දහනායකට කොකාපෙන්නා හෙළ බස වනසන ජ’පුර සරසවියේ සිංහල අංශය : මහාචාර්ය රත්නසිරි අරංගලට විවෘත සංදේශයක්

 ඡායාරූපය:

දහනායකට කොකාපෙන්නා හෙළ බස වනසන ජ’පුර සරසවියේ සිංහල අංශය : මහාචාර්ය රත්නසිරි අරංගලට විවෘත සංදේශයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශය ඉස්සර නම් මහා පඬිවරුන් වැඩ සිටි තැනකි. වැලිවිටියේ සෝරත නාහිමි, කළුකොඳයාවේ ප්‍රඥාශේකර නාහිමි ආදී කොට විමල් ජී. බලගල්ලේ, ඒ. වී. සුරවීර, විමල විජේසූරිය, රත්න විජේතුංග, ඇම්. ඩබ්ලියු. විමල් විජේරත්න, තිස්ස කාරියවසම් ආදීන් දක්වා මෙම වියත් පඬිවර පරපුර විහිදෙයි. එහි වර්තමාන අංශ ප්‍රධානවරයා මහාචාර්ය රත්නසිරි අරංගලයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ලොකු පුටුවට අමතරව කලක පටන් සිංහල භාෂා විෂය නිර්දේශ කමිටු, පෙළ පොත් කමිටු ආදී භාෂා සභා ගණනාවක ලොකු පුටු ඔහුට හිමිව තිබේ. එම සියල්ලේදීම ඔහු හැසිරෙන්නේ සිංහල භාෂාවේ මුරදේවතාවකු හැටියටය. කාගේ හරි භාෂා දෝෂයක් දුටු තැන දණ්ඩෙන් පහර කෑ නාගයකු සේ කිපෙන ඔහු බස් දොස් කළවුන්ට පන්න පන්නා වාග්ප්‍රහාර දෙයි. බාහිර පුද්ගලයන්ගේ බස් දොස් හොඳින් පෙනෙන ඔහුගේ ඇහැට තමාගේ වහල යට ඉන්නා මිතුරු රොත්ත සිදු කරන මහා භාෂා සංහාරය පෙනෙන්නේ නැත. මෙම ලිපිය දැකීමෙන්වත් ඔහුගේ ඇස් ඇරෙනු ඇතැයි සිතමු.

කිවුලේගෙදර නාරද හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර සිංහල අංශයේ මහාචාර්යවරයෙකි. උන් වහන්සේ 1997දී පළ කළ ‘පොතින් නිරූපණය වන බුදු හාමුදුරුවෝ’ නමැති පොතත් 2008දී පළ කළ ‘අලංකාර සියය’ නම් පොතත් සැලකිය යුතු භාෂා දෝෂ ගණනාවකින් යුක්තය. ‘අපහසුතාවයන්ට, දක්ෂතාවය, සම්බන්ධතාවයෙහි, කුශලතාවයෙන්, නිශ්ශබ්දතාවය’ වැනි කිලිටි පද උන් වහන්සේ කිසි හිරියක් කිතියක් නැතිව මුලින් කී පොතෙහි යොදති.

භාවාර්ථයේ ‘-තා’ යන ප්‍රත්‍යයෙන් පරව ඒකවචනාර්ථ ‘-අ’ ප්‍රත්‍යය දෙවරක් ගැන්වීමෙන් මෙම කිලිටි පද ඇති වී තිබේ. ‘අපහසුතාවන්ට, දක්ෂතාව, සම්බන්ධතාවෙහි, කුශලතාවෙන්, නිශ්ශබ්දතාව’ යනුවෙන් මේවා නිවැරදි විය යුතුය. දෙවෙනියට කී පොතෙහි ඇති ‘ලැබුනේ, ඕනතරම්, නිධන්ගත, කොහොමත්ම, ශාස්ත්‍රවන්තයින්’ වැනි සාවද්‍ය ප්‍රයෝගත් ග්‍රාම්‍ය ප්‍රයෝගත් ගැන සවිස්තරව සාකච්ඡා කළ යුතු නැත. ‘ඉතාම කිට්ටු සමීප සම්බන්ධය’ වැනි අව්‍යක්ත පුනරුක්ත දෝෂ ද උන් වහන්සේගේ බසෙහි කෙතෙකුත් වෙයි.

