මා සසල කළේ හර්මන් හෙසගේ ‘සිද්ධාර්ථ’ නවකතාවයි : චිත්‍ර ශිල්පී ශාන්ත කේ. හේරත්

 ඡායාරූපය:

මා සසල කළේ හර්මන් හෙසගේ ‘සිද්ධාර්ථ’ නවකතාවයි : චිත්‍ර ශිල්පී ශාන්ත කේ. හේරත්

මම අපේ පවුලේ වැඩිමහල් දරුවා. මට සහෝදරයන්ම පස්දෙනෙක් ඉන්නවා. මගේ උපන් ගම මහනුවර දිස්ත්‍රික්කයේ මැදවල ගම්පියස. අම්මා - අප්පච්චි දෙන්නාම ගුරුවරු. අත්තම්මාත් ගුරුවරියක්. ලොකුඅත්තා ට්වුඩ් රෙද්ද ඇන්ද පරණ විදුහල්පතිවරයෙක්. මම හැදී වැඩෙන්නේ පොත්පත් කියවන දැන උගත්කම් සහිත වැඩිහිටියන් සිටි පරිසරයක. මම කියවන්න දන්නෙ නැති කාලේ ඉඳලම පොත්පත් කියවන්න උත්සාහ කළා. ගෙදරදී අම්මා - අප්පච්චි පොත් කියවනකොට කියවන්න දන්නේ නැති මම පොත කණපිටට හරවාගෙන කියවන්න උත්සාහ කළා මතකයි.

මගේ ලොකුඅත්තා පත්තර කියවන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඔහු උදේට දිනමිණ, සිළුමිණ, දවස වගේ පත්තරත් සවසට සවස පත්තරයත් ගන්නවා. පුංචි අපි වෙලාව බලන්න දන්නේ නැති වුණාට පත්තරේ ගෙදරට එන වෙලාව දැනගෙන හිටියා. ලොකුඅත්තා නිදාගත්ත ඇඳේ පැත්තක පුංචි මට වඩා උස පත්තර ගොඩක් තිබුණා. ඒ පත්තර ගොඩේ නවයුගය, රසවාහිනී ආදී සඟරාත් තිබුණා. මම ඒවායේ තිබුණ රූප බලන්න හරිම කළා.

ඒවගේම ලොකුඅත්තා අපට ටිකිරි, මිහිර වගේ පත්තර අරගෙන දුන්නා. ටිකින් ටික වයසින් මෝරනකොට ලොකුඅත්තා අපට වත්තේ තියෙන සාදික්කා, පුවක් ඇහිඳලා ගොඩ කරන්න පුරුදු කළා. මොකද ඒවා විකුණලා ලැබෙන මුදලිනුත් ඔහු අපට පොත් අරගෙන දුන්නා. ඒ කාලේ අපේ වත්තේ අපි සාදික්කා, පුවක් ඇහිඳින්න දුවපු තැන්වල දුවලාම අඩිපාරවලුත් හැදිලා තිබුණා. අපට ඒ දවස්වල අම්මායි, අප්පච්චියි ගුණසේන සමාගමේ ලිහිණි පොත් එහෙම අරන් දෙන හුරුවකුත් තිබුණා. මේ නිසා පොඩි කාලේ අපට පොත්පත් අඩු නැතිව තිබුණා.

මම ටිකින් ටික වයසින් මුහුකුරා යනකොට ඩීමන් ආනන්දගේ පොත් කියවන්න පුරුදු වුණා. ඒවගේම රණරාළ, මඩොල් දූව ආදී පොත් කියවන්නත් යොමු වෙනවා. මම චිත්‍ර කලාව ගැන ඉගෙනගන්න ගොඩක් උපකාර කරගත්තේ රුසියන් පොත්පත්. මහනුවර හාරිස්පත්තුවේ දොරණෑගම කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මම ද්විතියික අධ්‍යාපනය ලැබුවේ නුගවෙල මධ්‍ය මහා විදුහලෙන්. ඒ පාසල්වලිනුත් මගේ කියවීමට නිසි අනුබලය ලැබුණා.

ඉතින් මම මෙතෙක් කියවූ පොත්වලින් මා සසල කළ කෘතිය දයාරත්න ගරුසිංහ සිංහලට පරිවර්තනය කළ හර්මන් හෙසගේ ‘සිද්ධාර්ථ’ නවකතාවයි. අපේ සමාජයේ සිදු වන්නේ යමෙක් ඉගෙනගත් දෙයක් තව කෙනෙකුට වෙනසක් නොමැතිව ලබාදීමයි.

ඉගෙනගන්න කෙනාත් වෙනසක් නැතිව තම ගුරුකුලයට අයත් දේ එලෙසම ග්‍රහණය කර ගන්නවා. එහිදී ඒවා ප්‍රශ්න කෙරෙන්නෙ නෑ.

ඒත් මේ කෘතියෙන් කියවෙන්නේ කෙනෙක් යම් ගුරුකුලයකට අයත්ව එහිම එල්බ ගන්නවාට වඩා තමන් සතු බුද්ධිය පාවිච්චි කරලා ගන්නා දැනුමෙන් තෘප්තිමත් වීම වැදගත් බවයි. මෙය ඉතා අපහසු වෙන්න පුළුවන්. ඒත් තමන් උත්සාහයෙන් සොයා ගන්නා දැනුම වඩා විශ්වසනීය බව මේ කෘතියෙන් කියවෙනවා.

‘සිද්ධාර්ථ’ නවකතාවේ කතානායකයා බුදුන් වහන්සේ වැඩ සිටි සමකාලීන භාරතයේ සිටි අයෙක්. ඔහුගේ නමත් සිද්ධාර්ථ. ඔහු වාසය කරලා තියෙන්නෙත් බුදුන් වහන්සේ වැඩ සිටි තැනට සැතපුම් දහයක් පහළොවක් දුරින්. ඔහුට මිතුරෙක් ඉන්නවා.

මිතුරා කතානායක සිද්ධාර්ථ ගැන කලකිරී බුදුන් වහන්සේ සරණ යනවා. කතාව අවසන් වන විට සිද්ධාර්ථ අසනීප වී ගසක් මුල වැතිරී ඉන්නවා. ඒ අසලින් බුදුන් ප්‍රමුඛ සංඝයා වඩිනවා. ඒ අතර සිටි සිද්ධාර්ථගේ මිතුරා ඔහු අසලට පැමිණ වැළපෙනවා.

ඒ දකින කථානායක සිද්ධාර්ථ පවසන්නේ “මිත්‍රය, ඔබ පැවිදි වී බණ අසා සිටියත් බුදුන්ගේ ධර්මය අවබෝධ කරගෙන නැහැ. මෙය වැළපිය යුත්තක් නෙවෙයි” කියායි. සිද්ධාර්ථගේ මේ වදන්වලින් ඔහු කෙතරම් මනස දියුණු වූ අයෙක්ද යන බව පෙනෙනවා. මෙසේ නව දැක්මක් සහ නව මානයක් සහෘදයන් වෙත ළඟා කරන හර්මන් හෙසගේ ‘සිද්ධාර්ථ’ මා මෙතෙක් කියවා ඇති හද සසලම කළ කෘතිය වෙනවා.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා