මගේ සිත්ගත්ම කෘතිය බල්සාක්ගේ ‘මහලු ගෝරියෝ’ යි මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

 ඡායාරූපය:

මගේ සිත්ගත්ම කෘතිය බල්සාක්ගේ ‘මහලු ගෝරියෝ’ යි මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

පොතපත කියවීම අවශ්‍ය දෙයක් යන වග මට මුලින්ම පසක් කළේ මගේ දෙමාපියනුයි. මගේ ගම මාතර නාවිමන. මව ගෘහණියක්. පියා ගොවියෙක්. සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ මම දෙවැනියා. මගේ මූලික අධ්‍යාපනය සිදු වෙන්නේ මාතර ඩියාගහ බටහිර මහා විදුහලෙන්. ඒ පාසලේ ඉතා කුඩා, එක් රාක්කයකට පමණක් සීමා වුණු පුස්තකාලයක් තිබුණා. එහි සයිමන් ද සිල්වා, ඩබ්ලිව්. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ වගේ ලේඛකයන්ගේ පොත්පත් තිබුණා.

මම එහි සියලුම වගේ පොත් කියෙව්වා. පසුව මම අටවන ශ්‍රේණියට ගාල්ල මහින්ද විදුහලට ඇතුල් වෙනවා. මං බොහෝ පොත්පත් කියවන්න පෙළඹෙන්නේ එහිදීයි. මම මහින්ද විදුහලට එන්නේ ඒ යුගයේ හෙළ හවුලේ සාමාජිකයෙකු වුණු මගේ මාමා කෙනෙකුගේ ගෙදර නැවතිලා. ඔහු තමයි ගා.දු.ම. වීරකෝන්. මාමාගේ නිවසේ පරිසරය මගේ අධ්‍යාපනයට මනා තෝතැන්නක් වුණා.

ඔහුට නිවසේ හොඳ පුස්තකාලයක් තිබුණා. මාමාට එ් කාලයේ මාර්ටින් වික්‍රමසිංහ මහතා පොතක් පළ කළත් එහි පිටපතක් එවනවා. ඉතින් මම ඒවා කියවන්න හරිම ආස වුණා. මේ යුගයේ පාසල් මිතුරන් අතරේත් පොත්පත් හුවමාරු කරගෙන කියවීමේ පුරුද්දක් තිබුණා. හැබැයි එහිදී බොහෝ විට හුවමාරු වුණේ ඩීමන් ආනන්දගේ නවකතා. ඇත්තටම මගේ කියවීමේ පුරුද්ද වැඩි කළ ලේඛකයා ඩීමන් ආනන්දයි.

මම උසස් ප්‍රබන්ධ කෘති කියවන්න නැඹුරු වෙන්නේ පසු කාලයකයි. එහිදී මම රුසියානු, ඉංග්‍රීසි, ඇමෙරිකානු ආදී ලේඛකයන්ගේ කෘති කියවනවා. ඒ සියල්ල අතර මා මෙතෙක් කියවා ඇති, මගේ මතකයේ රැඳුණු කෘතිය ඔනරේ ඩි බල්සාක්ගේ (Honore De Balzac) ‘මහලු ගෝරියෝ’

(Old Goriot) නවකතාවයි. ‘මහලු ගෝරියෝ’ ප්‍රංශ විප්ලවයෙන් පසු ප්‍රංශයේ බිහි වූ එහි මධ්‍යම පංතිය පිළිබඳ අපූරු කෘතියක්. මම මේ පොත කියවන්නේ 1969 – 1973 වසරවල කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේදී. ඒ ඉංග්‍රීසි බසින්. මෙහි ප්‍රධාන චරිතය ගෝරියෝ.

ඔහු දිවි ගෙවන්න උත්සාහ ගන්නේ රසකැවිලි නිෂ්පාදන ආයතනයක කම්කරුවෙක් වශයෙන්. ඔහු දියුණු වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මුදල් අරපරිස්සම් කරනවා. මුදල් ඉතුරු කරමින් ඔහු, විකිණීමට යන රසකැවිලි කම්හල මිලට ගන්නවා.

ගෝරියෝ දියණියන් දෙදෙනෙකුගේ පියෙක්. ඒත් බිරිඳ මියගිහින්. දියණියන් මධ්‍යම පංතික දිවියට හුරු කරමින් ඔවුන්ට සැපවත් දිවියක් ලබාදෙන්න ගෝරියෝ හැම විටම උත්සාහ ගන්නවා. ඔහුගේ දියණියන්ගෙන් කෙනෙක් රදළ වංශවතෙකු සමඟත්, අනෙක් දියණිය බැංකු හිමියෙකු සමඟත් විවාහ වෙනවා. ඔහු රදළයෙක් නොවුණත් රදළ නාමය ලබාගත් අයෙක්. විවාහයෙන් පසුව දියණියන් රසකැවිලි කර්මාන්ත ශාලාව විකුණා දමන ලෙස ගෝරියෝට බල කරනවා.

පසුව ගෝරියෝ කර්මාන්ත ශාලාව විකුණා දමනවා. මුදල් දූවරු අතරේ බෙදා දී කොටසක් ඔහු ළඟ අනාගතය උදෙසා තබා ගන්නවා. එ්ත් ඔවුන් ඒ මුදලුත් ඉල්ලා ඔහුට කරදර කරනවා. අන්තිමේ මහලු ගෝරියෝ ඒවාත් ඔවුන්ටම බෙදා දී නවාතැන්පොළක දිවි ගෙවනවා.

අසරණ වන ගෝරියෝගේ පිහිටට ඉන්නේ ඔහු සමඟ නවාතැනේ සිටි දුප්පත් නීති ශිෂ්‍යයන් දෙදෙනෙක්. දියණියන් සුඛෝපභෝගී දිවියක් ගෙවන අතරේ පියා ගෙවන්නේ අතිශය දුක්බර දිවියක්. වරක් පියාගේ අසනීප තත්ත්වය ගැන දැනුම් දීම සඳහා නීති ශිෂ්‍යයෙක් එක දියණියකගේ ගෙදරට යනවා. ඇය පියාගේ රෝගී තත්ත්වය තකන්නේ නැහැ. ඇය තරුණයාට ඇගේ අනියම් පෙම්වතා වන ලෙස පවසනවා.

මේ කෘතිය ප්‍රංශ විප්ලවයට පසු ප්‍රංශ මධ්‍යම පංතියේ පිරිහීම මනාව විශද කරනවා. සංකල්ප රූප මවමින් හදවතට දැනෙන ලෙස රචනා කර ඇති මේ කෘතිය මගේ සිත්ගත්ම කෘතියයි.

 

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා