දෙමළ බසින් සිංහලට කළ පරිවර්තනවලට පාඨක ඉල්ලුම අඩුයි

 ඡායාරූපය:

දෙමළ බසින් සිංහලට කළ පරිවර්තනවලට පාඨක ඉල්ලුම අඩුයි

උපාලි ලීලාරත්න

උපාලි ලීලාරත්න පරිවර්තකයකු, ස්වතන්ත්‍ර නවකතා රචකයකු මෙන්ම ළමා කතා රචකයෙක් ද වෙයි. මේ වන විට ස්වතන්ත්‍ර නවකතා අටක් ලියා පළ කර ඇති ඔහුගේ ‘පිනිවන්තලාව’ නවකතාව මලයාල, හින්දි සහ දෙමළ යන භාෂාවන්ටද පරිවර්තනය වී ඇත. එසේම ඔහුගේ ‘පොඩි සල්ලි’ නවකතා අත්පිටපත (2012) සහ ‘තේ කහට’ නවකතාවද (2013) සම්මානයෙන් පිදුම් ලබා ඇත. වතුකරයේ දෙමළ ලේඛක එම්. සිවලිංගම් විසින් රචිත කෘතියක් ඇසුරින් ඔහු පරිවර්තනය කළ ‘අලුත් මනාලයා’ කෙටිකතා සංග්‍රහය පසුගියදා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. මේ, එය නිමිති කරගනිමින් අප පසුගියදා ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ඔබ කළ පරිවර්තන කෘතියක් රාජ්‍ය සම්මානයට පාත්‍ර වීම ඔබට දැනෙන්නේ කෙසේද?

වතුකරයේ දෙමළ සාහිත්‍ය කෘති ඇසුරින් මම කරපු පරිවර්තන 2010 වසරේ ඉඳලාම රාජ්‍ය සම්මාන සඳහා නිර්දේශ වුණා. නමුත් ඒවාට රාජ්‍ය සම්මාන ලැබුණෙ නැහැ. ඒ නිසා මම හිතාගෙන හිටියෙ අපේ රටේ මේ වගේ සම්මාන ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය වන කෘතිවලට විතරයි කියලයි. හැබැයි පසුගිය වසරේ මගේ එක් පරිවර්තන කෘතියක් මේ සම්මාන සඳහා නිර්දේශ වුණා. මේ වසරේ මගේ පරිවර්තනයකට රාජ්‍ය සම්මාන ලැබුණා. මේ කෘතියේ තියෙන්නේ වතුකරයේ මිනිස්සුන්ගේ ජන ජීවිතය ගැනයි. මම පොඩි කාලයේ ඉඳලාම අවුරුදු ගණනක් හිටියෙ ඒ පරිසරයේයි. ඒ නිසා මට ඒ සම්බන්ධ අත්දැකීම් රාශියක් තියෙනවා.

කඳුකරයේ ජීවත් වන බොහෝ අය ඔවුන්ගේ කතා ලියන්න කියලා මට කියනවා. ඔය අතරේ සිවලිංගම්ගේ කෙටිකතා එකතුවක් පරිවර්තනය කරන්න කියලා මට දුන්නා. ඒ කෙටිකතා කෘතිය මම පරිවර්තනය කළා. බලාපොරොත්තු නොවුණු විදියට ඒ කෘතියට මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා. ඇත්තටම මට ඒ ගැන සතුටක් තියෙනවා. හැබැයි සම්මානයට වඩා මට වටින්නේ ඒ හරහා මේ වගේ නිර්මාණ වැඩි පිරිසක් අතරට යෑමයි. මේ වන විට මම දෙමළ පොත් හතළිහකට වැඩි සංඛ්‍යාවක් සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. අද වෙනකොට බොහෝ අය ජාතික සංහිඳියාවක් ගැන කතා කරනවා. ඇත්තටම එවැනි සංහිඳියාවක් අවශ්‍ය නම් මෙවැනි කෘති වැඩි වැඩියෙන් පාසල්වලට යවන්න ඕන. වතුකරයේ දෙමළ ජනතාවගේ සිතුම්පැතුම් හඳුනගන්න අපේ දරුවන්ට පුළුවන්කම ලැබෙන්නේ එතකොටයි. අද බොහෝ අය සංහිඳියාව ගැන නිකං ඔහේ කතා කරනවා. දැන් අපේ සමහරු දෙමළ භාෂාව ඉගෙන ගන්නවා. ඒත් ඒ වැඩේත් එච්චරම පිළිවෙළකට සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ අය දෙමළ භාෂාව ඉගෙනගන්නේ විභාග සඳහා ලකුණු ගන්නයි, රැකියාවෙන් උසස්වීමක් ගන්නයි විතරයි. එතැනින් එහාට කිසි දෙයක් වෙන්නේ නැහැ. තමන්ට අවශ්‍ය උසස්වීම් ගත්තට පස්සෙ ඒ බොහෝ අයට දෙමළ භාෂාව අමතකයි. පාසල්වලත් විභාගවලින් පස්සෙ දෙමළ භාෂාව අමතකයි. එතැනින් එහාට යන වැඩපිළිවෙළක් අපේ රටේ නැහැ. එහෙම වැඩපිළිවෙළක් තිබුණා නම් අපේ රටේ දැන් මේ තියෙන බොහෝ ප්‍රශ්න අඩු වෙනවා.

මෙවැනි සම්මාන ලේඛකයින්ට වැදගත් වන්නේ කුමනාකාරයටද?

සම්මානයකින් ලේඛකයෙකුට පොඩි උත්තේජනයක් ලැබෙනවා. තමන් රටේ පිළිගත්ත කෙනෙක් බවට පත් වුණාය කියන හැඟීමක් එයින් ඇති වෙනවා. තමන්ට යමක් කරන්න පුළුවන්ය කියන ආත්ම විශ්වාසය ඒ හරහා ලේඛකයෙකුට ලැබෙනවා. මීට කලින් මට ඉන්දියාවෙනුත් සම්මාන ලැබිලා තියෙනවා. සිංහල කෘතියකට තමිල්නාඩුවෙන් සම්මාන ලැබුණා කියන්නේ ලොකු දෙයක්. මම ඒ සම්මානයත් අරගෙන ඇවිල්ලා, ගුවන්තොටුපළෙන් බැහැලා, බස් එකෙන් ගෙදර ආවා. මාව පිළිගන්න කිසිම සංවිධානයක් හෝ වෙන කිසිම කෙනෙක් ඇවිල්ලා හිටියේ නැහැ. සිංහල, දෙමළ සාහිත්‍ය කෘති පරිවර්තන කරන අප වැනි අය ගැන ලංකාවේ තියෙන්නේ එහෙම තත්ත්වයක්. ඒත් මට පුළුවන් තරමින් මම මේ පරිවර්තන කටයුතු අඛණ්ඩව කරගෙන යනවා.

මේ වන විටත් මම අලුත් නිර්මාණ කිහිපයක්ම කරලා තියෙනවා. දෙමළෙන් සිංහලට කෙටිකතා පොත් දෙකක් තව පරිවර්තනය කරලා තියෙනවා. ඒ හැරුණුකොට වතුකරයේ සංස්කෘතිය ගැනත් මම වෙනම පොතක් ලියලා තියෙනවා. ඒකත් දැන් මුද්‍රණයට යොමු කරලායි තියෙන්නෙ. එයට අමතරව අවුරුදු ගාණකට පසුව මගේ ස්වතන්ත්‍ර නවකතාවකුත් එනවා. දෙමළ සිංහල පරිවර්තන කටයුතු සඳහා යොමු වුණාම බොහෝ විට මට ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න තරම් කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. පරිවර්තනය සඳහා මගේ දෙමළ මිත්‍රයො මට පොත්පත් හුඟක් එවනවා. ඒ ඉල්ලීම් අහක දාන්නත් බැහැ. ඒ අතර හොඳ නිර්මාණ තිබුණොත් මම ඒවා පරිවර්තනය කරනවා. ඔය තියෙන නිර්මාණ පරිවර්තනය කරන්න මගේ මුළු ජීවිත කාලයම මදි කියලා මට හිතෙනවා.

ඔබ පරිවර්තනය කළ කෘති ප්‍රමාණවත් පරිදි පාඨක අවධානයට ලක් වුණා යැයි ඔබ සිතනවාද?

මේ වෙනකොට නම් ඒ කෘති බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙලා තියෙනවා. බොහෝ අය මට කියන්නෙ මෙවැනි පරිවර්තන තව තවත් කරන්න කියලායි. පහුගිය දවස්වල මම අසනීපෙන් සිටි නිසා මේ වැඩ තරමක් අතපසු වුණා. ඒ අවස්ථාවේදී පවා සමහරු මට කතා කරලා මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වගේම පරිවර්තන කටයුතු ගැනත් විමසුවා. මම තවමත් ජීවත් වෙන්නෙ රස්සාව කරලා ලැබෙන ආදායමෙන්. මේ රටේ කොහොමත් තියෙන්නෙ ලේඛන කලාවෙන් ජීවත් වෙන්න බැරි තත්ත්වයක්නෙ.

මෙවර රාජ්‍ය සම්මාන ලැබූ කෘතිය ගැන විශේෂයෙන් යමක් කියනවා නම්?

එම්. සිවලිංගම් කියන්නෙ මගෙ හොඳ හිතවත් මිත්‍රයෙක්. අපේ මහ ගෙවල් තියෙන්නෙ තලවකැලේ. ඔහු ඉන්නෙ කොටගල. ඒ නිසා අපි දෙන්නා කාලයක් තිස්සේ එකිනෙකා හඳුනනවා. එයට අමතරව, ඔහුගේ මේ පොත පරිවර්තනය කරන්න කියලා සංස්කෘතික අමාත්‍යංශයෙනුත් මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුව මම මේ කෘතිය පරිවර්තනය කළා. එහෙත් ඒ පරිවර්තන කෘතිය මුද්‍රණය කරන්න තරම් උනන්දුවක් ඔවුන්ට තිබුණෙ නැහැ. ප්‍රතිපාදන ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒ නිසා සිවලිංගම්ගෙන් අනුමැතිය අරගෙන මම ඒ කෘතිය පළ කළා. ඊට ඉස්සෙල්ලත් ඔහුගේ කෙටිකතා කිහිපයක් මම ‘අඳෝනා කෝච්චිය’ නමින් පරිවර්තනය කරලා තිබුණා. වතුකරයේ බොහෝ ලේඛකයො මේ වෙනකොට තමයි නැගීගෙන එන්නෙ. ඒ සාහිත්‍යය යන්නෙ අමුතුම පැත්තකටයි. මේවායේ ගත යුතු බොහෝ දේවල් තියෙනවා. හැබැයි ඒවා සුඛාන්ත නෙවෙයි. ඒ කතාවල තියෙන්නෙ බොහොම දුක්බර පැත්තක්. ඒ දුක්බර පැත්ත මම ඇහැට දැක්කා. අවුරුදු එක හමාරේ ඉඳලා මම හිටියේ තලවකැලේ. පුංචි කාලේ ඉඳලා මම හැදුණෙ වැඩුණෙ ඒ පරිසරයේ. ඒ නිසා ඒ පරිසරයෙන් ඈත් වෙන්න මට බැහැ. මගේ ස්වතන්ත්‍ර නවකාවලත් වැඩිපුරම තියෙන්නෙ උඩරට වතුකරය ගැනයි.

දෙමළ කෘතිවලින් කෙරෙන සිංහල පරිවර්තන සඳහා ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?

පොදුවේ ගත්තාම අපේ රටේ පරිවර්තනවලට ඉල්ලුමක් තිබුණත්, දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය වන පොත්වලට ඒ තරම් ඉහළ ඉල්ලුමක් නැහැ. එහෙත් දැනට මගේ පොත්වලට නම් සැලකිය යුතු මට්ටමක ඉල්ලුමක් තියෙනවා. එය මුද්‍රණ වාර කිහිපයක් යා හැකි තරම් ඉහළ ඉල්ලුමක් නෙවෙයි. සාමාන්‍යයෙන් මගේ කෘතියකින් වසරකට පිටපත් දාහක් පමණ අලෙවි වෙනවා.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

 

මාතෘකා