2018 වසරේ සාහිත්‍ය සම්මාන ලැබුණේ සුදුසු කෘතීන්ටද?

 ඡායාරූපය:

2018 වසරේ සාහිත්‍ය සම්මාන ලැබුණේ සුදුසු කෘතීන්ටද?

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම නවකතාව බවට පත් වූයේ විමල් උදය හපුගොඩආරච්චිගේ ‘යකඩ සිල්පර’ නවකතාවය. හොඳම කෙටිකතා සංග්‍රහය සුමුදු නිරාගි සෙනෙවිරත්නගේ ‘ගිහින් එන්න කානිවල්’ ය. කාව්‍ය සංග්‍රහය සුනිල් විජේසිරිවර්ධනගේ ‘ගිරිමුදුන මගේ නිවහන’ ය. ගොඩගේ සම්මාන උලෙළේ හොඳම නවකතාව සමන් වික්‍රමාරච්චිගේ ‘අප්පච්චි ඇවිත්’ ය. කෙටිකතා සංග්‍රහය ලියනගේ අමරකීර්තිගේ ‘අළු පැහැති ආරංචි’ ය. කාව්‍ය සංග්‍රහය (සම සම්මාන ලෙස) ආරියවංශ රණවීරගේ ‘තවමත් මල්’ හා රත්න ශ්‍රී විජේසිංහගේ ‘වස්සානෙන් පසුව’ ය. ස්වර්ණ පුස්තක සම්මාන ලැබූ නවකතාව සමන් වික්‍රමාරච්චිගේ ‘අප්පච්චි ඇවිත්’ ය. එහෙත් මේ විනිශ්චයන් පිළිබඳව තවමත් බොහෝ පාඨකයන්ගේ හා විචාරකයන්ගේ එකඟකාවක් නැත. මේ අතර විනිශ්චය මණ්ඩල සාමාජිකයන් සාහිත්‍ය කෘති විනිශ්චයට තරම්ද යන ප්‍රශ්නයද නැඟෙන අතර ඇතැම් සමීක්ෂකයන් ඇතැම් ලේඛකයන්ගේ කෘති දෙවන වටයට තේරීම සඳහා අල්ලස් ඉල්ලූ පුවත්ද ඇසේ. ඉදින් මේ, ඒ සියලු දේ පිළිබඳව ලේඛකයන් හා විචාරකයන් කිහිප දෙනෙකු දැක්වූ අදහස්ය.

****************

ලංකාවේ දේශපාලනයයි සාහිත්‍ය පාලනයයි දෙකම ඉවරයි

ප්‍රවීණ කිවිවර පරාකම කොඩිතුවක්කු

මම නම් සම්මාන උළෙල සහ ඒවායේ කටයුතු කරන අය ගැන කථා කරන්නවත් කැමති නැහැ. එ් තරමටම එය පිළිකුල්. ඇත්තටම කියන්න තියෙන්නේ ලංකාවේ දේශපාලනයයි සාහිත්‍ය පාලනයයි දෙකම ඉවරයි කියලා පමණයි.

****************

අපේ වගේ රටක විශිෂ්ට විනිශ්චය මණ්ඩල සොයාගැනීම ගැටලුවක්

ප්‍රවීණ කිවිවර ආරියවංශ රණවීර

රටක සාහිත්‍ය සම්මාන උළෙලක් පවත්වන්න පුළුවන්. එය දැන් ලෝක සම්මතයක් බවට පත් වෙලා. ලංකාවේත් එවැනි සම්මාන උළෙල පවත්වන එක යහපත් දෙයක්. මමත් නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වෙලා ඉඳලා තිබෙනවා. ඒ වගේම ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේත් එක් වරක් මම විනිශ්චය මණ්ඩලයේ සභාපති වෙලා සිටියා. එ්ත් අපේ වගේ රටක නිසි සම්මාන උළෙලක් පවත්වන්න විශිෂ්ට විනිශ්චය මණ්ඩල සාමාජිකයන් සොයාගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා සමමාන උළෙලවල තත්ත්වය අවප්‍රමාණ වෙලා.

****************

සාහිත්‍ය කෘති විනිශ්චය එන්.ජී.ඕ. උගුල්වලට හසු වෙලා

ප්‍රවීණ සාහිත්‍යවේදී සේන තෝරදෙණිය

ඇත්තටම සාහිත්‍ය සම්මාන ගැන හිතෙනකොට ඉදිරියට කිසිවක් නොලියා සිටීම වඩා හොඳයි කියලා සිතුවා. එහෙත් පාඨකයා හැම විටම අපෙන් යමක් බලාපොරොත්තු වෙනවා. සෑම වසරකම ඔවුන් යමක් ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ හිතලා තවමත් ලියනවා. මම මීට සති කිහිපයකට පෙරත් පුවත්පතකට ලිපියක් යොමු කළා 'අප්පච්චි ඇවිත් යකඩ සිල්පර ගිල ගනී' කියලා. ඇත්තටම මෙවර සාහිත්‍ය සම්මාන පිළිබඳව විමසන විට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ විනිශ්චය වැදගත්. ඔවුන් හොඳම නවකතාවට හිමි සම්මානය විමල් උදය හපුගොඩආරච්චිගේ ‘යකඩ සිල්පර’ නවකතාවට දීම ප්‍රශස්ත තීරණයක්. එතනදි පැහැදිලි වෙන තවත් දෙයක් තියෙනවා. ඒ රාජ්‍ය සාහිත්‍ය සම්මානය එන්.ජී.ඕ. විචාරකයන්ගේ සහ සමීක්ෂකයන්ගේ බලපෑම්වලට යටත් වෙලා නැහැ කියලා. එහෙම දෙයක්වත් රැඳිලා තිබෙන එක ඇත්තටම සතුටක්. එය දිගටම පවත්වා ගත යුතුයි.

එහෙත් ස්වර්ණ පුස්තක සම්මානය මෙවර දීලා තියෙන්නේ සයිකෝසියාවකින් පෙළෙන මනෝව්‍යාධිකයෙකුගේ කෘතියකට. එතන විශාල ඛේදවාචකයක් තියෙන්නේ. මම දරන අදහස අනිත් අයට වඩාත් දැනෙයි. නමුත් එය තමයි සත්‍යය. මේ ගැටලුව ගොඩගේ සාහිත්‍ය සම්මාන ප්‍රදානයේදීත් සිදු වෙලා තියෙනවා. මෙවර විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි ගොඩගේ සාහිත්‍ය සම්මානයටත්, රාජ්‍ය සාහිත්‍ය සම්මානයටත්, ස්වර්ණ පුස්තක සම්මානයටත් නිර්දේශ වුණු කෘති දෙකක් තියෙනවා. ඒ ‘යකඩ සිල්පර’ සහ ‘අසනග වැසි’ නවකතාව. මෙතන තිබෙන උභතෝකෝටිකය තමයි ‘අප්පච්චි ඇවිත්’ එතරම් හොඳයි නම් එය රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසාන වටයට නිර්දේශ නොවුණු හේතුවයි.

‘අප්පච්චි ඇවිත්’ නවකතාවේ තියෙන්නේ එක් විත්තිකරුවෙකුගේ නීතීඥයා තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් පෙනීසිට අවසානයේ තීන්දුව ලබාදෙන නඩු වාර්තාවක්. එහිදී නඩුකාරයාත් ඇතැම් අවස්ථාවල කතා කරනවා. එතනදී එම මතයම සනාථ කරන්න යාමකුයි මෙහි පෙනෙන්නේ. මේ වගේ නඩු වාර්තාවක් ස්වර්ණ පුස්තක සම්මානය ලබන්න සුදුසු නම් පරණ නඩු වාර්තා කියවලා නිර්මාණ කරන ක්‍රමවේදයකුත් අනාගතයේදී බිහිවෙයි. ඒවගේම අධිකරණයේ විභාග වුණු නඩු අහගෙන ඉඳලා කතා නිර්මාණය කළ, දැන් අප අතර නැති ඩීමන් ආනන්දත් මරණාපර ස්වර්ණ පුස්තක සම්මානයට උරුමකම් කියන්නෙක්. කොහොම වුණත් මේ කිසිදු පදනමක් නැති සම්මාන දීම නිසා අසාධාරණයට ලක් වුණු කෘති දෙකක් තියෙනවා. ඒ, ‘යකඩ සිල්පර’ සහ ‘අසනග වැසි’.

