.

මාක්ස්වාදී දහරාවෙන් නිපන් එනමුත් මාක්ස්වාදී දෘෂ්ටිවාදී භාෂාවෙන් වියුක්ත භාෂා රිද්මයක් කැටිපෙ සතුව ඇත. ඔහුගේ වටිනා තැන එතැනය. මාක්ස්වාදී වූවද මාක්ස්වාදී දෘෂ්ටියෙන් තොර බස එය වමට උරුම කළේ ජ.වි.පෙ. බව ගෞරවයෙන් කිව යුතුය. නන්දන මාරසිංහ, ධර්මසිරි රාජපක්‍ෂ, රෝහිත භාෂණ, හෙන්රි වර්ණකුලසූරියගේ සිට ගලා විත් ඇති මේ වාම දෘෂ්ටියෙන් වියුක්ත වාම බස කවරක්ද? විමල් කැටිපෙ ස්ථානගතව ඇති තැන හා ඔහු පළ කරන කෞෂල්‍යයික ධ්වනිය වටහාගත හැක්කේ එතැනින්ය. පක්‍ෂයක තැනුණ පද රචනයෙන් එයින් වියුක්තව පිපෙන තැන කවර තැනද? ඒ ගැන කදිම නිගමනය “නවයේ කතාව”ය.

නිරපේක්‍ෂ කොට ඇති ලාංකික පොළොවේ පීඩිත පෑඟුණ මනුෂ්‍යය ස්වාභාවයන් තුනක් සාපේක්‍ෂ කතිකාවට කැඳවා ඇත්තේ අපූරුවටය. බියුටි මධූගේ සමකාමී වේදනාව නේරංජනාගේ පෑඟුණ සිහිනයන් හා කාන්තිගේ සිට ගනේෂ් දක්වා විහිදෙන

සුළු ජාතික අනුවේදනා මැදින් කැටිපෙ හාරා පාදන නූතන ජන කතාව අවධාරණයෙන් බැහැරව තැබිය නොහැක්කේමය. එය වඩාත් තීව්‍ර වන්නේ සරාග නිදහස ගැන මානව නිදහස පිළිබඳ කථාවට ඈඳා නොගන්න සමාජ මතවාදීන් මැදය. ලංකාවේ වාමාංශිකයන් පවා “සරාග නිදහස” මනුෂ්‍යත්වයට ඉල්ලා නොසිටින්නේය. ඇත්තමට ඇන්. එම්, පිලිප්, කොල්වින්, විජේවීර වගේම කුමාර ගුණරත්නම්ලා, කුසල්හාමි වගේම සැදැහැතියන්ය. ඔවුහු සම සරාගි, ද්විසරාගි, බහුසරාගික, සංක්‍රාන්ති සරාගි බවින් යුතු මානව ආල රාග භාවයන් ඇතැයි නොදන්නා ගානටය. විෂම රාගය පමණක් දකින්නේය. අන් අතකින් සියලු භාව අතරින් පෑගී පීඩිතම මනුෂ්‍යභාවය වූ සංක්‍රාන්තික රාග ආල හැඟීම ගැන දන්නේම නැත.

“පීඩිත යනු ධනපතියන්ට විරුද්ධවීම පමණි” යැයි සිතන වාහකයක් මැදින් පැමිණ “නවයේ කතාව” හරහා ගොතා තබන නූතන ලංකා සමාජ අන්දරය හි හරස්කඩ බහුමාන වන්නේ එබැවිනි. “දූවිලි සේල” තුළදී ජනකාන්ත සාහිත්‍ය රචකයාගේ රස පූර්ණ බව විවර කරමින් කැටිපෙ ස්ත්‍රී ගූඪත්වය පාදන්නේය. “නවයේ කතාව” මැදින් යථාවාදය හා යුග විවරණාත්මක පද පෑහීමක යාවීම පුරුද්දා ඇත්තේ ඔහු ගැන ප්‍රාර්ථනයක් පතිත කරවමිනි. කැටිපෙගේ කාව්‍ය අත්හදා බැලීම තුළ මා දකින්නේ ඔහුට අනන්‍ය උපහාස මුසු චෝදනාමුඛ අභිලාෂයේ විචාරක දෑසින් හෙඹි කලාත්මක භාව විඳීමද යුග වෙනසක පද ලතාව එකට වියා ගත් නූතනවාදී කාව්‍යකරණයක බීජානුවන්ය.

කෙසේ නමුත් ගද්‍ය පද්‍ය සාහිත්‍ය ද්විත්වයේ අතුරේ අනතුර වටහා ගැනීම කැටිපෙටම භාර කරමි. දේශපාලන පොළොවේ උපන් ලේඛකයෙකු එයින් මිදුණ පසු අදේශපාලනික නොවිය යුතු යැයි මම සිතමි. මන්ද ඔහුට රාමුගත අනවැසිය. දේශපාලන දැනීම ඇවැසි වන බැවිනි. කැටිපෙගේ පොත් තුනම මට කීවේ විප්ලවීය ආස්වාදයක අතීතකාමි සුවඳක ඉව විඳිමින් රාමූ කඩාගන්න දරන වෑයමය. විප්ලවවාදී සිහින යාමය ........ එය කෙතරම් හැඟීම්බරද? “දූවිලි සේල”හි තිවංක වගේමය. ඒත් සුමිතුර! විප්ලවීය ශුද්ධෝත්තමවාදය හි පාත්‍ර වර්ගයාටම ඔබේ සාහිත්‍යය සින්න විය නොයුත්තේය. ඒත් එක් දෙයක් කිව යුතුව තිබේ. සමනල යුගය අවසන්ය. අපට තවත් දඟකර බැලිය නොහැක. කැටිපෙගේ පෑන ශාස්ත්‍ර ශික්‍ෂාවද සොයා ඇවිද යා යුතුය. විකල්පයේ නොවී පිළිතුරුම තුළම රැඳි සිටිය යුතුය. මල් පිපෙන්නට පෙර දළු ලයි. දළු ලන්නට පෙර මල් නොපිපිය යුතුය. කැටිපෙ, ඔබ කිසිවක් නොකර සිටියාට කම් නැත. ඒත් නුඹ දිගටම ලිවිය යුතුය. යළිත් කියමි. කලාවද සිතීමද කවියද ගීතයද සමාජීය දේශපාලනයද ආලය භාවය එකට හමුවන තැනක් හමුවන්නේ කලාතුරකින්ය. එබැවින් යළිත් කිව යුතුය. මුකුත් නොකෙරුවාට කම් නැත. දිගටම ලිවිය යුතුමය. නුඹට සංයමය පමණක් ඇවසිය. ගෝත්‍ර ප්‍රේමය අවසන්ව ඇත. කෞෂල්‍යයෙහි ප්‍රඥා යාමය එළඹ ඇත.

මාතෘකා