කර්මකාරක-කර්තෘකාරක වාක්‍ය යෝජන විධි පටලාගත් තැන් ගණනාවක් ද මෙම ස්වාමීන් වහන්සේගේ මුලින් කී පොතෙහි දක්නට හැකිය. ‘සුනක්ඛත්ත පතුරුවා හරින ලද දුර්මත බැහැර කිරීම පිණිස; බුදුරජාණන් වහන්සේ සත්ත්වයා වෙත පැවති මෛත්‍රීසහගත චේතනාව තම ශ්‍රාවකයන් වෙත විග්‍රහ කොට දක්වන ලදි; පූජාවලිය කිඹුල්වත් නුවර කළ යමක ප්‍රාතිහාර්යය හා ගණ්ඩබ්බ වෘක්ෂ මූලයෙහි කළ පෙළහැර දෙකම වර්ණනා කරනු ලබයි’ යනු ඉන් කිහිපයකි. දෙවෙනියට කී පොතෙහි ද ‘භාමහ සිය කාව්‍යාලංකාර ග්‍රන්ථයේ ද අලංකාර යන්නෙහි මෙම පෘථූලාර්ථය අවධාරණය කෙරේ’ වැනි එම මාදිලියේ ම කිලිටි වැකි සුලබය.

ආඛ්‍යාත සාධනයේදී ලද, ලබ යන උපකාරක ධාතු යෙදිය යුත්තේ අනුක්ත කර්තෘට පරව ‘විසින්’ නිපාතය යොදා බව කතු හිමියන් නොදන්නා පාටයි. අවසානයට දැක්වූ වැකියෙහි එන ‘පෘථූලාර්ථය’ යන්නට දීර්ඝ ථූකාරයක් එන්නේ කොයි භාෂා රීතියෙන්ද? උක්තාඛ්‍යාත සම්බන්ධයේ මූලික රීති උල්ලංඝනය කළ ‘දඹරන් පැහැ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට පිවිසියේ ය; බුදුරජාණන් වහන්සේ... අතිමානුෂික පුද්ගලයකු බවට පත් විය’ වැනි යෙදුම්ද මුලින් කී පොතෙහි වෙයි. ‘එම ආචාර්යවරු හඳුන්වාදුන් අලංකාර’ වැනි උක්තානුක්ත භේදය ඉක්මවූ තැන් දෙවෙනියට කී පොතෙහිද වෙයි. මේවා වැරදි බව හරියට ඉගෙනගත් පාසල් සිසුවෝද දනිති.

කිවුලේගෙදර නාරද හිමියෝ විහිළු සැපයීමටද මහත් හපනෙක් වෙති. 2017දී පළ වූ ‘රන්රසු’ ශාස්ත්‍රීය සංග්‍රහයට උන් වහන්සේ සැපයූ ‘තිසර හා මයූර සන්දේශවල වැනුණු උපුල්වන් දෙවිඳු’ නම් ලිපියෙහි ආරම්භක වාක්‍යය මෙසේය: ‘තිසරය දෙවිනුවර සිට දතිගම්පුරය දක්වාත් මයූරය ගඟසිරිපුර සිට දෙවිනුවර දක්වාත් පණිවුඩ ගෙන යන ග්‍රන්ථ දෙකකි.’ සංදේශ කාව්‍ය පිළිබඳව මේ තරම් ගොබ්බ නිර්වචනයක් තවත් තිබිය හැකිද? ග්‍රන්ථවලට පණිවුඩ ගෙන යන්නට පිළිවන්ද? මෙම මහාචාර්ය ස්වාමීන් වහන්සේට අනුව ගත් කල සන්දේශ කාව්‍ය යනු පණිවිඩ ගෙන යාමට හැකි මැජික් පොත් විශේෂයකි.

නාවලපිටියේ අනුරාධා සුධම්මිකා භික්ෂුණිය ශ්‍රී ජයවර්ධනපුර සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. උන් වහන්සේගේ ලිපිලේඛනවල බස් දොස් තිබෙන තරම කියා නිමවාගත නොහැකිය. 2016 දී පළ කෙරුණු “භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය: සංසන්දනාත්මක අධ්‍යයනයක්” නමැති පොත භාෂා දෝෂ සාගරයකි. ‘ආචාර්යවරියක වන තෙක් ම; ආචාර්යවරු හෙළ බසට පරිවර්තනය කළ බව; කිසිවෙක් සිදු කර නැති හෙයිනි; ඕ ප්‍රතික්ෂේප කළ ද’ ආදී මූලික උක්තානුක්ත භේදය පවා උල්ලංඝනය කොට ගැළපූ වාක්‍ය සිය ගණනක් එහි වේ. අක්ෂර වින්‍යාස දෝෂ ද එහි නිමක් නැත. ‘භබළවන්නට, දෙපල, මූලාශ්‍ර, උධෘත, නිෂ්චිත, විශිෂ්ඨ, වාර්ථාවන්ට, ස්ථරය, සෘග් වේදය, කුතුහලයක්, සුලුමව, නැන්දනිය, එළඹුනා’ ආදිය ද

පොතෙහි මුල් පරිච්ඡේදයේ අවසානය දක්වා එලෙස අහඹු ලෙස දුටු අක්ෂර වින්‍යාස දෝෂ කිහිපයකි. උක්තාඛ්‍යාත සම්බන්ධය ඉක්මවූ තැන් ද මෙතෙකයි කිව නොහැකි ය. ‘මා එක් අනුරාධාවකි, කුලදැරියන් සිය දෙනෙකු පැවිදි කෙරිණි, ඉන්ද්‍රා විසින් අවධාරණය කළා ය, කාන්තාවන් ද දක්නට ලැබේ, මිනිසුන් පෙන්වනු ලැබූහ, ඔවුහු වෙන් වූයේ නැත, බුදුහු දකින්නට ඇත, නායකයින් ධර්මය දේශනා කරති’ යනු ඔහේ පොත පෙරළාගෙන යන විට දුටු එබඳු ව්‍යාකරණ විරෝධතා රාශියෙන් කිහිපයකි.

විහිළු කිරීමෙහිලා මෙම මෙහෙණින් වහන්සේගේ හපන්කම ඉහත කී ස්වාමීන් වහන්සේගේ හපන්කම පරදයි. ‘පාදක සටහන් අධෝලිපි වශයෙන් ඒ ඒ පිටුවල පහළින් සටහන් කර ඇත’ යනු එක් අගනා විහිළුවකි. මේ කියන හැටියට නම් පාදක සටහන් හා අධෝලිපි දෙකක් සේ සලකන්නට සිදු වේ. ඔය කුමක් වුවද “ඒ ඒ පිටුවල පහළින් සටහන් කර ඇත”යිද කියා තිබේ. පාදක සටහන් වේවා, අධෝලිපි වේවා පිටුවල පහළින් මිස ඉහළින් ඒවා යෙදීමේ සම්ප්‍රදායයකුත් තිබේ ද? අරංගල මහාචාර්යතුමනි, ශ්‍රී ජයවර්ධනපුර සරසවිය පැත්තේ එබඳු සම්ප්‍රදායකුත් තිබේද? ‘පාදක සටහන්’ හෝ ‘අධෝලිපි’ යනුවෙන් කී විට ඒවා යෙදෙන්නේ පහළින් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ‘කාන්තා ධර්මදූතවරියන්’ යනුද මේ භික්ෂුණීන් වහන්සේ ගේ යෙදුමකි.

‘කාන්තා ධර්මදූතවරියෝ’ සිටිත් නම් ‘පිරිමි ධර්මදූතවරියෝ’ද සිටිය යුත්තෝය.‘මෙහෙණියක ලෙස මෙන්ම භික්ෂුණියක ලෙස’ යන්නක් දක්නට ලැබීමෙන් ඔළුව කොලොප්පන් විය. භික්ෂුණිය හා මෙහෙණිය යනු දෙන්නෙක්ද? එසේ නම් ඒ කවර ශාසනික සම්ප්‍රදායකට අනුව දැයි සොයාබැලිය යුතුය. 2017දී ‘රන්රසු’ නම් ශාස්ත්‍රීය සංග්‍රහයකට ‘රන්රසු’ යන මාතෘකාවෙන්ම මෙම භික්ෂුණීන් වහන්සේ සැපයූ ලිපියක මෙසේද සඳහන් වේ: “ධර්මප්‍රදීපිකාව පොළොන්නරු යුගයේ දී ගුරුළුගෝමී නම් අන්වර්ථ නාමයකින් හඳුන්වා ගත් පඬිවරයකුගේ ලේඛනයකි”. ගුරුළුගෝමි යනු අන්වර්ථ නාමයක් නො වේ; ආරූඪ නාමයකි! මෙහි ‘පොළොන්නරුව’ යනුවෙන් මූර්ධජ ළයන්නක් යොදා ලියා ඇති සැටිත් වැරදිය.

කුසුමලතා ලංකාමුල්ල යනු ශ්‍රී ජයවර්ධනපුර සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. ඇයගේ ලිපි ලේඛනවල නන් විද භාෂා දෝෂ පමණක් නොව විකාර අර්ථ නිරූපණද බොහෝ තිබේ. 2002දී ඇය ලියූ ‘නූතන සිංහල සාහිත්‍යයේ පුරෝගාමියා: ජේම්ස් ද අල්විස්’ නම් පොතෙහි සාවද්‍ය පද සාධන රාශියකි. ‘සාහිත්‍යයික, සාහිත්‍යයමය, සංස්කෘතිකමය’ වැනි විකල සංස්කෘත ඇගේ පොතෙහි කිහිප තැනකම යෙදී තිබේ. ‘සාහිත්‍ය’ යන්නට ‘-ඉක’ ප්‍රත්‍යය යෙදූ විට නිපදෙන්නේ ‘සාහිත්යික’ යන්න පමණි. ‘-මය’ යන ප්‍රත්‍යය ‘එයින් සදන ලද’ යන අරුත දෙයි. ඒ අනුව ‘සාහිත්‍යයමය’ කී විට අර්ථය වන්නේ ‘සාහිත්‍යයෙන් සාදන ලද’ යන්න යි. සාහිත්‍යය යනුත් දැව, ලෝහ, මැටි, සිමෙන්ති වැනි අමුද්‍රව්‍යයක් නම් සාහිත්‍යමය නිර්මිතයන්ද තිබිය හැකිය.

‘සංස්කෘති’ යන නාමයට සම්බන්ධ ආදී අර්ථ දීමට‘-ක’ ප්‍රත්‍යය විතරක් යෙදීම ප්‍රමාණවත්ය. ඊට පරව ‘-මය’ ප්‍රත්‍යයද යෙදීමෙන් ඇති වන ‘සංස්කෘතිකමය’ යන්නෙහි ඇත්තේ අනවශ්‍ය පුනරුක්තියකි. තවද ‘නිසාවෙන් සමාජයීය, සාමාජීය’ වැනි අව්‍යක්ත පද සාධනද එම පොතෙහි බොහෝ ඇත. ඇගේ ලිපියේ උක්තාඛ්‍යාත සම්බන්ධය කෙලෙසූ තැන්ද ගණනාවකි. ‘විද්වතුන් යට කී දේශපාලන වෙනස් වීම්වලට සංවේදී වූවෝ වෙති; මහ මුදලි ලුවී ද සොයිසා කරන ලද අත්පිටපත් සමීක්ෂණයේ’ යනු අහඹු ලෙස සටහන් කරගත් එබඳු තැන් දෙකකි. දෙවෙනි වාක්‍යයේ ඇති ‘විසින්’ නිපාතය හළා කර්මකාරක යෙදීමේ ප්‍රයෝගය නම් ඇය උක්ත මහාචාර්ය ස්වාමීන් වහන්සේගෙන් උගත් එකක් විය යුතුය.

ජනකවිවලට අපූරු අර්ථ නිරූපණ සැපයීමේ හපන් කමක්ද මේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමියට තිබේ. 2012දී පළ වූ ‘මුදිතා’ නම් ලිපි සංග්‍රහයකට කුසුමලතා ලංකාමුල්ල සැපයූ ‘ගැමි ජනවහරින් උගත හැකි සංස්කෘතික සහජීවනය’ නම් ලිපියෙහි එබන්දක් ඇත. ‘ඌව පළාතේ සමහර ප්‍රදේශවල ගෙවල්වල ඇති කරන බල්ලාට ඇතැමුන් ඇමතීමට පුරුදු වී සිටින්නේ බාල මස්සිනා යනුවෙනි’ යි කියන ඈ අනතුරුව ‘බාල මස්සිනා පස්සෙන් එන හින්දා - යන්නම් අයියණ්ඩි ගමරට දුර හින්දා’ යන ප්‍රකට කවි දෙපදයට අපූරු අර්ථ නිරූපණයක් දෙයි.

ඉහත උපුටා පෑ වැකියේ ‘ගෙවල්වල’ යන්නෙහි ‘-වල්’ ප්‍රත්‍යය ද්විත්ව කොට යෙදීමේ සාවද්‍යතාව පසක තබා මෙම අර්ථ නිරූපණය විමසිය යුතුය. ඇය කියන හැටියට මේ ‘බාල මස්සිනා’ සැමියාගේ බාල සහෝදරයා නොව ‘ගෙදර ආරක්ෂාවට ඇති කරන බල්ලා’ විය හැකිය. මේ අභබ්බ අර්ථ නිරූපණය පිළිගත හොත් කවියේ සමස්ත අර්ථය සුනේසුන් වෙයි. කුසුමලතා ලංකාමුල්ල හිතන හැටියට, ලිංගික සම්භෝගය පිණිස ආරාධනා කළ නන්නාඳුනන පුරුෂයෙකු බිය වැද්දීම සඳහා පස්සෙන් එන බලු කුක්කෙකු ගැන කීමට තරම් සිංහල ගැමි කාන්තාව බුද්ධිහීනය; එවැනි බුද්ධිහීන බිය වැද්දීමකින් පසු බාන්නට තරම් ඒ අම්බලමේ සිටි සල්ලාල තරුණයාද මන්දමානසිකය. අලුත් අලුත් අර්ථ නිරූපණ පළ කිරීම හොඳය. එහෙත් ඒවා අඩුම තරමේ තර්ක ගෝචර විය යුතුය. තවත් වරක් ‘රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ’ යන කවි පදයේ අන්වය හරියට පෙළගස්වාගත නොහැකිව ‘වෙලබත’ යන්නක් ගෙන ඊටද මෙම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමිය අපූරු අර්ථ නිරූපණයක් දී තිබිණි. නොදක්වන්නේ ලිපිය දිග්ගැස්සෙන නිසාය. මහාචාර්ය අරංගලද මේවා නුදුටුවන්ව සිටින්නේ ඔහුද මෙම විකාර පිළිගන්නා නිසා විය යුතුය.

