අධ්‍යාපන අමාත්‍යංශයේ නව අකුරු ලිවීමේ ක්‍රමය දියුණුව ආපසු හැරවීමක් : පරිගණක අකුරු නිර්මාණ ශිල්පී පුෂ්පානන්ද ඒකනායක

 ඡායාරූපය:

අධ්‍යාපන අමාත්‍යංශයේ නව අකුරු ලිවීමේ ක්‍රමය දියුණුව ආපසු හැරවීමක් : පරිගණක අකුරු නිර්මාණ ශිල්පී පුෂ්පානන්ද ඒකනායක

වසර විසි ගණනක් තිස්සේ පරිගණක අකුරු නිර්මාණකරණයේ යෙදී සිටින පුෂ්පානන්ද ඒකනායක ඔහුගේ අලුත්ම කෘතිය පසුගියදා එළිදැක්වූයේය. ඒ, ‘සිංහල අකුරු ලියන හැටි’ ය. සූරිය පොතක් ලෙස එය පළ වන්නේ මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ අකුරු ලිවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිද්දීය. මෙරට මුද්‍රිත සහ විද්‍යුත් ඇතුළු විවිධ මාධ්‍යවල මෙන්ම, පොත් ප්‍රකාශනයේදී සහ අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන පෙළ පොත් මුද්‍රණයේදීද පසුගිය වසර විස්සක පමණ කාලයේ යොදාගැනෙනුයේ පුෂ්පානන්ද විසින් නිර්මාණය කරන ලද පරිගණක අකුරුය. එසේ තිබියදී පාසල් පෙළ පොත් මුද්‍රණය සඳහා දායක වන ජාතික අධ්‍යාපන ආයතනය 2005 වසරේදී අතින් අකුරු ලිවීම පිළිබඳ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කර තිබේ. එය 2016 වසරේ සිට පළවෙනි වසර පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති අතර, මේ වන විට එයද භාවිත වෙමින් පවතී. මෙමඟින් අධ්‍යාපනය සම්බන්ධ කටයුතුවල ප්‍රයෝගිකව නියැලෙන පිරිස් ගැටලුවකට මැදිව සිටින බව දැනගන්නට ලැබී තිබේ. නව මාර්ගෝපදේශය මඟින් ඉදිරිපත් කර ඇති අකුරු ලිවීමේ ක්‍රමය ව්‍යාකූල බවත්, ඒ සමඟම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ආක්‍රමණය කරමින් වෙළෙඳ ඉලක්ක සපුරාගැනීම අරමුණු කරගත් ව්‍යාපාර මාෆියාවක් ගොඩනැගෙමින් පවතින බවත් පෙනෙන්නට තිබේ. මේ, ඒ පිළිබඳව දැනගැනීම සඳහා අප පසුගියදා ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

අකුරු නිර්මාණය ඔබ පැහැදිලි කරන්නේ කුමන ආකාරයටද?

අකුරු නිර්මාණය කියන්නේ අතීතයේ ඉඳලම තිබිච්ච දෙයක්. ගල් යුගයේ ඉඳලා විවිධ තාක්ෂණික ක්‍රම හරහා ඒ ඒ යුගවලදී අකුරු නිර්මාණය වෙලා තියෙනවා. වැල්ලේ ලියලා, ගල්වල කොටලා, පුස්කොළවල ලියලා, අතින් ලියලා පැන්සලෙන් සහ පින්සලෙන් ලියලා පෑනෙන් ලියලා යතුරු ලියනය ඔස්සේ අද වන විට පරිගණකයට ඇවිල්ලා තියෙනවා.

සිංහල අකුරුවල හැඩය රකිමින් පරිගණක තාක්ෂණයත් බද්ධ කරගෙන ඉතාම නිරවුල්ව, පැහැදිලිව සහ සිංහල අකුරුවල රවුම් බව රැකෙන විදියට ලස්සන කරලා අකුරු නිර්මාණය කිරීම තමයි අද කෙරෙන්නේ.

අකුරු ලිවීම උගැන්වීමේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබියදී සිංහල අකුරු ලිවීම ගැන පොතක් ඔබ පළ කරනවා?

මම අවුරුදු විස්සක් තිස්සේ අකුරු නිර්මාණකරණයේ යෙදෙන කෙනෙක්. පසුගිය වසරේ අග භාගයේ මාස කිහිපයක සිට සිංහල අකුරු ලියන විදිය ගැන පාසල්වල උගන්වන පෙළ පොත්වල ඇතුළත් කරලා තියෙන නිර්දේශය අනුව ඒ ක්‍රම ගැටලු සහිතයි කියලා මට පැමිණිලි ලැබෙමින් පැවතුණා.

ඒ ගැන හොයලා බලලා මට ඒ සම්බන්ධයෙන් යමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා සමහරු යෝජනා කළා. එහෙත් මම එවැනි දෙයක් සඳහා පෙළැඹුණේ නැහැ. මොකද මම සිංහල ගුරුවරයෙක්, සිංහල වියතෙක් හෝ උගතෙක් නොවන නිසා. මම නිර්මාණකරුවෙක් පමණයි.

හැබැයි මම දශක පහක් තිස්සේ අකුරු නිර්මාණයෙහි නියැලෙන්නෙක් වීම සහ අද වන විට ප්‍රමිතියක් හැටියට සම්මත වෙලා තියෙන අක්ෂර නිර්මාණ මගේ ඒවා නිසා මට ඒකට එළඹෙන්න පුළුවන්ය කියලා හැඟීමකුත් මට දැනුණා. ඒ අනුව මේ ගැන හොයලා බැලුවාට පසුව මෙවැනි පොතක් ලියන්න මම තීරණය කළා.

අධ්‍යාපන අමාත්‍යංශය හෝ ජාතික අධ්‍යාපන ආයතනය හෝ විසින් ඉදිරිපත් කරලා තියෙන ක්‍රමයක් ගැන අදහස් දක්වන්න හෝ එයට එරෙහිව යන්න හෝ හැකියාවක් මට නැහැ. මොකද මම ඒ ඉගැන්වීමේ කාර්යට සම්බන්ධ කෙනෙක් නොවන නිසා.

ඒත් වෘත්තීය වශයෙන් කටයුතු කරන ආකාරය අනුව, ඒ කියන්නේ මම අකුරු ලියන ක්‍රමය අනුව මෙවැනි පොතක් පළ කරන්න මට පුළුවන්. මම පොඩි කාලයේ ඉඳලා ලියපු විදිය, අද ලියනකොට තාක්ෂණයත් එක්ක මෙහෙම ලිව්වොත් හරි කියලා මට හිතෙන විදිය ලියන්න මට හැකියාවක් තියෙනවා. ඒ නිසා මම තීරණය කළා එහෙම පොතක් එළිදක්වන්න. ඇත්තටම මේ පොත සකස් කරලා මුද්‍රණයට සූදානම් වෙමින් සිටියදී තමයි අකුරු ලිවීම සම්බන්ධ ගැටලුවක් ඇති වෙලා තියෙන බව මට දැනගන්න ලැබුණේ.

මේ සම්බන්ධයෙන් ඔබට දැනගන්න ලැබුණු තොරතුරු මොනවාද?

විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙන අකුරු ලිවීමේ ක්‍රම ව්‍යාකූල බවක්, අවුල් සහගත විදියට වැඩ වැඩි කරලා තියෙන බවක් මට දැනගන්න ලැබුණා. පරිගණක තාක්ෂණයේදී ලෝකයේ හැම භාෂාවකම අකුරු නිර්මාණය කිරීමේදී කරලා තියෙන්නේ එය පුළුවන් තරම් සරල කරන එකයි. අතින් ලිවීමත් එහෙමයි. පරිගණක අකුරුත් නිර්මාණය වෙන්නෙ අතින් ලියන විදියටමයි.

අකුරුවල විවිධ හැඩ නිර්මාණය වෙන්නේ අතින් ලිවීමේදී යොදාගැනෙන මූලික ලක්ෂණ රැකගෙනයි. පරිගණකයට කියලා අතින් ලියන අකුරු වෙනස් කරන්නේ නැහැ. සිංහල පරිගණක අකුරු නිර්මාණයේදී මම කරලා තියෙන්නෙත් එයයි. පරිගණකය සඳහා කියලා මම කිසිම විටෙක සිංහලෙන් අතින් අකුරු ලියන විදිය වෙනස් කරලා නැහැ. අදාළ අනුපාත, දිග, පළල යනාදී සියලු අත්‍යවශ්‍ය අංග රැකගනිමිනුයි මම අකුරු මෝස්තර නිර්මාණය කළේ.

ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිර්දේශ කරලා තියෙන ක්‍රමය මඟින් අකුරු ලිවීම ළමයාට දුෂ්කර කාර්යක් බවට පත් කරලා තියෙන බව පෙනෙනවා. අපි පොඩි කාලෙ ලිව්වා වගේම ඩබල් රූල් කියන එක ඇතුළෙ අපි මේ අකුරු නිර්මාණය කළා. එය ලෝකයේත් පිළිගත් ක්‍රමයක්. ලෝකයේ වෙනත් අකුරු නිර්මාණය කරනකොටත් ඔය රූල් ටික තමයි යොදාගන්නෙ. එහෙත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දරුවන්ට හඳුන්වා දී තියෙන නව ක්‍රමය මඟින් ඒ ඉරි සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා.

