බෞද්ධ අධ්‍යයන විෂය ඉගෙනීමේ ජාතික වැදගත්කමක් තියෙනවා

 ඡායාරූපය:

බෞද්ධ අධ්‍යයන විෂය ඉගෙනීමේ ජාතික වැදගත්කමක් තියෙනවා

බෞද්ධ දර්ශනය ඇසුරින් සමාජ ගැටලු විමසුම් සහගතව අධ්‍යයනය කරමින් විවිධ ශාස්ත්‍රීය පර්යේෂණ ගණනාවක නිරත වෙමින්ද, ඒ ඇසුරින් ශාස්ත්‍රීය කෘති සහ ලේඛන ගණනාවක් පළ කරමින්ද දෙස් විදෙස් අවධානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික විද්වතෙකු වන මහාචාර්ය අසංග තිලකරත්න එම විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පෙර අපර දෙදිග වශයෙන් පුළුල් අවබෝධයක් සහිත ප්‍රාමාණිකයෙකි. වර්ෂ 1979දී ‘මිනිස් ගැටලු පිළිබඳ බෞද්ධ විග්‍රහය’ නමින් කෘතියක් ලියා පළ කරමින් විශාල පාඨක පිරිසකගේ අවධානය දිනාගත් ඔහු ඒ කෘතිය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබීය. මේ, අප ඔහු සමඟ පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

බෞද්ධ හා පාලි අධ්‍යයන හෝ පර්යේෂණ අද සමාජයට වැදගත් වන්නේ කුමන ආකාරයටද?

එය බෞද්ධ පර්යේෂණ සහ බෞද්ධ අධ්‍යයන ගැන කතා කරන විට හුඟ දෙනෙක් අහන ප්‍රශ්නයක්. විශ්වවිද්‍යාලයේ ළමයි පවා බොහෝ විට ඔය ප්‍රශ්නය අහනවා. මේ විෂය කරලා රස්සාවක් ගන්න පුළුවන්ද කියන එක ඒ බොහෝ අයට තියෙන ප්‍රශ්නයක්. ළමයි විතරක් නෙවෙයි, අද අපේ රටත්, රටේ නායකයොත් ඔය ප්‍රශ්නය අහනවා. හොඳ රැකියාවක් ලබාගත මාර්ග විවර කරදෙන සමහර විෂයන් වෙනුවට බෞද්ධ අධ්‍යයනය වගේ විෂයන් කරලා ළමයින්ට තියෙන අනාගතය මොකක්ද කියන එක ඒ බොහෝ අය මතු කරන ප්‍රශ්නයක්. ඒ විදිහට වෘත්තීය, නැත්නම් වෘත්තියක දෘෂ්ටිකෝණයෙන්ම අධ්‍යාපනය දිහා බැලීමේ එක්තරා ආකාරයක ගැටලුවක් තියෙනවා.

වෘත්තියකට යම් කෙනෙක් පුහුණු කිරීම පමණක් කෙරෙන විට ජනකොට්ඨාසයක් විදිහට අපේ සමාජය ආකල්පවලින්, එහෙම නැත්නම් පුළුල් සමාජ දර්ශනයකින් යුක්ත වෙන්නේ නැති වෙනවා. දැනට බොහෝ දුරට සිද්ධ වෙන්නේ වෘත්තීය වශයෙන් රස්සාවක් කරන්න පුළුවන් පිරිසක් හැදීම පමණයි. මෙතැනදි මම කියන්නේ එහෙම වෘත්තීය වශයෙන් රැකියාවක් කරන්න පිරිසක් හදන එක වැදගත් නැහැ හෝ එය අත්‍යවශ්‍ය නොවන දෙයක් කියන එක නෙවෙයි. එය ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍යයි.

එහෙත් ඒ සමඟම අපි සමාජය තුළ පුළුල් ආකල්පවලින් යුක්තව අපේ ගැටලු සහ ප්‍රශ්න දිහා පුළුල්ව බලන්න පුළුවන් පුරවැසි පිරිසක් බිහි කරන්නත් ඕන. ඒ වගේම එක්තරා ආකාරයක සදාචාර දර්ශනයක් තියෙන පිරිසක් අපි බිහි කරන්න ඕනෙ. මම බෞද්ධ අධ්‍යයන කියන විෂය දකින්නේ ප්‍රධාන වශයෙන්ම ඒ සන්දර්භය තුළයි. ඒ සමඟම වෘත්තික වශයෙන් කල්පනා කරලා බැලුවොත් බෞද්ධ අධ්‍යයනය වැනි විෂයක් ඉගෙනගැනීම තුළ ජාතික වශයෙන් කිසියම් වැදගත්කමකුත් තියෙනවා. විශේෂයෙන්ම පාසල් පද්ධතිය තුළ සහ උසස් අධ්‍යයන ආයතනවල මේ විෂය ඉගැන්වීම් සඳහා අපට විශාල පිරිසක් අවශ්‍යයි. එවැනි පිරිසක් නිර්මාණය කරන එකත් මේ බෞද්ධ අධ්‍යයන ක්‍රමය තුළ අපට කරන්න පුළුවන් ප්‍රධාන දෙයක්.

අද සමාජය තුළ ආගමික කරුණු සම්බන්ධයෙන් පවතින දැඩි උනන්දුව ගැන ඔබේ අදහස කුමක්ද?

රූපවාහිනී වැඩසටහන්වලට ඇවිල්ලා සමහර අය ගැඹුරු අභිධර්මය වගේ දේවල් ගැන සාකච්ඡා කරනවා. එහෙත් මම හිතන්නේ රූපවාහිනිය වැනි මාධ්‍යවල කාලය යොදාගන්න ඕනෙ සමාජයට පණිවුඩයක් දෙන්නයි. ගැඹුරු ධර්ම විග්‍රහ කළාට කමක් නැහැ. නමුත් ඒවා ඔස්සේ අපි මේ ජනතාව කොහාටද අරගෙන යන්න හදන්නෙ? අද ආගමිකත්වය සහ යහපත්භාවය කියන කාරණා දෙක දෙකක් විදිහට අපි තේරුම් ගන්න ඕන. ආගමිකත්වය කියන දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් අපි අද පුදුම විදිහට පන්සල් යනවා.

අද මේ රටේ වැඩියෙන්ම අලෙවි වෙන්නේ බණ පොත්. සීල ව්‍යාපාර වගේ දේවල් සංවිධානය වෙනවා. ඒ වගේම පල්ලිවලටත් යනවා. ආගමිකත්වය කියන එකෙන් බැලුවොත් අපේ රට හරිම ආගමික රටක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එයට සමාන්තරව මෙය සදාචාරවත් රටක්ද කියන එකයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔය දෙක අතර වෙනසක් තිබිය යුතු නැහැ. බෞද්ධ සම්ප්‍රදාය තුළ අපි ආගමිකත්වය සහ සදාචාරය කියලා වෙන් කරන්නේ නැහැ. ආගමිකත්වය හරහා අපට එන්නේ සදාචාරයම තමයි.

අද වන විට ආලෝක පූජා, අසූ හාරදහසේ පහන් පූජා වැනි සියලු දේවල් අපි කරනවා. ඒවට බොහෝ වියදම් කරනවා. එහෙත් ඒ තුළ සමාජයට යහපත සැලසෙන දේවල් කරන්න තියෙන ඉඩ අඩුයි. අපේ සමාජයේ, විශේෂයෙන්ම බෞද්ධයන් අතර චෛත්‍යයක් හදනවා වගේ දේකට, බුදු පිළිමයක් හදනවා වගේ දේකට මුදලක් ඉල්ලුවොත් ලැබෙන වේගයෙන් එසේ සම්ප්‍රදායික නොවන හොඳ දෙයක් සඳහා ඉල්ලුවට සල්ලි හම්බ වෙන්නෙ නැහැ. දස පුණ්‍ය ක්‍රියා කියලා පිංකම් තියෙනවනෙ. මම විහිළුවට වගේ කියන දෙයක් තමයි ඔය පුණ්‍ය ක්‍රියා අලුත් කරන්න ඕනෙ කියන එක. පරණ පිංකම් වෙනුවට අලුත් ලැයිස්තුවක් හදන්න ඕනෙ. දන් දෙනවා වගේ මිනිහෙකුට පාර මාරු වෙන්න ඉඩදෙන එකත් දානයක් කියලා හිතන්න ඕනෙ.

ආගම වෙනුවට සංහිංඳියා විෂයක් හඳුන්වාදීම පිළිබඳ කතාබහක් මේ වන විට ඇති වී තිබෙනවා?

ඒ විෂය ගැන විතරක් නෙවෙයි, සංස්කෘතිය සහ ඉතිහාසය වැනි දේවල් බැහැර කළ යුතුයි යන අදහසත් අද මතු වෙලා තියෙනවා. එවැනි විෂයන් නිසා වර්ගවාදී නැඹුරුවක් ඇති වෙනවා කියලා සමහරු කියනවා. ඒ නිසා ඒවා බැහැර කරමින් වෙනත් විෂයන් සඳහා යෑමේ සාකච්ඡාවක් සමාජය තුළ තියෙනවා. මම ඔය තත්ත්වය දකින්නේ එක්තරා ආකාරයකට අපේ සමාජය තුළ තියෙන සංස්කෘතික, ඓතිහාසික සහ ආගමික මුල් බුරුල් කිරීමේ ව්‍යාපාරයක් විදිහටයි.

මම පටු ආගමික පුද්ගලයෙක් නෙවෙයි. හැබැයි අපේ සමාජය අවුරුදු දහස් ගණනක් තිස්සේ මූලික වශයෙන් බෞද්ධ සමාජයක්. බෞද්ධ චින්තනය සහ බෞද්ධ සමාජය තුළ ඒ මූලධර්ම තුළ හැදිච්ච සමාජයක්. අපට මේ සමාජය මේකෙන් උපුටා අරගෙන අනාගමික සමාජ පදනමක පිහිටුවන්න පුළුවන්කමක් නැහැ. ඒකෙන් අපි කරන්නෙ මෙතෙක් තිබිච්ච මුල ගලවලා දාන එකයි. එහෙම නම් අපට පුළුවන් වෙන්න ඕන ඊට වැඩිය ප්‍රබල මුලක් මේකට ලබාදෙන්න. එහෙම නොවුණොත් සිද්ධ වෙන්නේ මේක අයින් කරන එක විතරයි.

සමාජයක පුද්ගලයා සතු සැබෑ වටිනාකම් ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

බුදුදහමට අනුව කියනවා නම් මිනිහෙකුගේ වටිනාකම තීරණය වෙන්නේ අවසානයේදී ඇඳන් ඉන්න ඇඳුම්ද, ගමන් කරන වාහනයද, පළඳින ඔරලෝසුවද, ඉන්න ගෙයද කියන මේ සියල්ල බැහැර කළ පසු ඔහුගේ කිසියම් වටිනාකමක් තියෙනවා නම් අන්න ඒක තමයි සැබෑ වටිනාකම කියලා.

ඒ කියන්නේ අභ්‍යන්තර වටිනාකමක් අපට තියෙන්න ඕනෙ. ආකල්ප, අදහස් සහ හැසිරීම කියන සියලු දේවල්වල ඒ වටිනාකම තියෙන්න ඕනෙ. අර කියාපු දේවල් සියල්ල අයින් කළ පසුවත් මේ මනුස්සයා වටිනවා කියලා අපට හිතෙනවා නම් ඇත්තටම ඔහු වටිනවා. වටිනාකම් භෞතික දේවල්වලින් කියනකොට ඒවා ගලවගන්න පුළුවන් දෙයක්. බෞද්ධ චින්තනය සහ පෙරදිග චින්තනය තුළ මිනිසාගේ වටිනාකම් කියලා කිව්වේ ලෙහෙසියෙන් අයින් කරන්න බැරි දේවල්. ධර්මය සහ ශාස්ත්‍ර ඥානය වැනි දේවල් ඒ අතර තියෙනවා.

