අද සිංහල නවකතාවේ තියෙන්නෙ පුද්ගලවාදී ස්වරූපයක්

 ඡායාරූපය:

අද සිංහල නවකතාවේ තියෙන්නෙ පුද්ගලවාදී ස්වරූපයක්

ටෙනිසන් පෙරේරා

නවකතාව, කෙටිකතාව සහ පරිවර්තන සාහිත්‍යය ඇතුළු සාහිත්‍යාංග රැසක නියැළෙමින් මෙරට පාඨක - විචාරක අවධානය දිනාගත් ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා රචනා කළ ‘මහා රාවණ’ නවකතාව මෙයට පෙර පැවති ෆෙයාර්වේ සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර විය. එහෙත් එයින් පසුව ඔහු රචනා කළ ‘සූරිය කන්ද පාමුල‘ නවකතාව නිසි පාඨක - විචාරක අවධානයකට ලක් වූයේ නැත. සරසවි ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත්ව ඇති ඒ නවකතාව පාදක කරගනිමින් ටෙනිසන් පෙරේරා සමඟ අප පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

‘සූරිය කන්ද පාමුල’ නවකතාවට ලැබුණු ප්‍රතිචාර ගැන ඔබ තෘප්තිමත්ද?

මම ‘සූරිය කන්ද පාමුල’ මගේ අනෙක් නවකතා තරම් පාඨක අවධානයට ලක් වුණේ නැහැ. මේ නවකතාවෙන් කතා කරන ප්‍රස්තුතය බොහොම සංකේතාත්මකයි. එහි ගැබ් වෙලා තියෙන්නෙ යථාර්ථය පිළිබඳ ඉතාම දුරස්ථ චිත්‍රයක්. සමහර වෙලාවට ඒ දුරස්ථ චිත්‍රය මතුකර ගැනීමට පාඨකයාට අපහසු වෙන්න ඇති කියලා මට හිතෙනවා. වැඩිහිටියකු සහ ළාබාල දැරියක අතර පවතින ප්‍රේම සම්බන්ධයක් ගැනත් මේ නවකතාවේ තියෙනවා. එය එක්තරා ආකාරයක සෞන්දර්යාත්මක පෙම් සම්බන්ධයක්. ඒ ප්‍රේමය ඉතාම සියුම් විදියට නවකතාව හරහා ඉදිරිපත් කරන්න මම උත්සාහ ගත්තා. එවැනි ප්‍රේමයක් ගැන ලිවීම සඳහා ‘ලොලිටා’ වැනි නවකතා මට සෑහෙන දුරට බලපාන්න ඇති. හැබැයි නවකතාව සඳහා මූලිකවම පාදක කරගත්තේ ඒ ප්‍රේම සම්බන්ධතාව නෙවෙයි. එය ඉදිරිපත් කිරීමේදී අපේ සංස්කෘතිය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න මට සිද්ධ වුණා. ලංකාවේ සංස්කෘතිය තුළ බාල අයට, වයසක අයට පෙම් කරන්න තහනම් වගේ අදහසක් තියෙනවානෙ. එවැනි ප්‍රේමයක් සමාජය විසින් පිළිකුල් කරන තත්ත්වයක් තියෙනවා. ඒත් බටහිර රටවල එහෙම තත්ත්වයක් නැහැ. ප්‍රේමය කියන්නේ වයස අතික්‍රමණය කළ දෙයක්. මගේ මේ නවකතාවේ මූලික තේමාව ඇතුළෙ එවැනි ප්‍රේමයක් ගැන කතා වුණාට එහි යටිපෙළ වශයෙන් අපේ සංස්කෘතික ධාරාව තුළ කතාබහට ලක් විය යුතු කරුණක් තියෙනවා. අපේ සමාජයේ තියෙන ජනවාර්ගික සහජීවනය කියන සංකල්පය ඒ ඔස්සේ සාකච්ඡාවට ලක් කෙරෙනවා.

නවකතාව සඳහා සූරියකන්ද වැනි සංකේතයක් යොදාගත්තේ ඇයි?

සූරියකන්ද කියන්නෙ ලංකාව. ඒ සංකේතයත් එක්කම දේශපාලනයත් නවකතාව තුළට එනවා. මේ කන්ද උඩ ඉන්න මිනිස්සුන්ට අතීතයේ ඉඳලම තියෙන්නෙ හරි අධිපතිවාදී අදහසක්. එක්තරා කාලයකදි මේ රටේ හින්දු දේවාල හදනවා. පසු කාලීනව අපේ අය ඒවා කඩලා බිඳලා විනාශ කරනවා. ඊට පස්සෙ සමාජය සංකීර්ණ වෙනකොට මුස්ලිම් පල්ලි හැදෙනවා. මුස්ලිම් ජනතාව වැඩි වෙනවා. ඔවුන් තමන්ගේ ගෙදර ඉන්න මුස්ලිම් නොවන සේවකයො එක්ක විවිධ සබඳතා ඇති කරගන්නවා. විවිධ ජාතීන් සහ කුල ගෝත්‍ර අතර ගැඹුරු පෙම් සබඳතා ඇති වෙනවා. අපේ ප්‍රධාන බෞද්ධ සිංහල කියන අධිපතිවාදී ආකල්පයෙන් එහාට යනකොට මේ වගේ දේවල්වලට අපි අනුගත වෙනවාද, ඒවා ප්‍රතික්ෂේප කරනවාද කියන ගැටලුව මතු වෙනවා. අන්න ඒ කාරණාව මේ නවකතාවෙන් මම සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි ඒක පාඨකයාට අවබෝධ වුණේ නැහැ.

ඉන් අදහස් වන්නේ නවකතාවේ යටිපෙළ පාඨකයාට දුරවබෝධ බවද?

ලංකාවේ නවකතාවල යටිපෙළ කියන එක ගැන බොහෝ අය ගැඹුරින් කතා කරන්නේ නැහැ. යටිපෙළ තියෙන්නෙ මතුපිට කතාවට යටින් ඇතුළෙ හැංගිලානෙ. අනෙක් අතට දැන් බොහෝ නවකතාවල යටිපෙළක් නැහැ. බොහෝ වෙලාවට කියන්න තියෙන දේවල් මතුපිටින්ම කියනවා. එතකොට ඒක හරි ව්‍යාජ වෙනවා. නැත්නම් ප්‍රචාරකවාදී වෙනවා. එතකොට අපි ප්‍රබන්ධකරණය කියන සංකල්පයෙන් බැහැරට යනවා. අපි නවකතා ලියන්නෙ සංකල්ප ඔස්සේයි. ඒ සංකල්ප අපි සමාජයට ගේන්නෙ අපේ පරිකල්පනය හරහායි. ‘සූරියකන්ද පාමුල’ නවකතාව තුළ තියෙන්නෙත් එවැනි පරිකල්පනයක්. ඒ නවකතාව වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවුණේ තවත් හේතු කිහිපයක් නිසා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ පොත ප්‍රචාරය සඳහා පත්තරවලටවත් යොමු කෙරුණේ නැහැ. වෙනත් වැඩ කටයුතු කිහිපයක් නිසා ඇති වූ කාර්යබහුලත්වයක් හේතුවෙන් මමත් ඒ ගැන වැඩි අවධානයක් යොමු කෙරුවේ නැහැ. ඒ නිසාම ඒ පොතට ලොකු ප්‍රචාරයක් ලැබුණේ නැහැ. හැබැයි ඒකෙන් පොතේ අලෙවියට බලපෑමක් වුණෙත් නැහැ. මගේ පොත් දාහ කොහොමත් විකිණෙනවානෙ. මට වෙනම පාඨක පිරිසක් ඉන්නවා. කවදත් මගේ පොතක් පළ වුණාම මිලදී ගන්න පිරිසක් ඒ අතර ඉන්නවා. ඒ පිරිස කොහොමත් මගේ පොත් ගන්නවා. ඒ නිසා මගේ පොතකට ප්‍රචාරයක් නොලැබුණා කියලා ප්‍රකාශකයාට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. ඒත් මම දෙන්න උත්සාහ කරන පණිවුඩය සමාජයට යන්නේ නැති වුණාම ලේඛකයෙක් වශයෙන් මම ඒ ගැන කනගාටු වෙනවා. ලේඛකයෙක් දෙන දේ සමාජයට යන්නේ නැත්නම් ඒක ලේඛකයාගේත් යම් පරාජයක්. එක්කෝ ඒක ඔහුගේ අසමත්කමක් වෙන්න පුළුවන්. නැත්නම් ඒක සමාජයේ රසිකත්වයේ අසමත්කමක් වෙන්නත් පුළුවන්. ඒකෙ දෙපැත්තක් තියෙනවා. ඒක අප සිතා බැලිය යුතු කරුණක්. ඒ කොහොම වුණත් ‘සූරියකන්ද පාමුල’ මම හුඟක් වින්දනය කරමින් ලියූ නවකතාවක්.

මෑත සිංහල නවකතා පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?

දැන් අපේ නවකතාවේ තියෙන්නෙ හරි පුද්ගලවාදී ස්වරූපයක්. මෑත කාලයේ පළ වූ බොහෝ නවකතා හරි පෞද්ගලිකයි. ‘අප්පච්චි ඇවිත්’ නවකතාව ගත්තත් එතැන තියෙන්නෙ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒ නවකතාව රචනා වෙලා තියෙන්නෙ මානව විද්‍යාත්මක කරුණක් හෙවත් මානව වේදයිතයක් මතයි. සමාජයට ඒක බද්ධ වෙන්නෙ, එහෙමත් නැත්නම් ගැළපෙන්නෙ කොහොමද කියන කාරණාව ගැන හිතන්න වෙනවා. මෑතකදී පළ වුණු නවකතා කිහිපයක්ම මම කියෙව්වා. දැනටත් කියවගෙන යනවා. සුනේත්‍රා රාජකරුණානායකගේ ‘ජයන්’ නවකතාවෙන් ටිකක් ගැඹුරු විදියට මානව හැඟීම්වල තියෙන සංකීර්ණතාව දක්වනවා. ‘ජයන්’ වගේ නවකතාවක් සමාජබද්ධයි. නවකතාවකට මනෝවිශ්ලේෂණ රීතිය අවශ්‍ය නැහැයි කියන එක නෙවෙයි මම මේ කියන්නෙ. ඕනම කෘතියකට සමාජයේ වේදයිතයන් එක්ක කතිකාවක්, කතාබහක් තියෙන්න ඕන. එවැනි කතාබහක් නැත්නම් ඒවා එක්ටැම් ගෙවල්වල හුදෙකලා වන කෘති බවට පත් වෙන්න පුළුවන්.

සේපාලි මායාදුන්නේ ලියූ ‘අත්තානි කණු’ පොතේ තියෙන්නෙත් මහනුවර යුගයේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සහ ඒ වරිග සභාවේ ගත්ත තීන්දු ගැන විස්තර ගොඩක්. මානව ජීව විද්‍යාවේ යම් ප්‍රස්තුතයක් ඒ නවකතාව තුළ තියෙනවා. හැබැයි අපේ කාලය වෙනකොට ඒක ඓතිහාසික සංසිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. ඒ සමාජය දැන් නැහැ. ඒ භාෂාවත් දැන් නැහැ. එහෙම වෙනකොට ඒ වගේ කෘතියක් පාඨකයාගෙන් ටිකක් දුරස්ථ වෙනවා. ප්‍රබන්ධය හරහා පුළුවන් තරම් සියුම් වින්දනයක් පාඨකයාට ලබාදෙන අතරම ඒ කෘතිය සමාජය සමඟ බද්ධ වෙන්නත් ඕන. ‘මහා රාවණ’ නවකතාව ලියනකොටත් මට ඔය හැඟීම ටිකක් දුරට තිබුණා. ‘මහා රාවණ’ නවකතාව සම්මානයට පාත්‍ර වුණේ මිනිස්සුන්ගේ අභ්‍යන්තර වේදයිත පිළිබඳ කතිකාව ඒ තුළ තියෙන නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. සමාජය තුළ ඊට වඩා සංකීර්ණ, සමාජ බද්ධ විශ්ලේෂණයක් ප්‍රබන්ධය හරහා එනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මම මේ දවස්වල අලුතෙන් නවකතාවක් ලියනවා. ඒ නවකතාව මට අවශ්‍ය විදියටම දිගට ලියාගෙන යන්න බැරුව මම දැන් එක්තරා ආකාරයකට එක තැනක හිර වෙලා වගේ තත්ත්වයක ඉන්නවා. මොකද ඔය කියන කාරණා ටික කලා කෘති බවට පත් කරන්න හරි අමාරුයි. මේ මොනවා ලිව්වත් අපි ඒවා කලා කෘති බවට පත් කරන්න එපායැ. නවකතා කියලා පත්තර වාර්තා ලියන්න බැහැනෙ.

ඔබේ ‘මහා රාවණ’ නවකතාවට ෆෙයාර්වේ සම්මානය හිමි වුණා?

ෆෙයාර්වේ සම්මාන උලෙළ සිංහල ලේඛකයින්ට ආගන්තුක සම්මාන උලෙළක්. වසර ගණනාවක් ඉංග්‍රීසි ලේඛකයින් සඳහා වෙන්ව තිබුණු එය මෑතක සිට සිංහල සහ දෙමළ ලේඛකයිනුත් සම්බන්ධ කරගෙන සම්මාන දීමේ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒ අතින් බැලුවාම අපට එහි කිසියම් ආගන්තුකභාවයක් තියෙනවා. එහෙත් ෆෙයාර්වේ සම්මානය මට වැදගත් වන හේතු කාරණා කිහිපයකුත් තියෙනවා. ‘මහා රාවණා’ නවකතාව ලංකාවේ ඊට කලින් පැවැති සම්මාන උත්සවවලදී නිසි ඇගයීමට ලක් වුණේ නැහැ. අදාළ වසරේ රාජ්‍ය සහ ගොඩගේ වැනි සම්මාන උලෙළ සඳහා නිර්දේශ නොවූ එය ස්වර්ණ පුස්තකයේ පොත් දොළහ අතරට ඇවිල්ලා තිබුණා. ඒ කිසි උලෙළකදී මේ කෘතිය නිසි ඇගයීමට ලක් නොවීම සඳහා බලපෑ හේතුත් තිබුණා. එක හේතුවක් තමයි පරිකල්පන ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නය. එය අලුත් පරිකල්පනීය නවකතාවක්. ඇතැම් අයට ඒක ටිකක් නුහුරු වන්නට ඇති. විශේෂයෙන්ම පාඨකයින්ට නෙවෙයි, අපේ විචාරකයින්ට මේ කෘතිය එච්චර ගෝචර නොවන්නට ඇති කියලා මට හිතුණා.

ඒ වගේම එහි අන්තර්ගතය බොහෝ දුරට ගනුදෙනු කරන්නේ යටි පෙළ සමඟයි. ‘මහා රාවණ’ කිව්වට මේක රාවණගේ කතාවක් නෙවෙයි. සමහර අය රාවණ මතවාදයත් එක්ක ඉන්නවානෙ. ඒක ඔළුවේ තියාගෙන මේ නවකතාව කියෙව්වාම හිතෙනවා ඇති මේක රාවණට ගහපු පහරක් කියලා. රාවණ කියන්නෙ ආදි කාලයේ විසුවා යැයි සැලකෙන රජ කෙනෙක් පිළිබඳ මතයක්නෙ. මේ නවකතාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ රාවණ මන්ඩියෙදියි. එතැනදි රාවණට ආරූඩ වෙච්ච මහා රාවණ කියලා පුද්ගලයෙක් ඉන්නවා. හමුදාවේ උසස් නිලධාරියෙක් වන ඔහු විවාහ වූ පුද්ගලයෙක්. ඔහු වැඩ කරන්නෙ මහා රාවණ කියලා හිතාගෙනයි. රාවණ කරපු දේවල් හැම දෙයක්ම ඔහු කරනවා. රාවණා ගැන තියෙන ජනමතික සිද්ධි සම්බන්ධ කරගනිමින් ඒ හා ටිකක් සමාන්තරව යන ආකාරයටයි මම මේ කතාව ගොඩනැඟුවේ. ඒ හරහා ගොඩ නැගෙන කෘතියේ යටිපෙළ තේරුම් ගැනීමේ නොහැකියාව සමහර විට පොත ඇගයීමට ලක් නොවීමට හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා. දෙවැනි කාරණාව මේ කෘතියෙන් රාවණට පහර ගැහුවා කියන මතයේ සමහරු එල්බගෙන සිටීම. ඒ තුළ වෛරයක් ගොඩ නැඟෙනවානෙ.

ඔබ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය හඳුනා නොගෙන එ් ඇසුරේ නිර්මාණ කරනවා කියනවා?

ඉන්ද්‍රජාලික යථාර්ථවාදය හෝ අධියථාර්ථවාදය කියන්නේ මෙන්න මේකයි කියලා තනි ඉරක් ගහලා වෙන් කර පෙන්විය හැකි දෙයක් නැහැ. ඊට ස්ථාවර නිර්වචනයක්වත් කොහෙවත් නැහැ. කියුබාවේ තමයි මුල්ම ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාව පළ වෙන්නෙ. මම අධියථාර්ථවාදය මගේ නිර්මාණවලට මුසු කරගන්නේ පිටරටවල තියෙන ඒවා කොපි කරලා නෙවෙයි. යථාර්ථවාදය සහ අධියථාර්ථවාදය හෝ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය කියන ඒ සියලු දේවල් මම අවශෝෂණය කරගෙනයි ඉන්නෙ. මම මේ නව සාහිත්‍ය රීතීන් වගේම යථාර්ථවාදයත් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කාලයේ සිටම ඇසුරු කරලා හොඳට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගෙන තියෙනවා. පාසල්වලත් අපි ඒවා ඉගෙන ගත්තා. දැනුත් යථාර්ථවාදය ගැන පාසල්වල උගන්වනවා. නමුත් ඒ උගැන්වීම සිදු වන්නේ මතුපිට තලයෙන් ස්පර්ශ කරමින් පමණයි. නවකතාකරුවෙක් වශයෙන් මම ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. මම හිතතනවා නවකතාවෙන් අපි තව එහාට යන්න ඕන කියලා.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා