වාක්චාතුර්යය ඇත්තන්ගේ වාක්කෝෂය

 ඡායාරූපය:

වාක්චාතුර්යය ඇත්තන්ගේ වාක්කෝෂය

 

වචනය යන අරුත් නඟන 'වාග්' යන පදය යෙදෙන සැටි පසුගිය ලිපියෙහි දැක්විණ. මෙය ඇතැම් අවස්ථාවල දී 'වාක්' බවට පත් වෙයි. එසේ වන්නේ එය 'අඝෝෂ ව්‍යංජන ශබ්දයකට' මුලින් යෙදෙන විට ය. ක-ච-ට-ත-ප වැනි අල්පප්‍රාණ ශබ්ද ද ඛ-ඡ-ඨ-ථ- ඵ

වැනි මහාප්‍රාණ ශබ්ද ද ශබ්ද අඝෝෂ ශබ්ද අතුරෙහි ලා සැලකෙයි.

වාක්-කරණය: වාක්කරණය

වචන භාවිත කිරීමෙන් සිදු කෙරෙන සන්නිවේදනය 'වාක්කරණය' යි.

ඇතැම් විට එයින් අදහස් කෙරුණේ යහපත් වචන භාවිතයෙන් සිදු කෙරෙන පිළිසඳර යි.

වාක්-කර්ම: වාක්කර්ම

වචනයෙන් සිදු කෙරෙන කර්මය 'වාක්කර්මය' යි. පව්කම් කිරීමට හෙවත් දුශ්චරිතයෙහි යෙදීමට හේතු වන 'කර්ම' තුනක් ඇතැයි බුදුන් වහන්සේ වදාළහ. 'කාය කර්ම', 'වාක්කර්ම' හා 'මනහ්කර්ම' යනුවෙනි. 'වාක්කර්ම' පැහැදිලි කරන බුදුන් වහන්සේ ''චතුර්විධ වාග්දුශ්චරිත වාක්කර්ම නම් වෙයි'' (අමාවතුරෙහි ගහපතිදමන නම් පරිච්ඡෙදය) යනුවෙන් වදාළහ. එයින් අදහස් කෙරෙන්නේ වචනයෙන් සිදු කර ගන්නා පව් ය.

වාක්-කෝෂය: වාක්කෝෂය

'වාක්කෝෂය' යනු වචන එකතුව යි. ඊට ම 'ශබ්ද කෝෂය' කියාත් කිව හැකි ය. 'භාෂාව' නම් සංසිද්ධිය සමන්විත වන්නේ 'ව්‍යාකරණය' හා 'වාක්කෝෂය' යන සංරචක දෙකෙනි. 'ව්‍යාකරණය' සඳහා 'grammar' යන පදය ද 'වාක්කෝෂය' සඳහා 'vocabulary' හා 'lexicon' යන පද ද ඉංගිරිසියෙහි යෙදේ.

වාක්-චපල ද: වාක්චපල

නොසැලකිල්ලෙන් කතාබහ කරන්නා.

වාක්-චාතුර්යය: වාක්චාතුර්යය

වචනයෙහි චතුරභාවය 'වාක්චාතුර්ය' යි. අනගාරික ධර්මපාල තුමා සහ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා වැන්නෝ වාක්චාතුර්යයෙන් අගතැන්පත් වූවෝ යි. දේශනයක් පවත්වන විට ඔවුන්ගේ මුවට වචන ගලා ආවේ නිරාසාසයෙනි.

වාක්-චාපල්‍යය: වාක්චාපල්‍යය

නිෂ්ඵල හෝ නිසරු කතා බහ.

වාක්-තන්තු: වාක්තන්තු

වචන උච්චාරණය කිරීමට උපකාර යන අවයව. මේවා පිහිටා ඇත්තේ උගුරු බිලයෙහි ය. ඊට ම ස්වර තන්තු යන නම ද යෙදේ.

වාක්-පටුත්වය: වාක්පටුත්වය

වාක්චාතුර්යයෙන් යුක්ත වීම. තොටගමුවේ රාහුල හිමියන්ගේ වාක්පටුත්වය විස්මයාවහ වෙයි.

වාක්-පති: වාක්පති

වචනයට අධිපති වන්නේ 'වාක්පති' යි. එනම් බෘහස්පති නම් ග්‍රහයා යි.

වාක්-පථය: වාක්පථය

'පථය' යනු මාර්ගය යි. වචන නමැති මාර්ගය යනු වචන

ශක්තිය යි.

වාක්-පාටවය: වාක්පාටවය

වාක්චාතුර්යය හැඳින්වීමට 'වාක්පාටවය' යන්නත් යෙදේ.

වාක්-ප්‍රගල්භ: වාක්ප්‍රගල්භ

වචන භාවිතයෙහි සමත් හෝ කතාවෙහි බුහුටි.

වාක්-ප්‍රණාමය: වාක්ප්‍රණාමය

වචනයෙන් කෙරෙන වන්දනය. ගුණ කථනය හෝ ස්තුති කිරීම ආදියෙන් කිසිවෙකු‍ට ගෞරව කිරීම.

වාක්-ප්‍රණිධිය: වාක්ප්‍රණිධිය

වචනයෙන් කෙරෙන ප්‍රාර්ථනාව. බුදු බව ලබන්ට මත්තෙන් කෙරෙන ප්‍රාර්ථනාව.

වාක්-ප්‍රපංචය: වාක්ප්‍රපංචය

වචන වැඩි වැඩියෙන් යෙදෙීමෙන් කෙරෙන දීර්ඝ විස්තරය. 'බුත්සරණ' කතුවරයා බුදු ගුණ වර්ණනයෙහි ලා වාක්ප්‍රපංචයෙන් යුක්ත විය.

වාක්-ප්‍රයෝග: වාක්ප්‍රයෝග

වචන භාවිත කරන රීතිය. වියතුන්ගේ වාක්ප්‍රයෝග හැඳින්වීමට 'ඡේකප්‍රයෝග' යන නම යෙදේ.

වාක්-විෂයාතික්‍රාන්ත: වාක්විෂයාතික්‍රාන්ත

වචනයෙන් කිය නොහැකි තරම්. බුදුන්ගේ ගුණ සමුදාය වාක්විෂයාතික්‍රාන්ත යැයි බෞද්ධයෝ සලකති.

වාක්-සන්දර්භය: වාක්සන්දර්භය

භාෂණයෙහි දී මෙන් ම ලේඛන‍යෙහි දී ද උචිත පද භාවිතය.

වාක්-සම්ප්‍රදාය: වාක්සම්ප්‍රදාය

භාෂාවක ව්‍යවහාරය. විශේෂ අර්ථයක් දෙනු පිණිස යෙදෙන සාම්ප්‍රදායික ව්‍යවහාරය.

ම-යන්න වැනි නාසික්‍ය ශබ්දයකට පූර්වයෙන් යෙදෙන විට එය 'වාං' බවට පත් වෙයි.

වාං-මය: වාංමය

වචනයෙන් උපන් හෝ වචනයෙන් සමන්විත වූ හෝ වචනය හා සම්බන්ධ දෙය 'වාංමය' යනුවෙන් හැඳින්වෙයි.

වාං-මාලාව: වාංමාලාව

වචන සමූහය 'වාංමාලාව' යි. ශබ්දකෝෂ හෝ අකාරාදි හැඳින්වීම පිණිස ද 'වාංමාලා' යන පදය යෙදිය හැකි ය.

මාතෘකා