මෙවර ස්වර්ණ පුස්තක ග්‍රන්ථ සමීක්ෂණ මණ්ඩලයේ සමාජ විද්‍යා මහාචාර්යවරු දෙදෙනෙක් හිටියා. ඒ වගේම නවීන සාහිත්‍යයට නිරාවරණය නොවුණු, නවකතාවට විවෘත නොවුණු මහාචාර්යවරයෙකුත් සමඟ තවත් මහාචාර්යවරයෙක් හිටියා. ස්වර්ණ පුස්තකයේදී සමාජ විද්‍යා නවකතා කියලා ශානරයක් ගැන සිතනවා නම් මේ විනිශ්චය මණ්ඩලයේ සිටි සමාජ විද්‍යා මහාචාර්යවරුන්ට යෝග්‍ය විය යුත්තේ ‘අසනග වැසි’ නවකතාවයි. එහෙත් එහෙම වෙලා නැහැ. ඒ කියන්නේ මෙතනදි අදිසි යමක් ක්‍රියාත්මක වෙලා තියෙනවා.

‘යකඩ සිල්පර’ නවකතාව ප්‍රබල ලියවිල්ලක්. ඒත් මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ සිටි එන්.ජී.ඕ. ජාලයට සම්බන්ධ සිනමා අධ්‍යක්ෂවරයෙකුට ඒ නවකතාව රුචිකර නෑ. මම දන්නා විධියට ඔහු ස්වර්ණ පුස්තක සමීක්ෂණ මණ්ඩලයට දැඩිව බලපෑම් කරලා තියෙනවා. ඒ අනුව මම කලින් කියපු මහාචාර්යවරු හතර දෙනාම මේ ප්‍රබල එන්. ජී. ඕ. ජාලයේ උගුලට හසුවෙලා තියෙනවා. එතන තමයි මේ සම්මාන උළෙලවල ඛේදවාචකය තිබෙන්නේ. ගොඩගේ සම්මාන උළෙලත් එසේමයි. ටෙලිනාට්‍යකරුවෝ පිරිසක්නෙ ගොඩගේ සම්මානය දෙන්න කෘති තෝරන්නේ. ඒ නිසා මේ සම්මාන උළෙලවලින් කරන්නේ බොරුවක්.

****************

ඇතැම් ස්වර්ණ පුස්තක සමීක්ෂකයන් ලේඛකයන්ගේ කෘති තෝරා දෙන්න අල්ලස් ඉල්ලුවා

ප්‍රවීණ ලේඛක සුනිල් ගුණවර්ධන

පසුගිය වසරේ සම්මාන උළෙලවලත් සම්මාන ලැබිය යුතු කෘති නොතකා හැරුණා. මෙවරත් එහි වෙනසක් වෙලා නැහැ. කාව්‍ය කෘති ගතහොත් හොඳ ආඛ්‍යාන කාව්‍යයක් වුණු මහාචාර්ය විමල් දිසානායකගේ ‘ජයසිරිගේ සමුගැනීම’ කෘතිය පිටු ගණන ගැන නිගමනය කරලා ඉවත් කළා. එය රජත පුස්තක සම්මාන උළෙලේ පටන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල දක්වාම පැමිණියා. ඒ වගේම පරාක්‍රම කොඩිතුවක්කුගේ ‘මම වහිනවා’ පොතත් කිසිදු සොයාබැලීමකින් තොරව ඉවත් කළා. මේ කෘති ද්විත්වය නොතකා හැරීම තමයි ඔය බොරු සම්මාන උළෙලවලින් කරපු බලවත්ම වරද. ඊට පසුව හොඳම පොත තමයි ආරියවංශ රණවීරගේ ‘තවමත් මල්’ කෘතිය. රත්න ශ්‍රීගේ කෘතිය ඉන් පසුව. එයටත් හේතුවක් තියෙනවා. ඒ කෘතියේ විවිධ විශේෂ අවස්ථාවන් හා උත්සව අළලා ලියවුණු නිර්මාණ තිබුණා. මේ එකදු කෘතියකටවත් ළහිරු කිතලගමගේ කෘතියේ තියෙන කවි ළං කරන්නවත් බෑ. ඒ තරම් ලාමක, හරසුන් කවි පමණයි ඔහුගේ කෘතියේ අන්තර්ගත. මම දකින්නේ ළහිරු කිතලගමට ස්වර්ණ පුස්තක සම්මානය ලබාදීම නව නිර්මාණයක් අරගෙන ආපු අයෙකු නොමනා ලෙස පිම්බීමක් හැටියට. ඔහුගේ ඇතැම් කවි බලන්න දෙයක් නැහැ, සම්පූර්ණයෙන්ම රත්න ශ්‍රී පැටියෙක්. මේ වගේ අඳ බාල නිර්මාණ සමාජගත කරමින් ලොකුවට සම්මාන දෙන උදවිය කරන්නේ තමන්ගේ පැවැත්ම රැකගැනීමක් විතරයි. එය නියම සාහිත්‍යයක් පවත්වාගෙන යන්නට යත්න දැරීමක් නෙමෙයි. මේ නිසා වෙන්නේ නිර්මාණකරුවන් අධෛර්යමත් වීම සහ සිල්ලර නිර්මාණ සමාජගත වීමයි. ඒ වගේම මෙවර හොඳම කාව්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණු 'ගිරිමුදුන මගේ නිවහනයි' කෘතියේ ගත යුතු එකම කවියක්වත් නැහැ. ඇත්තටම සම්මාන උළෙල කියලා බොරුවට මවාපාමින් මේ කරන්නේ දුර්වල කෘති හුවාදක්වමින් පාඨකයන් මුළාවට පත්කිරීමයි.

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණු කෙටිකතා කෘතිය දුටුවාම මම කම්පනයට පත්වුණා. ඒ තරම් දුර්වල තත්ත්වයක එය තියෙන්නේ. ඇත්තටම මගේ මතයට අනුව නම් එම සම්මානය ලැබෙන්න තිබුණේ ලියනගේ අමරකීර්තිගේ ‘අළු පැහැති ආරංචි’, රංජිත් ධර්මකීර්තිගේ ‘සුළඟ වැස්ස මුහුද’ යන කෘති ද්වයට හෝ කපිල කුමාර කාලිංගගේ ‘ජායිපූර් සුන්දරී’ කෘතියට. මෙවර මම ලියපු කෘතියත් පාඨකයන් වඩාත් වැළඳගෙන තිබුණා. දුරකථන ඇමතුම් පවා ලබාදෙමින් ඔවුන් පැවසුවා සම්මානය ලැබුණු කෘතියට වඩා නම් එය උසස් කියලා. අපි නිර්මාණයක් කරන්නේ පාඨකයා ගැන හිතලා මිස සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි. කොහොමවුණත් මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණු ‘ගිහින් එන්න කානිවල්’ කෘතියට වඩා සම්මාන නොලැබුණු කෘති ඉහළින් තියෙනවා.

මෙතන තවත් අවධානය යොමුකළ යුතු බරපතල ඛේදවාචකයක් තිබෙනවා. මේ වගේ සිල්ලර නිර්මාණවලට සම්මාන දුන්නාම ඒවා ඉතා හොඳ කෘති කියලා කිසිදු සොයාබැලීමකින් තොරව ජාතික අධ්‍යාපන ආයතනය පාසල් දරුවන්ගේ විෂය නිර්දේශවලට නිර්දේශ කරනවා. මේ නිසා රටේ අනාගත දරු පරපුර දරුණු අගාධයකට වැටෙනවා. මෙහෙම ඛේදවාචකයන්ට අතදෙනවාට වඩා හොඳයි මට හිතෙන්නේ සම්මාන නොදී ඉන්න එක.

ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ මමත් විනිශ්චය මණ්ඩලයේ හිටියා. එතනදී විනිශ්චය මණ්ඩලයේම සිටි ඇතැම් අය ප්‍රවීණ කෙටිකතාකරුවන්ගෙන් ඔවුන්ගේ කෘති තෝරන්න අල්ලස් ඉල්ලුවා. අප සමඟ විනිශ්චය මණ්ඩලයේ සිටි එක් විනිශ්චයකාරියකගේ සුදුසුකම ඇය සතුව මුද්‍රණාලයක් තිබීම පමණයි. එහෙම අය පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විනිශ්චයට තේරුවේ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒ විතරක් නෙවෙයි, සම්මාන උළෙලවලට විනිශ්චය මණ්ඩලය ගත්තේ පුවත්පත් දැන්වීම් පළ කරලා. සමහර විනිශ්චය මණ්ඩල නියෝජනය කරන අය ආචාර්ය, මහාචාර්ය විශාදියෙන් පෙළෙන උදවිය. තවත් අය අතිශය අන්තගාමීන්. මෙවැනි අය අතින් තමයි උජාරුවට කෘති නිර්දේශ වෙන්නේ. මෙවැනි අසාධ්‍ය තත්ත්වයකයි අද්‍යතන සාහිත්‍යය පවතින්නේ. එය සැබවින්ම ඛේදවාචකයක්.

****************

‘අප්පච්චි ඇවිත්’ නවකතාවේ තියෙන්නේ පුද්ගලවාදී යථාර්ථයක් පමණයි

ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා

අද විනිශ්චය මණ්ඩලවල කලාවට කිසිම සම්බන්ධයක් නැති අය වැඩියි. එක සම්මාන උළෙලක ඉන්න අයම කරකවමින් තමයි සියලු සම්මාන උළෙලවලට යොදාගන්නේ. ඒ නිසා ඔය තේරීම්වල කිසිම විශේෂත්වයක් නැහැ. සිද්ධ වෙන්නේ දාම් ඉත්තා මාරු කරනවා වගේ වැඩක්. සමස්තයක් වශයෙන් ගත්විට එකම රසිකත්වයක් හරහා තමයි සම්මානවලට කෘති නිර්දේශ වෙන්නේ. එය විශාල ගැටලුවක්. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත් ‘අප්පච්චි ඇවිත්’ කෘතිය ‘යකඩ සිල්පර’ නවකතාවෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා කොහේවත් කතිකාවක් නැහැ.

අනෙක් කරුණ තමයි අද සම්මාන දෙන්න නවකතාවක් තෝරන විට එහි අන්තර්ගත කතාව පිළිබඳව සලකා බලනවා විනා එහි කොතරම් දුරට නවකතාමය ලක්ෂණ තිබෙනවාද කියලා බලන්නේ නැහැ. එතනයි ගැටලුව තියෙන්නේ. ඇත්තටම ‘අප්පච්චි ඇවිත්’ කෘතියේ සම්පූර්ණ අන්තර්ගතයේ ගතයුතු ලොකු දෙයක් නැහැ. එහි පුද්ගලවාදී යථාර්ථයක් පමණයි ඇතුළත් වෙන්නේ. එය යමක් තහවුරු කිරීමට රචනා කරපු කෘතියක් විතරයි. ඒත් ‘යකඩ සිල්පර’ වලට වඩා ‘අප්පච්චි ඇවිත්’ කෘතියේ නවකතාමය ලක්ෂණ තියෙනවා. කලා රසිකත්වය කියන්නේ ඉතා සංකීර්ණ දෙයක්. ඊට අනුගත වෙමින් නිර්මාණ කරන්න අපහසුයි.

කොහොමවුණත් සම්මාන උළෙල පැවැත්වීමෙන් යහපත් දෙයකුත් වෙනවා. ඒ, මීට දශක දෙකකට පෙර කතා නොවුණු ලෙස අද කවිය, කෙටිකතාව, නවකතාව ආදී ශානරයන් පිළිබඳව කතා වෙනවා. විමසිලිමත් වෙනවා. එය වැඩි උනන්දුවකින් නව නිර්මාණ බිහිවෙන්න ප්‍රබල සාධකයක්. එ්ත් මේ කිසිදු සම්මාන උළෙලකදී යථාර්ථය සපිරි නිර්මාණයකට තැනක් ලැබෙන්නේ නැහැ. එය ඛේදවාචකයක්. ඇත්තටම ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙන් කරන්නේ කුමක් හෝ කෘතියකට සම්මානයක් දීලා පොත් ප්‍රකාශයකයන්ගේ සංගමයේ පිරිස එකතු වෙලා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සතියක් විතර වෙළඳාම් කරන එක. මිනිස්සුත් එතනට ඇවිත් හොඳට කාලා බීලා විනෝද වෙලා යනවා. ඒකට හොඳම උදාහරණයක් තියෙනවා. මෙවර පොත් ප්‍රදර්ශනයේ අපි සංවාද මණ්ඩපයක් නිර්මාණයක් කළා. විවිධ දේ ගැන කතා කළා. එ්ත් අපි බලනකොට එතන වැඩිපුරම වාඩිවෙලා හිටියේ ඒ සංවාදවලට රුචිකත්වයක් ඇති අය නෙවෙයි. ඔවුන් පොත් ප්‍රදර්ශනයේ ඇවිදලා විඩාව නිවාගන්න වාඩිවෙන්න ආපු අය. මෙන්න මෙතනයි බොරු සම්මාන උළෙල හරහා ඇතිවන ඛේදවාචකය තියෙන්නේ.

සාකච්ඡා කළේ [කවීෂ ආරච්චිගේ]

මාතෘකා