හංසමාලා රිටිගහපොළත් ශ්‍රී ජයවර්ධනපුර සිංහල අංශයේ තවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. ඇය 2010දී පළ කළ ‘කොළඹ යුගයේ සිංහල කවිය සහ සමාජ ස්තරායනය’ පොතෙහිත් 2014දී පළ කළ ‘සිංහල දෘෂ්ටිගෝචර කාව්‍ය විමර්ශන’ නම් පොතෙහිත් සැලකිය යුතු භාෂා දෝෂ ගණනක් තිබේ. මුලින් කී පොතෙහි කවරයේ ‘ස්තරායනය’ යනුවෙන් දන්තජ නකාරයක් සහිතව යොදා ඇති වචනය පොත ඇතුළේ හැම තැනම හමු වන්නේ ‘ස්තරායණය’ යනුවෙනි. කතුවරිය මේ දෙකෙන් කුමක් නිවැරදි යයි සිතනවා විය හැකිද? පොතේ සිව්වෙනි පරිච්ඡේදයේ ‘වෛශ්‍යා වෘත්තියක්’ ගැන සඳහන් කරමින් ඇය කියන්නේ ගණිකාවන් ගැනයි. ගණිකාවෝ නම් ‘වේශ්‍යාවෝ’ය. ‘වෛශ්‍යාවෝ’ යනු පුරාණ භාරතයේ පැවති ‘වෛශ්‍ය’ කුලයේ කාන්තාවෝය. ඒ අය ගණිකාවෝ නොවූහ.

‘ආදී, පොළොන්නරු, අභිබවන, වකවානුව, පංතිය, ප්‍රගමනයට, ප්‍රස්තූතය’ ආදී සාවද්‍ය පද එම පොතෙහි තව බොහෝ වෙයි. දෙවෙනියට කී පොත වාක්‍ය යෝජන දෝෂවලින් අතිශය ගහන වූවකි. ‘...හිමියන් ද ප්‍රගමනයට දායක වූ කවියෙකි; ...සිත්තරුන් විවිධ පැති ඔස්සේ .... ඉදිරිපත් කරයි; ඔවුන් මෙම කාව්‍ය සම්ප්‍රදායට මූලික අඩිතාලම දැමූ අය ලෙස සැලකේ’ ආදී වශයෙන් උක්තාඛ්‍යාත සම්බන්ධයේ රීති ඉක්මවූ තැන් මෙම පොත උඩින් පල්ලෙන් පෙරළාගෙන ගියත් හමුවේ.

තවද ‘එතුමාණෝ මෙන් ම; කිසිදු රචකයෙක් හෝ උත්සාහ දැරුවේ නැත; සංයුක්ත කවියේ පුරෝගාමී කවියෙක් ලෙස; කාව්‍යකරණයේ යෙදුණු කවියෙක් ලෙස’ ආදී වසයෙන් උක්තානුක්ත භේදය පටලා ගෙන අනුක්තව තැබිය යුතු පද රාශියක් උක්තව තැබූ හඩු වැකි ද එමටය. මේ එකිනෙක නිවැරදි විය යුතු ආකාරය දක්වන්නට ගොස් ලිපිය තවත් දිග්ගැස්සිය යුතු නැත. මේවා නිවැරදි විය යුතු ආකාරය දැනගත යුතු අය හරි හැටි සිංහල උගත් උසස් පෙළ මට්ටමේ පාසල් ශිෂ්‍යයකුගෙන් විමසීම ප්‍රමාණවත්ය.

සුනේත්‍රා කංකානම්ගේ නමැත්තියත් සුනිල් දෑරංගල නමැත්තාත් ශ්‍රී ජයවර්ධනපුර සිංහල අංශයේ තවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු දෙදෙනෙකි. මුලින් කී තැනැත්තිය 2016දී පළ කළ ‘කැත්රින් හාන්සේන්ගේ පාර්සි නාට්‍ය කලාව’ නම් පරිවතන කෘතියේද ‘ඇය අත දැල්වෙන පහනක් ද සහිතව සිය පියා සමග ඔහු ඉදිරියේ පෙනී සිටියහ; රුස්තම් නීතිඥ කන්තෝරුවක පෙරකදොරුවෙක් වශයෙන් සේවය කළේය; කවස්ජි බතාඋ පැරණි නළුවෝ කිහිප දෙනෙක් ද එක් කරගනිමින් කබ්රාගේ නාට්‍යයක් රංග ගත කළහ’ ආදී උක්තාඛ්‍යාත සම්බන්ධයේ මූලික රීති පවා ඉතා සාහසික ලෙස උල්ලංඝනය කළ වාක්‍ය බහුලය. එහි තිබූ අක්ෂර වින්‍යාස දෝෂ සඳහන් නොකරන්නේ මෙම ලිපිය දැනටමත් බොහෝ දික් වී ඇති නිසාය.

දෙවෙනියට කී තැනැත්තා බරසාර විෂයයන් ගැන ලියන්නෙකි. 2017දී පළ වූ ‘රන්රසු ශාස්ත්‍රීය සංග්‍රහයට’ ඔහු සැපයූ ‘සන්නිවේදන විද්‍යාවේ බහුවෛෂයික පදනම හා එහි ඥාන විමංසාව සඳහා මානවවංශ ක්‍රමවේදයෙහි යෝග්‍යතාව පිළිබඳ කෙටි හැඳින්වීමක්’ නම් ලිපිය කිහිප විටක් කියවූ නමුත් තවමත් අපට තේරෙන්නේ නැත. ඒ එක් අතකට ඔහු කථා කරන විෂය සංකල්පවල සංකීර්ණතාව නිසාය. අනෙක් අතට ඔහුගේ භාෂාවේ ව්‍යාකුලතාව නිසාය.

‘තුළ’ නිපාතයේ අවභාවිතය ඔහුගේ භාෂාවේ ලක්ෂණයකි. ‘දර්ශනවාදය තුළ, දේශන මාලාව තුළින්, සන්නිවේදන විද්‍යාව තුළින්’ වැනි යෙදුම් සෑම පිටුවකටම දෙකතුනක්වත් සොයා ගත හැකිය. මේ අනුව දර්ශනවාදය, දේශන මාලාව, සන්නිවේදන විද්‍යාව යනු ඇතුළෙන් ගමන් කළ හැකි ලොකු උමං ජාතියක් විය යුතුය. මෙම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා ස්වකීය පාණ්ඩිත්‍යය පුම්බාපෑම සඳහා ගොඩගසා ඇති සංස්කෘත වචන අයින් කළ විට ලිපියෙහි ගත යුත්තක් ඉතිරි වන බවක් අපට නොපෙනේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශ ප්‍රධාන රත්නසිරි අරංගල මහාචාර්යතුමනි, ඔබේ වහල යට ඔබේ වර්ගයා සිදු කරන මෙම මහා භාෂා සංහාරය ඔබට මෙතෙක් කල් පෙනුණේම නැද්ද? ඔබට පෙනෙන්නේ බාහිර පුද්ගලයන්ගේ භාෂා දෝෂ විතරද? හැකි නම් මෙම ලිපියෙහි අප දැක්වූ එකදු භාෂා දෝෂයක් හෝ දෝෂයක් නොවන හැටි ඔප්පු කරන ලෙස අපි ඔබට අභියෝග කරමු.

1958 සැප්තැම්බර්17 වෙනිදා ‘විද්‍යෝදය-විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත’ සම්මත කර ගැනීමෙන් විජයානන්ද දහනායක අධ්‍යාපන ඇමතිවරයා බලාපොරොත්තු වූ පරිදි ඔබේ සිංහල අංශය මේ කරන්නේ සිංහල භාෂාව ආරක්ෂා කිරීමද? පරෙස්සමට තැබූ දේ ඈලියාවට ගියාය කියන්නේ මෙන්න මේවාටය.

[ගාමිණී ධර්මසේන]

මාතෘකා