අද විශාල වශයෙන් පැතිර යන ආධ්‍යාත්මික නැඹුරුව ගැන ඔබේ අදහස කුමක්ද?

ආගමික පුදපූජා වගේ දේවල්වලට මිනිස්සු නැඹුරු වෙන තත්ත්වය මම දකින්නේ ලෞකිකත්වය සම්බන්ධයෙන් අපේ තියෙන ඕනෑඑපාකම් සපුරාගැනීම සඳහා කරන දෙයක් හැටියටයි. අවශ්‍යතා වැඩි වෙන්න වැඩි වෙන්න අපි ආගමික පුදපූජා පැත්තට වැඩියෙන් යොමු වෙනවා. ඊට අමතරව භාවනාව වැනි දේවල්වලට අපේ ගිහි සමාජය තුළ පෙළඹවීමක් තියෙන බව පෙනෙනවා. ඒක සාධනීය දෙයක් විදිහට මම දකිනවා. ඒක සමහර විට වැරදි විදිහට පාවිච්චි කරන ආයතන ගැනත් මම අහලා තියෙනවා. සමහර විට මාර්ගඵල ලැබුණා කියලා සහතික දෙන ආයතනත් තියෙනවා. එහෙම නැතුව සාමාන්‍ය තත්ත්වය ගත්තොත් භාවනානුයෝගීවීම, තමන් ගැන මෙනෙහි කරන්න කාලයක් යෙදවීම වැනි දේවල් හොඳ දේවල්.

විවිධ ආගම් සම්බන්ධයෙන් ලොව පුරා පැතිර යන භක්තිවාදය, සැබෑ ආගමික විඥානය හෝ ආගමික සහජීවනය සඳහා ඉවහල් වෙනවා යැයි ඔබ විශ්වාස කරනවාද?

ඔතැනදි වැදගත් වන්නේ ආගම් කොහොමද තමන්ගේ ආගම සහ අනෙක් ආගම් දෙස බලන්නේ කියන කාරණයයි. නිදර්ශනයක් වශයෙන් කියනවා නම්, තමන්ගේ ආගම විතරයි සත්‍යය, අනෙක් ආගම් සියල්ල බොරු කරනවාය කියලා කියන එක තුළ ගැටලුවක් තියෙනවා. ඒ එක්කම කෙනෙක් පෙළැඹෙන්න පුළුවන් අසත්‍යයි කියන ආගම් නැති කර දමන්න. එතකොට තමයි ගැටලුවක් ඇති වෙන්නේ. තමන්ගේ ආගම නිවැරදියි කියලා හිතුණ ගමන් අනෙකුත් ආගම් වැරදියි හෝ නිවැරදියි කියලා හිතෙන්න පුළුවන්.

වැරදි හෝ නිවැරදි වුණත් ඒ ආගම්වලට සමාජය තුළ පැවතීමට අයිතියක් තියෙනවා. ආගම් කියන එක වැරදියට ගත්තොත් එය හරි භයානකයි. ඒ තුළ සමාජයකට සහජීවනයක් ගොඩනගන්න බැහැ. ආගමික සහජීවනය කියන එක සමාජයකට ඉතා වැදගත් දෙයක්. ආගමික සහජීවනය සඳහා ඒ ඒ ආගම්වල තියෙන අභ්‍යන්තර සම්පත් යොදාගත යුතුයි. එහෙත් ආගමික සහජීවනය ඇති කරන්න පොලීසිය ගෙන්නන්න අවශ්‍ය නම් එතැන සහජීවනය අසාර්ථකයි. එහෙම නම් ආගමට වැඩිය පොලීසිය ලොකු වෙන්න ඕනෙ. නමුත් අවාසනාවන්ත විදිහට අද අපට සිද්ධ වෙනවා ආගමික සහජීවනය ඇති කරන්න පොලීසිය ගෙන්නන්න.

සාකච්ඡා කළේ [ අජිත් නිශාන්ත]

මාතෘකා