මම සංස්කරණය ගැන වද වෙන්නෙ නෑ : දර්ශනා ශම්මි විජේතිලක

 ඡායාරූපය:

මම සංස්කරණය ගැන වද වෙන්නෙ නෑ : දර්ශනා ශම්මි විජේතිලක

ප්‍රභාශ්වරය’ කෙටිකතා සංග්‍රහය ලියා පළ කරමින් නිර්මාණකරණයට පිවිසි දර්ශනා ශම්මි විජේතිලක කවිය, කෙටිකතාව, නවකතාව සහ චාරිකා සටහන් රචනා ඇතුළු විවිධ සාහිත්‍යාංග ඔස්සේ සිය ප්‍රතිභාව ප්‍රකට කළ ලේඛිකාවකි. ඇය රචනා කළ ‘අසනග වැසි’ නවකතාව මෙවර ස්වර්ණ පුස්තක අවසන් වටය සඳහා මෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සහ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ සඳහා ද නිර්දේශ විය. වෙනස් ආකාරයක කතා තේමාවක් ඔස්සේ ගොඩනගන ලද අපූරු නවකතාවක් ලෙස ඉහළ පාඨක විචාරක ඇගයුමට ලක් වූ එහි පිටපත් විසිපන් දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට අලෙවි වී ඇතැයි සඳහන් වේ. සුසර ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇති ‘අසනග වැසි’ නවකතාව නිමිත්ත කරගනිමින් අප පසුගියදා දර්ශනා ශම්මි විජේතිලක සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

 

 

‘අසනග වැසි’ නවකතාවට ලැබුණු ප්‍රතිචාර ගැන ඔබේ අදහස කුමක්ද?

‘අසනග වැසි’ නවකතාවට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. තවමත් ලැබෙමින් පවතිනවා. දැනට මේ නවකතාව ලංකාවේ හිතන්නත් බැරි තරම් විශාල පාඨක පිරිසක් අතරට ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට නවකතාවේ විසිපන් දහසකට ආසන්න පිටපත් ප්‍රමාණයක් අලෙවි වෙලා තියෙනවා.

මම මේ නවකතාව ලිව්වේ ඇත්තටම හුඟක් මහන්සි වෙලා. අවුරුදු දෙකක පමණ කාලයක් තිස්සේ විවිධ කරුණු හොයලා බලලා තොරතුරු රැස්කරගෙනයි මම නවකතාව ලියන්න පටන් ගත්තෙ. ඒත් මේ තරම් පාඨක පිරිසක් අතරට එය යයි කියලා නම් මම කිසිසේත්ම හිතුවේ නැහැ. සාමාන්‍යයෙන් ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණාම නවකතාවක පිටපත් වැඩියෙන් අලෙවි වන ප්‍රවණතාවක් තියෙනවා. මෙයට අවුරුදු දහයකට පමණ කලින් මගේ ‘ගිරග සසල විය’ නවකතාවත් ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණා. හැබැයි ඒ කාලයේ මේ තරම් පිටපත් ප්‍රමාණයක් පාඨකයො අතරට ගියේ නැහැ. ඒත් මෙවර නිර්දේශයෙන් පසුව නවකතාවේ පිටපත් විශාල ප්‍රමාණයක් පාඨකයො අතරට ගියා. ගිය අවුරුද්දේ නිර්දේශ ලැබූ නවකතාවලට වඩා මේ අවුරුද්දේ නිර්දේශ ලැබූ නවකතා වැඩියෙන් අලෙවි වුණු බවක් පෙනෙන්න තියෙනවා. ඒ අතරින් මගේ නවකතාව ගැන බොහෝ අය ප්‍රසාදයෙන් කතා කළා. ඒ සමහරු කිව්වේ ස්වර්ණ පුස්තකය ලැබෙන්න තිබුණෙ මේ නවකතාවටයි කියලයි. ඔවුන් එහෙම කියන්න ඇත්තේ මේ නවකතාව සාහිත්‍ය පැත්තට වඩාත් බර නිසා වෙන්න ඇති. ඒවා විනිශ්චය මණ්ඩලවලට පරිබාහිරව සිටි අය ඉදිරිපත් කළ අදහස් පමණයි. සම්මානයට නිර්දේශ වීම හෝ සම්මාන නොලැබීම කියන කාරණාවට ඒ අදහස් සම්බන්ධ නැහැ. මම මේ නවකතාව ලිව්වේ සම්මාන ගැන හිතලා නෙවෙයි. ඒ නිසා සම්මානයට නිර්දේශ වුණා හෝ ඒක නොලැබුණා කියන එක ගැන මම කොහොමත් හිතන්නෙ නැහැ. මේ සම්මාන සඳහා පොත් තෝරන්නෙ අපි ඒවා ලියලා පළ කළාට පසුවනෙ. අනෙක එතැන තියෙන්නෙ සම්මාන සඳහා කෘති තෝරන පස් දෙනෙකුගේ මතය පමණයිනෙ.

සම්මාන හෝ සම්මාන නිර්දේශ ලේඛකයන්ට වැදගත්ද?

ඒවායේ කිසියම් වැදගත්කමක් තියෙනවා. සාහිත්‍ය කෘතියක් සම්මානයක් ලැබීම හෝ ඒ සඳහා නිර්දේශ වීම හරහා එය හොඳ පොතක් වෙන්න ඇති කියන පිළිගැනීමක් ඇති වෙනවා. ඒ හරහා පොත වැඩි පාඨක පිරිසක් අතරට යනවා. එක පැත්තකින් එහෙම වෙනකොට තවත් පැත්තකින් මේ සම්මාන සහ නිර්දේශයන් නිසා අපි වගේ අයට ඇතැම් ප්‍රවීණයින්ගේ පවා අවධානය යොමු වෙනවා. මේ අලුත් ලේඛක ලේඛිකාවො මෙච්චර ඉක්මනට ඉදිරියට ආවේ කොහොමද කියලා අහන ප්‍රවීණයොත් අප අතර ඉන්නවා.

‘අසනග වැසි’ නවකතාවෙ නම ගැනත් සමහර මහාචාර්යවරු චෝදනාත්මක ස්වරයෙන් කතා කරලා තිබුණා. දිව පැටලෙන නමක් දාගත්තට නවකතාවේ අන්තර්ගතය වැඩක් නැහැ කියලා ඒ සමහරු කියලා තිබුණා. හැබැයි මම නම් ඒ වගේ දේවල් නිසා දුර්මුඛ වෙලා ලියන්නෙ නැතුව ඉන්නෙ නැහැ. ඒ වගේම මම කලබලේට ලියන්නෙත් නැහැ. මීට කලින් මගේ නවකතාවක් ස්වර්ණ පුස්තක නිර්දේශ වුණු වෙලාවේ සමහරු මගෙන් ඇහුවා දැන් ස්වර්ණ පුස්තකයට දිගටම ලියනවාද කියලා. මම එහෙම ස්වර්ණ පුස්තකය බලාගෙන නම් ලියන්නෙ නැහැ. මෙතෙක් කල් මම ලියපු පොත් හැම එකක්ම එකිනෙකට වෙනස්.

එහි අදහස සම්මාන ලේඛකයාට බලපාන්නේ නැති බවද?

මම කොහොමත් ලියන්නෙ මගේ ශෛලියෙන් නිසා එහෙම බලපෑමක් ඇති වෙන්න විදියක් නැහැ. සම්මාන හෝ නිර්දේශ ලැබුණයි කියලා ඒ ශෛලියේ අමුතුම වෙනසක් සිදු වෙන්න බැහැනෙ. ඒනිසා සම්මානයක් ලැබුණත් නැතත් කෙනෙකුගේ ලියන ශෛලිය වෙනස් වෙන්නෙ නැහැ කියලයි මම නම් හිතන්නෙ. කොහොමත් මම පොතක් ලියන්න කලින් හොඳට කරුණු හොයලා බලනවා. උදාහරණයක් ගත්තොත් මේ නවකතාවේ සිංහල වෙදකම, නක්ෂත්‍රය සහ සංස්කෘත ශ්ලෝක වගේ දේවල් තියෙනවා. මම ඒ හැමදෙයක්ම ඇත්තටම ඉගෙන ගත්තා. එහෙම නැතුව මම කිසිම දෙයක් මතුපිටින් දැනගෙන විතරක් ලියන්නෙ නැහැ. හැමවිටම පාඨකයාට දෙන්න ඕන නිවැරදි දේ කියන අදහස මා තුළ තියෙනවා.

මේ නවකතාව සඳහා ඔබ කළ අධ්‍යයනය ගැන කීවොත්?

ඔය නවකතාවට අදාළ කරුණු ගැන මම අවුරුදු දෙකක් විතර දීර්ඝ වශයෙන් හොයලා බැලුවා. ඒ අතරම මට ලැබුණු ඇතැම් තොරතුරු නිවැරදිද කියලා නිශ්චිත වශයෙන්ම දැනගන්න නැවත නැවතත් ඒවා ගැන විවිධ ආකාරවලින් සොයා බලන්න මට සිද්ධ වුණු අවස්ථාත් තිබුණා. මුලින්ම මම ආලත්ති අම්මලා ගැන හොයනකොට ලැබුණු තොරතුරු නිවැරදි නැති බව නැවත නැවතත් කරුණු හොයලා බලනකොට මට දැනගන්න ලැබුණා. ඒ වගේම මම ආලත්ති අම්මලා හමු වෙන්නත් ගියා. ඔවුන් පැවත එන්නේ වල්ලි අම්මාගේ පරපුරෙන් බවත් මට දැනගන්න ලැබුණා. ඒ විදියට දීර්ඝ වශයෙන් කරුණු හොයලා බලලා නිවැරදි තොරතුරු මොනවද කියලා හරියටම තහවුරු කරගත්තට පස්සෙ තමයි මම නවකතාව ලියන්න පටන් ගත්තෙ. කරුණු රැස්කර ගත්තට පස්සෙ මම සුමාන දෙක තුනකින් විතර නවකතාව ලිව්වා. සාමාන්‍යයෙන් මම ලියන්නෙ ඒ විදියටයි. කාලයක් තිස්සේ දීර්ඝ වශයෙන් තොරතුරු හොයාගෙන, ඊට පස්සෙ වේගයෙන් ලියනවා. ලියන්න පටන් ගත්තට පස්සෙ මම දිගට දිගට ලියාගෙන යනවා. ලියන අතරේ හෝ ඊටපසුව ඒක වෙන කෙනෙකුට බලන්න දෙන්නෙත් නැහැ. සමහර වෙලාවට ඒක වැරැද්දක් වෙන්න ඇති. ඒත් පොත පළ කරන තුරුම මම ලියපු දේවල් කවදාවත් කිසිම කෙනෙකුට බලන්න දෙන්නෙ නැහැ. පොතට දාන නම ගැන වුණත් තව කෙනෙකුගෙන් අහන්නෙ නැහැ. මම තනියෙන්ම හිතලා පොතට නම දානවා.

ඔබේ අත්පිටපත සංස්කරණයකට ලක් වෙනවාද?

මම සාමාන්‍යයෙන් කටු සටහනක් කියලා දෙයක් වෙනම ලියන්නෙ නැහැ. ලියන පිටපත බලලා හරිගස්සන්න කියලා කාටවත් දෙන්නෙත් නැහැ. ඒ ලියන අත්පිටපතම තමයි මුද්‍රණය සඳහා භාර දෙන්නෙ. සමහර වෙලාවට ඡායාස්ථ පිටපතක්වත් මාගේ ළඟ තියාගන්නෙ නැහැ. කොහොමත් සංස්කරණයක් කියලා දෙයක් දැනට ලංකාවේ කෙරෙන්නෙ නැහැනෙ. මම හිතන්නේ මේ අවුරුද්දේ ඉඳලා අපේ සමහර ප්‍රකාශකයො විධිමත් ආකාරයට සංස්කරණය පටන් ගන්න තීරණය කරලා තියෙනවා. කොහොමටත් මගේ අත්පිටපතක් නම් සංස්කරණය සඳහා වෙන කෙනෙකුට භාරදෙන්න මම පෞද්ගලිකව කැමති නැහැ. ඒක මගේ දුර්වලකමක් හෝ වැරැද්දක් වෙන්න ඇති. ඒ කොහොම වුණත් ඒ වගේ සංස්කරණයකට මම එච්චරම කැමති නැහැ. අපේ ඇතැම් අයගේ කුහකකම නිසා පොතේ හොඳම හරිය ඔවුන් කපන්න ඉඩ තියෙනවා. මෙයට පෙර එවැනි දේවල් සිදු වුණු අවස්ථා ගැන මම පෞද්ගලිකවම දන්නවා.

අද පාඨක සමාජය ගැන ඔබේ අදහස කුමක්ද?

දැන් අපේ පාඨකයො වැඩිපුරම යොමු වෙන්නෙ පරිවර්තනවලටයි. ඒ වගේ පසුබිම තුළ අපට සමීප සාහිත්‍යයක් එක්ක යන පොත් වැඩි වැඩියෙන් ඉස්සරහට ගන්න ඕන. ළමයෙක් පොතක් අතට ගත්තාම ඒ පොත නිසා වෙන පොත් කියවීමත් එපා වෙනවා නම් වැඩක් නැහැනෙ. අලුත් පරපුර කියවීමට හුරු කරවන රසවත් සාහිත්‍යයක් අපට අවශ්‍යයි. කෙනෙකුට හොඳ රසවත් සිංහල පොතක් දුන්නාම ඔවුන් ඒක ආසාවෙන් කියවලා තවත් සිංහල නවකතා හොයාගෙන යනවා. එවැනි හොඳ පොත් වැඩි වැඩියෙන් සමාජගත වෙන්න ඕන අන්න ඒ නිසායි. හැබැයි ඒ කටයුත්ත හරියට කරන්න ඕන නම් සාහිත්‍ය සම්මාන සඳහා කෘති තේරීමටත් හොඳ විනිශ්චය මණ්ඩල පත් කරන්න ඕන. ඔවුන් වෙන කිසි කෙනෙකුට යටත් නොවී ස්වාධීන තීරණ ගන්න අය වෙන්න ඕන. දැන් ඉන්න විනිශ්චය මණ්ඩල සාමාජිකයො එක එක්කෙනාට ඇඟිලි දික් කර ගන්නවා. අරයා කියපු නිසා මට මේ පොත තෝරන්න සිද්ධ වුණා, හැබැයි ඇත්තටම මට තෝරන්න ඕන වුණේ අහවල් පොත, ඒත් අනෙක් අය මෙහෙම කිව්වා කියලා කියන විනිශ්චය මණ්ඩල සාමාජිකයොත් මේ රටේ ඉන්නවා. විනිශ්චයක් දෙනකොට එහෙම වෙන්න බැහැනෙ. විනිශ්චයක් ලබා දෙන කෙනෙකුගේ කොන්ද හොඳට පණ තියෙන්න ඕන. මම තෝරන්නෙ මේ පොත කියලා කියන්න පුළුවන් අය විනිශ්චය මණ්ඩලවල ඉන්න ඕන. ඒ අය කාටවත් යටත් වෙන්න ඕන නැහැ. එහෙම අයත් මේ රටේ ඉන්නවා. හැබැයි ඔවුන් විනිශ්චය මණ්ඩලවල නැහැ.

අද වන විට සාහිත්‍ය සම්මාන ගැන විශ්වාසය බිඳ වැටිලාද?

ඔව්, ඇත්තටම සම්මාන ගැන කිසිම විශ්වාසයක් අද බොහෝ අය තුළ නැහැ. සම්මානයක් ලැබූ පොත් පමණක් ගන්න අයත් දැන් ඒ තරම් නැහැ. සම්මානයක් හම්බ වුණාට අපට ඒ පොත එපා කියන තැනට අද බොහෝ අය ඇවිල්ලා තියෙනවා. ඒක මම අත්දැකීමෙන්ම දැක්කෙ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මම දවස් හයක් විතර හිටපු නිසායි. හැඳුනුම්කමට, බයට, මගේ පෞද්ගලික ජීවිතය ඇදලා අරගෙන කවුරු හරි මට පත්තරයකින් බණියි කියන බයට සම්මාන දෙන්නෙ නැතිව, නිවැරදි විනිශ්චයන් දෙනවා නම් සම්මානවලට වටිනාකමක් ලැබෙනවා. මෙවරත් සම්මාන සඳහා නිර්දේශවත් නොලැබූ පොත් අතර ඉතාම හොඳ පොත් තිබුණා. අනෙක සංහිඳියාව ගැන ලියැවුණු කෘතිවලට සම්මාන දෙන්න බොහෝ අයට ලොකු උනන්දුවක් තියෙන බවක් පහුගිය කාලයේ අපි දැක්කා. හරි නම් එහෙම වෙන්න ඕන නැහැනෙ. සමහරු සම්මාන අපේක්ෂාවෙන් තමන්ගෙ පොත්වලට දෙමළ සහ මුස්ලිම් සම්බන්ධතාවක් තියෙන මොනවා හරි සිද්ධි ටිකක් දාගන්නවා. මේ සියලු තත්ත්වයන් අතරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල නම් කිසියම් මධ්‍යස්ථභාවයකින් සහ විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක වන බවයි මගේ අදහස.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා