ජන්ම සියවසට සාලින්ජර්ගේ කෘති නැවත එයි

 ඡායාරූපය:

ජන්ම සියවසට සාලින්ජර්ගේ කෘති නැවත එයි

ජන්ම සියවසට සාලින්ජර්ගේ කෘති නැවත එයි

ලොව පුරා විශාල පාඨක පිරිසකගේ අවධානය දිනූ ‘ද කැචර් ඉන් ද රයි’ (The Catcher in the Rye) නවකතාව ඇතුළු කෘතීන් රැසක් රචනා කළ ඇමෙරිකානු ලේඛක ජේ.ඩී. සැලින්ජර්ගේ ජන්ම ශත සංවත්සරය නිමිති කර ගනිමින් ඔහුගේ කෘති කිහිපයක නව මුද්‍රණ නිකුත් කිරීමට ලිට්ල් බ්‍රවුන් නමැති ප්‍රකාශන සමාගම කටයුතු කරමින් සිටිනවා. සැලින්ජර් උපත ලබා ඇත්තේ 1919 ජනවාරි 01 වැනිදා වන බැවින් ඔහුගේ ජන්ම ශත සංවත්සරය යෙදෙන්නේ 2019 වසරේදී වුවද, ඒ සඳහා පෙර සූදානමක් ලෙස එළඹෙන නොවැම්බර් මාසයේදී ඔහුගේ ජනප්‍රියතම නවකතාව වන ‘ද කැචර් ඉන් ද රයි’ සමඟ ‘නයින් ස්ටෝරීස්’ (Nine Stories) නමැති කෙටිකතා එකතුව, කෙටි නවකතාවක් සහ කෙටිකතාවක් ඇතුළත් වන ‘ෆ්‍රැනී ඇන්ඩ් සූයි’ (Franny and Zooey) සහ කෙටි නවකතා දෙකක් ඇතුළත් වන ‘රේස් හයි ද රූෆ් බීම්, කාපෙන්ටර්ස් ඇන්ඩ් සේමර්: ඇන් ඉන්ට්‍රොඩක්ෂන්’ (Raise High the Roof Beam, Carpenters and Seymour: An Introduction) කෘතිය ප්‍රකාශයට පත් වීමට නියමිතයි. ප්‍රසිද්ධියට කිසිසේත්ම කැමැත්තක් නොදැක්වූ ලේඛකයෙකු වූ සැලින්ජර් 2010 වසර තෙක් ජීවත්ව සිටි බවක්වත් කිසිවෙකු දන්නේ නෑ.

ස්ටීව් ජොබ්ස්: ලෝකෙට පරකාසෙලු, ගෙදරට මරගාතෙලු

ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ වැඩිමහල් දියණිය වන ලීසා බ්‍රෙනන්-ජොබ්ස් රචනා කළ මතක සටහන් කෘතියක් පසුගියදා ප්‍රකාශයට පත් වුණා. සිය පියා විසින් කුඩා කාලයේදී තමන් ඇමතීමට යොදාගන්නා ලද සුරතල් නාමය යොදා ගනිමින් ‘ස්මෝල් ෆ්‍රයි’ (Small Fry) යන නමින් පළ කර ඇති මේ කෘතියට ස්ටීව් ජොබ් පිළිබඳ අප්‍රකට තොරතුරු රැසක් ඇතුළත්ව තිබෙනවා. සාර්ථක පුද්ගලයෙකු ලෙස ලොව පුරාම ප්‍රසිද්ධියට පත් වුවත් ඔහු අසාර්ථක විවාහ ජීවිතයක් ගත කළ බවයි මේ කෘතියට ඇතුළත් තොරතුරුවලින් කියැවෙන්නේ. ලීසා පවසන ආකාරයට ඔහු සිය බිරිඳ සහ දරුවන් ගැන සොයා නොබලමින් වගකීම් විරහිතව කටයුතු කළ පියෙක්. තමන් තුන් හැවිරිදි දැරියකව සිටියදී පවුලේ නඩත්තු වියදම් ගෙවීම ඔහු පැහැර හැර ඇති බවයි ඇය පවසන්නේ.

ඇයගේ පියා ඔහු නොවන බවත්, ඇය වෙනුවෙන් වියදම් කිරීමට තමන් සූදානම් නැති බවත් ඔහු පවසා තිබෙනවා. පසුව දැරියගේ නඩත්තු මුදල් ඉල්ලා මවට නඩු මඟට බැසීමටත් සිදු වූ බව ලීසා මේ කෘතියේ සඳහන් කර තිබෙනවා. ඒ නඩුවේදීත්, ලීසාගේ පියා තමන් නොවන බව කියා සිටි ඔහු තමා දරුවන් සෑදීමේ හැකියාව රහිත වඳ පුරුෂයෙකු යැයි පවසමින් සාක්ෂි ප්‍රකාශයක් පවා ඉදිරිපත් කර තිබෙනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සිදු කළ ඩී.එන්.ඒ. පරීක්ෂාවකින් පෙනී ගොස් ඇත්තේ ලීසාගේ පියා ඔහු වන බවයි. ඒ නිසා මසකට ඇමරිකානු ඩොලර් 500ක් සිය බිරිඳ හෙවත් ලීසාගේ මවට ගෙවන මෙන් අධිකරණය මඟින් ඔහුට නියෝග කර තිබුණු බවත් ලීසා වැඩිදුරටත් සඳහන් කරනවා.

මෝදි ලියූ පොතක් ගාන්ධිගේ නවජීවන පදනමෙන් එයි

බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ඉන්දියා සටන සවිමත් කිරීම සඳහා වූ ප්‍රකාශන පළ කිරීම අරමුණු කරගනිමින් මහත්මා ගාන්ධි විසින් වසර සියයකට පෙර පිහිටුවන ලද නවජීවන් භාරකාර පදනම මඟින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පොතක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙයට පෙර ‘එග්සෑම් වොරියර්ස්’ (Exam Warriors) නමින් ඉංග්‍රීසි බසින් පළ වූ කෘතියේ ගුජරාටි පරිවර්තනය වන මේ කෘතිය සඳහා දැනටමත් ඉතා ඉහළ ඉල්ලුමක් ලබමින් වේගයෙන් අලෙවි වෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ කෘතිය පසුගිය පෙබරවාරි මාසයේදී පෙන්ගුවින් ප්‍රකාශන සමාගම විසින් ඉංග්‍රීසි බසින් පළ කිරීමෙන් පසුව එය විශාල පිරිසකගේ අවධානයට ලක් වුණා. එය මේ වන විට උර්දු ඇතුළු භාෂා 15කට පමණ පරිවර්තනය වී තිබෙනවා. මෙයට පෙර ජවහර්ලාල් නේරු සහ මොරාර්ජි දේසායි යන අගමැතිවරුන්ගේ කෘතීන්ද නවජීවන් පදනම මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ පදනම මඟින් නේරුගේ කෘති හතරක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එයින් තුනක් ගුජරාටි බසින්ද, එකක් හින්දි බසින්ද පළ වී තිබෙනවා. නේරු විසින් ඉන්දිරා ගාන්ධිට ලියන ලද ලිපි එකතුවේ ගුජරාටි පරිවර්තනයක්ද නවජීවන් පදනම මඟින් ළඟදීම පළ කිරීමට නියමිතයි.

මාතෘකා