මායාව!

 ඡායාරූපය:

මායාව!

 

පොතපත පිළිබඳවත්, කියවීම පිළිබඳවත් අද ඇත්තේ ඉතා ව්‍යාකූල ආකල්ප ගොන්නකි. පොත් ප්‍රදර්ශනවලට ලක්ෂ ගණන් සෙනඟ ඇදෙති. එහි ලක්ෂ ගණන් පොතපතද අලෙවි වේ. එහෙත් සමාජය ඒ පොත් කියවා ප්‍රබුද්ධ වන බවට ඉඟියක් නැත.

මා දකින ලෙස කියවීම ඉතාම පෞද්ගලික කර්තව්‍යයකි. කියවන්නේ හුදකලාවේය. එහි ආශ්චර්යක් නැත. එය දුක්ගැහැට මැද සිදු වන දේකි. විවාහක පුරුෂයකු නම් කාමරයට වැදී පොත් කියවනවාට බිරිඳ අකමැතිය. ඇයට ඕනෑ ඔහු නිවසට ආර්ථික අතින් සවියක් වන දේක නියුතු වනවාටය. දෙමාපියන්ද තම පාසල් යන දරුවා කාමරයක තනි වී නවකතා කියවනු දැකීමට අකමැතිය.

දරුවා පාසැල් පොත්වල වැඩ කරයි නම් ඔවුහු සෑහෙති. පාසැල් වැඩවලට - අභ්‍යාස කිරීමට, අධ්‍යාපනික වටිනාකමකින් යුතු දේට - නවකතා, කෙටිකතා කියවීම හානිකරය. ඔවුන් සිතන්නේ එසේය. එසේ බැලූ විට දෙමාපියන් දරුවනට දිරි දෙන්නේ කියවීමට නොවේ.

කියවීමට පොත් මිල දී ගත යුතුද? එයද සාවද්‍ය අදහසක් ජනිත කර ඇත. කියවීමට පොත් මිල දී ගත යුතුය යන අදහස සමාජගත කර ඇත්තේ ප්‍රකාශකයන් විසිනි. ප්‍රකාශකයනට ඕනෑ හැකි තරම් පොත් අලෙවි කරගැනීමටය.

පොත් ඇත්තේ කියවීමට නම් පොත් මිලට ගැනීමෙන් තොරව කියවීම කළ නොහැකි බවට ඔවුන් මතයක් ඇති කර ඇත. සැප්තැම්බර් සාහිත්‍ය මාසයෙන් පසු මාසය - ඔක්තෝබරය - රජය කියවීමේ මාසය ලෙස නම් කිරීමද ප්‍රකාශකයනට මේ සූරාකෑමට ඉවහල් වී තිබේ. මීට විසි වසරකට එහා මෙරට සාහිත්‍යකරුවන්ගේද, පාඨකයින්ගේද වැඩි අවධානය යොමු වූයේ පුස්තකාල කෙරේය.

මහජන පුස්තකාල, ප්‍රාදේශීය සභා පුස්තකාල, මහපොළ ඥාන ප්‍රදීප පුස්තකාල ආදියට අමතරව එදා ලොරි හැඩයේ බස්වලින් ගම්වලට පැමිණ පොත් ලබාදෙන ජංගම පුස්තකාල වෙසෙසක්ද විය. ඒ සියලු පුස්තකාලවලට එදා කෙතරම් ඉල්ලුමක් පැවතියේද යත් නිතිපතා ඒ පිළිබඳ පුවත් පුවත්පත්වල පළ විය. මමද එකල පුස්තකාල කිහිපයක සාමාජිකත්වය එකවර ගෙන සිටියෙමි. අද පුස්තකාලවලට මේ ආකාර පාඨක පිරිසක් සිටීද යන්න සමීක්ෂණයකින් විමසිය යුතුය.

කියවීම කලාවකි. එය කෙනෙකු ජීවිතය දෙස හැරීමකි. ලෝකයේ ප්‍රකෘතිය වෙත හැරීමකි. අද ළමා ලෝකය සැලකුවහොත් ඔවුන් කිසිවෙක් තමා දෙසට හැරෙන්නේ නැත. තමාගේ කතාව ඇසීමට ඇහුන්කම් දෙන්නේ නැත. ඊට ඔවුනට කාලය නැත.

කාලය සොයා දීමට පාසලින්වත්, නිවසින්වත් වෙහෙසීමක් නැත. පාසැලේදී ළමයින් ගුරුවරුන්ට සවන් දෙන අතර ගෙදර පැමිණි විට හැරෙන්නේ රූපවාහිනී නාලිකාවල කාටූන් වැඩසටහන්වලටය. ඒ තුළ ඔවුන් කිසි විට තමන්ගේ ඇතුළු හඬට ඇහුන්කම් දීමක් වන්නේ නැත. එහි ප්‍රතිඵලය ඔවුන් නිර්මාණශීලීත්වයෙන් තොර වීමය. වැඩිහිටියන්ගේ තත්ත්වය කෙබඳුද? එයද ඒ ආකාරමය.

ඔවුන් නිවසට පැමිණි විට හැරෙන්නේ රූපවාහිනී ටෙලිනාට්‍යවලටය. උභතෝකෝටිකය පොත් ප්‍රදර්ශන පස්සේ ගොස් තමනට, දරුවනට පොත්පත් මිලට ගෙන එන්නේද සැබෑ ජීවිතයේ මෙසේ හැසිරෙන පිරිස්ම වීමය. පොත් ගෙන ගියත් ඔවුන් පාඨකයන් නොවන බව මා කියන්නේ මෙනිසාය.

නූතන ප්‍රබන්ධය ප්‍රාදූර්භූත වනුයේ යුරෝපා කාර්මීකරණයේ ප්‍රතිඵල වශයෙනි. එලෙසටම පශ්චාත් නූතන ප්‍රබන්ධය කලඑළි දකිනුයේ - එය උත්කර්ෂයට නැංවෙනුයේ - ගෝලීයකරණයේ ප්‍රතිඵල වශයෙනි. කාර්මීකරණයේත්, ගෝලීයකරණයේත් අතුරු ප්‍රතිඵලය මිනිසා හුදකලා වීම නම් ඒ හුදකලාව ප්‍රබන්ධ සාහිත්‍යය ගොඩනඟා තිබේ.

නව පාඨකයකු ඇති කර තිබේ. වර්මානයේ ගැටලුව වෙළෙඳපොළ රටාව පළල් වන විට සැබෑ පාඨකත්වයක් නොව ව්‍යාජ පාඨකත්වයක්, ව්‍යාජ ලේඛකත්වයක්, ව්‍යාජ විචාරක භූමියක් ඇති කිරීමය. මා සිතන ලෙස නම් කෙනෙකුට ප්‍රබන්ධයක් කියවීමට හොඳම කාලය - ඒ ගැන නිවැරදි විනිශ්චයක් දිය හැකි සමය - පොත ගැන ඝෝෂාවක් නොනැඟෙන සමයය. එනම් පොත එළිදුටු ඇසිල්ලේ නොව ඊට මාස කිහිපයක් ගත වූ පසු සමයය. ඝෝෂාව පවතිද්දී පාඨකයකුට කියවීමට ලැබෙනුයේ පූර්ව විනිශ්චයන් සහිත පොතක්ය.

එවිට කරන කියවීම පොතටද, කතුවරයාටද හානියකි. ගත වූ සමයේ මෙරට පොත් විචාරවලදී සිදු වූයේ පොත පිටවී නැඟී තිබුණු ඝෝෂාවට එරෙහිව ලිවීමකි. ඒ ලිවීමෙන් ලැබුණේ හොඳ පොතකට නරක සහතිකයකි. නරක පොතකට හොඳ සහතිකයකි. එක් අතකට පොතක් මාධ්‍යයේ ඔසවන තරමට ඊට ‘විචාරකයන්ගෙන්’ ලැබෙන දඬුවම සැර විය. සාහිත්‍ය සම්මානවලට කෘති විනිශ්චයේදීද සිදු වූයේ ඊට වෙනස් දෙයක් නොවේ.

කෙසේ වුව සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනයෙන් සිදු වූ හොඳම දේ ලෙස මා දකින්නේ පොත් සුලබ වීමය. කවුරු කියවූවා, නොකියවූවා නිවසක පොත් පැවතීමෙන් පොතට රුචි කරන පාඨකයකුට එය ගෙන කියවිය හැකිය. අද ඇතැම් විට දේශපාලනඥයෝ කියවීම නැංවීම ගැන කතා පවත්වති. පොත් දොරට වැඩුම්වල දේශකයෝද එසේ දේශනා කරති. ප්‍රකාශකයන් කියවීම වෙනුවෙන් පෙනී සිටීම අරුමයක් නැත. එය ඔවුන්ගේ සටකපටකමකි.

දේශපාලනඥයන්, ලේඛකයන්, පාසැල් විදුහල්පතිවරුන් ඒ ගැන කීම ගැටලුසහගතය. සමාජයක කියවීම නැංවිය නොහැකි නිසාය. සමාජයක කියවන්නෝ පිරිසක් සිටිති. එය වෙනස් කළ නොහැකිය. එහෙත් කියවන්නැයි ඔවුනට අමුතුවෙන් කිව යුතු නැත. පියදාස සිරිසේනගේ ‘ජයතිස්ස සහ රොස්ලින්‘ නවකතාවේ පිටපත් විසිපන් දහසක් ඉතා කෙටි කලකින් අලෙවි වූයේ කිසිවෙකු එම පාඨකයාට කියවීම ගැන දිරිගැන්වීමක් නොකරය.

කියවන්නන්ට ඕනෑ කියවීමට පොත් තිබීමය. අද පොත් සුලබ වුවත් කියවන්නන්ට ඒ පොත් කියවිය හැකිද යන්නත් ගැටලුවකි. එදා පාඨකයා පුස්තකාලවල පොරකෑවේ පිටකවරය දියවුණු පොතක් තෝරාගැනීමටය. පිටකවරය දියවීම කියවිය හැකි පොතක සලකුණ විය. අද තත්ත්වය ඒ අනුව ප්‍රකාශකයන් මැවූ මායා දැලකි.

කියවීමෙන් පාඨකයා සියුම් කළ හැකි යැයි වරක් මහාචාර්ය සිරි ගුනසිංහ ප්‍රකාශ කළේය. එහෙත් සැබෑ පාඨකයා කොහොමත් සියුම් නොවේද? පාඨකයා පොතක් කියවන්නේ ඔහුට එය අවශ්‍ය නිසාය. ඔහුට එය නැතිව ජීවිතය අසම්පූර්ණය. එය ඔහුට හුස්ම ගැනීමට ඉඩ අවකාශය ලබාදෙන නිසාය. දැන් ඒ ගැන කරන අර්ථකථන විකෘතිසහගතය. නවකතාව ඇත්තේ සමාජ ශෝධනයට නොවේ. එලෙසටම පොත් ඇත්තේ පාඨකයා ඥානනය කිරීමට නොවේ.

පොත් ඇත්තේ පාඨකයාට එය අවශ්‍ය නිසාය. ප්‍රබන්ධකරුවාට පාඨකයා අවශ්‍යය. පාඨකයාට ප්‍රබන්ධකරුවා අවශ්‍යය. ඔවුනතර ඇත්තේ අන්‍යෝන්‍ය සංවාදයකි. එය නම් උත්තර සංවාදයකි. ඒ උත්තර සංවාදය කිසිවෙකුගේ ඇණවුමට වන්නක් නොවේ. එය ඔවුනතර ඇති අවශ්‍යතා මත කෙරෙන්නකි. ප්‍රකාශකයා කළ යුත්තේ ඒ උත්තර සංවාදයට පහසුකම් සැපයීම විනා ඊට මැදිහත් වී කෘත්‍රිම සංවාදයක් ඇති කර එය තමන්ගේ ප්‍රකාශන ව්‍යාපාරයේ වාසියට හරවා ගැනීම නොවේ. දැන් සිදු වන්නේ කුමක්ද?

ඒ, නොවිය යුතු දේය. පාඨකයා හා කියවීම ගැන මේ සියලු ව්‍යාකූල අදහස් පැනනැඟ ඇත්තේ එහි ප්‍රතිඵල වශයෙනි.

මාතෘකා