වෙඩි උණ්ඩ

 ඡායාරූපය:

වෙඩි උණ්ඩ

වා තලය කලඹයි, වෙඩිඋණ්ඩ
සිරකරයි වෛරය
වීදි මංපෙත්
නමුදු උජාරුවෙන් හිඳ
සිනාසෙති උන්
කිසිදු අවුලක් නැත බලය මා සතුව ඇති තුරු

අනතුර සැරිසරයි අහුමුළු පුරා
ගලායයි භීෂණය නිදහසේ රුධිරය සේම වීදිවල
එක්වරම
පත්වෙයි මරණය කොටසක් බවට එදිනෙදා දිවියේ
නමුදු ඉහළ සිටිනා උන්
සිනාසෙති පහළින් සිටින මිනිසුන් දෙස බලා
කිසිදු අවුලක් නැත
සිදුනොවනු ඇත කිසිඳු අවුලක් බලය මා සතුව ඇති තුරු

නුවර පුපුරයි, විසිරිලා යයි
සුනුවිසුනු වෙයි
නමුදු ඉහළින් සිටින උන්
සතුටු වෙති
බලයේ සිටිනුයේ උන් වන බැවින්

(පාකිස්තානු කිවිඳියක සහ ලේඛිකාවක වන
ෆාතිමා භූටෝ විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

ෆාතිමා භූටෝ

වර්ෂ 1982 මැයි 29 වැනිදා කාබුල් නුවරදී උපත ලද ඇය පාකිස්තානයේ අගමැතිවරියක වූ බෙනාසීර් භූටෝගේ ඥාති දියණියකි. සිරියාව සහ කරච්චිය ආශ්‍රිත ප්‍රදේශවල හැදී වැඩුණු ඇය ඇමෙරිකාවේ බාර්නාඩ් විද්‍යාලයෙන් කලා උපාධියක් සහ බ්‍රිතාන්‍යයේ SOAS විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගත්තාය. ඇය රචනා කළ කාව්‍ය නිර්මාණ ඇතුළත් ප්‍රථම කාව්‍ය සංග්‍රහය 1998 ‘විස්පර්ස් ඔෆ් ද ඩෙසර්ට්’ (Whispers of the Desert) නමින් පළවිය. එයින් පසුව ඇය රචනා කළ දෙවැනි කෘතිය ‘8.50 ඒ. එම්. 8 ඔක්තෝබර් 2005’ (8.50 a.m October 2005) නමින් 2006 වසරේදී පළ වූ අතර සිය පවුලේ තොරතුරු ඇතුළත් කරමින් ඇය රචනා කළ ‘සෝන්ග්ස් ඔෆ් බ්ලඩ් ඇන්ඩ් ස්වෝර්ඩ්’ (Songs of Blood and Sword) නමැති මතක සටහන් කෘතිය 2010 වසරේදී පළවිය. ඇය රචනා කළ ප්‍රථම ප්‍රබන්ධ කෘතිය 2013 වසරේ නොවැම්බර් මාසයේදී ‘ද ෂැඩෝ ඔෆ් ද ක්‍රෙසන්ට් මූන්’(The Shadow Of The crescent Moon) නමින් ප්‍රකාශයට පත් විය. ‘ඩිමොක්‍රසි’(Democracy) නමින් ඇය රචනා කළ කෙටි කතාවක් සහ විද්‍යුත් කෘතියක් 2015 වසරේදී පළවූ අතර, ඇගේ අලුත්ම නවකතාව ‘ද රනවේස්’(The Runaways) නමින් පසුගියදා නිකුත් විය.

 

[අජිත් නිශාන්ත]

මාතෘකා