ඔවුන් පස් රූල් කියලා රූල් පහක් මූලික වශයෙන් දාලා තව ඊට අමතරවත් මැද රූල් දාලා තියෙනවා. එතකොට ඔක්කොම රූල් අටක් නවයක් විතර තියෙනවා. ඒ තුළ කුඩාවට ලියනකොට ළමයෙකුට අකුරුවල කොටස් හරියට ගළපන්න අමාරුයි. ඇත්තටම කියනවා නම් මෙය ආපස්සට යෑමක් විදියටයි අපට දකින්න පුළුවන්. අපි සීගිරි යුගයේ අකුරු ලියපු විදියට නැවත යන්න ඕන නැහැ.

අපට දැන් යන්න තියෙන්නෙ ඉස්සරහටනෙ. ඇත්තම කතාව නම් දැන් අකුරු ලිවීම කියන දේ නැති වෙමින් යනවා. අපි දැන් ටයිප් කරන්නෙවත් නැහැ, ටච් ස්ක්‍රීන් එකේ ඇඟිල්ල තියලා තමයි අපි දැන් ස්ක්‍රීන් එකේ අකුරු මතු කරගන්නෙ. එවැනි පසුබිමක් තුළ අතින් ලිවීම තව ව්‍යාකූල කරලා, වැඩ වැඩි කරගන්න ඕන නැහැනෙ.

පරිගණක භාවිතය ප්‍රචලිතව ඇති අද වැනි යුගයක අතින් අකුරු ලිවීම ගැන කලබල විය යුතුද?

අපි ඒ ගැන එතරම් කලබල වෙන්න ඕන නැහැ කියලා මමත් හිතනවා. අද වැඩි පිරිසක් පරිගණක භාවිත කරන නිසා අතින් අකුරු ලිවීමේ අවශ්‍යතාව අඩු වෙලා තියෙන බව අපට පිළිගන්න සිදු වෙනවා. ලිවීමේ කටයුතු සඳහා පරිගණකය භාවිත කරන විට පරිගණකයෙන් අකුරේ හැඩය එනවා නම් වෙන වෙන ඒවා කර කර ඉන්න ඕන නැහැනෙ. ඒ නිසා තමයි මම වෙන වෙන ඉගැන්වීම්වලට පෙළැඹුණේ නැත්තෙත්.

එහෙත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් එවැනි දෙයකට පෙළඹිලා තියෙනවා. මෙතෙක් තිබිච්ච හොඳ ක්‍රමයක් වෙනුවට වැරදි ක්‍රමයක් දැන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා ඒ ගැන නම් කලබල වෙන්න අපට සිදු වෙනවා.

මේ නව අකුරු ලිවීමේ ක්‍රමය හරහා වාණිජ අරමුණු මුල් කරගත් ව්‍යාපාර මාෆියාවක් ක්‍රියාත්මක වන බවක් පෙනෙනවා?

වෙළෙඳාම කියන එක හැමතැනම තියෙනවා. උදාහරණයක් විදියට සංස්කෘතික අමාත්‍යංශයෙන් ‘පූජාවලිය’ පළ කරනවා කියලා හිතමුකො. ඒ පොත නිකම් දෙන්න බැහැනෙ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ‘මහාවංශය’ පළ කරනවා නම් අනිවාර්යයෙන් එය විකුණන්න ඕනනෙ. මේ වටිනා සහ පූජනීය හැම දේකමත් වෙළෙඳාමක් තියෙනවා. අධ්‍යාපනයත් විකුණනවා. ඒ ගැනත් වාදයක් නැහැ.

විවිධ අය පෙළපොත්වලට සමානව වෙනත් පොත් පළ කරනවා. ප්‍රශ්නෝත්තර පොත් පළ කරනවා. ඒ හැම එකක්ම දරුවන්ට ආධාරක විදියට වැදගත් වෙනවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේ මාර්ගෝපදේශයට අනුව තියෙන අකුරු ජනතාව අතරට හෝ ගුරුවරුන් අතරට හෝ යෑමේ වෙළෙඳාමක් තියෙනවාද කියලා නම් මම දන්නෙ නැහැ.

අතින් අකුරු ලිවීම මෙසේ සංකීර්ණ කිරීමට හේතුව කුමක් විය හැකිද?

මට ඒක තේරෙන්නෙ නැහැ. සමහර විට අධ්‍යාපන බලධාරීන් හිතනවාද දන්නෙ නැහැ පරිගණක අකුරුවලට වඩා වෙනස් පණ්ඩිත කොටසක් අතින් ලියන අකුරුවලට ඇතුළත් කළ යුතුයි කියලා.

ඔවුන් ඒ කටයුත්තේ බලධාරීන් වන නිසා එවැනි දෙයක් කිරීමට අයිතියක් තමන්ට ඇතැයි ඔවුන් සිතනවා විය හැකියි. අපි වෙනත් දෙයක් කරන්න ඕන, කුඩා දරුවන්ට වෙන විදියකට අකුරු ලියන්න උගන්වන්න ඕන කියලා ඔවුන් සිතනවාත් විය හැකියි. මට ඒ ගැන අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් මෙතරම් විධිමත් බවට පත් වෙලා තියෙන අකුරු තව ව්‍යාකූල කරන්න වුවමනාවක් නැහැ. ඒකෙ වෙළෙඳ අරමුණු තියෙනවාද කියලා මම දන්නෙ නැහැ. හැබැයි මේ අකුරු ලිවීම සඳහා ඉදිරිපත් කර ඇති නව ක්‍රමයෙන් දරුවන්ට වැඩක් නැහැ.

මට පෙනෙන විදියට දරුවන්ට මේ අකුරු මේ විදියට ලියන එකෙන් කිසිම ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. අකුරු ලිවීම කියන එක නැති වෙමින් යන දෙයක්. සරලව කරගෙන යන තරමට තමයි යම් තරමකින් හෝ මෙය පවත්වාගෙන යන්න පුළුවන්. මේ කියන ක්‍රමවලට ගියොත් දරුවන්ට අකුරු ලියන එක එපා වෙනවා.

අකුරු නිර්මාණකරණයේ දීර්ඝ කාලීනව නියැලී සිටින කෙනෙක් විදියට මෙවැනි අවස්ථාවක ඔබට කිසියම් මැදිහත්වීමක් කළ නොහැකිද?

මගේ මැදිහත්වීම හැටියට මට කරන්න පුළුවන් එක් දෙයක් තමයි මේ පොත පළ කිරීම. මේ සඳහා මම දන්න සිංහල විෂය පිළිබඳ මහාචාර්යවරුන්ගෙනුත් උපදෙස් ගත්තා. ඔවුන් සමඟ මගේ ගමන මම යනවා.

මේ කෘතියෙන් විසඳුමක් ලැබෙයි කියා ඔබ සිතනවාද?

ඒක නම් මට කියන්න අමාරුයි. අධ්‍යාපන අමාත්‍යංශය කියන්නෙ අධිකාරියක්නෙ. මා වැනි තනි පුද්ගලයෙක් කියන දෙයකට ඔවුන් ගරු කරයි කියලා හිතන්න බැහැ. ඔවුන් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අත්පොත සකස් කරනකොටත් මගේ අකුරු නිර්මාණ භාවිතයේ තිබුණා. අනෙක, ඒ මාර්ගෝපදේශ අත්පොත පළ කරන්නෙත් මගේ අකුරුවලින්. ඒ නිසා ඔවුන් මා පිළිබඳව දැනුවත් වෙලා නැති වෙන්න විදියක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ මාර්ගෝපදේශ අත්පොත සඳහා මගේ ක්‍රමය හෝ ඒ පිළිබඳ දේවල් පරිශීලනය කළා නම් මේ වගේ දෙයක් වෙන්නෙ නැහැ.

මේ මාර්ගෝපදේශ අත්පොතට අදාළ සියලු වැඩ කටයුතු කෙරෙන්නෙත් මගේ අකුරුවලින්. හැබැයි ඔවුන් කියනවා වෙන අකුරක් මෙහෙමයි ලියන්නෙ කියලා. මේ සම්බන්ධයෙන් මට එක විදුහල්පතිවරයෙකුත් කතා කළා. එතුමා කියනවා ඔවුන් අකුරු ලියන්න කියලා එක ක්‍රමයක් යෝජනා කරලා ඔබේ ක්‍රමයට පොත මුද්‍රණය කරලා තියෙනවා කියලා. මෙතැන ලොකු පරස්පරයක් තියෙනවා.

එහෙම නම් ඔවුන් මේ පොත මුද්‍රණය කරන්න ඕන ඔය කියන අකුරුවලින්. එහෙත් එහෙම දෙයක් කෙරෙන්නෙත් නැහැ. ඔවුන් මගේ අකුරුවලින්ම පොත මුද්‍රණය කරනවා. හැබැයි පොත ඇතුළෙ කියනවා ඒ අකුරු වැරදියි මෙන්න මෙහෙමයි වෙන්න ඕන කියලා. ඔවුන්ගේ අධිකාරිය යටතේ දැනට කටයුතු සිද්ධ වෙලා තියෙන්නෙත් ඔහොම නම් ඉදිරියටත් මම කියන දෙය පිළිපදියි හෝ භාවිතයට ගනියි කියලා මම හිතන්නෙ නැහැ.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා