අද අවධානය තියෙන්නෙ දෘෂ්ටිවාදය හුවා දක්වන කෘතීන්ට : එරික් ඉලයප්ආරච්චි

 ඡායාරූපය:

අද අවධානය තියෙන්නෙ දෘෂ්ටිවාදය හුවා දක්වන කෘතීන්ට : එරික් ඉලයප්ආරච්චි

කවියකු, කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, සාහිත්‍ය කලා විචාරකයකු මෙන්ම සිනමා සහ නාට්‍ය පිටපත් රචකයකුද වන එරික් ඉලයප්ආරච්චි රචනා කළ ‘සොක්‍රටීස් ඔපෙරා පිටපත’, ‘පූලන් දේවි ඔපෙරා පිටපත’ සහ ටී. එස්. එලියට්ගේ කාව්‍ය නිර්මාණයක සිංහල පරිවර්තනය වන ‘මුඩුබිම’ ඇතුළු කෘතීන් දෙකක් පසුගිය වසරේ ප්‍රකාශයට පත් විය. ඒ අතරින් ‘සොක්‍රටීස් ඔපෙරා පිටපත’ මෙවර රාජ්‍ය සාහිත්‍ය උළෙලේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය ලෙස ඇගයීමට පාත්‍ර විය. මේ, ඒ නිමිති කර ඔහු සමඟ අප පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

‘සොක්‍රටීස් ඔපෙරා පිටපත’ සඳහා රාජ්‍ය සම්මානයක් හිමි වීම ගැන ඔබේ අදහස කුමක්ද?

සම්මානයකට නිල වශයෙන් හෝ ආයතනික වශයෙන් ඔපෙරාවක් හඳුනාගන්න ලැබෙන මුල්ම අවස්ථාව මෙයයි කියලා මම හිතනවා. ඔපෙරාව අපට ආගන්තුකයි කියලා අදහසක් ඇතැම් අය තුළ තියෙනවා. එහෙත් නවකතාව සහ කෙටිකතාව අපට ආවෙත් බටහිරෙන්. ඕනෑම සංස්කෘතියක හිඩැස් තියෙනවා. සංස්කෘතියක් හැම අතින්ම අංග සම්පූර්ණ නැහැ. විශේෂයෙන්ම වෙනස් වන ලෝකයක සමහර සංස්කෘතීන් තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න ප්‍රමාද වෙනවා. තමන්ගේ සංස්කෘතිය තුළ නවකතා සහ කෙටිකතා කියලා දෙයක් නැති සමහර ජාතීන් අදටත් ඉන්නවා. භාෂාවක් තිබුණාය කියල කවිය, නාට්‍යය, කෙටිකතාව සහ නවකතාව වගේ නව මාධ්‍යයන් ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා මේවා හැම වෙලාවෙම ලෝක සංස්කෘතිය තුළින් උකහාගන්න වෙනවා. ඒ කියන්නෙ ලෝක සංස්කෘතියේ වර්ධිත කලාපවලින් මේ අවවර්ධිත කලාප පෝෂණය වෙන්න වෙනවා. ඒක මේ යුගයේ සංස්කෘතික න්‍යාය ධර්මයක්. ඔපෙරාව ගත්තත් අපේ සංගීතය තුළ ඉදිරියට ගෙන යා යුතු එවැනි කලාපයක්.

අපට සම්භාව්‍ය සිංහල සංගීතයක් නැහැ. අපේ සංගීත ව්‍යාපෘතිය බොහොම මෑතකදී ඇති වූ දෙයක්. ඒකත් සම්පූර්ණයෙන්ම වගේ ගීතය වැනි ලඝු, කෙටි මාධ්‍යයකට සීමා වෙලා තියෙනවා. හැබැයි ලෝක මට්ටමෙන් බැලුවොත් පෙරදිග, බටහිර, ඉන්දියානු, චීනය කියන කොතැන ගත්තත් ශාස්ත්‍රිය සංගීතය වඩාත් විදග්ධ සහ මීට වැඩිය සංගීතයේ විභවතාවන් පාවිච්චි කරන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. අපේ මේ සංගීතයේ තියෙන හිඩැස හඳුනාගෙන කේමදාස මහතා උත්සාහ කළේ මේ ඔපෙරා, කැන්ටාටා වගේ දේවල් මඟින් වඩාත් සුවිශාල සංගීත ආකෘතිවලට යන්නයි. එහිදී ඔහු වෙනුවෙන් මම ‘අග්නි’ ඔපෙරාව ලිව්වා. ඔහුගේ මරණයෙන් පසුව හෝ ඔපෙරා පිටපතක් සාහිත්‍ය කෘතියක් හැටියට හඳුනාගැනීමේ වැදගත්කමක් තියෙනවා කියලා මම හිතනවා.

ඔපෙරා සංකල්පය මෙන්ම මේ කෘතිය සඳහා යොදාගෙන ඇති ලිබ්‍රතෝව වැනි වචනත් මෙරට පාඨකයාට සමීප ලෙස ඉදිරිපත් කළ නොහැකිද?

ලිබ්‍රතෝ කියන්නෙ ඉතාලි භාෂාවෙන් පොත කියන එකයි. මෙවැනි පිටපතක් සාහිත්‍ය කෘතියක් හැටියට හඳුනාගැනීමේදී ඒ වචනත් ඒ අයුරින්ම හඳුනාගැනීම වඩාත් සුදුසු බවයි මගේ අදහස. ඔපෙරාව සඳහා ගී නළුව කියන වචනය යොදාගත් අවස්ථාත් තියෙනවා. ඔපෙරාවට සමහරු ගී නළුව කිව්වා. බැලේවලට ඉඟි නළුව කිව්වා. ඒ විදියට වෙනම වචන හදාගන්නත් පුළුවන්. නවකතාව කියන වචනය ගත්තත් ඒක ගොඩනගාගෙන තියෙන්නෙත් ‘නොවෙල්ලා’ (Novella) කියන වචනයෙන්. කෙටිකතාව නම් සම්පූර්ණ සිංහල වචනයක් හැටියට ගැනුණා. ඒ අනුව ලිබ්‍රතෝව ගී නළුවක පෙළ හැටියටත් හඳුන්වන්න පුළුවන්. හැබැයි එතැනත් ප්‍රශ්න තියෙනවා.

ගී නළුව කිව්වාම ගීතයෙන් කියන නළුව, එහෙමත් නැත්නම් ගීතයෙන් ඉදිරිපත් කරන නාට්‍යයක් වැනි අදහසක් ඇති විය හැකියි. ගී නළුව කියන්නෙ ගීතය සංගීතයෙන් ඉදිරිපත් කරන නාට්‍යයක්නෙ. එහෙත් ඔපෙරාව කියන්නෙ ගීත මාර්ගයෙන් නාට්‍යයක් ඉදිරිපත් කිරීම නෙවෙයි. එතැනදි සංගීතය තුළ තියෙන සංගීතයමයි නාට්‍යය බවට පෙරළෙන්නෙ. ඔපෙරා කිව්වාම ලෝකයේ ඒ ගැන විවිධ අදහස් තියෙනවා. මේ හැම දෙයක්ම වෙන වෙනම ශානර හැටියට සලකන්න පුළුවන්. කාලයකට උඩදි අපේ රටේ ටීටර්, නාඩගම්, ශෛලිගත නාට්‍ය සහ තාත්ත්වික නාට්‍ය වගේ විවිධ දේවල් තිබුණු නිසා ඔපෙරාව කියලා වෙනම මාධ්‍යයක් හඳුනාගැනීමේ බාධාවක් අපට නැහැ කියලයි මම හිතන්නෙ.

‘සොක්‍රටීස්’ වැනි පිටපතක් සඳහා අවශ්‍ය තොරතුරු ගැනීමට ඔබ ඇසුරු කළ මූලාශ්‍ර මොනවාද?

සොක්‍රටීස් චරිතය පිළිබඳව ලියැවුණු ග්‍රීක කෘතීන් කිහිපයක් තියෙනවා. ඒ අතර ප්ලේටෝ ලියපු කෘතිත් ගණනාවකුත් තියෙනවා. සොක්‍රටීස් ගැන වැඩියෙන්ම ලියලා තියෙන්නෙත් ප්ලේටෝ. ඇරිස්ටෝෆනිස් ඔහුගේ නාට්‍යයක් සඳහාත් මේ චරිතය පාදක කරගන්නවා. ඒවගේම තව ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් හැටියට සැලකෙන, විශේෂ වර්ගයක බුද්ධිමතෙක් නොවන සෙනෆන් බොහොම රසවත් විදියට සොක්‍රටීස් ගැන ලියනවා. ඒ ලියන දේවල්වල වැදගත්කම තියෙන්නෙත් සෙනෆන් බුද්ධිමතෙක් නොවීම තුළයි. ඔහු කිසියම් පිටිසර ජීවිතයක් ගත කළ වැවිලිකරුවෙක්. ඒ නිසා තමන්ගේ මිත්‍රයා වන සොක්‍රටීස් දෙස වඩාත් මානුෂික ඇහැකින් බලන්න ඔහු සමත් වෙනවා. මේ ඔක්කොම එකතු කරලා මම මේ කෘතිය රචනා කළේ ස්වතන්ත්‍ර නිර්මාණයක් හැටියටයි. ඔය කියපු සියලු කෘතීන් පෙන්ගුයින් මුද්‍රණ හැටියට පළ වෙලා තියෙනවා. ඒවගේම සොක්‍රටීස් කියන්නෙ බටහිර දර්ශනය තුළ තියෙන ප්‍රධාන විෂයක්. ඒ අනුව දර්ශනය කියන්නෙත් සොක්‍රටීස් පිළිබඳ අධ්‍යයනයකට තියෙන වෙනම ක්ෂේත්‍රයක්. ඒ නිසා ඒ පිළිබඳව අලුතෙන් ලියැවිලා තියෙන දේවලුත් මම මෙහිදී අදාළ කරගත්තා.

මෙවැනි ස්වතන්ත්‍ර ඔපෙරා පිටපත් රචනයට ඔබ පොළඹවන විශේෂ හේතුවක් තිබෙනවාද?

‘සොක්‍රටීස්’ සහ ‘පූලන් දේවි’ වැනි ඔපෙරා පිටපත් දිගින් දිගටම ලියැවෙන්නෙ කේමදාස මහතාත් එක්ක එකතු වෙලා කළ ‘අග්නි’ නමැති ඔපෙරා ප්‍රයත්නයේ දිගුවන් හැටියටයි. ඔපෙරාවක් නිර්මාණය කරන්න ලංකාවේ හිටපු එකම දැවැන්ත සංගීතඥයා කේමදාසයි. ඔහුගේ අභාවය ඉතා විශාල වශයෙන් අද අපට බලපානවා. මේවා ලියැවෙන්නෙ ඒ හිඩැසත් මකන්නයි. සිංහල භාෂාව ගත්තාම කවිය සම්බන්ධයෙන් භාෂාවේ වර්ධනයයි කවියේ වර්ධනයයි අතර ලොකු කාල පරතරයක් නැහැ. සිංහල භාෂාවේ සම්භවයයි, සිංහල කවියේ සම්භවයයි ගමන් කරන්නෙ බොහොම කිට්ටුවෙන්. සමහර භාෂාවන් තුළ මේ අතර පරතරය හුඟක් විශාලයි. ඒ කියන්නෙ භාෂාවන් තිබුණාට ඒ තුළ කවිය වගේ ශානර බිහි වෙන්නෙ නැහැ. එහෙත් සිංහල කවියේ ශානරය ඉක්මනින් බිහි වෙලා තියෙනවා. ඒවගේම අපේ භාෂාව තුළ නවකතාව වුණත් බිහි වූ කෙටි කාලයකින්ම හොඳ නවකතා ලියැවෙනවා. ඒ නිසා ඔපෙරාව සඳහා අපේ භාෂාව තුළම දැවැන්ත විභවතාවක් තියෙනවා. විශේෂයෙන්ම කෝට්ටේ යුගයේ කවි බසේ ආභාෂය ඔස්සේ මේ විභවතාවෙන් වැඩගන්න පුළුවන්. අපේ භාෂාවේ තියෙන ගීත රචනය හෝ නාට්‍ය රචනය නොවන සිංහල භාෂාවේ විභවතාවක් මේ ඔපෙරා තුනෙන් ගවේෂණය කෙරෙනවා. මේ සදඟා මට සෑහෙන අවබෝධයක් සහ අත්දැකීම් ලැබුණෙ කේමදාස මහතා සමඟ වැඩකිරීමෙන්. ඒ ඔස්සේ මට වැටහුණු විදියට මීට වඩා දැවැන්ත සංගීතමය නිර්මාණවලට යන්න අපේ භාෂාවට ප්‍රශස්ත හැකියාවක් තියෙනවා. එය භාෂාව තුළම තියෙන විභවතාවක්.

තුන් ඈදුතු ඔපෙරා පිටපත් ලෙස හඳුන්වා දී ඇති මේ නිර්මාණ අතර කිසියම් පොදු සම්බන්ධතාවක් තිබෙනවාද?

නැහැ. මේ ඔපෙරා පිටපත් අතර එවැනි සෘජු සම්බන්ධතාවක් පැහැදිලිව දැකගත නොහැකි වුණත් ඒවාට පොදු වූ කිසියම් ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඔපෙරා ඉතිහාසයේ චක්‍ර (Circles) නමින් කිසියම් සංකල්පයක් තියෙනවා. බොහෝ වෙලාවට ඔපෙරා ඉදිරිපත් වෙන්නෙ චක්‍ර හැටියටයි. ඒ අනුව මේ ඔපෙරා පිටපත් ඉදිරිපත් වෙන්නෙත් චක්‍ර හැටියටයි. ‘අග්නි’ ඔපෙරාවට පාදක වෙන්නෙ ග්‍රීක පුරාවෘත්තයක දේශීය අනුවර්තනයක්. ‘සොක්‍රටීස්’ රචනා වෙන්නෙ පුරාතන ග්‍රීසියේ සැබෑ පුවත් ඇසුරින්. ඇතැන්සයේ බොහෝදුරට සැබෑ සිදුවීම් ඒ සඳහා පාදක කරගෙන තියෙනවා. ‘පූලන් දේවි’ අපේ කලාපයට අයත් ඉන්දියාවේ නූතන පුරාවෘත්තයක් බවට පත් වූ චරිතයක්. ඒක නාට්‍යයක් නොවෙන්නෙත් ඒ නිසායි. එහි තියෙන්නෙ බොහොම අනුවේදනීය සහ අනුරාගී භාවයන්. ඔපෙරාවලට එන්නෙ එවැනි භාවයන්ගේ උච්ඡම අවස්ථායි. ඔපෙරාවක් සඳහා සැම විටම වගේ සුවිශාල විෂයක් හොයාගන්න සිද්ධ වෙනවා.

මේ ඔපෙරා පිටපත් සඳහා සැම විටම මෙරටින් බැහැර පසුබිම් පාදක කරගෙන ඇත්තේ ඇයි?

ඔපෙරා කලාවේ තියෙන විශේෂත්වය ඒ තුළ හැම විටම භාවමය වශයෙන් කිසියම් අන්තවාදී බවක් දැකිය හැකි වීමයි. ඒ තුළ තියෙන්නෙ කූටප්‍රාප්තියට පත් වූ භාවයන්. එහිදී ඒ භාවයන්ගේ උදාසීනත්වයක් තියෙන්න බැහැ. ඒ නිසා ඔපෙරාවකට සැමවිටම දැවැන්ත වස්තුබීජයක් හොයාගන්න වෙනවා. කේමදාස සූරීන් මට ඔපෙරාවක් ලියන්න ආරාධනා කළාම අපි ජාතක කතාවකින් ඔපෙරාවක් කරමු කියලා මම යෝජනා කළා. ඒ අවස්ථාවේ ඔහු කිව්වේ ඔහු එයට පෙර ජාතක කතාවලින් ඔපෙරා දෙකක් කළත් ඒ දෙකම සාර්ථක වුණේ නැහැයි කියලයි. ඔපෙරාවකදි ඊට වඩා සුවිශාල තේමාවන්වලට යන්න වෙනවා කියලා ඔහු මට කිව්වා. ඒ නිසා ඔහු වෙනුවෙන් රචනා කළ මුල් ඔපෙරාව සඳහා මම ප්‍රොමිතියස්ගේ චරිතය තෝරාගත්තා. මේ නව ඔපෙරා පිටපත් රචනා කරන විටත් එවැනි චරිත තෝරාගැනීමට මා පෙලඹුණේ ඒ අනුවයි. සොක්‍රටීස් සහ පූලන් දේවී කියන්නෙ සාමාන්‍ය චරිත නෙවෙයි. ඒවා කිසියම් ආකාරයකින් අසාමාන්‍ය චරිත. ඇත්තෙන්ම ඔපෙරාව පවතින්නෙත් මේ අසාමාන්‍ය වස්තු විෂයයන් සහ අසාමාන්‍ය තේමාවන් නිසායි.

‘සොක්‍රටීස් ඔපෙරා පිටපත’ සඳහා ලැබෙන පාඨක ප්‍රතිචාර පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

බොහෝ අය මේ පොත ගැන දැනගත්තෙ මෙවර එයට හිමි වූ සම්මානය නිසායි. අද අපේ රට වැටිලා තියෙන්නෙ බොහොම නිද්‍රාශීලී තැනකට. හුදෙකලාව කියවන අය හිටියට ඒවා පිළිබඳව සංවාද ඇති වෙනවා බොහොම අඩුයි. මේ යුගයේ වැඩි ආකර්ෂණයක් තියෙන්නෙ දෘෂ්ටිවාදය මුල් කරගත් සාහිත්‍යය සහ දෘෂ්ටිවාදී නිර්මාණ කෙරෙහි පමණයි. මේ යුගයේ තියෙන්නෙ ආකල්ප මුල් කරගත් නිර්මාණයි. අද වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නෙ ජීවිතය ගවේෂණයට හෝ භාව ගවේෂණයට වඩා දෘෂ්ටිවාදීත්වය හුවා දක්වන කෘතීන්ටයි. ඒ නිසා මේ කෘතියට ලොකු අවධානයක් යොමු වුණේ නැහැ කියලයි මට හිතෙන්නෙ. මෙය නිෂ්පාදනය කරන්න හර්ෂ ආරියසිංහ නමැති නිර්මාණකරුවා ලොකු උනන්දුවක් දක්වනවා. දෙවරක්ම ඔහු ඒ සඳහා දැඩි උත්සාහයන් දැරුවා. මේ වන විට මෙහි සංගීතය සම්පූර්ණයෙන්ම ප්‍රස්ථාරගත කරලා අවසානයි. එහි කුඩා කොටසක් වෝටර්ස් එජ් හෝටලයේ තිබුණු එක්තරා උත්සවයකදි ඉදිරිපත් කළා. එය බොහොම ඉහළ මට්ටමක පැවතුණා. නිර්මාණයේ නිෂ්පාදන කටයුතු සඳහා මුදල් නැතිකම නිසා දෙවැනි වරටත් පුහුණුවීම් නැවැත්තුවා.

මෙවැනි කලා කෘතීන් සඳහා මුදල් උපයාගැනීම අද වන විට ලංකාවේ ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. එය මේ වෙද්දි ඉතා භයානක තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවක් දැකිය හැකියි. අද වන විට අපේ කලාව වෙනුවෙන් සමාජය වෙන් කරන අතිරික්තය ඉතාම කුඩා වෙලා තියෙනවා. අද බොහෝ විට මුදල් වෙන් කෙරෙන්නෙ විනෝද ව්‍යාපෘති හෝ විනෝදය සපයන ව්‍යාපෘති සඳහා පමණයි. මම හිතන විදියට එවැනි මුදල් වෙන් කෙරෙන ආකාර තුනක් තියෙනවා. ඇතැම් අය විනෝදය සඳහා මුදල් සපයනවා, තවත් ඇතැම් අය දෘෂ්ටිවාදී කලාවන් සඳහා අරමුදල් ලබාදෙනවා. එසේත් නැත්නම් අරමුදල් ලබාගෙන කරන කලා කෘතිත් තියෙනවා. ඒ කියන්නෙ හුදෙක්ම අරමුදල් මත පදනම් වෙලා ඒ අරමුදල්වල න්‍යායපත්‍රවලට ගැළපෙන්න හදන කලා කෘතිත් තියෙනවා. මෙන්න මේ තුන් ආකාරය සඳහා විතරයි මේ වෙද්දි අනුග්‍රාහකයො මුදල් ලබාදෙන්නෙ. මීට පරිබාහිර කෘතීන්වලට, ඒ කියන්නෙ අද සැබෑ කලා කෘතීන්වලට අනුග්‍රහය ලබාගන්න ඉතා අමාරුයි. ඒවා ඉතාම දුර්ලබයි. කෆ්කාගේ ‘මෙටමොර්ෆොසිස්’

(The Metamorphosis) කෘතිය ඇසුරින් ධර්මසේන පතිරාජ සමඟ එක්ව මම ලියපු තිරනාටකයෙන් නිර්මාණය කෙරුණු ‘ස්වරූප’ චිත්‍රපටය සඳහා එවැනි නිෂ්පාදකයෙක් ඉදිරිපත් වුණා. ඔහුට අත්විඳින්න වෙච්ච අලාභය ලක්ෂ සියයකට ආසන්නයි. අද දැවැන්ත කලා කෘතීන් ඉදිරියට අරගෙන යන්න වෙන්නෙ ඒ වගේ මහා වීරවික්‍රමාන්විත අරමුදල් යෙදවීම් ඔස්සේයි. ඒ නිසා ඇමෙරිකාවේ ස්පීල්බර්ග් කරන වැඩ මෙහෙ කරන්න බැහැ.

අද වන විට බිහිව ඇත්තේ මේ කෘතියේ සඳහන් වන අමන මතු මිනිසා සහිත සමාජයක්ද?

ඇතැන්සයේ මිනුම් දඬුවලින් ගත්තොත් ඇත්ත වශයෙන්ම අපි අද ඉන්නෙ එවැනි තත්ත්වයකයි. සොක්‍රටීස් වගේ කෙනෙක් මිහිපිට ඇවිද්දද කියලා මතු දිනයකදි කෙනෙකුට හිතාගන්නවත් බැරි වෙයි. මම මේ සංකල්පය ගත්තෙ ඇල්බට් අයින්ස්ටයින්ගෙන්. මහත්මා ගාන්ධි මියගිය වෙලාවෙ ඇල්බට් අයින්ස්ටයින් කියනවා, “මෙවැනි මිනිසෙක් මිහිපිට ඇවිද්ද බව අනාගතයේ මිනිස්සු විශ්වාස කරන එකක් නැහැ” කියලා. මම මෙතැනදි දරන්නෙත් ඊට සමාන අදහසක්. එහෙම බැලුවොත් ඇත්තටම මේ තමයි ඒ අමන මතු මිනිසාගේ මුඩුබිම.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා